කෘෂි ආර්ථිකය යළි පුබුදුවන රන් අස්වැන්න හා ගොවි නවෝදා | සිළුමිණ

කෘෂි ආර්ථිකය යළි පුබුදුවන රන් අස්වැන්න හා ගොවි නවෝදා

චන්දිමා එදිරිමාන්න

බත බුලතින් සරු, අටුකොටු පිරුණු පැරකුම් යුගයක් යළි රට තුළ ඇති කිරීම වත්මන් රජයේ අපේක්ෂාව වී තිබේ .එම අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙරට කෘෂි ආර්ථිකයේ කොඳු කොඳුනාරටිය ලෙස පිළිගැනෙන ගොවි ජනතාව ඉලක්ක කර ගත් විවිධ සහන යෝජනා ක්‍රම රැසක් ම දියත් කිරීමට බලධාරීහු පියවර ගෙන ඇත.

ව්‍යවසායික පරපුරක් රටට බිහි බිහි කිරීම අරමුණු කර ගත් “එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා“ වැඩපිළිවෙළ තුළින් ද ගොවි ජනතාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබීම කැපී පෙනෙයි. ඒ අනුව එම එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා රජයේ සහන ණය යෝජනා ක්‍රමයන්හි සුවිශේෂ ණය යෝජනා ක්‍රම දෙකක් ලෙසද මෙරට කෘෂි ආර්ථිකය සවිබල ගන්වන ගොවි ජනතාව ඉලක්ක කරගත්“ රන් අස්වැන්න “හා “ගොවි නවෝදා“ යන ණය යෝජනා ක්‍රම යන් වත්මන් රජය මූලිකව හදුන්වා දි තිබේ.

ගොවීන් ,ගොවි සංවිධාන ,කෘෂි සැකසුම් ආයතන, කුකුළු මස් කර්මාන්තයේ නිරත වන්නන්, විසිතුරු මත්ස්‍ය වගා කරුවන් මෙන්ම විසිතුරු මල් වගා කරුවන්ටද , රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ ණය ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව අදාළ ණය ඉල්ලුම් කරුවන් සඳහා ප්‍රධාන රාජ්‍ය බැංකු ලෙස පිළිගැනෙන ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු හරහා රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි වේ .

එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා රජයේ ණය සහන යෝජනා ක්‍රමය යටතේ මහජන බැංකුව මගින් ණය ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනකට සහභාගි වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී අවධාරණය කර සිටියේ “රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය“ ගොවි ජනතාව සඳහා මහත් අස්වැසිල්ලක් වී ඇති බවයි. යහපාලන රජය හා මෛත්‍රී පාලනය ඇති කිරීම සඳහා ගොවි ජනතාව තමන්ට හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉමහත් කැපකිරීමක් සිදු කළ බව පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා සමස්ත ගොවි ජනතාවට රජය දක්වන ළෙන්ගතුකම රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීමෙන් මොනවට පැහැදිලි වන බව ද සඳහන් කළේය.

ගොවි ජනතාව වෙනුවෙන් රන් අස්වැන්න හඳුන්වා දීමෙන් නොනැවතුණු රජය එම ණය ලබාගන්නා ප්‍රතිලාභීන්ට 50% ක පොලී සහනාධාරයක් ලබා දීමට කටයුතු යොදා තිබීම විශේෂ කරුණකි. ඒ අනුව මෙවැනි ණයක් ලබා ගන්නා විට සාමාන්‍යයෙන් වාර්ෂික සඵල පොලී අනුපාතය

සියයට 13.5 ක් වුවද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගන්නා ගන්නා ප්‍රතිලාභීන් ගෙවිය යුතු පොලී අනුපාතිකය සියයට 6.75 ක් වේ .මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ අනුව තමන් රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ 50% ක පොලී සහනාධාරයක් ගොවි ජනතාව වෙනුවෙන් ලබාදීමට කටයුතු යොදා ඇති බව යි .එම සහනාධාරයට අනුව තමන් ලබා ගන්නා ණය මුදලට වාර්ෂික සඵල පොලී අනුපාතයෙන් සියයට 50 ක ප්‍රතිශතයක් ණය ලබාගත් ප්‍රතිලාභීන් ගෙවන විට ඉතිරි 50% පොලී ප්‍රතිශතය රජය මඟින් ගෙවීමට කටයුතු යොදා ඇත .

රන් අස්වැන්න හැරුණු විට එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා රජය සහන ණය යෝජනා ක්‍රමය යටතේ ගොවි ජනතාව වෙනුවෙන් හඳුන්වා දී ඇති අනෙක් ණය ක්‍රමය නම් “ගොවි නවෝදා“ ණය වැඩසටහනයි .මෙම ණය ද ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු හරහා ණය ඉල්ලුම් කරුවන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

“ගොවි නවෝදා“ ණය වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය සඳහා සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන වෙත ඉල්ලූම් කරන ණය මුදල් ලබා දීමයි. මේ යටතේ ණය ඉල්ලුම් කරුවන් සදහා සදහා ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 5කි.

“ගොවි නවෝදා“ ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගන්නා ප්‍රතිලාභීන් සඳහා රජය මගින් 75% ක පොලී සහනාධාරයක් ලබා දීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි මෙම ණය වැඩසටහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයක් ණය ලබාදෙන බැංකු මගිනුත් ඉදිරිපත් කර ඇති විස්තරවලට අනුව මෙහිදී මෙම ණය ලබාගන්නා ප්‍රතිලාභීන් ගෙවිය යුතු පොලිය වන්නේ සියයට 3.36 කි .

“රන් අස්වැන්න“ හා “ගොවි නවෝදා“ යන ණය යෝජනා ක්‍රම දෙකම ගොවි ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වී ඇති බව පෙනී යන්නේ මෙම ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමෙන් පසු ඒවා ලබා ගැනීමට එම ගොවි ජනතාව අතර ඇතිවී ඇති ඉල්ලුම හා උනන්දුව හේතුවෙනි .මේ නිසාම දැඩි නීතිරීති හා කොන්දේසිවලින් ණය ඉල්ලුම්කරු තෙරපුමට ලක් නොකර ඉක්මනින් අදාළ ණය මුදල් ලබා දීමට රජය දැනටමත් අදාළ බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ. මෙම ණය යෝජනා ක්‍රම දෙකටම අදාළ අදාළව සඳහන් කල යුතු තවත් විශේෂ කරුණක් වන්නේ ණය ලබාගන්නා ප්‍රතිලාභීන්ට එම ණය ගෙවීම සඳහා වසර පහක කාලයක් ලබා දී තිබීමයි .

 

Comments