අන්තිමට ඉන්නේ ගෙදර අය විතරයි | සිළුමිණ

අන්තිමට ඉන්නේ ගෙදර අය විතරයි

1942 ජුනි 12 දින ඉපිද, හික්කඩුව සිංහල පාසැලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා, පශ්චාත් අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ලද මම පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයට 1960 ජුලි මස ඇතුළත් වුණා. තරුණ උපාධිධාරියෙකු ලෙස ගුරු වෘත්තියට 1963 මැයි මස ඇතුළත්වූ මම ලංකා පරිපාලන සේවයට 1967 ඔක්තෝබරයේ ඇතුළත් වුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඇරඹුණු මගේ ලංකා පරිපාලන සේවා කාලය රසවත් හා අමතක නොවන සිද්ධින් ගෙන් සමන්විත වූ යුගයක්. විවිධ තනතුරු දැරූ මා අවසානයේදී අවුරුදු 44 ක් වැනි ,,නොපැසුණු,, වයසකදී අමාත්‍යංශ ලේකම් ධුරය දරන්න තරම් වාසනාවන්ත වුණා.

ඒ වයසේ දී එවැනි තනතුරකට පත් වූවා වගේම 1996 අගෝස්තුවේ වයස අවුරුදු 54 දී මහජන සේවයෙන් ඉවත් වුණා. එයට හේතු වූයේ මගේ ජීවිතය සමග අවියෝජනීය වන රාජ්‍ය සේවයේ පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් මා නැගී සිටීමයි. එසේ රාජ්‍ය සේවයෙන් ඉවත්වීමෙන් මට යහපතක්ද වුණා. පාකිස්තානයේ උගත් මාගේ දියණියට සරසවියට මුදල් ගෙවා ගැනීමට බැරිව සිටි මට රාජ්‍ය සේවයෙන් අස්වීම නිසා පෞද්ගලික අංශයේ ලද රැකියාවෙන් කරදරයකින් තොරව ඇයගේ අධ්‍යාපනයට වියදම් කරන්නට හැකි වුණා.

1996 දී මා රාජ්‍ය සේවයෙන් ඉවත් වුණේ මාගේ අවංකභාවය ඉතා ඉහළින් රැකගනිමින්. 2018 දී මාගේ වෙන්ව යාමත් හදිසියේ සිදු වූවක් ලෙස ඔබට සිතනු ඇති. තවද මේ ගැන නොයෙක් අර්ථකතනද නොයෙක් දෙනා පවසනවා ඇති. පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය එසේ පවසා තිබුණා. එහෙත් මේ පිළිබඳව මම මේ තීරණයට ආවේ 2018 මැයි මස 22 දින- අතිගරු ජනාධිපතිතුමා ගේ කාර්යාලයේදී- එතුමන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. මා අද සේවයෙන් ඉවත්ව යන්නේ අවුරුදු 76 වූ ඉතා මුහුකුරා ගිය වයසකදී. 76 දී , ලෝකය යනු දාර්ශනික ස්ථානයක්.

දේශපාලන, සමාජ, පරම්පරාගත සම්බන්ධතා නැතිව, සාමාන්‍ය ලිපිකරුවකුගේ පුතකු ලෙස මට රාජ්‍ය සේවයේ හිනිපෙත්තට නැගීමට හැකිවීම ශ්‍රී ලංකාව උත්සාහයත්, කාර්යක්ෂමභාවය හා අවංකභාවය ඇත්නම් අවස්ථා පිරුණු රටක් බව ඔප්පු කරනවා. මා හට වරද කළ, සමහරුන් මා වරදවා වටහා ගත් අවස්ථාවල, අහේතුකව, නිදහසට කරුණුවත් නොවිමසා මා දඬුවමට ලක්කළ, කටකතා මගින් සමච්චලයට ලක්වුණු ආදී අවස්ථා වලදී වුවද, පූර්ණ අවංක භාවයෙන්, අගතියෙන් තොරව, කිසිවෙකුට වෛරී නොවී, මා මාගේ රාජකාරී කොටස ඉටු කළා. ඒ අපහාස, උපහාස අෂ්ට ලෝක ධර්මයේ ප්‍රතිමුර්තියක් ලෙස මා සිනහවෙන් ඉවත ලනවා.

අයථා ලෙස උපයාගත් වත්කම් මා හට නැති නිසාත් කිසිවෙකු මරා, හිංසනයට බඳුන් කර, අතුරුදහන් කර හෝ වැරදි අන්දමින් දණ්ඩනයට ලක් කර නැති නිසාත් මා කිසිදාක බිය විය යුතු නැහැ. ආරක්ෂක වළල්ලක් නොමැතිව මට ඕනෑම මහමගක ඇවිදින්නට පුළුවන්. මට ආරක්ෂාවක් දී තිබුණු කාලවලදීත් මා එය යොදා ගත්තේ අවමවයි. මම නිදහස් හෘද සාක්ෂියක් සහිත නිදහස් මිනිසෙක්. මා අද අවසාන වතාවටත් නිදහස්!

මගේ රාජකාරි ජීවිතයේ නැගීම් හා බැසීම් එමටයි. ඒවා මට ඉන්දියානු ටාටා සමාගමේ සභාපති රටන් ටාටාගේ කියමනක් සිහිපත් කරනවා. “ජීවිතයේ නැගීම් හා වැටීම් අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත් . හෘද ක්‍රියාකාරීත්වය විමසන ඊ සී ජී වාර්තාවක වුණත් රේඛීයව යනවා නම් එයින් ඉඟි කරන්නේ අප ජීවතුන් අතුරේ නැති බවයි” කියා ඔහු පැවසුවා.

මා සැම විටම ශක්තිමත්ව ක්‍රියාකාරී ජීවිතයක් ගත කළා. වයස 76ක් වුණත් දිගු පැය ගණනක් රෑ බෝවන තුරු වැඩ කළා. දිග රැස්වීම් පැවැත්වූ මා කාර්යාලයේ ලිපි ගොනු ඉතිරි වුණු වෙලාවට ඒවා ගෙදර ගෙන ගොස් වැඩකළා. මා දිනකට පැය දහයක් දොළහක් වැඩකළා. හැමදාම වගේ මේ කාර්යාලයෙන් අන්තිමටම රාත්‍රියේ නික්ම ගියේ මා බව ජනාධිපති ආරක්ෂක අංශය සාක්ෂි දරණු ඇති. මාගේ කාමරයේ දී ගොනුවක් ප්‍රමාද වූයේ නම් පැය විසිහතරකට අඩුවිය යුතුයි.

ගුරු වෘත්තියට ඇතුළත්ව අවුරුදු 55 කට පසුව මහජන සේවාවෙන් මා නික්ම යන අද, ඊ එෆ් ඩයස් අබේසිංහ, ඩී බී අයි පී එස් සිරිවර්ධන, ධර්මසිරි පීරිස්, බ්‍රැඩ්මන් වීරකෝන්, ෂෙල්ටන් වනසිංහ, බාකු මහාදේව ආදී උත්තුංග රාජ්‍ය සේවකයින් හා ගාමනී ජයසුරිය වැනි මට එකට රාජකාරි කිරීමේ වාසනාව ලද ශ්‍රේෂඨ දේශපාලන බලධාරීන් අගය කිරීමට මට සිදුවෙනවා.

මාගේ සේවාකාලය තුළ දුකේදීත් සැපේදීත් මා සමග සිටි ඉතාම කුඩා සුළු සේවකයා පවා මාව මෙතන සිටුවා තැබීමට තමාගේ ජීවිතයෙන් කොටසක් කැප කර තිබෙනවා. ඔවුන් සැමට ස්තුතියි.

මාගේ තුරුණු වියේදී මම පක්ෂ දේශපාලනයේ ක්‍රියාකාරී වුවා. මා රාජ්‍ය සේවයේ හිනි පෙත්තට නගින විට පක්ෂ දේශපාලන සම්බන්ධතාවයන්ගෙන් ඉවත්වුණා. ඉන්පසු, මා වඩා උනන්දු වුණේ දේශපාලන පක්ෂයට වඩා, හොඳම දේශපාලන චරිතය තෝරා ගැනීමටයි. එක් එක් දේශපාලන දර්ශනවලට නතු නොවී සිටීමට ඒ නිසා මට හැකිවුණා.

ජනාධිපති ලේකම් තනතුරට පත්වූ පසුවත්, එකල එක්සත් ජාතික පක්ෂය සමග කළ රාජකාරිය, වත්මන් දේශපාලන ඇඟෑළුම් කම් වලට පටලවා අර්ථ කථනයට සමහර දේශපාලනඥයින්ට ව්‍යාජව ඇලීගැලී සිටින්නවුන් (fake hangers-on) පෙළඹී සිටිනවා. මේ විචාරකයින් මගේ “My Belly is White” පොතෙහි මා ආරක්ෂක ලේකම් ලෙස පත් කළ අන්දම කියවා එය විශ්වාස කරන්නේ නම් එවැනි විචාරයන්ගේ සාවද්‍යභාවය පැහැදිලිවම අවබෝධ කරගනු ඇති.

ජනාධිපතිතුමන් විසින් මා වත්මන් තනතුරට පත්කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ඇඟෑළුම් කම් ගැන සමහරු විචාරය කර තිබෙනවා. පත්වීම සිදුවුයේ කෙසේද යන්න ගැන හොඳින්ම දන්නේ අතිගරු ජනාධිපතිතුමාමයි.

දේශපාලන පක්ෂයන්හි ඇබිත්තයෙකු නොවුවද, ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට විශාල ගරුත්වයක් මා තුළ තිබෙනවා. මා ජනාධිපතිතුමා හා අගමැතිතුමා පිළිවෙලින් අවුරුදු 43 හා 30 පමණ ඇසුරු කළේ රටේ මිතුරෙකු ලෙස හා සත්‍ය හා ස්වාධීන හඬක් දැරූවන් ලෙසයි. ඔවුන් ඔවුන්ගේ දේශපාලනය මගින් සාමය, සංහිඳියාව, යහ පාලනය හා සාධාරණය සඳහා සටන් කරමින් සිටි අවස්ථාවලදී මා ඔවුන්ගේ එම ක්‍රියාදාමයන්ට උපකාරී වුණා. ඔවුන් බලයේ නොසිටි, දේශපාලනයේ නියැලුණු සමයේදී අද ඔවුන්ගේ කාර්යාල හා නිවෙස්හි දිනපතාම රැස් කකා සිටින බොහෝ දෙනා දක්නට සිටියේ නැහැ. සමහරු ඔවුන්ට දැඩිව එරෙහි වු අයයි. ඔවුහු දේශීයව හෝ විදේශීයව උසස් තනතුරු දරමින් සැප සම්පත් පරිභෝජනය කළා. කෙසේවුවද, මා නිලදරුවෙකු ලෙස රජයට රාජකාරි කිරීම ඇරඹු පසු දේශපාලනයෙන් ඇත්වුයේ කිරෙන් දිය වෙන්ව හඳුනා ගන්න හංසයෙකු ලෙස මට පරිපාලනයෙන් දේශපාලනය වෙන් කරගත හැකිවූ නිසයි. මේ වෙනස තේරුම් නොගත් සමහර දේශපාලන ක්‍රියාකාරීන් මා ප්‍රතිගාමියෙකු ලෙස දුටු බව මම දන්නවා. එහෙයින් මා අප්‍රසිද්ධියේ දැඩි විවේචනයටද ලක් වූ බවත් මම දන්නවා.

මගේ රාජ්‍ය සේවා කාලය සියලුම දේශපාලන පක්ෂවල බලවතුන් සමග යහ සබඳතා ගොඩ නගා තිබූ නිසාදෝ ඔවුන් ද බිම් මට්ටමේ දේශපාලන කරුණු පැහැදිලි කර ගැනීමට මගෙන් විමසීම් කළා. මගේ හදවත දේශපාලනයට වඩා පුළුල්. මා උනන්දු වුණේ රටට හොඳ දේ කිරීම හෝ පැවසීම හෝ සිදුවේද යන්නයි , එය සියලු ප්‍රජාවන්ට සාධාරණය ඉටුකරයිද යන්නයි, එය සාමය හා සැනසුම ගෙන දේද යන්නයි,

මගේ දිවි ගමනේ දී හදවතට එකඟව ක්‍රියා කිරීම හා මාගේ රටට කළහැකි සේවයට ප්‍රමුඛත්වය මා දුන්නා. රාජ්‍යය රජයට වඩා බලගතු ශ්‍රේෂ්ඨ සංකල්පයක් බව මතක තබා ගත යුතුයි. දනින් නැමී වරදට වන්දනීය වීම වෙනුවට රාජ්‍ය සේවකයන් ලෙස නිවැරදි භාවය උපරිමයෙන් රැකීම, නීතියේ පරමාධිත්‍යය, වගවීම හා පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම රාජ්‍ය පරිපාලනයේ උධෘත පාඨ විය යුතුයි මා සිතනවා.

රාජ්‍ය සේවයේ තවත් ව්‍යසනයක් වන්නේ “ජ්‍යෙෂ්ඨතා ප්‍රමුඛතාවය” හා “දේශපාලන සුහදතාවයි”. මේ කරුණු දෙකම කාර්යක්ෂමව, ඵලදායීව හා ලාභදායීව රටට සේවය කළ හැකි නිලධාරීන් කණ්ඩායම් කලකිරීමට පත් කර තිබෙනවා. දේශපාලනඥයින් වටා එක්රොක්ව සිටින ව්‍යාජ​ රැවටුම්කරුවන් (fake hangers-on) පිරිසක්ද සිටිනවා . ඔවුන් දේශපාලනඥයින්ටත් හිසරදයක්. නිලධාරීන්ටත් හිසරදයක්. මෙය සෑම දේශපාලන සහ පරිපාලන මට්ටමකම දක්නට තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික හා දේශපාලන න්‍යාය පත්‍ර තිබෙනවා . ඒවාට දේශපාලනඥයින් හා පරිපාලකයින් නතු කර ගැනීමට ඔවුන් ක්‍රියාකරනවා. මෙවන් ව්‍යාජ රැවටුම්කරුවන් නිසි හේතු මත ඉවත් කරනු විනා, සුදුස්සන් ව්‍යාජ රැවටුම්කරුවන්ගේ බොරු කරුණු ඉදිරිපත් කීරීම් මත ඉවත් කිරීම නිසි පිළිතුර නොවේ. මෙමගින් කෙදිනක හෝ බැටකනු ඇත්තේ එම දේශපාලන බලධාරීන්මයි. එම ආයතනමයි.

මෙවැනි රැවටුම්කරුවන් සමඟ​ ක්‍රියා කිරීමේදී මගේ එක ප්‍රතිපත්තියක් තිබුණා. එනම් හැකි තරම් දුරට කෙලින්ම කතා කිරීමයි. එසේ කිරීමෙන් සමහරු සිත් තැවුල් ඇති කර ගත් බව මම දන්නවා. මා එය මගේ ශක්තියක් ලෙස සැලකුවත්, සමහරෙකු එය දුබලකමක් ලෙස සිතන්නට ඇති. කෙසේ වුණත් දැන් වයස අවුරුදු 76ක් වෙන මම තවත් ජීවත් වෙන්නේ ‍සීමිත වසර කිහිපයක් නිසා දැන් මම මගේ ජීවත් වීමේ කලාව වෙනස් කරන්න සූදානම් නෑ. මට මේ කාල තුළ සාමාන්‍ය ඔස්ටින් ප්‍රනාන්දු ලෙස දිවි ගෙවන්න ඉඩ දෙන්න. මම දැන් ස්වාධීන මිනිසෙක්.

මා 2015 දී ජනාධිපති උපදේශක තනතුරේ රාජකාරි භාරගත්තේ ජනාධිපතිතුමන්ගේ කැමැත්තටයි. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය මා භාරගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිර්දේශයක් මත ජනාධිපතිතුමාගේ ප්‍රත්‍යෝපකාරයක් නිසයි. උපදේශක ධුරය මා ඉටුකළේ වැටුපක් නොලබමින්. ජනාධිපති ලේකම් ධුරයට මා පත්වුණේ ජනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක්ම මග හැර, අවසානයේදී 2017 අප්‍රේල් මස 30 දින එතුමන්ගේ ඉල්ලීමට නතුවෙමින්.

අප කාගේත් තනතුරු හරියට නාට්‍යයක නලුවන්ගේ ඇඳුම් ආයිත්තම් වගෙයි. එක නැටුමකට පසු නැට්ටුවෝ එය ඉවත් කර දමනවා. ඊළඟ අංගයට වෙනස් ආයිත්තම්විලන් සැරසෙනවා. මම මේ ඇඳුම් ඉවත් කරන්නෙත් එවැනි හඟීමකින්. සතුටකින්. ඒ ගැන මට වඩා ප්‍රීතියෙන් ප්‍රමුදිත වන අයගේ සිනහ හඬේ දෝංකාරය අසමින්. ඉංග්‍රීසියෙන් “One who laughs last, laughs best“ යයි පිරුළක් තියනවා. “අවසානයට සිනහ වෙන්නා හොඳින්ම සිනාසෙනු ඇත” යන්න එහි තේරුමයි. කවුරුන් අවසානයට සිනහ වේදැයි මම දන්නේ නැහැ.

මගේ හදවත තරහ හා ක්‍රෝධය බහාලන කසල බඳුනක් නොවෙයි. එය ආදරය, සතුට හා සුන්දර මතක රඳවා තැබෙන අගනා සඳුන් මංජුසාවක් . මා තරහ, ක්‍රෝධය සිත්හි තබා නොගන්නා ඊර්ෂ්‍යාවෙන් තොර පුද්ගලයෙකු බව ඔබ සියලු දෙනා දන්නවා. තවද, ඔබ සැමට වෙනසකින් තොරව ආදරයෙන් හා ගෞරවයෙන් සලකා, එමගින් සතුට නොබිඳ රඳවා තැබීම, මටත් ඔබ සැමටත් සුන්දර මතක සිහිවටන වෙතැයි මම සිතනවා .

ඔබ අතර සමහර දෙනා සිතනවා ඇති මේ ජනාධිපති ධූර කාලය අවසන් වන්නට මාස ගණනක් තිබියදී මේ ලෙස මෙවන් බලවත් තනතුරක් අතහැර යන්නේ ඇයි කියලා. රාජ්‍ය සේවයේ තව දුරක් යා හැකි වයසේ සිටින නිලධාරීන්ට මම ඉතා නිහතමානී ව එක අවවාදයක් දෙන්නම්: බලය තුළ ඊට ආවේනික බලයක් නැහැ. එහෙම තියනවානම් කෙනෙක්ව බලයෙන් පහ කරන්නටත් බැහැ.

බලය කියන දෙය ඇතුළේ ඇත්ත බලය තියෙන්නේ එය අත හැරීමට ඇති හැකියාව තුළයි- පෞද්ගලික ජීවිතයේ හෝ, වෘත්තීය ජීවිතයේ හෝ , දේශපාලනයේ හෝ සැබෑ බලය ලැබෙන්නේ එක අතහැරීමට ඇති හැකියාව තුළයි. අතහැරීමෙන් ඔබට ලැබෙන බලය අන් කිසිම ශක්තියකින් ලැබෙන්නේ නැහැ. මේ පාඩම බුදු රජාණන් වහන්සේ අවුරුදු 2500 කට පෙර උගන්වා තිබෙනවා. රාජ්‍ය සේවකයන් සහ දේශපාලඥයන් දෙගොල්ලන්ම මේ ගැන සිතිය යුතුයි. මට අත්හරින්ට බැරි දෙයක් නැහැ, කෙනෙකු නැහැ, තනතුරක් නැහැ, සැපක් නැහැ, පහසුකමක් නැහැ. අපේක්ෂාද නැහැ. මම දුක හොඳින් දන්නවා. මම සැපත් හොඳින් දන්නවා. ලස්සන දෙයක් දුටුවා නම් සතුටින් මම කෙලින්ම එය ඇගයූවා. මා ලඟින් ඇසුරු කළ අය මෙය හොඳින් දන්නවා.

මම රජවරුන් මෙන්ම දිළින්දන් ඇසුරු කර තියනවා. අරන්තලාවේ හෝ අලුත් ඔයේදී හෝ පිටකොටුවේ බස් නැවතුම් පොලෙහි දී මියැදුනු රැසක් එක තැන දුටු විට කඳුලින් නෑවුනු මා, සංගීතයෙන් නැටුමෙන් කුල්මත් විය යුතු තැන ඊට අනුකූලව ඒ සියල්ල රස වින්දා. එය අද ද එසේමයි. හෙටත් එය එසේමයි. මට කොළඹ හතේ හෝ පැරිසියේ හෝ සුවඳ විලවුන් වලට වඩා කිලිනොච්චියේ හෝ සාම්පුර් හි අවතැන් කදවුරකින් එන දිළිඳු දහදිය ආඝ්‍රහණය සතුටක්.

පසුගිය වසර තුනේ මා ලිවීමෙන් ඉවත්ව සිටියා. සාමාන්‍යයෙන් මසකට උසස් මට්ටමේ ලිපි දෙකක් පමණ ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලිවූ මා සිත් තුළ කැකෑරෙන දේ තිබෙනවා. ඒවා නොලීවේ රාජ්‍ය සේවා බන්ධනයෙන් අත් බැඳ තිබූ හෙයින්. මා අදින් පසු ඒ බන්ධනයෙන්ද මිදෙනවා. මා උගත් පාඩම් රාජ්‍ය සේවයේ පැවැත්ම සඳහා අවශ්‍ය කෙනෙකු සමග බෙදා හදා ගැනීම සඳහා මගේ සන්තානයේ රඳවා ගෙන තිබෙනවා. සමහර විටෙක ඒ සියල්ලම නොවුණත් බිඳක් හෝ ලිඛිත ව එළිදක්වන්නට සිතා ගෙන ඉන්නවා . මිය යන්නට පෙර ඒ අභිලාෂය ඉටු කර ගන්නට නම් ඉක්මනින්ම මා විවේකී විය යුතුයි. ජනාධිපති ලේකම් ධුරය එයට ගැලපෙන රැකියාවක් නොවෙයි. දැන් මට ඒ කර්තව්‍යය ඇරඹිය හැකියි.

මගේ ජීවිතයේ දී හමුවුනු මිතුරෙක් වුනු ලලිත් විරතුංග මටමෙහිදී සිහිවෙනවා. ඔහු පසුගිය කාලයේ මුහුණ පෑ අත්දැකිමක් ඔබට සිහි කරන්නේ එයින් රාජ්‍ය සේවකයන්ට ලොකු පාඩමක් ඉගෙන ගත හැකි නිසයි. සිල් රෙදි සම්බන්ධ නඩු තින්දුවට අනුව ඔහුට බන්ධනාගාරගත වන්නට සිදුවෙනවා. මට අදටත් හිතාගන්නට බැහැ මා දන්නා ලලිත් වීරතංග එසේ හිරගෙට ගියේ ඇයි කියල. එදා ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගියේ නිර්භීත මුහුනින්. නමුත් අසරණව. ඔහුට අණ , නියෝග දුන්නු අය, ඔහු වටා ව්‍යාජව ඇලී ගැලී සිටි අය එදා දකින්න හිටියේ නැහැ. ඔහු ළඟින් දකින්න සිටි එකම පුද්ගලයා මගේ දීර්ඝ කාලීන මිතුරියක වන ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානි පමණයි. මම මෙතන සිටින කණිෂ්ඨ නිලදාරීන්ටත් පවසන්නේ අපි රාජ්‍ය සේවයක් කළත් මහජනතාවට සේවයක් කළත් අපිට වැරදුණු අපට ආවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙනන් වුණු වෙලාවට අප ළඟ ඉන්නේ අපේ බිරිඳ දරුවන් හෝ පවුලේ අය විතරයි. ඒකයි යතාර්ථය. මේ යතාර්ථය රාජ්‍ය සේවකයන් මන්ත්‍රයක් සේ දිනපාත සිහියට නැගිය යුතුයි.

මෙහිදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් ගැන වචන ස්වල්පයක් හෝ නොපැවසුවහොත් මා මහා වරදක් කරනු ඇති. එතුමා මා දැන හැඳින ගත්තේ වසර 43 ට පෙර. එතුමා දැන් වගේම මනා පෞරුෂයකින් යුතු වුවෙකු වුවා. ඉලන්දාරියෙකු වුවා. එදා මෙන්ම අද දක්වා අප දැඩි අනන්‍යෝන්‍ය ආදරයකින්, ස්නේහයකින් හා මිතුරුදමකින්, විශ්වාසයකින් ඇසුරු කළා. 2015 නොවැම්බර් 18 දින එතුමා දේශපාලන වශයෙන් භයානක පිම්මක් පනින බව විජේරාම පාරේ නිවසේදී මට රහසේම පැවසූ දවසේ එතුමාට සහ පවුලට මේ තීරණය සමඟ මුහුණ දෙන්නට සිදුවිය හැකි භයානක අභියෝග සිහිපත් කළා. ඒවාට මුහුණ දෙන්නට සුදානම්දැයි මා විමසු විට එතුමා ඒවාට සූදානම් බව කීවා. එසේ නම් ඒ ගමනට මාත් එක්වන බව පිටට තට්ටු කර මා පොරොන්දු වුණු අන්දම එතුමාට මතක ඇති. ඒ වෙලාවේ එතුමාගේ දිලිසෙන දෑසින් හා මුවගින් පිටවූ සිනහව මට තාමත් මතකයි. ජනාධිපතිතුමාන් නිසා අද එතුමාගේ පිටට තට්ටු නොකළත් අදටත් එතුමා කෙරෙහි දැක්වූ ආකල්පය අංශු මාත්‍රයකින් වත් වෙනස් වී නැහැ. මා එය අවධාරණය කළ යුතුයි.

ජයන්ති සිරිසේන මැතිනිය ගැනත් සඳහනක් කළ යුතු යයි මා සිතනවා. මා එතුමිය දැන හැඳින බොහෝ කලක් . එතුමියගෙන් අපට කිසිම දිනක රාජකාරියට හෝ එතුමියගේ සුඛ විහරණයට කිසිම ඉල්ලීමක් ආණ්ඩුකාර ධුරයේ සහ ලේකම් ධුරයේ සිටියදී ඉදිරිපත් වුණේ නැහැ. දේශපාලන අධිකාරිත්වය හා පවුල් සංස්ථාව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්නට ඇති විශිෂ්ට උපහැරණයක් ලෙස එතුමිය නොබියව පෙන්විය හැකියි. එමෙන්ම අනික් දේශපාලන අධිකාරිත්වයන්ට එතුමිය මාර්ගෝපදේශයක් . ජනාධිපතිතුමන්ටත්, එතුමියටත්, පවුලේ සැමටත් නිදුක් නිරෝගී සතුට හා සෞභාග්‍ය උදාවේවායි මම පතනවා.

මගෙන් ඔබ කිසිවෙකුට අවාසනාවට හෝ අතපසුවීමක් වුයේ නම් කරුණාකර සමාවෙන්න. සමහර විට මා සමහරුන්ට සැර වැර වී ඇති. සිත් රිදවීමක් වුයේ නම් ඊට සමා වන්න. ඔබේ නොකිලිටි ආත්ම ගෞරවය තරම් වටිනා ආභරණයක් තවත් නැති බව නිතරම සිහි තබාගන්න. ඔබ ඔබේ දරුවන්ට තබා යන වටිනාම දායාදය එයයි.

Comments