තෝමස් ජය කෙහෙළි නංවයි | සිළුමිණ

තෝමස් ජය කෙහෙළි නංවයි

ලොව ජනප්‍රියතම සහ ප්‍රධානතම වාර්ෂික පාපැදි සවාරියක් වේ. ඒ ප්‍රංශ සවාරියයි. මෙවර මෙම සවාරිය පැවැත්වූයේ 105 වැනි වතාවටයි. එය මෙවර ජූලි මස 07 සිට 29 දක්වා පැවැත්විණි. මෙවර එහි සමස්ත ශූරයා වූයේ බ්‍රිතාන්‍යයේ 32 හැවිරිදි ගරෙයින්ට් තෝමස්ය. ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 83 විනාඩි 17 තත්පර 13 කි.

මෙවර ප්‍රංශ සවාරිය අදියර 21 කින් සමන්විත විය. එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 3351 කි. ඊට කණ්ඩායම් 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 176 ක් සහභාගි වූහ. මේ අතරින් 145 ක් ම සම්පූර්ණ සවාරියම නිමා කිරීමට සමත් වූහ. මෙවර වැඩිම තරගකරුවන් පිරිසක් එක්ව සිටියේ ප්‍රංශයෙනි. සංඛ්‍යාව 35 කි.

ප්‍රංශ සවාරිය ලෝකයේ පැරණිම පාපැදි සවාරියයි. පළමු හා දෙවන යුධ සමයන්හී වර්ෂ ගණනාවක් ප්‍රංශ සවාරිය පවත්වා නොමැති හෙයින් මෙම වර්ෂයේ පවත්වන්නේ එහි 105 වැනි සවාරියයි.

ප්‍රංශ සවාරිය ජූලි මස මුල් සතියෙන් ආරම්භවී දින 21 කට පසුව අවසන්වේ. එය නීතිගත නොවු එදා සිට සම්ප්‍රදායානුකූලව පැවැත එන සිරිතකි. එයට ප්‍රධානම හේතුව මෙම සවාරිය ආරම්භ කලේ 1903 ජූලි 01 වෙනිදා වීමයි.

ජූලි මාසයත් සමගින් ප්‍රංශ සවාරියෙන් අවදි වෙන ප්‍රංශ ජාතිකයෝ එම සවාරියෙන්ම දවස නිමාකර නින්දට යති. එයද ඉතිහාසයට එක්වන අමරණීය සිහිවටනයකි.

ප්‍රංශ සවාරිය ලොව විශිෂ්ටතම පාපැදි සවාරිය වීමට හේතු රැසකි. ලෝකයේ අති පැරණිතම පාපැදි සවාරිය මෙයයි. ලොව සිටින හොදම සයිකල් ශූරයෝ සියල්ලෝම ප්‍රංශ සවාරියට තරග වදිති. ලොව ඇති හොඳම හා ප්‍රසිද්ධ පාපැදි ක්‍රීඩා සමාජයන් මෙයට එක්වෙති. වැඩිම දුර ප්‍රමාණයක් පැවැත්වෙන පාපැදි සවාරියද එයයි.

ජයග්‍රහාකයන්ට වැඩිම මුදලක් ගෙවන්නේ ප්‍රංශ සවාරියෙනි. ලෝකයේ වැඩිම පිරිසක් මෙය නරඹති. රූපවාහිනි නාලිකා 118 කින් විකාශනය කෙරේ. ගුවන් විදුලි තරංඟ මාලා 75 කි. ලෝක ප්‍රසිද්ධ ක්‍රිඩා පුවත් හා සඟරා 398 ක ප්‍රධාන මාතෘකාව ප්‍රංශ සවාරියයි. වෙබ් අඩවි 61 ක්ද ජාතීන් 41 කට අයත් ජන මාධ්‍යවේදීන් 2500 ක් පමණද මේ සදහා සහාභාගි වෙති.

ප්‍රංශ සවාරිය ලෝකයේ රටවල් 118ක රූපවාහිනි නාලිකා හි ප්‍රදර්ශනය වන අතරම රටවල් 60ක සජීවි විකාශනයන් කෙරේ. ප්‍රංශ සවාරිය පාපැදි ක්‍රීඩාවේ ලෝක කුසලානය ලෙස හැදින්වුවද එහි කිසිදු අතිශෝක්තියක් නොමැත.

සෑම වසරකම ප්‍රංශ සවාරිය ගමන් කරන මාර්ගය බොහෝ විට වෙනස් කරනු ලැබේ. කඳූ බෑවුම්, කඳූ මුදුන්, තැනිතලා ගල් බොරලු යන හැම බාධකයක්ම එම දුර ප්‍රමාණයට ඇතුලත් වෙති. සවාරියේ අතුරු ඵලයන් ලෙස සෑම දිනකම සවාරියේ ආරම්භක හා අවසන් නගරයන්; ඊට වර්ෂයකට පමණ පෙර සිට අළුත් වැඩියා කෙරේ.

හොඳ තත්වයේ ඇති විශාල මං මාවත් පවා තව තවත් නවීන තාක්ෂණය ඇසුරෙන් උසස් ප්‍රමිතීන්ට ගෙන එයි. ඒ අනුව මේ දක්වා ප්‍රංශය තුල විශාල මාර්ග පද්ධතියක් ප්‍රංශ සවාරියට සමගාමිව දියුණු කර ඇත. නගර හා ගම් දියුණු කර ඇත. ප්‍රංශ සවාරිය යනු ප්‍රංශ භූමිය වැඩි දියුණු කරවන එක්තරා ව්‍යාපෘතියක් ලෙස හැදින්විමේ වරදක්ද නැත. මෙම අවුරුදු 105 තුළ ප්‍රංශ සවාරිය සඳහා යොදාගත් මාර්ගවල දුර ප්‍රමාණය පෘතුවියත් හඳත් අතර දුර ප්‍රමාණයට ඉතාමත් ආසන්නය.

  

අදහස්