දුන් ණය ජීවිතයෙන් පියවා ගන්නා උතුරේ මාපිල්ලු | සිළුමිණ

දුන් ණය ජීවිතයෙන් පියවා ගන්නා උතුරේ මාපිල්ලු

මුළු ජීවිතය පුරාවට ම හරි හම්බ කළ සියලු දේ යුද්ධයෙන් විනාශ වී ගිය ගැහැනියකුගේ ජීවිත අපේක්ෂා වෙනස් ය. ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඔවුන් අතින් ගිලිහී ගිය ජීවිතය හැකි උපරිම වේගයකින් යථාවත් කර ගැනීම ය.

එහෙත් උතුරේ අසරණ ගැහැනුන්ගේ ඒ උන්නතිකාමී ප්‍රාර්ථනා අවභාවිත කළ අමනුෂ්‍යයෝ පිරිසක් උතුරේ ඛේදවාචයක් නිර්මාණය කළහ. උතුරේ අසරණ ගැහැනුන් කරවටක් ණය බරෙහි ගිල්වූ, විටෙක ඔවුන් ලිංගික වහලියන් බවට පත් කළ, අවසානයේදී සියදිවි හානි කරගන්නා මට්ටමට ඇද දැමූ ඒ බිහිසුණු කතාව පෙළ ගැසෙන්නේ උතුරේ ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්ය වටා ය.

උද්ඝෝෂණය

මනාව හැඳ පැලඳගත් යෞවනයන්ගෙන් සමන්විත මේ මූල්‍ය සමාගම්වල නියෝජිතයන් පිරිස් ගම් දනව්වල සංචාරය කරන්නේ සිකුරාදා දිනයන්හි ය. සිහින මවා දී, ගිනි පොලියට ඔවුන් විසින් ලබා දුන් අවිචාරවත් ණය මුදල් නිසා ණය බරින් ගිලී ගිය උතුරු නැගෙනහිර පළාත්වාසී දුගී, නූගත් මනුෂ්‍යයන් 62 ක් පසුගිය වසර දෙකහමාර තුළ සිය දිවි හානි කරගෙන තිබේ. ඉන් පනස් හතර දෙනෙක්ම කාන්තාවෝය; ඒ කාන්තාවන්ගෙන් විසි නව දෙනෙක් කිලිනොච්චියේ ය; දස දෙනෙක් මුලතිව් දිස්ත්‍රික්කයේ ය; වවුනියාවේ හය දෙනෙකුත් ඒ අතර ය. ගෙවා ගත නොහැකි වූ ණය ලේ මස්වලින් ගෙවූ ගැහැනු බොහෝය. ඒ අසම්මත ඇසුරු හෙළි වී අවුල් වී ගිය පවුල් ගණනකුත් මේ ව්‍යසනයට ඇතුළත් ය.

දෙපා මුලට ඇවිත් එසැණින් ණය දෙන නිසා මුලින් දෙවිවරුන් සේ දුටු මේ අමුතු මහත්වරුන්ට එරෙහිව දැන් උතුරේ මිනිස්සු වීථි බැස සිටිති. රාජ්‍ය නිලධාරීන්ටත් මහ බැංකුවේ නිලධාරීන්ටත් එරෙහිව ඔවුන් කළ උද්ඝෝෂණයක් දකින්නට ගියෙමු.

විරෝධතාව ඉස්සරහින් ම සිටි පිරිමි පුද්ගලයා ඔවුන්ගේ දුක කියමින් මුලින් ම බැණ වැදුණේ ඔහුගේ ම බිරියට ය. බිරියට බැණ වදිමින් ඔහු ඔවුන්ගේ දරු පවුලට සිදු වී ඇත් නැස්පැත්තිය විස්තර කළේ ය.

''බලන්න මහත්තයෝ මේ ගෑනුන්ට මොළේ කියන එක බින්දුවක්වත් නෑ. එහෙම තිබුණ නම් අද අපිට මෙහෙම වෙන්නේ නැහැ. ණය දෙන්න කියලා තරුණ කොල්ලෝ දෙන්නෙක් ගෙදරට ඇවිත් තියනවා. අපි ණය අරන් කොහොමද ගෙවන්නේ කිව්වම ඒ අය කියලා තියෙන්නේ අපි ණය දෙන්නේ වෙන අය වගේ නෙමෙයි. ගත්ත ණයට අපි පොලී අය කරන්නේ සත ගණන් වලින් කියලා. ''

“මේ ගෑනිත් කතාව අහගෙන ඉදලා එහෙනම් අපිටත් රුපියල් 10000 ක ණයක් දෙන්න කියලා ණය ඉල්ලගෙන. මේ ගෑනි මටවත් කිවුවේ නෑ. එක සිකුරාදා දවසක හැන්දෑවේ කොල්ලෝ දෙන්නෙක් ආවා මෝටර් සයිකල් එකක නැගලා. ඒ එක්කම මේ ගෑනි පෙට්ටියේ තිබුණු පොතකුත් අරන් ගියා.”

 සැමියකුගේ කතාව

“පැයක් විතර ගියා ගෑනි ගෙදරට ආවේ නැහැ. මම වෙන්නේ මොකද කියලා බලන්නත් එක්ක කඩේ පැත්තට ගියා. ඒ ආව කොල්ලෝ දෙන්නව වට කරගෙන ගෑනු විස්සක් තිහක් විතර මහා හයියෙන් මොනවදෝ කියවනවා; මම ඇහුම්කන් දුන්නා. ඒවුණාට මට තේරුණේ නැහැ මොකද්ද එතැන වෙන්නේ කියලා.”

“එක දවසක් මම වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගමේ හන්දියේ කඩේ අක්කා මට කිව්වා අපේ මනුස්සයා ණයට රුපියල් දාහක් ඉල්ල ගත්තා ඒක ආපහු දුන්නේ නෑ කියලා. මම ඇහුවා බඩු ද ගත්තේ සල්ලි ද කියලා; එයා කිවුවා සල්ලි කියලා. ”

''හොඳයි මම මොනව හරි කරන්නම් ''කියල ඒ අක්කට කියලා ගෙදර ඇවිත් අපේ කෙනාගෙන් ඇහුවා මොකද්ද මේ ණය කතාව කියලා.

“ඊට පස්සේ තමයි එයා මට කිව්වේ මහත්තුරු ඇවිත් අපිට සමිතියක් තියලා ණය දෙනවා. මමත් එතැනින් රුපියල් දහදාහක් ගත්තා. මගෙ යාළුවටයි මටයි වාරික ගෙවන්න සල්ලි නැති නිසා තමයි ණයට සල්ලි ගත්තේ කියලා.”

“ණය අරන් මොනවද කළේ කියලා ඇහුවම එයා කිව්වේ බැංකුවේ උකස් තියලා තියන රත්තරන් බඩු වලට පොලී ගෙව්වා කියලා. මට ඒ රිසිට් ටිකත් පෙන්නුවා.”

“මම මේ කතාව පහුවදා මගේ යාළුවන්ට කියන කොට ඒ හැම කෙනාගෙම නෝනලා රුපියල් 5000, 10000 වගේ ගණන් ණයට අරගෙන තියනවා. 20000ක් ගත්ත අයත් ඉන්නවා.”

“ඉතිං මම ඇහුවා ආදායමක් නැතුව ඉන්න උඹලා ණය වෙලා කොහොමද මේ ණය ගෙවන්නේ කියලා. එයාලා කිව්වේ සතියකට එක දවසක් ගත්ත ණයෙන් බොහොම ටිකයි ගෙවන්න වෙන්නේ කියලා. මමත් ඔහේ ඕනේ එකක් කියලා හිතලා නිකන් උන්නා.”

“ටික දවසක් ගිහින් බලනකොට ගෙදර උන්දැගේ කරේ තිබුණු මාල පොට නෑ. මම අහුවම නංගිට දුන්නා කිව්වා; මට සැක නිසා ඇහුවම එයා නෑ කිව්වා. අහගෙන අහගෙන යනකොට තමයි කිව්වේ ගත්ත ණය ගෙවන්න විදිහක් නෑ කියලා උකස් තිබ්බා කියලා.''

“කොහොම හරි අන්තිමේට මම ඒ ණය දෙන්න එනවයි කියන කොල්ලෝ හම්බ වෙලා කොච්චර ගෙවන්න ඕනෙද කියලා අහලා බැලුවා. එයාලා කිව්වේ ගත්තේ රුපියල් දහ දාහක්. දැන් මාස පහක් ගෙවලා තියනවා. තව ඉතුරු රුපියල් 8700 කුයි ඒකට පොලිය රුපියල් 990 කුයි එකවර දෙනවා නම් ණයෙන් නිදහස් කියලා; මට ඒ කොල්ලෝ දෙන්නටම අල්ලගෙන තඩි බාන්න හිතුණා. ඒත් වැඩක් නෑනේ මහත්තයෝ මේ ගෑනිගේ මොළේ නැති කමනේ.”

“මම පහුවදා මම වැඩ කරව කොන්ත්‍රාත් මුදලාලි ළගට ගිහින් වෙලා තියන දේ කිව්වා. එයා මට රුපියල් දහ දාහක් දෙන්න පොරොන්දු වෙලා දුන්නා. මම එයා ළඟ මේසන් වැඩ කරන්නේ. එයා දවසකට මට දෙන රුපියල් 1400 ක පඩියෙන් 500 ක් කපාගෙන ඉතුරු එක දෙනවා. ගෙදර ගෑනි ගත්ත ණයෙන් මම ඒ ගෑනි ව නිදහස් කළා; දැන් මම ණය කාරයෙක් වුණා. මෙතැන ඉන්න හැමෝම මේ උගුලට අහුවුණු අය තමයි.”

විනාශය වන හැටි

විරෝධතාව සංවිධානය කොට තිබුණේ ස්වේච්ඡා සංවිධාන රැසක් විසින් ය. මේ ණය උගුලට අසුවුණු පිරිස ඒකරාශී කොට ඔවුන්ට නායකත්වය ලබා දී තිබුණේ ද ඒ ස්වේච්ඡා සංගම් කීපයකි.

ඒ එක් ස්වේච්ඡා සංවිධානයක ක්‍රියාකාරී නිලධාරියා කාලයක් ම රජයේ බැංකුවක සහකාර කළමනාකාර ධුරය දරා පසුව විශ්‍රාම ගිය එස්. චන්ද්‍රකුමාර් නැමති අයෙකි.

ඔහු මේ ණය කතාව ආර්ථික විද්‍යාවටත්, බැංකු ක්‍රමයටත් අනුව විස්තර කළේ විරෝධතාව අතරතුර ය.

''පෞද්ගලික මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වලට පැමිණ සිටිනවා. ඔවුන් මුලින්ම නිවෙස් වලට පැමිණෙන්නේ උදව් උපකාර ලබාදෙන පිරිසක් විදිහටයි. මේ අය ගොඩාක් වෙලාවට ගෙවල් වලට පැමිණෙන්නේ ගෙවල් වල ගෘහමූලිකයන් නැති අවස්ථාවලදීයි. ''

''මේ අය ගොඩ දෙනෙක් සේවය කරන්නේ කොමිස් මුදලක් මත නිසා ඔවුන් බලන්නේ කොහොම හරි ණය මුදලක් ඇඟේ ගහන්නයි. ඔවුන් මේ ණය ක්‍රමය හඳුන්වන්නේ ක්ෂුද්‍ර ණය කියලයි. තනි කෙනෙකුට මේ ක්ෂුද්‍ර ණය ගන්නත් පුළුවන්. ඒත් ඒකෙදි අය කරන පොලිය ඉතා විශාලයි. අපි එක තැනක දැක්කා සියයට හැත්තෑ දෙකක පොළියක් අය කරලා තිබුණා. ''

''ගොඩාක් අය මේ ණය ගන්නේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා. එතකොට මේ ක්ෂ්ද්‍ර ණය කණ්ඩායම් ක්ෂ්ද්‍ර ණය වශයෙන් හඳුන්වන්නේ. අපේ රාජ්‍ය බැංකු ක්‍රමය තුළ මේ සංකල්පය අඩුයි. ඒත් පෞද්ගලික බැංකුවලත් වෙනත් මූල්‍ය ආයතනවලත් මේ ක්‍රමය භාවිත වෙනවා.”

“මේකෙදි වෙන්නේ ඒ එකතුවෙන කණ්ඩායම් වලට ණය මුදලක් ලබා දීමයි. ඒවගේ වාරික එකතු කරන්නේ සතියකට වතාවකුයි. ඒ වාරික මුදල ගෙවන්න අනිවාර්යෙන්ම සාමාජිකයා එන්න ඕනේ වෙනවා. එතැන පුංචි රැස්වීමකුත් තියනවා. වාරික නොගෙවූ අයට මෙතනදි ඒ එන අය හොඳටම බණිනවා. සෙනඟ මැද ඔවුන්ව අඩු තක්සේරුවකට දාලා කතා කරනවා. නොපැමිණි කෙනාට ඇප වුණු අයගේ වාරික බාර ගන්නේ නැහැ. මේ නොපැමිණීම වෙනුවෙන් වෙනම දඩයක් අය කෙරෙනවා. ''

''ඒ අය වැඩකරන්නේ කොමිස් මුදලකට නිසා අදාළ මූල්‍ය ආයතනයට නියම ණය මුදල පියවන ගමන් මේ නියෝජිතයෝ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට දඩ ගහලා ප්‍රමාද ගාස්තු අයකරලා තවත් කීයක් හරි හොයා ගන්නවා. '' ''මමත් කාලයක් ම මේ බැංකු කේෂේත්‍රයේ සිටිය නිසා කියන්නේ ඕනෑ ම බංකුවක් මිනිස්සුන්ට ණය දෙන්නේ පොලියක් අමතර ආදායමක් බලාපොරොත්තුවෙන් තමයි. එත් මෙතැන තියන අවුල පොලිය ඉතාම විශාල වීමයි. අනෙක් කාරණය සුළු අතපසුවීම් වලදි මේ අය පොලියට පොලියක් අය කරනවා. අවසානෙදි ණය ගෙවා ගන්න බැරිව එක්කෝ ගෙදර තියන දේවල් විකුණලා ණය ගෙවනවා. ණය ගෙවන්න විදිහක් නැතුව ඉන්නකොට පොලීසියට යනවා කිව්වම එක්කෝ වහ බොනවා. නැත්නම් ළිඳේ පනිනවා. '' උතුරු නැගෙනහිර පළාත් වල කාන්තාවන් හා පිරිමින් හැට දෙදෙනකු මරණයට පත් කළ මේ ණය උගුලට හසුව සිදු වන පළමු වැනි මරණය වාර්තා වන්නේ මීට වසර දෙකහමාරකට පෙර ය. ඒ වවුනියාවේ තාණ්ඩික්කුලම පළාතේදී ය.

කාන්තාවක් මේ මූල්‍ය ආයතනයකින් රුපියල් 5000ක ණය මුදලක් ලබාගෙන ඒ ණය මුදල ගෙවීමට නොහැකිව සිටියදී නිවසට පැමිණි නිලධාරියෙකු පවසා අත්තේ ලබන සඳුදාට පෙර ණය මුදල නොගෙවන්නේ නම් එදිනට ඇයව පොලීසියට රැගෙන යන බව ය.

බියට පත් කාන්තාව කළේ ඉරිදා මහ රෑම තම දරුවන් තුන්දෙනාත් සමග සැමියාට හොරෙන් නිවසින් පිටවීම ය; ඇය මහ කළුවරේ ම නිවසට ඉඩම් කීපයකට දුරින් පිහිටි ළිඳක් වෙත ගියා ය. වරකට එක් දරුවා බැගින් ළිදට දරුවන් තුන්දෙනාම ළිඳට දැම්මා ය; අනතුරුව ඇය ද ළිඳට පැන්නා ය. ජීවිත හතරක් විනාශ කර තිබුණේ ගෙවා ගැනීමට බැරි වූ රුපියල් පන්දහසක් ය; අප පය ගසා සිටින්නේ එවැනි පොළොවක ය.

පාල්මු සිද්ධිය වන විට පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ය. ඔහුගේ ගම් ප්‍රදේශයද වවුනියාව ම ය. මිය ගිය කාන්තාව ඇතුළත් වූ මුල් පවුල ගැන ඔහු ඉතා හොඳින් තොරතුරු දැන සිටියේ ය.

උදෑසන ම ළිඳට එබී බැලූ අමාත්‍යවරයා කම්පාවට පත්වූවා පමණක් නොව දැඩි කෝපයකින් යුතුව පොලීසියට කතා කළේ ය. මේ මූල්‍ය ආයතනය මරණ හතරට ම වගකිව යුතු නිසා ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලා සිටියේ ය.

පොලීසිය ද අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටු කළේ ය. අවසානයේදී මූල්‍ය සමාගම් වල පිරිස් කියා සිටියේ ඔවුන් බලහත්කාරයෙන් ඒ කාන්තාවට ණය මුදල් ලබා නොදුන් බව ය. ඇගේ කැමැත්ත හා ණය ආපසු ගෙවන පොරොන්දුව මත ඇපකරුවන් ඉදිරිපත් කොට ඇය ණය මුදල් ලබාගෙන ඇති බව කී මූල්‍ය ආයතනයේ නිලධාරීන් ඇය විසින් අත්සන් තබන ලද කොන්දේසි හා වගන්ති ඇතුළත් ලිපි ගොනුවද පෙන්වා සිටියේ ය.

අවසානයේදී ඔවුන් කියා සිටි කතාව ඒ අසල සිටියවුන්ගේ හදවත් පසාරු කරගෙන යන කතාවක් විය.

ණය මුදල් ගෙවීම පැහැර හැර ළිඳට පනින ලද කාන්තාවගේ ලිඛිත ප්‍රකාශ අනුව ඇයට අයත් ඉඩම වෙන්දේසි කොට ණය මුදල අය කරගැනීමට නීතිය මගින් ඔවුන්ගේ සමාගමට ඉඩ ඇති බව මූල්‍ය සමාගම් වල නියෝජිතයෝ කියා සිටියහ.

එසේ කියා සිටියේද මරණ පරීක්ෂණය සඳහා පැමිණ සිටි දිසා විනිසුරුවරයා ඉදිරියේදී ම ය. මේ හේතු මත පොලීසියට මූල්‍ය සමාගම් වල නිලධාරීන් අධිකරණය වෙත ඉදිරිපත් නොකර ම නිදහස් කිරීමට සිදු විය.

එක පෙළට තබා තිබූ මරණ හතරක් දෙස බලමින් රුපියල් 5000 ක් වැනි ණය මුදලකට ඔවුන් ඒ කතාව කෙසේ කීවේ දැයි යන්න අදටත් සිතා ගැනීමට නොහැකි තත්ත්වයක් වුවත් මූල්‍ය සමාගම් වල මානුෂීයභාවය තේරුම් ගනීමට ඒ සිද්ධිය හොඳට ම ප්‍රමාණවත් විය.

 සිය දිවි හානි කරගැනීම

“මේ සේරම අය මියගියේ රුපියල් විසි දහසකට වඩා අඩු ණය මුදලක් නිසයි. ණය ගෙවා ගන්නට බැරිකමට වඩා මේ අයට ඒ නිලධාරීන් කියන කතා ඉවසගෙන ඉන්න බැරිවයි සියදිවි හානි කරගෙන තියෙන්නේ. මේක මහාම මහ බරපතළ අපරාධයක්. මේ හැම මනුෂ්‍යයෙක් ම යුද්දෙන් සේරම දේවල් නැති වුණු මිනිස්සු. මේ දියත් වෙලා තියෙන්නෙ ඉතා අමානුෂික ව්‍යාපාරයක්” එසේ කියන්නේ උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් ය.‍

“මෙතැන ආණ්ඩුව පැත්තෙනුත් ලොකූ අඩුවක් තියනවා. රුපියල් 5000 ක් 10000 ක් වගේ පොඩි ණය මුදලක් අවශ්‍ය වෙන අයට ඒ ණය මුදල ගන්න රාජ්‍ය අංශයේ තැනක් නැහැ; ඒ තියන තැන් වලින් ඉල්ලන ඇප දෙන්න මේ අයට නැහැ; ඉස්සර සමුපකාර ග්‍රාමීය බැංකු වලින් එහෙම ණය දුන්නා, මිනිස්සුන්ට සමුපකාරයෙනුත් ණය දුන්නා; මිනිස්සුන්ට පොඩි පොඩි ණය ගන්න ක්‍රමයක් ඇති වෙන්න ඕනේ.”

“ඒ වගේම තමයි ආණ්ඩුව මේ මූල්‍ය ආයතන ලියාපදිංචි එව්වද කියලා හොයලා බලන්න ඕනේ. ඒ මූල්‍ය ආයතන මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන මිනිස්සුන්ව රවට්ටලා පැනලා ගියාට පස්සේ තමයි පොලිසියයි මහබැංකුවයි කියන්නේ ඒක ලි‍යා පදිංචි එකක් නෙමෙයි කියලා. ”

සංකීර්ණ බැංකු කටයුත්තක් නොවන නිසාත්, ඉතා ඉක්මනින් ම කටයුතු සිදුවන නිසාත් ණය මුදල දෙපාමුලටම රැගෙනවිත් දෙන නිසාත් ජනතාව ක්ෂුද්‍ර ණය ලබා ගැනීමට තමන් ළඟට ම එන මූල්‍ය ආයතන තෝරා ගන්නේ දෙවරක් නොසිතාය.

උතුරේ ජනතාවගේ විරෝධය නිසාම මේ මහා ව්‍යසනය පිළිබඳ ව මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. නමුත් මේ දිනවල උතුරු පළාතට පැමිණෙන මහ බැංකුවේ නිලධාරීන් ජනතාව දැනුවත් කරමින් කියා සිටින්නේ ණය මුදල් ලබාදෙන ආකාර හා ණය මුදල් ලබා දෙන මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන පිළිබඳ ව පමණි.

රජය කළ යුත්තේ ජනතාවට ඉතා පහසුවෙන් කුඩා කුඩා ණය මුදල් ලබා ගැනීමට අවස්ථා ඇති කොට මේ උතුරේ ජනතාව ක්ෂුද්‍ර ණය හා වෙනත් ණය උගුල්වලින් අසරණයන් බේරා ගැනීම ය.

අදහස්