අපි අවශ්‍ය තැනදී අවශ්‍ය දේ කරන පක්ෂයක් | සිළුමිණ

අපි අවශ්‍ය තැනදී අවශ්‍ය දේ කරන පක්ෂයක්

විජයකලා හිටපු ඇමැතිනියගේ කොටි හිතවාදී ප්‍රකාශයත් එක්කම උතුරේ ආරක්ෂාව ගැන මැති ඇමැතිවරුන් අතර කථිකාවක් ඇති වුණා. විශේෂයෙන්ම උතුරේ ආරක්ෂාව දුර්වල බවට, ඒ ගැන ඔබ දරන මතය කුමක්ද?

ඇමැතිනියගේ ප්‍රකාශය එකක්. රටේ ආරක්ෂාව තව එකක්. එතුමිය කොටි හිතවාදීව කතා කළත් රටේ ජනතාව පතන්නේ සාමය.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ දිනවල පාර්ලිමේන්තුවේත් මාධ්‍යවේදීන්ටත් නිතරම කියන කතාවක් තමයි ජාතික ආරක්ෂාව දුර්වල වෙලා කියලා. ඔබ මේ කියමන පිළි ගන්නවද?

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිබුණු ජාතිවාදී අරගලයක් පරාජය කරමින් යුද වශයෙන් ජයග්‍රහණය කරපු රටක්. ඒ ජයග්‍රහණය කරපු හමුදාවන්ට අපේ රටේ ආරක්ෂාව ගැන මනා අවබෝධයක් තිබෙනවා. එම නිසා අපට නම් පෙනෙන්න රටේ ආරක්ෂාවේ බිඳ වැටීමක් නැහැ. ආරක්ෂාවේ දුර්වලතාවක් පෙනෙන්ටත් නැහැ.

ඒ ප්‍රකාශ හුදු දේශපාලනයේ වාසි ලබා ගන්න කරන ප්‍රකාශ ලෙසින් හැඳින්වුවහොත්....

ඒක වෙන්න පුළුවන්. නමුත් රටේ ආරක්ෂාව දුර්වල යැයි කරනු ලබන ප්‍රකාශ මම දකින්නේ ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කරමින් තම ජීවිත පරදුවට තබමින් රට වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන්ට කරන අපහාසයක් ලෙසයි. ආරක්ෂාව ගැන කතා කරන්න අපට වඩා හොඳට හමුදා නායකයන් දන්නවා.

උතුරේ ‘ආවා‘ කල්ලිය ඉදිරියේදී දකුණේ පාතාලය හා සම තත්ත්වයකට හිස ඔසවනු ලබන බවක් මේ පිරිස් පවසනවා.

ඒක දේශපාලනික අඥාන කතාවක්. ‘ආවා‘ කල්ලිය කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් නෙමෙයි. තරුණ වයසේ කොල්ලො ටිකක් එකුතු වෙලා කඩු අරගෙන කරන මංකොල්ල කෑමක්. ඒ අය දකුණේ සංවිධානාත්මක අපරාධකරුන් හා සසඳන්නවත් බැහැ. දකුණේ සිදු වන අපරාධවලින් 1%ක්වත් උතුරේ මේ පිරිස් අතින් සිදුවන්නේ නැහැ.

උතුරේ තිබෙන මේ තත්ත්වය ඉදිරියේදී වර්ධනය වී යළි අර්බුදයක් ඇති වේයැයි සිතන්න බැරිද?

නැහැ. ආරක්ෂක හමුදා ගැන අවතක්සේරු කරන අය තමයි එවැනි කතා කියන්නෙ. යුද හමුදාවන්ට මනා අවබෝධයක් තිබෙනවා. ආරක්ෂාව අවශ්‍ය කුමන ස්ථානයන්ටද කියා. එම නිසා කදවුරු නියමිත පරිදි ස්ථාන ගත කර තිබෙන්නෙ. අවශ්‍යතාවක් ඇති වුවහොත් ඔවුන් අදාළ පියවර ගනීවි. නමුත් ආණ්ඩුව අපේ රටේ සම්පත් විජාතික පිරිස්වලට ලබා දීමෙන් රටේ ආරක්ෂාව අනතුරේ දමා තිබෙන බව නම් කියන්න ඕන. ඒ ගැන අපි නිතරම කතා කරනවා. ඒක ආර්ථික වශයෙනුත් රටට ඉතාම අහිතකරයි. ඒ සම්බන්ධයෙන් නම් ජාතික ආරක්ෂාව දුර්වලයි කිව්වොත් නිවැරැදියි.

ඉදිරියේදි පළාත් සභා මැතිවරණය පවත්වන්නට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණ සූදානම්ද?

අපි සූදානම්. මේ වන විට අපි පක්ෂයක් ලෙස මැතිවරණයට සූදානම් වනවා. ජනතා සාමාජිකත්වය සහයෝගය ලබා ගෙන තිබෙනවා. මැතිවරණ කටයුතු හොඳින් කර ගන්න පුළුවන්. ඒ වගේම අපේක්ෂකයන් ගැන අපට කිසිම ගැටලුවක් නැහැ.

ඒත් ජනතා විමුක්ති පෙරමුණට ජනතා බලයක් තිබෙන බවත් පෙනෙන්ට නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරලා වගෙයි.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අවශ්‍ය තැනදි අවශ්‍ය දේ කරන පක්ෂයක් මිසක් හැම දේකටම බොරුවට දඟලන පක්ෂයක් නෙමෙයි. ජනතා බලය අපිට උපරිමව තිබෙනවා.

ඒත් පාර්ලිමේන්තුවේ තිබුණු බලය පවා ක්‍රමයෙන් ගිලිහුණානෙ.

අපිට ඔළුගෙඩි ගණනින් බලය රැක ගැනීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අපට ඕන කරන්නේ ජනතා හිතවාදීව පක්ෂයේ ප්‍රතිපත්ති රැක ගෙන කටයුතු කරන්නයි. ඒ සඳහා ජනතාවගේ උපරිම සහයෝගයක් තිබෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඉන්නෙ අපි. විශ්වවිද්‍යාල සිසුන් අතුරින් ශක්තිමත් අපි. විපක්ෂ නායකවරයාත් ඉන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16ක් ඉන්නවා. ඊට වඩා වැඩි බලයක් වගේම හඬක් පාර්ලිමේන්තුවේ ආසන 6ක් තියෙන අපට තිබෙනවා.

ඒ වුණත් පක්ෂයේ අයට යමක් කරගන්න හැකියාවක් නැහැ වගේ නේද?

මා කලින් කිව්වා වගේ අපේ පක්ෂයේ සිටින්නේ බලය ලබා ගන්න දඟලන අය නෙමෙයි. පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මන්ත්‍රීකමක්වත් ගන්න යන්නෙ නැහැ. වසර 40ක් පමණ මේ දේශපාලනයේ රැඳිලා ඉන්නවා. අපටත් ඕන නම් සන්ධාන ගත වෙලා පක්ෂයේ ඔළු ගෙඩි වැඩි කර ගන්න තිබුණා. වාසි ලබා ගන්න තිබුණා. නමුත් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පක්ෂයේ ජනතා හිතවාදී ප්‍රතිපත්ති කරගෙන යමින් අපේ මතය පැහැදිලි කිරීමයි අපේ අරමුණ වන්නේ. අනෙක් පක්ෂවල අය සන්ධානගත වෙලා ඇමැතිකම් වරප්‍රසාද ලබා ගන්නවා. අපට එහෙම අවශ්‍යතාවක් නැහැ

නමුත් ජනතාව ඔබ පක්ෂයේ මතය පිළි නොගන්නා බවක් එහෙමත් නැත්නම් පක්ෂයේ සාමාජිකයන් පිළි නොගන්නා බවක් නේද මේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩුවීමෙන් පෙනෙන්නේ?

ඒක ජනතාවගේ දේශපාලන අවබෝධය පිළිබද ප්‍රශ්නයක් මිසක් පක්ෂය ප්‍රතික්ෂේප කිරීමක් එහෙමත් නැත්නම් පක්ෂයේ ප්‍රතිපත්ති ගැටලුවක්වත් නෙමෙයි

මෙවර මැතිවරණය යළිත් මනාප ක්‍රමයට තැබීමට සුදානමක් තිබෙනවා.

මනාප ක්‍රමයේ ඇති ගැටලු දුර්වලතා නිසානෙ මේ මිශ්‍ර ක්‍රමය ගෙනාවේ. ඇයි ආපහු මනාප ක්‍රමයට යන්න හදන්නෙ. ඒකට ඉඩ දීම නෙමෙයි ඒ ගැන කතා කිරීමත් සුදුසු නැහැ.

නමුත් ඒ මිශ්‍ර ක්‍රමය නිසා සභා අස්ථාවර වෙනව කියල මතයක් තියෙනවා.

සභා අස්ථාවර වෙන්නෙ ඉඩ තියෙන්නෙ මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන හින්දනෙ. අපිට නම් ඒ ප්‍රශ්න නැහැ. ඒ වගේ මන්ත්‍රීවරුන්ගෙ ප්‍රශ්න තියෙන පක්ෂවල අය තමයි ඔය කතාව කියන්නෙ.

කොහොම හරි මේ කතා අස්සෙ මැතිවරණයත් කල් යයි වගේ.

කල් යවන්න කිසිම හේතුවක් නැහැ. වේලාවට මැතිවරණය තියන්න පුළුවන්. සීමා නිර්ණ ගැටලුවක් නිසානෙ පළාත් පාන මැතිවරණය කල් දැම්මෙ. දැන් ඒ ප්‍රශ්න ඉවරයිනෙ.

නමුත් තවම ස්ථිර මැතිවරණ ක්‍රමයක් නැතිව පුළුවන්ද නියමිත කාලයට පළාත් සභා මැතිවරණය පවත්වන්න.

ක්‍රමය හදල ඉවරයිනෙ. මැතිවරණයට බය අය තමයි ඔය පස්ස ගහන්නෙ. සභා අස්ථාවර වෙනව වගේ එක එක කතා කිය කිය ඉන්නෙ ඒ අයයි. පළාත් සභා මැතිවරණයේදි අපේක්ෂයකයන් වැඩි වෙන්නෙත් නැහැ. ඒක නිසා එතැන ගැටලුවකුත් නැහැ. ගැටලුව වෙලා තියෙන්න සමහර පක්ෂවල අපේක්ෂකයො බයයි තමන්ගෙ කොට්ඨාසයෙන් තරග කරන්න. ඇයි ඉතින් ජනතාව තමන් ගැන දන්න බව දන්නවනේ. ඒකයි දිස්ත්‍රික්කයෙන්ම මනාප ගන්න හදන්නෙ. ඒ වගේම ජනාධිපතිතුමාටත් මේ මැතිවරණය පවත්වන්න හදිස්සියක් නැති බව පේනවා. එතුමාත් පක්ෂය කඩාගෙන තමන්ගේ පක්ෂය හදා ගන්න බලාගෙන ඉන්න වෙලාවක්. ඒකට කල් ගන්න එතුමාටත් ඕන කරල තියෙනවා.අපට ඕන කරන්නෙ නියමිත කාලයට තබන මැතිවරණයක්. මැතිවරණ කල්දාන්න ජනතාව මේ රජයට කිසිම වරමක් දීලා නැහැ.

සංවාදය - තාරක වික්‍රමසේකර

Comments