සුමිත්‍රා ලියූ බුමුතුරුණු මගේ සිත ඇද ගත්තා | සිළුමිණ

සුමිත්‍රා ලියූ බුමුතුරුණු මගේ සිත ඇද ගත්තා

ඔවුහු ලේඛන කලාවෙන් ජීවන ගීතය, ගීතවත් කළහ. ජීවිතයේ අත්වාරුව අකාලයේ අහිමිවීමෙන් පසු ජීවන බර කරට ගත් ඔවුහු කලාවත් රැකියාවත් රැකගෙන ජීවිතය දිනන්නට අනවරත ගමනක නිරත වූහ. පුරුෂාධිපත්‍යය නැඟී සිටින සමාජයක ස්ත්‍රීත්වය තුළින් සමාජය දිනන්නට බොහෝ දෑ කළහ. මෙවර මුහුණට මුහුණින් ඔබ හමුවට එන මේ යුගය යමුනා මාලනී පෙරේරා කිවිඳිය හා සුමිත්‍රා රාහුබද්ධ ගත් කතුවරියයි.

 පාඨක ලෝකයට අලුතින් ම තෑගි කළේ මොනවද?

මේ දවස්වල මගේ ලිපි එකතුවක් මුද්‍රණය කරලා තියෙනවා. අලුත් කෙටිකතා සංග්‍රහයක්. ‘සේයා පාරන මායා’ කියලා. අලුත් ගීත කීපයකුත් රචනා කරලා තියනවා. උරුමය සම්බන්ධ ගීතයක් ලීවා. මිනිසාටයි, සතුන්ටයි, ගහකොළවලටයි ජීවත්වෙන්න මහපොළොවේ උරුමයක් තිබෙන බව කියන්නටය. මෙය වෙනස්ම ගීතයක්. තිලක් සේනාසිංහ මහත්මයා සම්බන්ධීකරණය කළා. කෝවිද කියලා ගායකයෙක් තමයි ගයන්නේ. දිවුල්ගනේ, චන්දන ලියනාරච්චි ඇතුළු ගායකයින් කීපදෙනකුට ගීත රචනා කළා.

පවුලේ තොරතුරු ටිකක් දැනගනිමුද?

සැමියා සේනක පෙරේරා මිය ගිහින් අවුරුදු 15 ක් ඉකුත් වුණා. ප්‍රතිභා ප්‍රභා දුව ගායනයට අවතීර්ණ වෙලා ඉන්නවා. පොඩි දුව පුමුදි. මගේ දරුවන්ටත් දැන් දරුවෝ ඉන්නවා‍. මගේ නංගිත් මා සමඟ අපේ ගෙදර ඉන්නේ.

මගේ සැමියා මහවැලියේ පරිපාලන නිලධාරියෙක් ලෙස කටයුතු කළා. ඊට අමතරව වේදිකා නාට්‍යවල, ටෙලිනාට්‍යවල රඟපෑවා. ඔහුත් කලාකරුවෙක් මාත් කලාකාරියක්. ඒත් එයා කීවා ඔහු යුග ජීවිතයට මුල් තැන දෙනවා කියලා. මාත් යුග ජීවිතයට මුල් තැන දුන්නා. මම ගීත රචනා කරනවට එයාගේ අකැමැත්තක් තිබුණේ නැහැ. ‘අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක්’ ගීතය ලියූවෙත් සැමියා මගින් ලැබුණු ඉල්ලීමකටයි.

 ඔබට සුමිත්‍රා මුලින් ම හමුවන්නේ කොහොමද?

අපේ ගෙදර හැමෝම ඇය ලියන ඒවාට කැමැතියි‍. ඇය ලියූ බුමුතුරුණු මගේ හිත ඇදගත්තා. ඇය ලියූ හැම ලේඛනයක්ම සුලේඛනයක්. හැම ගීතයක්ම සුගායනයක්. ඇය තිර රචනයටත් දක්ෂයි. කෙළිමඬල චිත්‍රපටයක් වුණා. තිර රචනා හා ටෙලිනාට්‍ය කලාවට මුලින් ම සම්බන්ධ වුණේ ඇයයි. මට යා නොහැකි තත්ත්වයකට යම්කිසි කතක් යනව නම් ඇය ගැන ආදරයක් ඇතිවෙනවා. රසවිඳීම ඔස්සේ නිර්මාණකරුවන්ගේ ආදරය ඇතිවුණා. ඇය බොරු ආටෝප සාටෝප නැති පොළොවේ පය ගහලා සිටීමට හැකි කාන්තාවක්.

ඇගේ රචනා ශෛලිය ඔබ දකින්නේ.

සිතට කාවදින සුළුයි ඇතැම්විට භාෂාවේ අමුතුම රටාවක් තියනවා. භාෂාව ගවේෂණය කර කර අලුතින් සකස් කර ඇති භාෂාවලින් ගීත ලියනවා. රසික හදවත් ග්‍රහණය කරගත හැකි රහස එයයි.

ඔබ කැමති ඇයගේ නවකතා

බුමුතුරුණු, කෙළිමඬල, ඉටිපහන් වලට වඩාත් කැමැතියි. එහි එන චරිත පැලැස්තර ඇලවූ චරිත නෙමෙයි. නග්න දෙපා තුළින් ඇවිදින චරිත. කාන්තාවක් ලෙස ඒ චරිතවලට ඇය සාධාරණත්වය ඉටුකරනවා. කාන්තාවක් ගැන පිරිමින්ට වඩා දන්නේ කාන්තාවක්මයි. මවක් වෙන්නේ, දරුවෝ වදන්නේ ඇයයි. කාන්තාවකට තවත් කතකගේ හැඟීම් රටාව චිත්‍රණය කරගත හැකියි. පිරිමින්ට වඩා. එනමුත් කාන්තාවගේ ලෝකය විනිවිද දැකිය හැකි සාර්ථක නිර්මාණ කරුවෝ නැත්තෙම නැහැ.

සුමිත්‍රාගේ ඔබ දකින යහපත් ගතිගුණ‍...

ජීවිතයට බාධක කම්කටොලු ආවත් ඇය නිර්මාණකරණය දිගටම කරගෙන ගියා. සැමියා අකාලයේ වියෝ වුණා. ඒත් ඇගේ ගමන ඈ ගියා. ඇගේ නිහතමානී බව, අවංකකම, තව කෙනෙකුගේ නිර්මාණ දැක සතුටු වීම ඈ තුළ තියන හොඳ මුදිතා ගුණයක්.

ජනප්‍රිය වෙන්න වෙන්න ඔළුව උදුම්මා ගන්නෙ නැතිව, පොළොවේ පයගහලා ඉන්න ගතිය සුමිත්‍රා තුළ තියනවා.

සුමිත්‍රා හඳහන විශ්වාස කරනවද?

අපි ඒ ගැන කතා කරලා නැහැ. ජ්‍යොතිෂය ගැන ඇගේ හැඟීමක් තියනවා කියා මට සිතෙනවා. ඇය හොඳ බෞද්ධයෙක්. මමත් හඳහන තදබල ලෙස විශ්වාස කරන්නේ නැහැ. නමුත් ජ්‍යොතිෂය වැනි විෂයන්වල කිසියම් සත්‍යතාවක් තියනවා. අපි කර්මය විශ්වාස කරනවා. කර්මානුරූපව සිදුවන දේවල් ජ්‍යොතිෂයෙන් පැහැදිලි කරනවා.

ඔබ සුමිත්‍රා තුළ දකින අඩුපාඩු මොනවද?

ඇගේ අඩු පාඩුවක් මට දකින්න නැහැ. ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගැන කතා කරනවා. අනවශ්‍ය ලෙස කෝප වන්නේ නෑ. අඩුපාඩු දැක්කත් සාධාරණීකරණය කරනවා මම නම්. හැම කෙනෙක් ම සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියා කරනවානේ.

මට ඇය හමුවන්නේ බොහෝ විට, පොත් ප්‍රදර්ශනවලදී. පොත් එළිදැක්වීමේ උලෙළවලදී. මම බොහෝ වෙලාවට ඇගේ පොත් කුටියට යනවා.

ඇයගේ විනෝදාංශ මොනවද?

ඇගේ නිර්මාණකරණය තමයි ඇගේ විනෝදාංශය. ඇගේ දියණියන්ට සැලකීමත් විනෝදාංශයක්. මගේ හිතට නම් සහනයක් ලැබෙන්නේ ගීත ශ්‍රවණයෙන් හා පොත්පත් ලිවීමෙන්. සුමිත්‍රාට හොඳ රසවින්දනයක් තියනවා. ළමා කෘති කීපයක් කරලා තියනවා.‍ පොත්පත් කියවනවා‍.

වර්තමාන නවකතාව හා සුමිත්‍රා ඔබ දකින අයුරු.

කාන්තාවන් අතර ඉදිරියෙන් සිටින හොඳ ලකුණක් තැබූ කෙනෙක්. ඇය දේශීය, විදේශීය, සාහිත්‍ය පරිහරණය කරන කෙනෙක්. ඒ වගේම ඇය තිර රචනයට හා අධ්‍යක්ෂණයටත් කවි ලිවීම, ගීත රචනාවලටත් දස්කම් දක්වන හොඳ පරිපාලන නිලධාරිනියක්. ජීවිතය හොඳින් කළමනාකරණය කරනවා.


යමුනා ගීත රචනා කලාවේ කාන්තා ලකුණයි

සුමිත්‍රා රාහුබද්ධ

 කොහොමද මේ දවස්වල තොරතුරු?

මේ දිනවල මම බරපතළ වැඩක්. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන නවකතාවක් ලියාගෙන යනවා. ඒකට හුඟක් තොරතුරු හොයන්න සිදුවෙලා. ඒ නිසා ලියන ගමනුත් තවදුරටත් හොයනවා.

ගෙදර තොරතුරු එහෙම...

දුව වෛද්‍යවරියක්... පෞද්ගලික රෝහලක සේවය කරනවා. තාම විවාහවෙලා නෑ. 1992 සැමියා නැති වුණාට පස්සේ, මගේ සහෝදරියකුත් මා සමඟ ජීවත්වෙන්නේ අපේ ‍නිවසේ.

යමුනා මාලනී ඔබට මුලින් ම හමුවන්නේ කොහොමද?

ඒ වනවිට මම ලේඛන කලාවට පිවිසිලා අවුරුදු 10 ක් වත් නැහැ. යමුනා ලියන්න පටන්ගත් අවදියේ. මම කවි තෝරන පත්තරයක කවි පිටුවකට යමුනා කවියක් එවල තිබුණා. එය හොඳම කවිය වුණා. පසුවයි මම ඇය යමුනා මාලනී පෙරේරා කියා හඳුනා ගත්තේ... ඇය, හරිම නිහඬව සරලව ජීවත්වෙන වැඩිපුර කතාබහ කරන්නැති කෙනෙක්. නමුත් ඇගේ හිත ඇතුළත හරි දොඩමළුයි. මම ඇයගේ ගීතවලට කවිවලට කැමැතියි.

ඇගේ රචනා ශෛලිය ගැන...

මොනිකා රුවන්පතිරණ කිවිඳියගෙන් පසු විශිෂ්ට ලකුණක් සේ යමුනා මා හඳුනා ගන්නවා.

ඔබ මනාප ඇගේ ගීත රචනා...

එයාගේ පළමු ගීතය අහස, පොළොව වටපිටාව ලියන්න හේතුවක් තියනවා. ඇය සේනක සමඟ විවාහ ගිවිස ගත් පසුව සේනකට දුරස් වෙන්න සිදුවුණා. ඒ තුළින් උපන් පාළුව, හුදකලාව, තනිකම මේ ගීතයෙන් විවරණය වෙනවා.

ඔබ කැමැති ඇගේ ගුණාංග.

ඇගේ සරලකම, නිහඬකම, පැත්තකට වෙලා සිටීම, ඇයත් ප්‍රසිද්ධිය පසුපස නොයන හරිම දැනුමක් තියන කෙනෙක්. මාතෘකාවක් දීලා ඒ ගැන කතා කරද්දී හරිම දැනුමක් තියන බව පේනවා. ගීත ලියද්දි වචන ගලාගෙන එනවා කලාවෙදි ඇය නිහඬ නෑ.

ඔබ යමුනාගේ දකින අඩුපාඩු...

එයාගේ අඩුපාඩුවක් මා නම් දකින්නෙ නැහැ. අනික අපි හැමදාම ළඟින් ඇසුරු කරන්නෙත් නෑ. මම ඇයව දකින්නේ ඇගේ නිර්මාණවලින්. මම ඇගේ නිර්මාණ සමඟ හරිම මිත්‍රයි. ගීත රචනා කලාවේ කාන්තා ලකුණ යමුනා කියා මා දකිනවා. සියුම් තැනින් හදවත් අල්ලා ගන්නට ඇය දක්ෂයි. අපි දෙන්නගේ පොදු කරුණු කීපයක් තියනවා. ඇගෙයි මගෙයි දෙන්නගෙම සැමියා තරුණ කාලේ මිය ගියා. අපි දෙන්නටම එකම මඟක යන්න වුණේ කාන්තාවක් තනිවුණාම ජීවන ගමන යන්න ලේසි නැහැ. දුෂ්කර මාවතක ගමන් කරමින් අපේ දරුවන්ට අපි සාධාරණත්වය ඉටු කළා.

වර්තමාන ලේඛන කලාව හා යමුනා ඉන්න තැන...

එයා ඉහළම තැනක ඉන්නවා. ඇගේ ‘සුරා සොඬ හිමි වලප’ කවිය ගත්තොත් සැමියාගේ පැත්තෙන් එම කවියෙන් කතා කළත් ඇය ඉන්නේ ස්ත්‍රියගේ පැත්තේ. ඇය කිවිඳියක් ලෙස හරිම සාර්ථකයි.

ඇය හඳහන විශ්වාස කරනවද?

මම හිතන විදිහට ඇය හඳහනේ එල්ලිලා නැහැ. මගේ සැමියාගේ හඳහනේ නම් තිබුණා ඔහුට අකල් මරණයක් තියනවා කියලා. බුද්ධ ධර්මය ගැන ලොකු ගෞරවයක් තියනවා. අත්හැරීම තුළින් ජීවිතයට අපරිමිත සැනසීමක් ලැබෙන බව බුදු දහමේ කියැවෙනවා. ඒත් ඕනෑම කෙනකුට දරුවෝ අතහරින්න බැහැ.

කාන්තාවක් ලෙස ඇගේ සාර්ථකත්වය...

හැම අතින් ම මම වගේ ම සාර්ථකයි. ඇගේ සැමියාගෙන් ඇයටත් කලා ලෝකයේ විශාල අනුබලයක් ලැබුණා‍. මගෙයි ලක්ෂ්මන්ගෙයි ජීවිතය ගත්තත්, මගේ ලිවීමේ ගමන් මඟ සැකසුණේ ඔහු නිසා. සැමියා අහිමි වීමෙන් දුෂ්කර ගමන් මඟක ගියත්, ඇය ලිවීම නැවැත්තුවේ නැහැ. ඇය කවියෙන්ම කවියට උත්තර දුන්නා. ‘ගජමං නෝනා නෙවෙයි මම’ කියලා. ඇය කිවිඳියක් ලෙස අතිසාර්ථකයි. කාන්තාවක් ලෙසත් එහෙමයි.

යමුනාගේ විනෝදාංශ‍...

ඇය පොත්පත් කියවනවා. ගීත අහනවා. ළමා සාහිත්‍ය, හදාරනවා‍. දරුවන් සමඟ සතුටින්, සරලව ජීවත්වෙනවා.

ඇගේ කලා කටයුතුවලට, රැකියාව බාධාවක් වුණේ නැද්ද?

ඇය ඩී.එස්.අයි. ආයතනයේ. විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කරනවා. කලා ජීවිතය, රැකියාව සමඟ සමබරව කරගෙන යාමට ඇයට හැකිවුණා. ඇයත් මම වගේ අනිත් අයගේ දේවල් හොයමින් අනුන් විවේචනය කරමින් කාලය අපතේ හරින්නෙ නෑ. අපේ දෙයකට හෝ සමාජ සේවයකට කාලය යොදවනවා මිසක්. එහෙම කෙනකුට ජීවිතය හරිම සැහැල්ලුයි. ඒ වගේම ඇය දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වුණා. සැමියා මිය ගියාට පස්සේ ඇය ඔහු සිටිනවාටත් වඩා ඉදිරියට ගියා.

ඔබත් ඇයත් බුදුසමයට සමීප ද?

බුදුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නායකයා... ධම්මපදයේ නා කවි ගුණයක් අපි දකිනවා. හොඳම කවි පොත ධම්මපදයයි. බුදුන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම කවියා. සිත හඳුනාගත හැකි නම් ඕනෑම කෙනකුට නිර්මාණ කරන්න පහසුයි. බුදු දහමෙන් කියැවෙන සනාතන දහම කවදත් සත්‍යයි. මම හිතන විදිහට යමුනත් මෙලෙසින් බුදු දහම විශ්වාස කරනවා. ඇයටත් එයින් ආශිර්වාද නිරතුරුවම ලැබෙනවා. 

අදහස්