ශ්‍රමයට වටිනාකමක්-ක්‍රමයේ සංවර්ධනයක් | සිළුමිණ

ශ්‍රමයට වටිනාකමක්-ක්‍රමයේ සංවර්ධනයක්

එක්තරා රජයේ ආයතනයක තට්ටු පහක ගොඩනැඟිල්ලක් ඉදි කරමින් තිබියදී එහි සේවය කරමින් සිටි තරුණ කම්කරුවෙක් තුන්වැනි තට්ටුවෙන් බිමට ඇද-වැටිණි. එසේ ඇද-වැටීමේදී ඔහුගේ වාසියට හේතු වූ කරුණු කිහිපයක් නිසා බරපතළ අනතුරකින් තොරව ජීවිතය රැකගැනීමට ඔහු සමත් විය. සතියක් පමණ රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු නිවෙස බලා ගියේ කම්කරු රැකියාව කරන්න තරම් සෞඛ්‍යය යහපත් නොවූ නිසාය. ඔහුට සුපුරුදු පරිදි යළි රැකියාව කිරීම සදහා වැඩබිමට එන්නට පෙර මාසයක් පමණ විවේකීව ගත කරන්නට සිදු විය. ඒ කාලය තුළ ඔහුට වැටුප් නොලැබිණි; ප්‍රමාණවත් වන්දියක්ද නොලැබිණි.

ඈත දුර-බැහැර දුෂ්කර ප්‍රදේශවලින් කම්කරු රැකියාව සඳහා කොළඹ ඉදි කිරීම් වැඩබිම්වලට එන කම්කරු තරුණයන්ට මෙවැනි අනතුරක් සිදු වූ විට අපා දුක් විදින්නට සිදු වේ. ඔවුන් රැකබලාගැනීම සඳහා සමීපතමයන් ළඟක නැත. කොන්ත්‍රාත්කරුවෝ ඔවුන් ගැන සොයා නොබලති. විධිමත් කම්කරු නීතියක්ද නොපවතී. පවතින නීතියෙන් පවා රිංගා යෑමට කොන්ත්‍රාත්කරුවෝ දක්ෂ වෙති.

පසුගිය මාසයේ කොළඹ ඉදි කෙරෙන උස් ගොඩනැඟිල්ලකින් ඇද-වැටී කම්කරුවෝ දෙදෙනෙක් මිය ගියහ.

මීට මාසයකට දෙකකට පෙර නෙලුම් කුලුනෙන් ඇදවැටී තරුණ කම්කරුවෙක් මිය ගියේය. මේ ලෙස කිසිම වටිනාකමක් නැතිව අකාලයේ මිනිස් ජීවිත විනාශ වීම සමාජයේ කම්පනයට හේතුවක් වූ බවක්ද පෙනෙන්නට නොවීය. එහි පාඩුව දරන්නේ ඒ කම්කරුවන්ගේ සමීපමතයන් පමණි. ඊට හේතුව වන්නේ මිනිස් ජීවිතයක වටිනාකම අගයන සමාජ ක්‍රමයක අප ජීවත් නොවීමයි.

වැඩබිමක කම්කරු ආරක්ෂාවයැයි සංකල්පයක් නොපවතී. එහි ඇත්තේ උපද්‍රව නැති (No Hazard) අවකාශයකි. ඒ සංකල්පය බටහිර දැනුම් පද්ධතියේ අදහසකි. එමඟින් බලාපොරොත්තු වන්නේ උපද්‍රවවලින් තොර සංවර්ධනයකි. ඒ අනුව ඉදි කිරීම් බිමක කිසිවකුට උපද්‍රව ඇති නොවීම සඳහා නීති-රීති පවතී. ඒවා ක්‍රියාත්මක කිරීමද අනිවාර්ය වේ. වැඩබිමක උපද්‍රව වැළැක්වීම සදහා වෙනම නිලධාරීන්ද පත් කර ඇත. එහෙත් මේ සියල්ල රඳා පවතින්නේ වැඩබිමක ඒ ඒ සාධකවල ගොනු වීම මතය.

කොන්ත්‍රාත් සමාගම පළමු පන්තියේ නාමධාරී සමාගමක් වීමත් සේවාලාභියාත්, උපදේශකයාත් දැනුමෙන් පරිපූර්ණ වීමත් මේ සාධකයන්ගේ යහපත් ගොනු වීමකට බලපායි. එසේම සේවාලාභියා හා කොන්ත්‍රාත්කරු අතර අත්සන් කරන සේවා ගිවිසුම කොතෙක් ශක්තිමත් වේද යන්න මතද උපද්‍රව නැති වීම රඳා පවතී.

උපද්‍රවවලින් තොර වැඩබිමක් සදහා පුහුණු කම්කරුවන් නැතිවීමද බරපතළ ලෙස බලපාන සාධකයකි. බොහෝ විට උපද්‍රවයන් නොසලකා වැඩබිමක රාජකාරි කරන්නෝ නුපුහුණු කම්කරුවෝය. වැඩබිමක පුහුණු කම්කරුවන් නිර්මාණය නොවීමට ලංකාවේ ස්ථිර කම්කරු පන්තියක් නොවීමද බලපායි.

ධනේශ්වර සංවර්ධනයේ මූලික අවස්ථාවේ මිනිස් ජීවිතයන්ට ලැබෙන වටිනාකම අහෝසි වේ. එවිට වෙළෙඳපළ තර්කනය ශක්තිමත්ව තබාගැනීම ප්‍රමුඛ වේ. එහෙත් සියල්ල කරන්නේ ජීවත් වීම සඳහාය. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවතක්සේරු කරන්නේ නම් සංවර්ධනය යන්න මිථ්‍යාවකි. වෙළෙඳපළ ප්‍රවර්ධනය විය යුතුය. ගනුදෙනු සිදු විය යුතුය. එහෙත් පරිසරය නිර්මාණය කරගත යුත්තේ මිනිස් ජීවිතවලට සුවපහසු වන පරිදිය.

සංවර්ධනය ආර්ථික විශේෂඥයන් සමඟ පමණක් කෙරෙන ගනුදෙනුවක් නොවේ. ඊට සියලු පාර්ශ්ව සම්බන්ධ විය යුතුය. ආර්ථික සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනයද ඊට අයත් විය යුතුය. එසේම සංස්කෘතික සංවර්ධනයද ඇති විය යුතුය. මේ අන්දමින් සංවර්ධනය යන්න පුළුල් අර්ථයෙන් විය යුත්තකි.

එහෙත් තවමත් අප සමාජයක් ලෙස මුහුණ දෙන අබග්ගය වී ඇත්තේ අපේ එදිනෙදා පරිසරය හෝ මිනිස් වාසයට ගැළපෙන පරිදි සකස් කරගැනීමට අපොහොසත් වීමයි. විශාල ගොඩනැඟිලිවලින් බිම ඇදවැටී මිනිසුන් අමු-අමුවේ මිය යන්නේ නම් විශාල විස්තෘත සංවර්ධනයක් ගැන කතා කිරීම විහිළුවකි. එනිසා පළමුව කළ යුත්තේ මූලික තත්ත්ව පාලනයකින් යුතුව නගර ආශ්‍රිත ගොඩනැඟිලි කළමනාකරණයයි; එමෙන්ම නගර සැලසුමක් අනුව සංවර්ධන කටයුතු තීරණය කිරීමයි.

- අබරන්
[email protected]

අදහස්