බන්දු­ලට පුදු­මා­කාර දක්ෂ­තා­වක් තිබෙ­නවා | සිළුමිණ

බන්දු­ලට පුදු­මා­කාර දක්ෂ­තා­වක් තිබෙ­නවා

බන්දුලට පුදුමාකාර දක්ෂතාවක් තිබෙනවා

කුලරත්න ආරියවංශ

සංගීතමය භාවානුභුතින් වටහා ගනිමින් පුළුල් ශබ්ද කෝෂයකින් සපිරි ඔවු‍න්ගේ ගේය පද රචනා සුවහසක් රසික සිත් සතන් අමන්දානන්දයට පත් කරයි. මතු පිටින් දිවෙන සරල සුගම කාව්‍ය භාෂාවෙන් ගැඹුරට යමින්. රසික සිත් ඥාණනය කිරීමටද ඔවුහු සමත් වුහ. කුලරත්න ආරියවංශ, බන්දුල නානායක්කාරවසම් ප්‍රවීණ ගේය පද රචකයන් මෙවර මුහුණට මුහුණින් හමුවෙන යුගලයයි.

කොහොමද ? මේ දවස්වල තොරතුරු...

කලා ක්ෂේත්‍රයේ ප්‍රසංග, සම්මන්ත්‍රණ, උත්සව, උපහාර ආදිය පිළිබඳ සතියකට ආරාධනා 2,3ක් ලැබෙනවා. මුලින් සිංග්ලංකා ආයතනය සමඟ අවු. 30 පමණ කටයුතු කළ නිසා කාර්යබහුලයි.

පවුලේ තොරතුරුත් දැනගන්න කැමැතියි.

බිරිය සීතාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ලොකු පුතා කල්ප. දෙවැනියා. වින්දන. දුව තමාරසී. දුවගේ පුතා රංසර පුංචි මුනුබුරා එක්ක කාලය ගෙවීම සිතට සතුටක්. පුතාලා දෙන්නාගේ රූකඩ පැංචි චිත්‍රපටයේ වැඩ පටන් අරන් තියෙන්නේ. අපි කැදැල්ලේ සතුටින් සිටිනවා..

නව නිර්මාණ කටයුතු එහෙම...

වෙනස් මඟක් ගත්, තරුණ ගායකයෙක් වූ මිහිඳු ආරියරත්නට ගීතයක් අලුතින් ලීවා. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත උපාධිධාරියෙක් යාත්‍රිකයා කියන ඔහුගේ පළමු සංයුක්ත තැටියටයි ඒ ලීවේ. වෙසක් එකට ‘අම්රිකා ගී පුදසර’කියලා සංයුක්ත තැටියක් කළා. පන්සල්වලට නොමිලේ බෙදාදුන්නා. සුනිල් එදිරිසිංහ ගයන ධම්මපදයේ එන සිත ගැන කියැවෙන ගීයක්.

බන්දුල නානායක්කාරවසම් ගී පද රචකයා හමු වූ හැටි මතකද?

1985, වකවානුවේ සිංග්ලංකා ආයතනයේ රෝහණ වීරසිංහයි මමයි සේවය කරද්දී තරුණයෙක් ආවා බන්දුල කියලා. රෝහණ හමුවන්න. කතාබහේදී මම තේරුම් ගත්තා ඔහු බන්දුල නානායක්කාරවසම් කියලා. මම ඔහුගේ ‘දුමාරය’ කවි පොත කියවලා තිබුණා. තරුණ ලේඛකයෙක් ලෙස මුලින් ඇති වූ පැහැදීම. සහෝදරත්වයක් දක්වා දුරදිග ගියා..

ගී කෙතේ බන්දුල නානායක්කාරවසම් අත්පත් කරගෙන ඇති වපසරිය...

බන්දුල සමකාලීන ගීත රචකයන් අතර ගීත ක්ෂේත්‍රය තුළ ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා. ටෙලිනාට්‍ය ගීත රචනයෙන් ජාතික සම්මානයට පාත්‍ර වුණා. ප්‍රශස්ත ගී රැසක් රචනා කරලා තිබෙනවා. අපෙන් පසු පරම්පරාවේ ඔහු ඉදිරියෙන්ම සිටිනවා. නිර්මාණවල නැවුම් රටාවක් ප්‍රකට කළ ගීත රචකයෙක්.

බන්දුල කුමන ආරක ගී පද රචකයෙක්ද?

බන්දුලගේ රචනා කලාව හැම විටම බොහෝ නැවුම් පරිකල්පනයෙන් අපුර්වත්වයෙන් පිරි රමණීය භාෂා භාවිතයක්. කාව්‍යමය අලංකාරත්වයෙන් විවිත්‍ර වූ ගීත රචනා කර තිබෙනවා. ඔහුගේ වදන් ගබඩාව පිරිලා - ගීත රචකයකුට තිබිය යුතු ප්‍රබල රසිකත්වයක්, සංවේදිතාවක් ඉතා සියුම්ව ඉදිරිපත් කළ හැකි. පුදුමාකාර දක්ෂතාවක් තියනවා.

ඔබ කැමැති ඔහුගේ නිර්මාණ ....

බන්දුල අතින් ලියැවුණු හැම නිර්මාණයකටම කැමැතියි. එක් පෙති මලක් විය. ගඟක් සේ ඔබ ගලා ඒනම්, මට වඩින බඹරුන්, වියෝ වූ පසුවයි දැනෙන්නේ, රත් හිරු මැඬලින්, අහසයි ඔබමට, සිනා කොටක් වී, නිහඬ අරණ, විසිරුණු මල්පෙති, අකීකරුද ඔබේ සතත්.., හඳපානක් සේ ඇවිදින්, නිම් තෙරක් නුදුටු මේ ලෝකයේ, කටු අකුලේ මල් ඇහැලේ ඉන් කිහිපයක්.

ඒ වගේම කලින් තනන ලද ගී තනු වලට ගීත රචනා කරන්නක් බන්දුල දක්ෂයි. සියොතුනේ... උතුරින් එනු පියඹා... එවැනි ප්‍රශස්ත ගීතයක්.

බන්දුලගේ යහපත් ගතිගුණ...

බන්දුල කියන්නෙ අපුරු පුද්ගලයෙක්. ඉතා සක්‍රියව, කාර්යක්ෂමව නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළී සිටින ගීත රචකයෙක්, ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්. ඔහු තරම් නිර්මාණකරුවන් සමඟ සබඳතා පවත්වන, උදව් කරන කෙනෙක් මට හමු වී නැහැ. මම කියන්නේ සයිබීරියන් දුම්රියේ යනවනම් යායුත්තේ බන්දුල සමඟයි. ඔහු සමඟ කාලය ගෙවද්දී වෙහෙස දැනෙන්නේ නෑ.

ඔහුට පුදුමාකාර ගීත රසිකත්වයේ උමතුවක්. මතකයක්. තියෙනවා. දිය වැලක් ගලනවා සේ ඔහුට අනවරත මතකයක් ති‍යනවා. අපේ ප්‍රවීණ නිර්මාණකරුවන් වෙත මොන වැරැද්ද කළත් ඔවුන්ගේ නිර්මාණ හා බැඳුණු සෙනෙහස තුළින් ඔවුන් කෙරෙහි ගෞරවය පෙර පරිදිම කියන බව බන්දුල පවසනවා. කලාකරුවන්ගේ දුක සැප බලන්න ඔහු දුර පළාත්වල පවා යනවා. බිරිය සුභාෂිණීගෙනුත් ඔහුට ලැබෙන්නේ හොඳ සහායක්.

ඔබ වඩාත් අගය කරන්නේ බන්දුල නම් වූ කවියාටද ගී පද රචකයාටද, ලේඛයාටද මේ සියල්ලටමද ?

ඔහුගේ මේ හැම අංශයකටම කැමැතියි. ඔහුගේ ජීවන අත්දැකීම් ‘එනු කොයි සිට...යනුවෙන් කවියෙන් ලීවා. ගී රචනා කලාව රසාලිප්තයි. ප්‍රේමකීර්තිගෙන් පසු ගුවන්විදුලියේ බන්දුලගේ රෑ ඉරපාන වැඩසටහන ගීත රසිකත්වයේ සුන්දර පිළිබිඹුවක්..

බන්දුලගේ අඩුපාඩු එහෙමත් ඇතිනේ...

අසීමාන්තික රසිකත්වය, ඒ නිසා ඇතිවන කැපවීම, උදවුපදවුවල අපරිමිත බව නිසාම යම් යම් අවස්ථාවල හිත් රිදවීම්, ආර්ථික පාඩු ඔහුට සිදුවෙලා තියෙනවා. මේ ගැන වැඩිහිටියකු ලෙස යම් යම් දේ මම කියාදීලා තියනවා.

බන්දුල දෛවය විශ්වාස කරනවද? බෞද්ධාගමට නැඹුරුද ?

මා දන්නා ලෙසට ඔහුට ජ්‍යෙතිෂ නැඹුරුවන් නෑ. ඔහු හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ධර්මයේ සාරය ජීවිතයට ආවේශ කරගෙන සිටින කෙනෙක්. අනුන්ට උදව් කිරීම, ළෙන්ගතු භාවය, දුකේදී කම්පාවීම ආදී නියම බෞද්ධ ප්‍රතිපදාවක් බන්දුල තුළ තියනවා.

මා තුළත් ජ්‍යෙතිෂ නැඹුරුවක් නෑ. ඒත් බෞද්ධාගමිකයකු ලෙසින් බුදු සමයේ ජීවිතයට එකතු කරගත් හර පද්ධතියක් තියනවා. මගේ දරුවෙක් එයාලගේ දරුවෙකුගේ කේන්දරය බැලුවාට මම අකැමැති නැති වුණාට මම කේන්දරය බලලා නෑ.

ඔබ නව නිර්මාණයකට අමුද්‍රව්‍ය සොයාගන්නේ කෙසේද? ජීවන අත්දැකීමෙන්ද? පරිකල්පනයෙන්ද?

මානව ප්‍රේමය ගැන, තරුණ කාලේ සමාජ අනුභූතීන්, ගෘහස්ථ ජීවිතයේ සංවේදී හැඟීම්, අත්දැකීම් ලැබුණා. නවකතාකරුවෙක්, කවියෙක්, ගීත රචකයෙක් මුලින් තමන්ගේ භාව ප්‍රකාශනයන් නිර්මාණ තුළින් මුදාහරිනවා. පසු කාලීනව ඒ ඒ ගායකන්ගේ පෞරුෂයට අනුව සුදුස්සක් මතක ගබඩාවෙන් හරි සමාජයෙන් උකගා ගත් අත්දැකීමෙන් හරි ලබා දෙනවා.

ගීත රචනා කල‍ාවේ හෙට දවස ඔ‍බේ ඇසින්...

ගීතයේ පරිහානිය ගැන කනස්සල්ල වැඩියි. රූපවාහිනීයේ රූප රචනා කරලා විකාශය වන ගීතවල අවරගනයේ අදෝනාවක් ඇසෙනවා. ඒ අතර හොඳ ගී පද රචකයෝ බොහෝම අසීරුවෙන් නැගිටින්න හදනවා. 70 දශකයේ ජාතික ගුවන්විදුලියෙන් ප්‍රවිණයෝ නිර්ලෝභීව නිස්සරණාධ්‍යශයෙන් කලාවට කැපවුණා. අද නොමේරූ නිවේදක නිවේදිකාවන් ගීත රචකයින්, වැඩිවෙලා. ඒත් තරුණ රසඥත‍ාවය පිරිහිලා නෑ.


කුලරත්නයන් ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නේ නෑ‍

බන්දුල නානායක්කාරවසම්

මොනවද මේ දවස්වල තොරතුරු...

කොමර්ෂල් බැංකුවේ වසර 38 නිමාකළේ. අන්තිමට ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ ඉඳලා. මම දැන් හෝමාගම හරිත සරසවි නගරයේ, සංස්කෘතික කටයුතු හා මාධ්‍යය අධ්‍යක්ෂ ලෙස වැඩ කරනවා. පිටරට විශ්ව විද්‍යාල පහක් හා සම්බන්ධ වී උපාධි ලබාදෙන ආයතනයක්. මගේ කලා කටයුතුවලටත් හරිම පහසුයි. මෑතකදී මා ලියු ‘විරාගරාගය’ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

පවුලේ විස්තර එහෙම....

මම ගාල්ලේ වැකුණගොඩ.මාතරින් විවාහ වුණේ. ඇය සුභාෂිණී. ලොකු දුව සුනෙරි ස්වර්ණචාපා. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාව ඇතුළත්ව උපාධිය හදාරලා සංචාරක සමාගමක කළමාණාකාරිනියක් ලෙස කටයුතු කරනවා. ඇගේ සැමියා තුෂාර සේනාරත්න කළුතර මහ රෝහලේ වෛද්‍යවරයෙක් දෙවැනි දුව තරුවි මිහිසර‍ා උසස් පෙළට ලහි ලහියේ සූදානම් වෙනවා.

කුලරත්න ආරියවංශයන් මුලින්ම හමු වෙන්නේ..

ඒ කාලේ මම කවි ලියනවා. මගේ පළමු කවිය පළවුණේ ‘මිහිර’ පත්තරේ. සිළුමිණ කවිමුතු තීරයෙන් නිතර කවි පළවුණා. මම සිංග්ලංකා එකට ගියේ රෝහණ වීරසිංහ‍යන් හමුවන්න. එතැනදී තමයි මට කුලරත්න ආරියවංශයන් හමුවන්නේ.

ගීත රචනා කලාවේ කුලරත්න ආරියවංශයන්ට හිමි තැන ...

පැරණි ගී පද රචනා කලාවේ විදග්ධයන් අතරට වර්තමාන අනුප්‍රාප්තිකයා ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහුට ගීත රචකන් අතර. වෙනම භූමිකාවක් තිබුණා. කුලරත්නයන්ගේ භාෂා රටාව ළයාන්විතය. සරල සුගමයි. රසික හද බැඳගත් ගී පදවැල් රැසක් ඔහුගේ පන්හිදෙන් ලියැවී තිබෙනවා.

ඔබ ප්‍රිය කරන ඔහුගේ ගී පදවැල්...

මුළු ලොවම නැති වුණත් එකම හදවතක්, සිනා දොලක් වන් සිනාමලී , කල්පනා වනේ, ඔබගේ සෙවනේ, චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා, රාත්‍රිය උදාවුණා, මේ පුංචි රටේ, වලා තීරයෙන් එහා, පාවෙනා නිල්වලාවේ, සඳ හොරෙන් හොරෙන්, පුංචි සිතේ පුංචි සිනා, සඳ තරු නිහඬයි, සිතට දැනෙන මේ ළතැවුල්, මට මුළු ලොවම ඔබයි, ඔබේ දෙපා දොවා, සෙනෙහස විඳිනට, නාමල් පිපිලා, සීත අරණේ, අවපස අහසක, පිණිබර මලක් ‍වගේ, හිදීවි කොතැනක හෝ, වගේ ගීත ඒ වගේම සමහර ගායක ගායිකාවන්ගේ කඩඉම් ගීතත් ඔහු රචනා කළා. මේ උයන් තෙරේ එදා ඔබ මෙහි නොආවානම් සිනා පොදක් වී, සිතක් කෙළෙසද මේ තරම්, හිඳීවි කොතැනක හෝ. එවැනි කඩ ඉම් ගීතයි. ඔහු හුදු ප්‍රේම ගීත පමණක් නෙමෙයි. මානව දයාවෙන් පිරි ගීතක් රචනා කළා.

ඔබ දකින ඔහ‍ුගේ යහපත් ගතිගුණ.

එයා ලෝකෙටම කෑගහලා මම හොඳයි මම අනුන්ට උදව් කරනවා කියලා කියන කෙනෙක් නෙමෙයි. නමුත් එයා දියට බසින හංසයෙක් වගේ උදව් කරනවා. ක්ෂේත්‍රයේ ඇත්ත අගය කරනවා.

සහෘදයෙක්, සංගීත ප්‍රේමියෙක්, හොඳ රසිකයෙක්, නොවී හොඳ ගී පද රචකයෙක් වෙන්න බෑ. ඔහු අහිමි වූ දේවල් ගැන කිසිම හේතුවකටවත් දුක් වෙන්නෙ නැහැ. කිසිම මැසිවිල්ලක් නැති කෙනෙක්. තරගයට අහු නොවුන කෙනෙක්. තවත් කෙනෙකුගේ ජයග්‍රහණ අගය කරන කෙනෙක්. තමන්ට ලොකු අසාධාරණකම් වුණත් නොතැවෙන කෙනෙක්. පුවත්පත් ඉන්ටවිව් ඉල්ලුවාම එයා හුඟාක් වෙලාවට දෙන්නේ නෑ. පස්සට යනවා. ඒ බැරිකමට නෙමෙයි උනන්දුවක් නෑ. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැ. තරමක කම්මැලි කමක් තියනවා. සමහර අවස්ථාවල උකටලියි. එයා නොදන්න දේ කතා කරන‍්නෙ නෑ. හැබැයි තරුණ කාලේ එහෙම නොවෙයි කියලත් අපි දන්නවා. ඒත් අද වේගවත් ගමනක් නෑ.

කුලරත්නයන් ආගමට ළැදිද? ජ්‍යෙතිෂයට නැඹුරුද? ඔබ කොහොමද?

මම නම්, පොඩිකාලේ හඳහන විසි කරලා දැම්මා. තේරුමක් නැති ඇදහිලි ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. ඒත් හදහන නොබලා අපි විවාහවෙලා සුභාෂිණීයි මමයි අවු : 29 හොඳ විවාහ ජීවිතයක් ගෙවනවා බුද්ධ දර්ශනය විශිෂ්ටයි.මිත්‍යා මත අවිද්‍යාත්මක දේවල් නිරීක්ෂණය කරමින් සිටින සැබෑ බෞද්ධයෙක් මම. කුලරන්නයන් හොඳ බෞද්ධයෙක්. ඔහු යෝග භාවනා කරනවා. භක්තිවන්ත සිතක් තියන අන්‍ය ආගම්වලටත් පහර ගසන්නෙ නැති කෙනෙක් තමයි. ඔහු තුළින් මා දකින්නේ.

වර්තමාන ගී රචනා කලාවේ හෙට දවස ඔබේ දෑසින්...

නිර්මාණ ඕන තරම් බිහිවෙනවා. නමුත් විශිෂ්ට නිර්මාණ කරුවන් හමුවන්නේ කලාතුරකින් ..ඒ වගේම නිර්මාණ අගය කරන සත්පුරුෂයන් හමුවන්නෙත් අහම්බෙන්. අපේ කාලයේ ප්‍රවීණයෝ අපේ නිර්මාණ අගය කළා. හෙට දවසේ නිර්මාණ ගැන සාතිශය කනගාටුවක් තියෙන්නේ. ඒත් ඒ ගැන හිත හිතා දුක් වෙන්නේ නෑ. අයියෝ දැන් ඇති කියලා අ‍ෙප් ලිවිල්ලත් අතහැර දාන්න හොඳ නැහැ.

 

Comments