භාරතයේ තෙළඟනා ප්‍රාන්තයේ ගම්මාන කිහිපයක ජනතාව කොටි තර්ජනය නිසා පීඩා විදිති. කපු සහ පරිප්පු වගා කරමින් දිවිගෙවන මේ ජනතාවගේ ජීවිතවලට උදා වී ඇති කලදසාව ගැන සටහනකි මේ.
තෙළඟනා ප්‍රාන්තයේ මාරක කොටි කටක ජීවත් වන ගම්මාන කිහිපයක ජනයා ඉන්දීය රජයෙන් පදිංචියට ආරක්ෂිත ස්ථාන යදිති. මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටින්නේ තෙළඟනා ප්‍රාන්තයේ මන්චේරියල් දිස්ත්‍රික්කයේ ගම්මාන පහක වෙසෙන පවුල් සිය ගණනකට අයත් පිරිසකි. ගම්මාන පහේම වාසය කරන්නේ ගොවිතැන් බතක් කරගෙන සරල දිවි පෙවෙතක් ගත කරන ගම්මුන්ය. ඔවුන් කොටින්ගේ දත් විළිස්සීමට හසුවන්නට පටන් ගත්තේ කවාල් අභය භූමිය කොටින් සඳහා ම වෙන් කළ රක්ෂිතයක් බවට පත් කිරීමත් සමඟයි. මේ පරිවර්තනය කෙරුණේ 2012 වසරේදී ය.
කවාල් අභය භූමිය, තෙළඟනාහි උතුරුදිගට වන්නට පිහිටි පැරණිතම අභය භූමියකි. කවාල් වන බද පෙදෙස වෘක්ෂලතාදියෙනුත් සත්ත්ව ගහනය අතිනුත් පෙහොසත් පෙදෙසකි. ගෝදාවරී සහ කදම් ගංඟා ද්වයෙහි ජලධාරක ප්‍රදේශය වන්නේ ද යට කී වනාන්තරයයි. අභය භූමියට යටත් පෙදෙස වර්ග කිලෝමීටර 893කට අධික ය. වන බිම පැතිර ඇති ප්‍රදේශයේ විශාලත්වයත්, එහි ජීවත්වන වන සතුන් ප්‍රමාණයත් සැලකිල්ලට ගත් ඉන්දීය වනජීවී බලධාරීහු එය කොටින් සඳහා වෙන් කළ සංරක්ෂිතයක් ලෙස නම් කළහ. ඉන්දීය බලධාරීන් මේ තීරණයට එළැඹියේ වනාන්තරය අවට ඒ වනවිට ස්ථාපිතව තිබූ ගම්මාන සහ ඒවායේ ජීවත්වන ජනයාගේ ජන ජීවිතය ගැන කිසිඳු තැකීමකින් තොරවය. එය කෙතරම් භයානක තත්ත්වයක්ද යත්, රක්ෂිතය මධ්‍යයෙහිම හුෙදකලා බවට පත් ගම්මාන දෙක තුනක ජනයාට මේ තීරණයෙන් කිසිදු හවුහරණක් නැති විණ. මයිසම්පෙට් යනු එවැනි එක් ගම්මානයකි. හතර වටින්ම රක්ෂිතයෙන් වටවුණු එහි වැසියන්ගේ ජීවිත, ඉන්දීය වනජීවී බලධාරීන්ගේ තීරණය නිසා හදිසියේම අවුල් වන්නට පටන් ගත්තේය.
පවුල් 79කට අයත් පිරිසක් මයිසම්පෙට් ගම්මානයේ ජීවත් වෙති. ගොවිතැනින් ජීවත් වන ඔවුන් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රමාණයක විවිධ බෝග වගා කර අස්වද්දා ඇත. ඔවුන් එහි වැඩිපුරම වගා කර තිබෙන්නේ කපු සහ මයිසූරි පරිප්පු වැනි දෑ ය. මේ බෝග අස්වද්දන්ට හැකි වන්නේ වසරේ එක් කන්නයකදී පමණි. වගා කටයුතු එක් කන්නයකට පමණක් සීමා වී තිබෙන්නේ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතන රටාව පදනම් කරගෙන ය. වර්ෂාපතනය අඩු වුවත් රක්ෂිතය ඇසුරු කරගත් මයිසම්පෙට් ගම්මානය සුන්දරය; නිස්කලංකය. බැලූ බැලූ අත පෙනෙන්නේ තද කොළ පැහැයෙන් බරව සැලෙන අතු ඉති ය. ඒ තුරු ලතාදිය අතරින් ඈතට දිස්වන නිවාස පෙළත් හරිම අපූරු ය. ගම්මුන්ගේ නිවාස තනා තිබෙන්නේ උණ පතුරුවලින් කළ පැදුරු, වේවැල් ආදියෙනි. නිවාස සෙවිලි කිරීමට යොදා ගැනෙන්නේ උණ කොළ ය. ගඩොළින් කළ තැනින් තැන ඇති නිවාස දෙක තුනක් හැරුණු විට අනෙක් බහුතරයක් නිවාස යට කී ලෙස උණ පතුරු සහ උණ කොළ ආදියෙන් තනනු ලැබූ ඒවා ය.
මයිසම්පෙට් මෙන්ම රාම්පූර් ගම්මානයත් පිහිටා තිබෙන්නේ කොටි රක්ෂිතය මධ්‍යයේ ය. මේ ගම්මානවල වැසියෝ තමන්ගේ ආහාර පාන අවශ්‍යතා සපුරා ගැනීමේදී වන සතුන්ගේ මාංසවලට වැඩි තැනක් දෙති. ඒ නිසා ඔවුන් වන සතුන්ට උගුල් අටවා තිබෙනු, දිනපතාම වාගේ දකින්නට පුළුවන. ඔවුන් උගුල් අටවන්නේ වල් ඌරන්, ගෝනුන්, මුවන් වැනි සතුන්ව මරා ගැනීම සඳහාය. ඒ උගුල්වලට කොටින් හසුවීම ද දුලබ නැත. එසේ මියගිය කොටින්ගේ දේහ වනය තුළ තිබී හමුවුණු අවස්ථාත් ඇතැයි කියා කවාල් කොටි රක්ෂිතය භාර වනජීවී නිලධාරීහු පවසති. 2017 සිට මේ දක්වා කාලය තුළ වනජීවී අපරාධ 78ක් එහි සිදුව ඇත. 2015 – 16 කාලයෙදී එහි සිදු වූ වන ජීවි අපරාධ ගණන 84ක් පමණ වේ. කවාල් රක්ෂිතය භාර වන ජීවී නිලධාරීන් පවසන්නේ රක්ෂිතය ආශ්රිත ගම්මානවල ජනයාගෙන් වනජීවීන්ට එල්ල වන අයහපත් බලපෑම වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවකි. තත්ත්වය කෙතරම් දරුණුදැයි කියා කිවහොත් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින වන ජීවීහු ද ගම්මුන් අතින් මරා දැමෙති. කවාල් කොටි රක්ෂිතයේ අධ්යක්ෂ සී.සරවනන් ඒ ගැන කියන්නේ මෙහෙම කතාවකි.
“... කවාල්හි සිදුවුණු සෑම දඩයමක්ම සිදුවෙලා තිබෙන්නේ ගම්මුන්ගේ මස් පරිභෝජනය මුල් කරගෙන. හුඟක් වෙලාවට ඔවුන් එළා ගන්නේ වල් ඌරකු, එහෙමත් නැත්නම් මුවකු වගේ සතෙක්. ක්‍රීඩාවට, විනෝදයට වන සතුන් මරා දමන වගක් මෙහි කොහොමටවත් දක්නට ලැබෙන්නේ නැහැ. මස් පිණිස වන සතුන් එළා ගැනීම ගැන ගම්මුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් අපි පවත්වනවා. ඒ වුණත් තවමත් ඉන්නවා; දඩයම නිසා වැරදිකරුවන් බවට පත්වන පිරිසක්. කවාල් රක්ෂිතය ආශ්‍රිතව ඇති වී තිබෙන තත්ත්වය පාලනය පිණිස අපි තවදුරටත් පියවර ගනිමින් ඉන්නවා. ...” යනුවෙනි.
කවාල් කොටි රක්ෂිතයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම බෙහෙවින්ම වැදගත් ය. එහි ජෛව විවිධත්වය බිඳ වැටුණහොත් එම පරිසර පද්ධතිය ආශ්රිත ආහාර දාම සහ ආහාර ජාලවල මාංශ භක්ෂක ජීවීන්ට සාගතයේ හිඳින්නට සිදුවනු ඇත. එවිට එම මට්ටම්වල ජීවින්ගේ - විශේෂයෙන්ම මාංශමය ආහාර මත පමණක් යැපෙන කොටින් වැනි ජීවීන්ගේ ගහනය අඩුවන්නට ඉඩ තිබේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට ඇති එකම පියවර රක්ෂිතය තුළ හා ඒ අවට ඇති ගම්මාන ඉවත් කිරීමයි.
තමන්ගේ ජීවනෝපාය අත්හැර දමා වෙනත් ප්‍රදේශවල පදිංචිවීමට ඒ ගැමියන් කැමති වේ ද? යන්න මිළඟ ගැටලුවයි. එය පැහැදිලි උත්තරයක් නැති ප්රශ්කි.
පෙන්දෘම් අසුබායි, ජයිනූර්හි සිට මයිසම්පෙට් වෙත පැමිණියේ විවාහයෙන් වසර කිහිපයකට පසු 2012 දී පමණ ය. මයිසම්පෙට්, ඇගේ සැමියාගේ ගම් පළාතයි. ඈ එහි ළඟා වුණේ දියණියන් තිදෙනෙකුත්, පුතුන් දෙදෙනෙකුත් සමඟිනි. ඔවුන් එහි පදිංචිය ඇරඹු 2012 වසරේදීම කවාල් අභය භූමිය, කොටි රක්ෂිතයක් බවට පත් කෙරිණ. අසුබායිලාගේ පවුල සහ තවත් පවුල් රාශියක් මයිසම්පෙට් ගම්මානයෙන් ඉවත් කළ යුතුයි යැයි කියා එවකම වාගේ තීරණය කරන ලදී. එතැන් පටන් විටින් විට එහි පැමිණි නිලධාරීහු අසුබායිලාගෙන් ලියකියවිලිවලට අත්සන් ලබාගෙන ගියහ. පසුගිය හය වසරකට ආසන්න කාලය මුළුල්ලේම රජයේ නිලධාරීහු ගම්මානවල ජනයා වෙනත් ස්ථානවල පදිංචි කරවිය යුතු බැව් කතා කළෝය. එහෙත් සිදු වූ දෙයක් නැත.
කොටි කටේ ජීවිතය ද පහසු නැත. කොයි වෙලාවක හෝ කොටියකු දෙන්නකු ගම්මාන වෙත කඩා වදින්නට පුළුවන. එය කොටි - මිනිස් ගැටුමක් ඇතිවීමට නිමිත්තක් වනු ඇත. ඒ නැතත්, ගම්මුන් අතින් කොටින්ට සහ අනෙක් වන සතුන්ට වන හානිය නිසා නීතිය ගැන මෙලොව හසරක් නොදන්නා ගැමියෝ නිකරුණේ අතරමං වෙති. මේ ගැටලුවට ඇති සුදුසුම උත්තරය යට කීවාක් මෙන්ම රක්ෂිතය තුළ ඇති ගම්මාන ඉන් ඉවත් කිරීමයි. ඒත් ඒ විසඳුම ප්‍රමාද ය. එනිසා මිනිස්සු ද කොටිහු ද තම තමන්ගේ නිවහන් අහිමි වීමේ වියරුවෙන් දෙපසකට වී දැනට කල් මරති.