ඩොන්ගිය | සිළුමිණ

ඩොන්ගිය

ගඟ හැම තිස්සෙ ම ගල­නව. ඒක දන්නෙ නැති දිහෑ­ව­කට ඇදෙන දෙයක්. යන්නෙ කොහෙද කියල දන්නෙ නැතත් ඒක ගල­නව. වැව හෙල්ලෙන්නෙ නෑ. අක්‍රී­යයි. හෙමීට මැරෙ­නව. හැම­දාම මැරි මැරි ඉන්නව. පුන­ර්ජී­ව­න­යක් නෑ. ගඟ කොච්චර කුඩා වුණත් අහස වගේ ලොකුයි. මොකද කවද හරි ඒක මූදට යන හින්ද.

මං හැමදා ම කැමැ­ත්තෙන් හිටියෙ ගලා­ගෙන යන හැඟීම­කට. ඔහේ යන දේකට. ඒක ගල­නව. නිර­න්ත­ර­යෙන් චල­නය වෙනව. ජීව­යෙන් යුතුයි. එනිසා ගඟ හැතැප්ම දෙක­කට එහා­යින් තිබු­ණත් ඒකෙ රහ බලන්න මං කලා­තු­ර­කින් හරි ගියා.

මං පුරු­දු­වෙලා හිටිය වැවේ පීනන්ඩ. අපේ සීය ඒකට බයයි. එයා මාව බලා­ගන්ඩ බෝට්ටු­ව­කට නැගපු අමු­ත්තෙක්ව සූදා­නම් කරල තිබුණ. ඔබ හිතාවි මේ ප්‍රාථ­මික ගමේ තිබු­ණයි කියන බෝට්ටු මොන­වද කියල. ඒක හැඳි­න්වුණේ ‍ඩොන්ගිය කියල. ඒක ගහක කඳක් හාරල හදා­ගත්තු එකක් මිසක් වෙන දෙයක් නෙමේ. ඒක රවුම්. ඒකයි භයා­න­ක­කම. පළ­පු­රු­දු­කා­ර­යෙ­කුට ඇරෙන්ඩ ඒක පදින්ඩ බෑ. ඒක ඕනෑම වෙලා­වක කැර­කිල ගිහිං පෙර­ළෙන්ඩ පුළුවං. සම­තු­ලි­ත­කම ඩිංගක් අඩු වුණොත් ඒකෙ ඉන්න කෙනා ගඟට පෙර­ළෙ­නව.

මම සම­තු­ලි­ත­කම ඉගෙන ගත්තෙ ඩොන්ගිය පැද­ලයි. කිසිම දෙයක උද­ව්වක් ගන්ඩ විදි­යක් නෑ. මං තෝරා­ගත්තෙ “මැද මාවත”. මොකද හරි­යට ම ‍ඩොන්ගිය මැද ඉන්ඩ ඕනෑ නිසා. පොඩ්ඩ එහා මෙහා වුණොත් ‍ඩොන්ගිය පෙර­ළෙ­නව. හුස්ම අල්ලන් නැතුව, දඟ­ලන්නෙ නැතුව, හෙල්ලෙ­න්නැ­තුව සම­බ­රව ඉන්ඩ ඕනැ. ඒ විදි­හ­ටයි ඩොන්ගිය පදින්ඩ හුරු වුණේ.

‍කොච්චර වැරදි කෙරු­වත් ඔය කාලෙ මං දඬු­වම් විඳි­ල්ලෙන් මුළු­ම­නින් ම ආරක්ෂා වෙලයි හිටියෙ. සීය කිසි­දාක කිව්වෙ නෑ ‘මේක කරපං! අරක කරන්ඩ එපා’ කියල. දඬු­වම් දෙනව වෙනු­වට එයා කෙරුවෙ තමන්ගෙ කීකරු සේව­ක­යෙ­කුව මගෙ ආර­ක්ෂා­වට කැලේට එවපු එක. බූරා හුඟක් ප්‍රාථ­මික තත්වයෙ තුව­ක්කු­වක් අතේ තියා­ගෙන යන්නයි පුරුදු ‍වෙලා හිටියෙ. එයා මං පස්සෙන් තර­මක් දුරට එනව. ඒ ටික ඇති ගම්මුංව බය කරල තියා ගෙන කැලේට මට ඕනෑ ඉස­ව්වට යා ගන්ඩ. ඒ කියන්නෙ මී හර­කුන්ගෙ පිටේ නැගල යන එක වගේ දේවල් කරන්ඩ. එතකං බූරා මං පස්සෙං එනව. අපේ ගමේ තියා මුළු ඉන්දි­යාවෙ ම කිසි කෙනෙක් මී හර­කෙ­කුගෙ පිටේ නැගල ගිහින් නැතුව ඇති. චීන්නු හරි අමුතු මනු­ස්සයො. ලාඕට්සු ඒ අත­රි­නුත් අමුතු ම මනු­ස්ස­යෙක්. දෙයියො තමා දන්නෙ මාත් ඒ ක්‍රමේ අල්ල ගත්තෙ කොහො­මද කියලා. මං මීහ­ර­කගෙ පිටි­පස්සෙ නැගල ගියේ පස්සෙං පස්සට. මං ඒකට පුරුදු වුණේ විකාර වැඩ කරන්ඩ ආස කරපු හින්ද. ඒ ගොල්ලො මට ආයෙත් ඉප­දෙන්ඩ ඉඩ දෙනව නං මං ආසයි ආයෙත් ඒ වගේ කොල්ලෙක් වෙන්ඩ.

මං හරි ම දඟය. දඟ කරන්නෙ නැතුව ඉන්ඩ ම බෑ. ඒක තමයි මගෙ පෝෂ­ණය! මගෙ දඟ වැඩ­ව­ලින් අපේ සීය වින්දෙ කොච්චර කර­ද­ර­යක් ද කිය­ලත් මට ‍තේරිලයි තිබ‍ුණෙ. මුළු දවසෙ ම වගේ සීය තමුන්ගෙ ගඩී පුටුවෙ (ඉන්දි­යාවෙ ‍පෝසත් මිනි­සුන් හිඳ ගන්නා ආස­නය) ඉඳ­ගෙන පාරි­භෝ­ගි­ක­යන්ට කන් දෙනව. හැබැයි පාරි­භෝ­ගි­ක­යන්ට කන් දෙන්නෙ ටිකයි. වැඩි­හ­රිය කන්දෙන්ඩ වෙලා තිබුණෙ පැමි­ණි­ලි­කා­ර­යන්ට. “එයා­ගෙන් වෙච්ච ඕනෑ ම පාඩු­වට මං සල්ලි ගෙවන්ඩ ලෑස්තියි. නමුත් මතක තියා­ග­න්න­වල ඒකට මං එයාට දඬු­ව­මක් නං දෙන්නෙ නෑ.’ සීය පැමි­ණි­ලි­කා­ර­යන්ට නිතර ම වගේ කිව්වෙ ඒ වචන ටික තමයි. සීයගෙ ඉව­සිල්ලෙ තරම සම­හර වෙලා­වට මට ම දරා­ගන්ඩ බැරුව ගියා. ඒ වගේ දරු­වෙක් මට අවු­රුදු ගාණ­කට දුන්නොත්? දෙවි­යනේ මං නං සද­හ­ටම ගෙයින් එළි­යට දානව. නමුත් ඒ අවු­රුදු කීපය නම් ආශ්ච­ර්ය­යක් වගේ. අපේ සීයට තිබුණෙ පුදු­මා­කාර ඉව­සී­මක්. එය වඩ­ව­ඩාත් නිශ්ශබ්ද වුණා. ඒ තත්ත්වය දව­සින් දවස වර්ධ­නය වෙන හැටි මං දැක්ක. ‘නාන ඔයා ඔච්චර ම ඉව­සන් ඉන්නෙ නැතුව මට දඬු­ව­මක් දෙන්ඩ!’ සම­හර වෙලා­වක මං එහෙ­මත් කිව්ව. ඔබට විශ්වාස කරන්ඩ පුළු­වන්ද? සීය ඇඬුව! ඇස්වල කඳුළු පුරෝ­ගෙන සීය ඒ වෙලා­ව­ල්ව­ලදි මෙහෙ­මයි කිව්වෙ. ‘උඹට දඬු­වම් කරන්ඩ? ඒක මට කරන්ඩ බෑ. මං මට දඬු­වම් කර ගන්නං. ඒත් උඹට දඬු­වම් කරන්ඩ බෑ’.

ලබන සතියට...

Comments