වාහනයක් තියෙන හැමෝම බදු ගෙවන්න ඕනෑ නෑ | සිළුමිණ

වාහනයක් තියෙන හැමෝම බදු ගෙවන්න ඕනෑ නෑ

මෝටර් රථයක් හිමි සෑම අයෙක්ම සහ විදෙස්ගත වන සියලු අය බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වූ කතාවට අත්තටු ලැබුණාක් මෙන් ප්‍රචාරය විය. මේ කතාවට පසුබිම් වූයේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ප්‍රකාශයකි. මේ සම්බන්ධ ව දේශපාලන කරලියේ මේ වන විට සමාජයේ විවිධ පුද්ගලයන් අතරද විවිධ කථිකාවන් සිදුවුණු අතර ජනතාවට නිවැරැදි තොරතුරු ලබා දීමේ අරමුණින් අප දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා ම හමුවීමු.

මොකක්ද මේ වාහනයක් හිමි අයෙක් බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු කතාව ?

ඔය කතාව වැරදි ආකාරයටයි අරගෙන තියෙන්නේ . මම කිව්වේ පෞද්ගලිකව පරිහරණය කරන මෝටර් රථ ජීප් රථ වැනි වාහන හිමියන් බදු ගෙවන්නන් වීමට බොහෝ විට ඉඩ ඇති නිසා ඔවුන්ට බදු ලිපි ගොනු ආරම්භ කරන ලෙසයි.

එහෙම නැතිව පාරෙ දුවන මඟී ප්‍රවාහන සේවා වාහන, වෙළෙඳ වාහන ඉඩම් වාහන අාදිය ගැන නොවෙයි.

එහෙමනම් ට්‍රැක්ටර් ත්‍රිරෝද රථ වගේ වාහන හිමියන්ට බදු ලිපි ගොනු විවෘත කිරීම් කළ යුතු නැද්ද?

නැහැ. ඒ වාහන හිමියන් බදු ලිපි ගොනු විවෘත කළ යුතු ආදායම් මට්ටමක සිටිනවා යැයි සිතන්නට බැහැ. කෙසේ නමුත් යම් ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5කට වැඩිනම් ඔහු අනිවාර්යෙන්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු වනවා.

ඔබ පවසන ආකාරයට බස් රථ හිමියන් මේ බදු ලිපි ගොනු විවෘත කිරීමේ කාණ්ඩයට අයත් විය යුතුයි. නමුත් ඔවුන් බදු ලිපි ගොනු විවෘත කර ඇතැයි ඔබ සිතනවාද?

අපේ රටේ බස් කර්මාන්තය කරනු ලබන ඉතාම සුළු පිරිසක් හැරෙන්නට අනෙක් සියලුම දෙනාම පාහේ බස් රථයක් හෝ දෙකක හිමිකරුවන් පමණයි. ඒ බස් රථත් ලීසිං පහසුකම් යටතේ මිලදී ගත් ඒවා. ඔවුන්ට බස් රථය නඩත්තු කරමින් සේවක වැටුප් ගෙවමින් ඉන්ධන සඳහා වැය කළ පසුව යළිත් බදු ගෙවන ආදායමක් උපදවන අය යැයි මා සිතන්නේ නැහැ.

ඔබ එසේ කිව්වත් බස් රථ සංගම්ම කියනවා, දක්ෂිණ අධිවේගයේ බස් රථ ධාවනය කිරීමෙන් දිනකට රුපියල් 50000ක පමණ ශුද්ධ ආදායමක් උපදවා ගන්න පුළුවන් කියා.

එවන් විශේෂතා ගැන අප සොයා බලනවා. ඒ අයුරින්ම තමයි මා පැවසුවේ මෝටර් රථයක් තිබෙන අයට බදු ලිපි ගොනු විවෘත කිරීම සුදුසුයි කියා.

අද කාලයේ මෝටර් රථයක් කියන්නේ සුපිරි භාණ්ඩයක් නෙමෙයි. බොහෝ පිරිස් මෝටර් රථයක් මිලට ගන්නේ පොදු ප්‍රවාහන සේවයේ බිඳ වැටීම නිසා සතෙන් සතේ එකතු කරලා, නැත්නම් කාර්යාලයෙන් හෝ බැංකු මඟින් ණය පහසුකම් යටතේ. එවන් අයට තව බදු ගෙවන්න යැයි කීම සාධාරණද?

මෝටර් රථයක් පාවිච්චි කළ හැකි ආර්ථික මට්ටමක සිටින්නේ බොහෝ විටම බදු ගෙවිය යුතු මට්ටමේ පුද්ගලයන් බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අප අදහස් කරන්නේ ඒ අයට මෝටර් රථයක් නඩත්තු කරන්න ආදායමක් තිබෙන්නේ කොහොමද යන්න ගැනයි. ආදායමක් උපයනවානම් එයින් කොටසක් සමාජයට යෙදවිය යුතු වනවා. අනෙක් කරුණ ණය අරගෙන තිබෙනවානම් සේවා නියුක්තියෙක් කාර්යාල හෝ බැංකු ණය අරගෙන තිබෙනවානම් ඒ බව පෙන්වීමෙන් පසුව බදු ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී මතක තබා ගත යුතුම කරුණ තමයි. මෝටර් රථයක් තිබූ පමණින්ම බදු ලිපි ගොනු විවෘත කිරීම හෝ බදු ගෙවීමක් අවශ්‍ය නොවන බව.

යම් අයෙක් අමාරුවෙන් ලීසිං ගෙවමින් මෝටර් රථයක් භාවිතා කරනවානම් ඔහු හෝ ඇයට බදු ගෙවන්න යැයි කීම සාධාරණද?

ලීසිං ගෙවීමට ආදායම උපදවන ආකාරය අනුවයි බදු ගෙවීම කළ යුතුද නැද්ද යන්න තීරණය වන්නේ. ව්‍යාපාරිකයෙක් නම් පෙර සඳහන් කළ ආකාරයට වසරකට ලක්ෂ 5ක මුදලක් සඳහා පමණයි බදු නිදහසක් තියෙන්නෙ. එයින් ඔබ්බට වාහනයක් තිබුණත් නැතත් බදු ගෙවිය යුතුයි. යම් ආයතනයක සේවා නියුක්තියෙක් නම් වසරකට රුපියල් ලක්ෂ 12ක බදු නිදහසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නෙ මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් බදු නිදහසක් තිබෙනවා. එය ඉක්මවා ගියහොත් පමණයි බදු ගෙවිය යුතු වන්නේ.

ඔබ පැවසුවා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් ලක්ෂ 5ක ආදායමකට වැඩියෙන් බදු ගෙවිය යුතු බවට. වසරකට රුපියල් ලක්ෂ 5ක් කියන්නෙ මාසෙකට රුපියල් 42500ක් වැනි මුදලක්. ඒ ආදායමෙන් එදිනෙදා වේල් තුන යන්තම් පිරිමහ ගන්න පුළුවන්. එවන් අයට වාහනයක් තිබුණත් නැතත් බදු ගෙවන්න සිදු වීම සාධාරණයි කියා ඔබ සිතනවාද?

ඒක අලුත් දෙයක් නෙමෙයි. ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ 5ක් ආදායමක් නෙමෙයි ශුද්ධ ලාභයයි මෙහිදි අප බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ විදුලි බිල් දුරකතන බිල්, වතුර බිල්, ව්‍යාපාරයට අදාළ වෙනත් සේවක වැටුප් ඇත්නම් ඒවා. වෙනත් ක්ෂය වීම් වෙනත් ගෙවීම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුලියට හෝ බද්දට නම් එම බදු හෝ කුලී ගෙවීම්, ව්‍යාපාරයේ ප්‍රවාහන වියදම් ඇතැම් විට ආයතනයේ අවශ්‍යතාව අනුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ මිලට ගෙන ඇත්නම් ඒවාට අදාළ ලීසිං, රක්ෂණ වාරික පවා අඩු කළ යුතු වනවා. මේ ආදී සියල්ලම ඉවත් කළ පසුව ඉතිරිවන ශුද්ධ ආදායමටයි බදු ගෙවීම් කළ යුත්තේ. එයත් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් වනවා. අපි හිතමු යම් අයෙක් වසරකට රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයක් උපයනවා කියා. එවිට පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් ඉතිරි ලක්ෂයක මුදලින් 4%ක් බදු ලෙසින් ගෙවිය යුතු වනවා. ගණනය කළහොත් රුපියල් ලක්ෂයකින් 4%ක් හෙවත් රුපියල් 4000ක් පමණයි වසරකට ගෙවිය යුත්තේ. එය රජයට ගෙවන බද්දක් ලෙස සිතනවාට වඩා බදු ගෙවන්නා ඇතුළු සමස්ත ජනතාවගේ සුබසාධනය ලෙසින් කල්පනා කළ යුතු වනවා.

මා පැවසුවේ අද මෝටර් රථය සුපිරි භාණ්ඩයක් වන්නේ නැහැ. එවන් තත්ත්වයක් මත බදු පැනවීම සාධාරණයැයි ඔබ සිතනවාද?

මෝටර් රථයක් මිලට ගත් පමණින් එය භාවිත කරන්න බැහැ. එය නඩත්තු කළ යුතු වනවා. රක්ෂණ වාරික මෙන්ම ලීසිං වාරිකත් ගෙවිය යුතුයි. ඒ වගේම අපිට මෝටර් රථයක් භාවිත කරන්නට සමාජයේ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් බාහිර සාධකත් සකස් කර ගත යුතු වනවා. මේ වන විට අපට ලැබී ඇති වාර්තා අනුව මෝටර් රථ භාවිතා කරනු ලබන ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ සිටින පුද්ගලයන් 45%ක් පමණ ආදායම් බදු ගෙවන්නේ නැහැ. පහුගිය දිනක පුවත්පතක පළවුණා රුපියල් ලක්ෂ 5ට වැඩි ආදායමක් වාර්ෂික ව ඇත්නම් වාහන හිමියන්ට අතිරේක බද්දක් ගෙවිය යුතු ආකාරයේ හැඟෙන මා නොකියූ ප්‍රවෘත්තියක්. එය සාවද්‍යයි.

රුපියල් ලක්ෂ 5ක ශුද්ධ ආදායම ඉක්මවා යන සියලුම දෙනා බදු ගෙවිය යුතුමද?

පටවලා ගන්න එපා. මේ කතා කරන්නේ ව්‍යාපාරිකයන් ගැන. රාජ්‍ය හෝ වෙනත් ආයතනයක සේවය කරන සේවා නියුන්තියන් සම්බන්ධයෙන් මසකට රුපියල් ලක්ෂයක බදු නිදහසක් ලබා දී තිබෙනවා. ඔවුන් තම ආයතනවලින් ලැබෙන වැටුප් මුදල් සඳහා අමුතුවෙන් බදු ගෙවිය යුතු නැහැ. ඒ ආයතනවල ගණකාධිකාරවරයා අදාළ බදු අය කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවනු ලබනවා උපයන විට ගෙවිය යුතු බද්ද (PAYE TAX) ලෙසින් වැටුප් පතෙන් අඩු කර ඇත්තේ එම බදු මුදල්. එම නිසා ඔවුන් යළිත් බදු ගෙවිය යුතු නැහැ. ඔවුන් මෝටර් රථයක් භාවිත කළා කියා අමුතුවෙන් බදු ගෙවිය යුතු නැහැ. ඒත් වෙනත් ආදායම් තිබෙනවානම් ඒ සදහා ඉහත පරිදි බදු ගෙවිය යුතුමයි.

දැන් ස්ථාවර තැන්පතු පොලියෙන් 5%ක බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය කර ගන්නවා. ව්‍යාපාරිකයකු තම ආදායම පෙන්වීමේදී එම උපයන ලද පොලී මුදල් සඳහා නැවතත් බදු ගෙවිය යුතුද?

පැහැදිලිවම නැහැ. ඒ සඳහා බදු මුදල් බැංකුව විසින අය කරගෙන ඉවරයි. කාර්යාලයේ වැටුපෙන් අඩු කරනවා වගේ බදු මුදල් අය කර අවසන්.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් බදු නිදහස් සීමාවක් පනවා තිබෙනවා නේද?

ඔව්, ඒ ඉතාම ඉහළ ආදායමකින් පසුවයි. වසරකට රුපියල් ලක්ෂ 15කට වැඩි පොලී ආදායමක් ලැබෙනවා නම් වැඩිවන පොලී ආදායමටයි බදු ගෙවිය යුතු වන්නේ. ලක්ෂ 15ක පොලී ආදායමක් ලැබෙන්නට නම් අඩුම ගාණේ බැංකුවේ කෝටි එකහමාරකට ආසන්න මුදලක් තිබිය යුතු වනවා.

ඔබ පවසා තිබුණා විදෙස් සංචාර කරන්නන් විසින් බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට?

වරදවා වටහා ගත් අනෙක් කරුණ තමයි ඒ. විදේශ සංචාර ආයතනවලින් මා වෙත වාර්තා වුණා. අප්‍රේල් අගෝස්තු දෙසැම්බර් මාසවල විදේශ ගමන් සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ඉතාම අසීරු බව. එයට හේතුව ඇතැම් පිරිස් පවුල් පිටින් විදේශ සංචාරවල නිරත වීමයි. එක් අයකුට ඇතැම් විට රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා. එවන් අයට බදු ලිපි ගොනු විවෘත කිරීමට යි මා ආරාධනා කරන්නේ. එසේ නොමැතිව දඹදිව වන්දනා කරන්න යන බැතිමතුන්ගෙන් හෝ අධ්‍යාපනයට විදෙස් ගත වන්නන්ගෙන් හෝ ආයතනවලින් විදෙස් ගත වන්නන්ගෙන් හෝ බදු ලිපි ගොන විවෘත කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

නව ආදායම් බදු පනතට අනුව විදේශ රැකියා සිදු කර එවනු ලබන විදේශ විනිමයටත් බදු අය කරන බවත් පෙනෙනවා.

විදෙස් රැකියා කරන්නන් වසරකට රුපියල් මිලියන 15ක් හෙවත් ලක්ෂ 150ක මුදලක් බද්දෙන් නිදහස් කර තිබෙනවා. ඒ කියන්නෙ ආසන්න වශයෙන් මාසෙකට රුපියල් 1250000.00ක් පමණ ආදායමක් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

නමුත් බදු නොගෙවන ආදායම සඟවන විශාල පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම නීතිඥවරුන් ගේ ආදායම පෙනෙන්නේ නැහැ. එවන් අයගෙන් ආදායම් බදු ලබා ගැනීම සිදු කරන්නේ කෙසේද?

ඔබ පැවසූ පරිදි ආදායම් බදු ගෙවිය යුතු එහෙත් බදු නොගෙවන විශාල පිරිසක් සිටිනවා ඔවුන් ආදායම් බදු සඳහා යොමු කිරීමයි අපේ අපේක්ෂාව වී ඇත්තේ. නමුත් මේ වන විට නීතිඥවරුන් සැලකිය යුතු පිරිසක් ආදායම් බදු ගෙවීමට කටයුතු කර තිබෙනවා. නීතිඥවරුන් තේරුම් ගත යුතුයි පාසල් අවදියේදී එක් සිසුවකු වෙනුවෙන් වසරකට රුපියල් 47000ක මුදලක් හා සරසවියේදි වසරකට රුපියල් ලක්ෂ 3ක වියදමක් රජය දැරිය යුතු බව. එම නිසා තවත් දරු දැරියන් පිරිසකට ඒ සහනය ලබා දෙන්න ඔවුන් උපයන ආදායමෙන් යම් මුදලක් ඒ සමාජ සේවායට යෙදවිය යුතු වනවා.

සේයාරුව- විපුල අමරසිංහ

අදහස්