මේ ලෝකෙ ප්‍රශ්න නැහැ තියෙන්නෙ අභියෝග විතරයි | සිළුමිණ

මේ ලෝකෙ ප්‍රශ්න නැහැ තියෙන්නෙ අභියෝග විතරයි

ඡායාරූප - විමල් කරුණාතිලක

අනු­රුද්ධ බණ්ඩාර -  කළ­ම­නා­කාර අධ්‍යක්ෂ / Eco Team  

ඔබ මාකට් කරන්නෙ සොබා දහමද ...

සොබා දහමට ආදරේ කරන මිනිසුන්ගේ ඒ විඳීම, පහසුකර වීමයි අපි කරන්නේ. බහුතර ශ්‍රී ලාංකිකයො තවම පුරුදු වෙලා ඉන්නේ, තමන්ම කූඩාරම අරන් ගිහින්, ඒ අයම සවි කරලා , ඒ අයම මොනවා හරි උයාගෙන කාලා, කැලේ විඳලා ආපහු කූඩාරම් අකුළාගෙන එන්න. මේ ක්‍රමය තමයි, කෑම්පින්. නමුත් අපේ ව්‍යාපාරය අයිති වෙන්නේ Glamorous සහ'Camping වචන දෙක එකතු වෙලා ලෝකය අලුතින් හදපු ‘ග්ලෑම්පින්’ කියන සංකල්පයට. එහිදී කැලේට යන කෙනාට කූඩාරම් හදන්නේ වෙන අය. කූඩාරම ඇතුළෙදි ලැබෙන්නේ සුපිරි තරු හෝටලයක අත් දැකීමක්. ඔවුන්ට තිබෙන්නෙ හැම ‍මොහෙ‍ාතක්ම විඳීම පමණයි.

කවුද මේ රටේ ‘ග්ලෑම්පින්’ කරන්න වැඩි පුරම එන සංචාරකයෝ....

යුරෝපීයයන්, ඇමරිකන් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන්. ඒ අයට කැලෑ නැතුවා නෙවෙයි. අප්‍රිකානු සෆාරි නොයනවා නෙවෙයි. නමුත් අපේ රටේ අත්දැකීම ඔවුන්ට වෙනස්. මට අනුව නම් අප්‍රිකාවට පස්සෙ ලෝකෙ හොඳම සෆාරි අත්දැකීම ලබා ගන්න පුළුවන් ලංකාවෙදි.

කොහොමද එහෙම කියන්නෙ....

රට පොඩියි. පැය හතරක් තුළ ඕනෑම තැනකට යා හැකියි. අප්‍රිකාවේ වගේම අපිටත් ඉන්නවා ‘Big Five’ ලෙස හඳුන්වන විශාල සතුන් පස් දෙනා. ඒ, ආසියානු අලියා, දිවියා, වළහා, නිල් තල්මසා සහ කුඩා වරල කොමදා කියන තල්මසා. ටෙන්ටඩ් සෆාරියකදී ඕනෑම සංචාරකයකුට මේ බිග් ෆයිව් ගෙන් තුන් දෙනෙක්ම බලන්න පුළුවන්. ඉතා අඩු කාලයකින් ඉතිරි දෙන්නවත් බලන්න පුළුවන්, අප්‍රිකාවෙදි තරම් දීර්ඝ ගමන් වෙහෙසක් ඔවුන්ට නැහැ.

මොනවද ඔබට අයිති ව්‍යාපාර...

Eco Team , Experiential Journeys, Encounters Asia සහ Beyond Boundaries. මේ අතරින් Eco Team තමයි අපේ ප්‍රධාන ව්‍යාපාරය, ත්‍රාසය මුසු හැඟීම් විඳිමින් වනාන්තරයක හුදෙකලා තැනක කූඩාරමක ඉතා සුව පහසුවෙන් රැයක් ගත කරන්නට අවස්ථාව හදා දීමයි, එයින් කෙරෙන්නේ. අනෙක් ව්‍යාපාරවලින් සංචාරකයන් මෙරටට ගෙන්වීමත් , ත්‍රාසය සහ ක්‍රියාකාරකම් සමඟ නායකත්වයේ අත්දැකීම් ලබමින් දේශන ශාලා වලින් ඈත්ව කැලෑවකදි කළමානකරණ පුහුණුවක් ලබා දීමත් සිදුවනවා. මේ කටයුත්ත කෙරෙන්නේ Beyond Boundaries ආයතනයෙන්.

එතකොට ‘මහුරා’ කවුද...

ඒක අපේ බ්‍රෑන්ඩ් එකක්. විශේෂ ක්‍රියාකාරකමක්. ටෙන්ට් එකක් ඇතුළේ තරු පහේ හෝටලයක අසිරිය මවනවා. කූඩාරමෙන් එළියට ආවම හැබෑම මහා කැලේ. ‘මිනි නේවර් රිසව්’ හෙවත් “කුඩා පරිමාණ සොබා රක්ෂිත“ කියන සංකල්පය ඔස්සේ තමයි එය ක්‍රියාත්මක වන්නේ.

’මේක කැලය විනාශ කරන දෙයක්.’ කාට හරි එහෙම හිතුණොත් ...

මේවට යන්නේ, ගහ කොළට සතා සීපාවට කැමති මිනිස්සු. අපි ඔවුන්ට කූඩාරම් හදන්නේ කැලයට අවම හානි වන අයුරින් සහ වනජීවියෙන් ලැබෙන අවසර සහිත කඳවුරු බිම්වල පමණයි. ඒ වගේම , ඒ දවස හෝ දෙක ගත කළාට පස්සේ අපි ඇඳන් පුටු මේස ඇතුළු කූඩාරම් ඇතුළේ තිබෙන සියල්ලත් කූඩාරමත් නැවත ගලවාගෙන අරන් එනවා. එතැන අල්පෙනෙත්තක්වත් තියලා එන්නෙ නෑ.

රැයක් දෙකක් වෙනුවෙන් මහ කැලෑවක එවැනි නිදන කාමරයක් හදන එක පාඩුවක් නෙවෙයි ද...

එහෙම නිදන කාමර හදන්නේ ‘මහූරා’ බ්‍රෑන්ඩ් එකේදි විතරයි. ඒවා නිතර ගලවන්නෑ. මොකද ඒවා අපේ පුද්ගලික කැලෑ ඉඩම්. ඒ කැලෑ ඉඩම් නඩත්තු කරන්නේ අපි. විල්පත්‍තු, උඩවලව, යාල කියන ලංකාවේ ප්‍රධාන ජාතික වනෝද්‍යාන සහ අභය භූමි වල ‘මහූරා’ ක්‍රියාත්මකයි.

ඔබේ ව්‍යාපාරය, තියෙන කියන මිනිස්සුන්ට විතරක් විඳින්න පුළුවන් එකක් හැඩයි...

සංචාරකයෝ වර්ග තුනයි. ‘හයි එන්ඩ්’ හෙවත් ඉහළ පැළැන්තිය, මධ්‍යම පාන්තිකයෝ සහ බැක් පැකර්ස්ලා. හයි එන්ඩ් කට්ටියට ඕන තරම් මුදල් තිබෙනවා. ඔවුන් වියදම් කරන්න කැමැතියි. මධ්‍යම පාන්තිකයො තමන්ගෙ පුළුවන් තරමට වියදම් කරන අය. බැක් පැකර්ස්ලා, අත්දෑකීමට හැර නවාතැන් වෙනුවෙන් ඒ තරම් වියදම් කරන්න කැමැති නැති අය. සමහර සල්ලි තියෙන අයත් බැක් පැකර්ස්ලා හැටියට එනවා. කැලෑවෙදි ඉන්න ඕනේ කැ‍ලෑවෙ විදියට. ඒ ඔවුන්ගේ සංකල්පය. මේ මොන වර්ගයක සංචාරකයකුට වුණත් කැලෑවකදී ලබා ගත හැකි උපරිම අත්දැකීම අපි ලබා දෙනවා. සිද්ධ වෙන්නේ, සුවපහසු කම්වල අඩු වැඩි වීම් පමණයි.

මේ, හොඳින් උපයන්න පුළුවන් ‍ක්ෂ්‍රේත්‍රයක් ද ...

ලාභයම අරමුණු කරගත් ව්‍යාපාර තිබෙනවා. නමුත් මේ , තෘප්තිය සමඟ යන ව්‍යාපාර. මාත් කැලේට ආදරය කරන ඒ පහස විඳින්න කැමැති කැලෑ ලෝලියෙක්, ලාභය විතරක් හිතුවා නම් ගෙවුණු කාලය තුළ අනන්ත අප්‍රමාණ අවස්ථා උදා වුණා, මේක හරියන්නෑ... කියලා අත්හැර දමන්න හිතුණු. අත්නොහැර ඇදගෙන ආවේ මේ ව්‍යාපාරය මට ‘පැෂන්’ එකක් නිසා. ඇ‍ඟෙන්ම එන ‘උණක්’ නිසා.

ඔබ දැනුත් නිතර කැලෑවලට යනවද...

ඉස්සර තරම් නැහැ. නමුත් දැන් මගේ අරමුණ, වනෝද්‍යානවලට යන්න කැමැති අයට එතැන උපරිම වින්දනයක් ලබාදීමයි. අමතක නොවන දවසක් බවට පත් කිරීමයි.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

එයිට්කන් ස්පෙන්ස් සමූහයේ, රක්ෂණ අංශයේ පුහුණුවන විධායක. ඒ තමයි මගේ පළමු සහ අවසාන රස්සාවත්. එතැන මං හොඳ සේල්ස් ටීම් එකක් හැදුවා. හොඳ ජාලයක් ගොඩ නැඟුවා. අවුරුදු දහයක් යද්දි මං එතැන කළමනාකරුවෙක්. හොඳ වැටුපක් හොඳ ස්ටාෆ් එකක් ඇතුළු සියලු පහසුකම් සහිත, සුව පහසු ජීවිතයක් ගත කරමින් හිටියෙ. ඒත් හිටි අඩියේ මට අවශ්‍ය වෙනවා මගේම දෙයක් වෙනුවෙන් කැපවෙන්න.

ව්‍යාපාරික ලෝකෙ ඉහළට යන්නෙ අවදානම් ගන්න මිනිස්සු. මොකක්ද ඔබ ගත් ලොකුම අවදානම...

මං කරමින් හිටි සුව පහසු රස්සාවෙන් අස් වෙලා ඒ වෙනකොට පාඩු ලබමින් ඔහේ කරගෙන ගිය, මගේ රෙස්ටුරන්ට් බිස්නස් එකට ආපහු අත ගහපු එක. බෙලිහුල්ඔය මගේ අප්පච්චිගෙ ඉඩමක, අප්පච්චිම හදපු බිල්ඩිමේ තමයි මං ඒක කරගෙන ගියේ. මුළු සතියෙම කොළඹ වැඩ කරලා සති අන්තයෙයි, බෙලිහුල්ඔය ගියේ. ළඟ නැති නිසා පාඩු ගොඩයි. ඒත් මං වෙනස් දේ හිතුවා. ඉඳහිට උඩවලව ජාතික වනෝද්‍යානයේ සුව පහසු ටෙන්ට් එකක් හදලා සංචාරකයන්ට දීලා අත්හදා බැලීම් කළා. ඒ සඳහා යොදා ගත්තේ මගේ රෙස්ටුරන්ට් එකේ සේවකයන්මයි.

කොහෙන්ද ඒ අදහස ඔළුවට ආවේ...

පුංචි කාලෙ මං ස්කවුටින් කළා. බාලදක්ෂයෙක් විදියට කෑම්ප්වල රැයවල් ගත කළා. හැබැයි දැන් මම කැලේට යනවා නම් මට මොනවද තියෙන්න ඕනේ . නිතර මං හිතුවා. ජාතික වනෝද්‍යානවලට යන මිනිස්සු කැලේ බලලා පිටවෙනවා. නවතින්න යන්නෙ කිලෝමීටර් 30-40 ක් තරම් ඈත නවාතැනකට. ඇයි මේ මිනිස්සු මේ තරම් දුර යන්නේ. කැලේම, සුවපහසු කූඩාරමක් හදලා දුන්නොත් සංචාරකයො කැමති වෙයි නේද... මට හිතුණා. අද Tented Safari Camp ගැන හැමෝම කතා කළාට එදා 1998, මං මේ සංකල්පයට අත ගැහුවේ කිසිම ‘ගයිඩ් ලයින්’ එකක් නැතිව. කවුරුවත් මේ ගැන කතා කරලවත් නැති යුගයෙක.

කරපු හැම දේම හරි ගියාද ...

නැහැ. ලංකාවේ කූඩාරම් හදන එක කොම්පැණියක් තිබුණා. ඒකත් හැදුවේ පිට රටට. ආරම්භයක් විදියට මං එතැනින් කූඩාරම් දහයක් ගත්තා. නමුත් ඒවා අපේ රටට ගැළපුණේ නැහැ. අපි කරපු දෙවැනි ටෙන්ටඩ් කෑම්ප් එකේ දී මහා වැස්සක් වැස්සා. මුළු කූඩාරම් ඇතුළේම වතුර. ඉන් පස්සේ මං කළේ ‘ෆ්ලයි ෂීට්ස්’ යොදලා ඒ ටෙන්ට් එකට උඩින් තව ආවරණයක් හදපු එක. කාලයක් යනකල් මං පාවිච්චි කළේ ඒ ක්‍රමය.

‘මම තමයි Tented Safari Camp ලංකාවට හඳුන්වා දු‍න්නේ.’ ඔබ කියන මේ කතාවට කවුරු හරි අභියෝග කළොත් ....

මං හරි කැමැතියි. ඒත් තවම කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. නමුත්, තරගකාරි ආයතන බිහිවෙලා තියෙනවා. බිලියන ගණන් වියදම් කරන්න කැමැති ආයෝජකයොත් බිහිවෙලා තියෙනවා. මට අනුව නම්, සුවපහසුවෙන් කැලේ විඳින මේ නිර්මාණාත්මක සංකල්පය සාර්ථක කරගන්න බිලියන ගණන් අවශ්‍ය නැහැ. මිලියන්වලින් ඒක උපරිමයෙන් කළ හැකියි.

මේ ව්‍යාපාරය පහුකළ දුෂ්කරම කාලය කුමක්ද ..

2012 අවුරුද්දේ දවසක රජය තහනමක් ගෙනාවා, ජාතික වි‍නෝද්‍යානවල මොබයිල් කෑම්පින් කරන්න බැහැ කියලා විනෝද්‍යානවලින් පැය විසිහතරෙන් ඉවත් වෙන්න කිව්වා. සංචාරකයො අතරමං කරන්න බැහැ. ඒ දවසෙම අපි උඩවලව කෑලෑ සීමාව ළඟ ඉඩමක් හොයාගත්තා. වනෝද්‍යාන අතරමැද සහ කැලෑ ගම්මාන ආශ්‍රීතව එහෙම ඉඩම් ඕනෙ තරම් අපිට ලැබුණා. රජයෙන් දාපු ඒ නියෝගය සහ අපි මුහුණ දුන් ඒ දුෂ්කරම මොහොත නිසයි, එච්චර කල් වනෝද්‍යාන ඇතුළේ පොඩි සීමාවක කොටුවෙලා උන්නු අපි අපේම කියලා, ඉඩම් ගන්න පෙළැඹුණේ. ඇත්තටම ඒ නියෝගය නිසා ව්‍යාපාරයක් විදියට අපි අලුත් පියවරක් තැබුවා. ‘අහස් පොකුර’ කියන්නෙත් එහි දිගුවක්.

මොකක්ද අහස් පොකුණ...

කල්තොට, කැලෑව ඇතුළට තිබෙන පුරාණ දුෂ්කර ගමක්. ගමට පාරක් නැහැ. දුෂ්කර සහ කටුක බව නිසාම ඒ මිනිස්සු ගම දාල යන්න සූදානමින් හිටියේ. අපි ගම ගත්තා. මුළු ගමම අක්කර තිස් ගණනයි. ඒකෙන් මං වෙනස් දෙයක් කළා. ලංකාවේ පළමුවැනි ‘වෝකින් සෆාරි කෑම්ප්’ එක බවට පත් කළේ, අහස් පොකුණ. සාමාන්‍යයෙන් සෆාරි යන්නෙ ජිප් එකේ. නමුත් පයින් යමින් සත්තු බලන්න...පයින් යමින් පරිසරය විඳින්න, ‘හයි එන්ඩ්’ මාකට් එකට මං අවස්ථාව හදලා දුන්නේ, මේ ‘අහස් පොකුණ’ ප්‍රඩක්ට් එකෙන්.

යහපත් වැඩිහිටියන් බිහිවෙන්නේ ළමා කාලේ වැටෙන පදනමින්. ඔබේ පදනම ‍කොතැනද...

මං ඉපදුණේ හැදුණේ වැඩුණේ බලංගොඩ. ඉස්කෝලෙ ගියේ බලංගොඩ ප්‍රාථමිකයට. අම්මා ගුරුවරියක්. තාත්තා වැඩ කළේ සමූපකාර දෙපාර්තමේන්තුවේ. රජයේ සේවකයන්ගේ දරුවො විදියට අපි ගත කළේ බොහොම අරපිරිමැසුම් සහිත සාමාන්‍ය ජීවිතයක්. සැප සම්පත් කියලා දැනගෙන හිටියේ අපි විඳපු ඒ සරල ජීවිතේ පමණයි. එතැන තමයි, අපේ පදනම. ඒත් දවසක් එනවා, අම්මයි තාත්තයි මං වෙනුවෙන් තීන්දුවක් ගන්න.

මොකක්ද ඒ තීන්දුව...

මාව කොළඹ රාජකීයට ඇතුළු කරන එක. රටේ හැම තැනකින්ම හැම පසුබිමකින්ම ආපු හැම ජාතියකම දරුවො එක්ක රාජකීයේ හයේ පන්තියේ ඉඳලා මං අලුත් ජීවිතයක් පටන් ගත්තා. හොස්ටල් එකේ ගත කරපු පළමු රාත්‍රියේදී තමයි මට ගෙදර අගේ දැනුණේ. බොහොම කැමැත්තෙන් ආවට සති දෙකක් යන කල්ම මට ඇඬුණා. ටිකෙන් ටික මං ඒ ජීවිතේ දරාගත්තා. හුරුවුණා. වගකීම් දරන්න...ඕනෑම සමාජ තලයක අය එක්ක ජීවත් වෙන්න...එකිනෙකා බලා ගන්න...අවශ්‍ය තැන තනිව තීන්දු තීරණ ගන්න...විනය ගරුක වෙන්න...බෙදාහදා ගන්න.... මට පදනම වැටුණේ එදා රෝයල් ජීවිතයෙන්.

ඔබ හිටියෙ දක්ෂයෝ ගොඩේද...

එහෙම නැහැ. හැම දේම ටික ටික කරපු කෙනෙක්. වැඩියෙන්ම බාහිර වැඩ. ඕ - ලේවල් ගොඩ දාගත්තා. ඒ-ලෙවල්වලට කළේ බයෝ සයන්ස්. නමුත් ළමයින් ‍නොකරන බාහිර වැඩ කරන්න ගිහින් ඒ - ලෙවල් හිතපු විදියට සමත් වෙන්න බැරි වුණා. මං දෙවැනි පාරට ලෑස්ති වුණා. ර‍ටේ කලබල හැම තැනම. ඒත් ඉස්කෝල විශ්ව විද්‍යාල වහලා.

මොනවද ළමයින් නොකරන බාහිර වැඩ...

අපි ගෙවල් හැටඅටක්, බුදු මැදුරක්, ප්‍රජාශාලාවක් සහ පාරවල් සහිත අංග සම්පුර්ණ උදාගමක් හැදුවා. ඉඩම ලැබුණේ ර‍ජයෙන්. ඉස්කෝලේ සංගම් හුඟක් උදව් කළා. සංගීත සංදර්ශන තියලා සල්ලි හෙව්වා. රජයේ නිලධාරින් එක්ක නිතර වැඩ කළා. ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ලෝකෙ කිසිම ඉස්කෝලෙක ළමයි කරලා නැතුව ඇති. අපිට ඕන වුණේ ඉස්කෝලෙ නම තියන්න.

මොකක්ද ඒ ගමේ නම...

රාජකීය සිසුන් කරපු නිසා, ‘රජ සිසුගම’ නම තැබුවා. සල්ලි විතරක් හොයලා අපි නිකම් හිටියේ නැහැ. ගෙපල් කැපුවා. පස් ඇද්දා. පාරවල් කැපුවා. සති ගණන් ඒ ගමේ ගෙවල්වල නැවතිලා එක පෙළට පැදුරු එළාගෙන බිම නිදා ගත්තා. අවුරුදු දෙකක් මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කැප වුණා. ඒ තමයි, අපේ ජීවිත වෙනස් කරපු හොඳම අත්දැකීම.

ඔබ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය කුමක් ද...

මට මේ ලෝකේ තියෙන්නෙ ප්‍රශ්න දෙකයි. කවුරු හරි දිවි නසා ගන්නවා නම් ඒක ප්‍රශ්නයක්. මම මැරෙන්න යනවා නම් ඒකත් ප්‍රශ්නයක්. නොවැළැක්විය හැකි මරණය හැරුණම මේ ලෝකෙ වෙන ප්‍රශ්න නැහැ. තියෙන්නෙ අභියෝග පමණයි. ඒවා ජය ගන්න පුළුවන් දේ. මහන්සි වෙලා ටිකක් කල්පනා කරන එක විතරයි කරන්න ඕනේ.

එහෙනම් මේ ක්ෂේත්‍රයේ ඔබට තිබෙන ලොකුම අභියෝගය කුමක්ද...

සේවක ගැටලුව. ඇල්මක් කැමැත්තක් නැති අයට මේ කැලේ කොළේ වැඩ කරන්න බැහැ. හැම වෙලාවෙම මට සිද්ධ වෙනවා අලුතින් කට්ටිය අරගෙන ට්‍රේන් කරන්න. පුහුණු අය එන්නේ නැහැ. ආවත් පැදුරටත් නොකියා යන්න යනවා. ‘ මුළු රෑම නින්ද ගියේ නැහැ බයට ...’ කියලා. ඒ නිසාම මං පුහුණු පාසලක් පටන් ගත්තා.

මොනවද ඔබ එයින් බලාපොරොත්තු වුණේ...

Wildlife අ‍ැ‍ඟේ තියෙන පිරිසක් බිහි කරන්න. මුළු රටටම අවශ්‍ය පරිසරවේදීන් බිහි කරන්න. වනයට ආදරය කරන එක, එවැනි මිනිසුන්ට සංග්‍රාහ සත්කාර කරන එක වෘත්තියක් කරගත් පිරිසක් බිහි කරන්න.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්...

ධම්මික පෙරේරා. ලාෆ්ස් හැදු වෑගපිටිය. ඊළඟට රිචඩ් බ්‍රැන්සන්. රිචඩ් ට අනුව හැම අභියෝගයක්ම අවස්ථාවක්. ඒ අවස්ථාවන් අත් නොහැර මුහුණ දිය යුතු ඒ නිසා.

Eco Team පවුලේ ව්‍යාපාරයක් ද...

මගේ බිරිය බොහෝම ස්වාධීනයි. ඇය ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ වැඩ. ඇය මේ ආයතනයේ අධ්‍යක්ෂවරියක් වත් නෙවෙයි. මගේ පුතා වුණත් කවදා හරි ව්‍යාපාරයට එනවා නම් එන්න ඕනේ හැම දේම ඉගෙන ගෙන. නැතුව පැරෂුට් ක්‍රමයට නෙවෙයි. මේ ආයතනයේ 180 ක් වැඩ. දක්ෂයන්ට තව ඉඩ තියෙනවා. අනාගතයේ මේ ව්‍යාපාරය කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් විදියට ඉදිරියට යනවටයි මං කැමැති.

අදහස්