මැරෙන වයස හරියට ම කියන ලේ පරීක්ෂාව | සිළුමිණ

මැරෙන වයස හරියට ම කියන ලේ පරීක්ෂාව

හදිසි අනතුරක් නොවුණොත් වයෝවෘද්ධ වී මියයන්ට තව කොපමණ කල් තිබේදැයි දැනගැනීමට බොහෝදෙනා කැමැත්තක් දක්වති. උණක්, හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුණු විට පවා ලංකාවේ බොහෝ අය හඳහන්, ජ්‍යොතිෂ, ශාස්ත්‍ර බලන තැන් කරා දිවයන්නේ ඒ කැමැත්ත නිසාය. ඒ ගැටලුවට විද්‍යාවෙන් විසඳුම් සපයන්නට ඇමෙරිකාවේ යේල් පර්යේෂණ විශ්විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇති බව දැනගන්නට ලැබීම සතුටකි. ඕනෑ ම පුද්ගලයෙකුගේ උපරිම ආයුෂ කොපමණදැයි ඔවුන් ගණනය කරන්නේ ලේ සාම්පලයක් පරීක්ෂාවට භාජනය කිරීමෙනි.

මාරයා එන්නේ කලින් දැනුම් දීමකින් තොරවය යන කියමන මේ නව සොයා ගැනීමත් සමඟ අවලංගු වී යනු ඇත.

මිනිසකුගේ රුධිර සාම්පලයක් ගෙන එහි අඩංගු රසායනිකයන් නවයක් පරීක්ෂාවට ලක් කිරීම මඟින් ඒ තැනැත්තාගේ ශරීරය කෙතෙක් වියපත්ව ඇත්දැයි ගණනය කිරීම මෙහි පර්යේෂණ ක්‍රමවේදයයි. බොහෝ පුද්ගලයන්ගේ උප්පැන්න සහතිකයෙන් ගැනෙන වයස සහ ශරීරය වියපත් වීම අතර විශාල පරතරයක් ඇති බව මේ පර්යේෂණ මෙහෙයවූ ව්‍යාධිවේදී මෝගන් ලෙවින්ගේ සොයා ගැනීමයි.

“පුද්ගලයකුගේ වයස කැලැන්ඩරයට අනුව ගණනය කරනවාට වඩා මේ ක්‍රමය ඉතා සාර්ථකයි. ඒ වගේ ම මෙතෙක් විද්‍යාත්මකව පරීක්ෂා කර බැලූ එක් එක් අවයවවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිශතය මැන බැලීමටත් වඩා මේ නව ක්‍රමය ඉදිරියෙන් සිටිනවා.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ශාරීරිකව වයසට යන මිනිසුන්ව මේ ලේ සාම්පල් පරීක්ෂාව මඟින් කලින් හඳුනාගන්න පුළුවනි. කිසි ම අසනීපයක් නැති, බැලූ බැල්මට නිරෝගී යැයි පෙනෙන මිනිසුන්ගේ මේ පරීක්ෂණය කර බැලූ විට ආයු අපේක්ෂාව ගැන අපට ලැබුණේ මවිත වෙන විදියේ ප්‍රතිඵල. කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළවෙන්න කලින් හඳුනා ගන්නත්, ජීවිත අවදානමක් ඇති විය හැකි රෝග ගැන කල්තියා අනාවැකි පළකරන්නත් මේ ක්‍රමය අනුව පුළුවනි.” යේල් විශ්ව විද්‍යාලයේ පර්යේෂණය මෙහෙයවූ ව්‍යාධිවේදී මෝගන් ලෙවින් පවසයි.

මෙම ලේ පරීක්ෂාව ඇසුරින් ශරීරයේ වයස ගණනය කිරීමෙන් ලැබෙන අගය ඔවුන් නම් කරන්නේ “රූපානුදර්ශී වයස” (Phenotipic Age) යනුවෙනි. ව්‍යාධිවේදී ලෙවින් එය මෙලෙස විස්තර කරයි. “ඔයාගේ වයස අවුරුදු 65 දී අපි මේ පර්යේෂණය කරලා බලනවා. එවිට අපට ලැබෙන “රූපානුදර්ශී වයස” ඒ කියන්නේ “ශරීරයේ වයස” අවුරුදු 70 ක් නම් අවුරුදු හැටපහක කෙනෙකුට වඩා ඔබ රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඇත්තට ම මේ ක්‍රමයේ ලොකු ම වාසිය වන්නේ වැඩි අවදානමක් ඇති අය හඳුනාගන්න ලැබීමයි. වැඩි අසනීපයක් නැතත් ඔවුන් ගැන අවදානයෙන් සිටීමට වෛද්‍යවරුන්ටත්, පවුලේ අයටත් පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට ඒ වගේ අවදානම් සහිත නමුත් වර්තමානයේ නිරෝගී කෙනෙකුගේ රුධිරයේ සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගත්තොත් මේ ජීවිත අවදානම අඩුවෙන බව අපට නිරීක්ෂණය කරන්නට පුළුවනි.”

ආයුෂ ගැන අනාවැකි කියන සාස්තරයකට වඩා මෙහි වටිනා භාවිතයන් කිහිපයක් ම තිබේ. වැදගත් ම දෙය මේ ඇසුරින් වේගයෙන් ශරීරය වයසට යන අය හඳුනාගන්නට පුළුවන් වීමයි. ව්‍යාධිවේදී ලෙවින් ඇතුළු පර්යේෂකයන් මේ ක්‍රමය සොයාගෙන තිබෙන්නේ ශරීරයේ විවිධාකාර මිනුම් 42 ක් ගැන අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. උදාහරණ ලෙස, සුදු රුධිරානු ගණන, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, රුධිරයේ ඇල්බියුමින් ප්‍රමාණය මෙන් ම විශාල පිරිසකගේ වෛද්‍ය වාර්තා ගැන තොරතුරු මෙන් ම ජීවන විලාසය ගැනත්, මරණ පිළිබඳ වාර්තාත් ඔවුන් අධ්‍යයනය කර තිබිණි.

1988 වසරේ සිට 1994 දක්වා මේ පර්යේෂණයේ මුල් අදියර පවත්වා ඇති අතර, එහිදී මිනිසුන් 10,000 කගේ සාම්පලයක් පරීක්ෂණයට සහභාගීකරවා ගෙන තිබිණි. ඒ ඇසුරින් දෙවැනි අදියරේ සැකිල්ල නිමවා ඇති අතර, 1999 සිට 2010 දක්වා මේ පර්යේෂණයේ දෙවැනි අදියර සිදුකර ඇත. එහිදී පරීක්ෂා කර තිබූ පුද්ගලයන් සාම්පලයේ ප්‍රමාණය 11,000 කි. ඕනෑම පුද්ගලයෙකුගේ වයස ලේ සාම්පලයකින් ගණනය කිරීමේ සූත්‍රය ඔවුන් නිපදවා තිබෙන්නේ එම දත්ත ඇසුරිනි.

“කෙනෙකුගේ උපතේ සිට ගණනය කරන වයසට වඩා, මේ රූපානුදර්ශීය වයස ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියට බොහෝදුරට සම්බන්ධයි. සරලව කිව්වොත්, ඔබේ වර්තමාන වයසට වඩා, රූපානුදර්ශී වයස වැඩි නම් ඔබ සාමාන්‍ය කෙනෙකුට වඩා වේගයෙන් මහලු වෙමින් සිටිනවා.” “මේ පර්යේෂණයෙන් හෙළිවූ තවත් විශේෂ ම කාරණාවක් නම්, කාන්තාවන්ගේ රූපානුදර්ශී වයස, ඔවුන්ගේ සැබෑ වයසට වඩා අඩු බවයි. ඒ අනුව කාන්තාවන්, පිරිමින්ට වඩා හෙමින් වයසට යන බවත් ඔවුන් සාපේක්ෂව වැඩි ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින බවත් පර්යේෂණ කණ්ඩායම තහවුරු කළා.” ලෙවින් පවසයි.

“ඔබ සිටින්නේ අවුරුදු 50 - 64 අතර වයසේ නම්, ඔබට තිබෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් වියපත් වන ශරීරයක් නම් ඉදිරි අවුරුදු 10 ක කාලය තුළ ඔබ මරණයට පත්වීමේ අවදානම 25% යි.”

පුද්ගලයන් ශාරීරිකව වියපත් වීමේ වේගය වැඩි කරන හේතු මොනවා දැයි නිවැරදිව ම සොයා ගැනීම ඔවුන්ගේ මීළඟ පර්යේෂණයේ අරමුණයි. දැනට ඔවුන් සැක කරන හේතු වන්නේ “තනිකම, පහළ අධ්‍යාපන මට්ටම, දීර්ඝකාලීන මානසික ආතතිය සහ අප දැනටමත් දන්නා දුම්පානය, ව්‍යායාම මදිකම සහ ස්ථුලතාව” යන සාධකයි. මේවා ගැන මීළඟ පර්යේෂණයේදී වඩාත් විද්‍යාත්මකවත්, ස්ථිරවමත් කරුණු ඉදිරිපත් කිරීමට ලෙවින් ඇතුළු පර්යේෂක කණ්ඩායම අපේක්ෂා දල්වා සිටිති.

The Guardian ඇසුරිනි.

අදහස්