තාත්තාගේ අත් පිට­පත් කිය­වන්න පුළු­වන් වුණේ අම්මට විත­රයි | සිළුමිණ

තාත්තාගේ අත් පිට­පත් කිය­වන්න පුළු­වන් වුණේ අම්මට විත­රයි

‘හෙළයේ මහා ප්‍රාඥයා’ ලෙස විරු­දා­වලී ලැබූ මහ­ග­ත්කරු මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ බාල පුතු වෛද්‍ය රංග හිමාංශු වික්‍ර­ම­සිංහ සිය පියා­ණන් පිළි­බඳ මතක අවදි කර­මින් අප සමඟ අතී­ත­යට පිය­මැන්නේ මෙලෙ­සිනි.

• අපි මුලින් ම ඔබේ ළමා විය මතක් කරමු.

අපේ තාත්තා මුලින් ම හදපු ගේ තිබුණේ ගල්කිස්සෙ. එහෙ ඉඳන් මමයි අයි­යලා දෙන්නයි ශාන්ත තෝමස් විද්‍යා­ල­යට ගියේ. පවුලේ පිරිමි ළමයි තුන්දෙ­නයි, ගැහැනු ළමයි තුන්දෙ­නයි. බොහෝ දව­ස්ව­ලට තාත්තා පත්තර කන්තෝ­රු­වට යන්නෙ දවල් වෙලා. දවල් ගිහින් රෑ වෙලා ගෙදර එනවා. තාත්තා නිෙවසට එන­විට අප නින්දට ගිහින්. අපේ ගෙදර තිබුණෙ කාමර දෙකයි. මමයි, ලොකු අක්කයි නිදා­ගත්තෙ සාලෙ. ඒ නිසා තාත්තා එන­කොට මම අවදි වෙනවා. මට ඔර්ලෝ­සුව පෙනෙ­නවා. හුඟාක් රෑ වෙලා එන්නෙ කියල මං දැක්කා.

මොන­ත­රම් රෑ වෙලා ආවත් උදේ පහට තාත්තා අවදි වුණා. උදෑ­සන ව්‍යායා­ම­යට වගේ ටිකක් එහාට මෙහාට ඇවි­දි­නවා. තාත්තා එහෙම ඇවි­දින අතර ම සින්දුත් කිය­නවා. බොහොම ආද­රෙයි චන්ද්‍රා... ඕ මයි­ඩාලිං ටියුන් එක­ටත් සිංදු කිව්වා. දන්නෝ බුදුන්ගේ ගීත­යත්, මුනි­දාස කුමා­ර­තුංග සූරීන්ගේ හා හා හරි හාවා ගීත­යත් නිතර කිව්වා. මේවයේ තාල­යක් තිබුණේ නෑ. සේරම එක විදි­හට කිව්වෙ. අපි ඒක කිව්වට පිළි­ග­ත්තෙත් නෑ. දව­සක් දන්නෝ බුදුන්ගේ ගීත තැටි­යක් ගෙනැත් ධාව­නය කළා. බල­න්නකො ඒ වගෙ­මනෙ මමත් කියන්නෙ කියල අපිට කිය­නවා!

• පොත - පත කියැ­වීම කොහො­මද?

අපේ නිවෙසේ පොත් හුඟක් තිබුණා. බොහෝ­විට ඔහු පුස්ත­කාල කාම­ර­යට ගිහින් රාක්ක­යෙන් පොතක් අර­ගෙන පැන්ස­ලෙන් මොනව හරි සට­හන් කරල ආපහු තිය­නවා. බිත්ති දිගේ සවි කරපු රාක්ක­ව­ලත් පොත් රාශි­යක් තිබුණා. සම­හර වෙලා­වට බ්‍රෂ් එකක් අර­ගෙන මේ පොත් පිස­දාලා නැවත තිබ්බා. විවිධ පාට පාට පොත් තිබුණා. අව­සාන කාලය වන විට තාත්තගෙ පුස්ත­කා­ලයේ පොත් 5000 කට වැඩි­යෙන් තිබුණා. ඒවා තාත්තා අවු­රුදු 70ක් විතර තිස්සේ එකතු කර­පුවා. රස්සා­වක් හොයා­ගෙන තාත්තා කොළ­ඹට ආවේ අවු­රුදු 17 දි. ඒ කාලයේ ඉඳන් ම ඔහු පොත් එකතු කළ බව මට කියල තියෙ­නවා. පඩිය ලැබු­ණාම කෙළින් ම යන්නෙ එච්.ඩබ්. කේව් පොත් සාප්පු­වට. පොත් 2 - 3 ත් අර ගන්නවා. එහෙම එකතු කළ තාත්තාගේ පොත් එක­තුව ජාතික පුස්ත­කා­ල­යට පරි­ත්‍යාග කළා. එය වෙන­මම එක­තු­වක් ලෙස ජාතික පුස්ත­කා­ලයේ තිබෙ­නවා. පොත් සාප්පුවෙ එහෙට මෙහෙට ඇවි­දින අත­රත් කිය­ව­නවා. මේක රෙෆ­රන්ස් ලයි­බ්‍රරි එකක් වගෙත් පාවිච්චි කරලා. දව­සක් සුදු ජාතික කළ­ම­නා­කා­ර­ව­රයා තාත්තට මේ බව කියල තිබුණා. මම දන්නවා ඔහොම කිය­ව­නවා කියලා ඒකට නම් කමක් නෑ හැබැයි පිටු පෙර­ළද්දි කෙළ ගාලා ඒක කරන ඇබ්බැ­හිය නම් නතර කරන්න ඕන කියලා. තාත්තා මේ ගැන ‘උපන්දා සිට’ පොතේ ලියල තියෙ­නවා. තාත්තා බහු­ශ්‍රැ­ත­යෙක් වෙන්න මේ කියැ­වීම හුඟාක් බල­පෑවා. එක් විෂ­ය­යක් නෙවෙයි, විෂ­ය ගණ­නා­වක් ගැන ඔහුට දැනු­මක් තිබුණා. ඔහු මිය යන විට වයස අවු­රුදු අසූ හයයි. නැති­වෙන්න අවු­රුදු 2 - 3 ක් වගේ වෙන­කල් ම ගත්ත පොත් තිබුණා. අවු­රුදු 70 ක් විතර තිස්සේ ගත් පොත් ලියන දේකට පොතක් පරි­ශී­ල­නය කරන්න ඕන වුණාම රාක්කය ළඟට ගිහින් ඒ අවශ්‍ය පොත තෝරා­ගන්න තරම් මත­ක­යක්, තාත්තට තිබුණා. තමාගේ ම පුස්ත­කා­ල­යක් තිබීම තාත්තට ලිවී­මට හුඟක් උප­කාරී වුණා.

අපි පී.එච්.ඩී. කර­ද්දි­වත් පොත් එකතු කළේ නෑ. පුස්ත­කා­ල­යට ගිහින් අවශ්‍ය පොත් තෝරා­ගත්තා. හැබැයි තාත්තා ඒ අවශ්‍ය පොත් මුද­ල­ටම ගත්තා. ඒ ඥාන සම්භා­රය ඕනෑකමෙන් ඇති­ක­ර­ගත් දෙයක් මිසක් ඉබේ ඇති වුණු එකක් නෙවෙයි. හොඳ වින­ය­කුත් තිබුණා.

• පුංචි කාලෙ අග­හි­ඟ­කම් දැනුණේ නැතිද?

අපි පිරිමි තුන්දෙ­නා­ටම ශිෂ්‍යා­ධාර ලැබුණා. පාසල් ගාස්තු ගෙවන්න වුණේ නෑ. ඒක ලොකු සහ­න­යක් වුණා.

• තාත්තගෙ කට­යු­තු­ව­ලට අම්ම­ගෙන් ලැබුණ සහාය මොන වගේද?

විශාල සහ­ායක් ලැබුණා. තාත්තා ලිව්වාම ඒ අත්පි­ට­පතේ වරි­න්වර වෙන­ස්කම් කර­නවා. ඒක කාට­වත් කිය­ව­ග­න්නත් බැරි තරම්. ඉතින් එහෙ­මම ඒක මුද්‍ර­ණා­ල­යට යවන්න බෑ. මේක කිය­වල තේරුම් ගන්න පුළු­වන් වුණේ අම්මාට විත­රයි. අම්මා ඒ අත්පි­ට­පත නැවත ලස්සන අකු­රින් ලිව්වා. සම­හ­ර­විට ඒ පිට­පත තමයි මුද්‍ර­ණා­ල­යට ගියේ. අම්මාට මේ කාර්යය ගැන හොඳ වැට­හී­මක් තිබුණා.

තාත්තට නිද­හසේ ලේඛන කට­යු­තු­වල යෙදෙන්න අවශ්‍ය පසු­බිම අම්මා හදල දුන්නා. අපේ වැඩ­ක­ට­යුතු ගැනත් බොහෝ දුරට සොයා බැලුවෙ අම්මා. අම්මට අපිව පාල­නය කර­ගන්න බැරි­වු­ණාම පුංචි පුංචි දඟ­වැඩ කරද්දි ඒ වැඩේ පව­රන්නෙ ලොකු අයි­යට. එයා හරි කැමැ­ත්තෙන් ඒ රාජ­කා­රිය බාර අ‍රගෙන අපිට හොඳ පාර­ව­ලුත් දුන්නා.

• කොග්ග­ලත් එක්ක තිබුණු සම්බ­න්ධය කොහො­මද?

අපි ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යා­ල­යට ගියාට නිවාඩු කාලය පට­න්ගත්ත ගමන් ම යන්නෙ කොග්ගල ගමට. තාත්තයි, අම්මයි අපිව එක්ක­ගෙන ගියා. උදේ පාන්දර ඇහැ­රලා කෝච්චි­යෙන් අහං­ග­මට යනවා. අහං­ගම ස්ටේෂම ගාවට අපේ ආච්චි (අම්මගේ මව) බක්කි කර­ත්තය එව­නවා. මුලින් ම යන්නෙ ආච්චි­ලගෙ ගෙදර. එහෙ අම්මගෙ අක්කගෙ ළම­යි­නුත් හිටියා. එයාලා ගමේ ජීවි­තය හොඳට දන්නවා. අපිත් ඒ අයත් එකතු වෙලා ගම පුරා ඇවිද්දා. තාත්තා පොත්වල විස්තර කරල තියෙන ගැමි පරි­ස­රය අපි හොඳට ම දන්නවා. මේ අත්දැ­කීම් අපට හරි වටි­නවා. ඒවා කොළඹ ඉස්කෝ­ල­වල අනෙක් ළම­යින්ට ලැබුණේ නෑ.

තාත්තගෙ පොත්වල ඉන්න චරිත ඇත්ත චරිත. අපිට ඒ චරිත හමුවී තියෙ­නවා.

• මඩො­ල්දූ­වට ගිහින් තියෙ­න­වද?

ඒ කාලයේ මඩො­ල්දූව විශේ­ෂ­ත්ව­යක් නෑ. හැබැයි මඩො­ල්දූව, මැදි­න්දූව, තල්ග­ස්දූව එහෙම කියල කොග්ගල දූපත් 11 ක් ම තිබුණා. නව­ක­තාවෙ තියන මඩො­ල්දූව තාත්තගෙ අත්දැ­කීම් සහ පරි­ස­ර­යත් එක්ක නිර්මා­ණය කළ එකක්. මඩො­ල්දූ­ව­ටත් අපි ඔරු­වෙන් යනවා. අන­තු­රු­දා­යක බව­කුත් මේ දූප­ත්වල තිබුණා. මේ දූප­ත්වල සර්ප­යන් බහු­ලයි. කොග්ගල ඔය හරි ම සුන්ද­රයි. ඒ ගැන මත­ක­යත් එලෙ­ස­මයි. සුන්ද­රයි. ඔය හරහා තමයි පන්ස­ලට යන්න තිබු­ණෙත්. ලස්සන තැනක්. ලෙස්ටර්, ෆිල්ම් එකට ගත්තෙත් මේ පන්සල ම වගෙයි මට මතක.

අපි ශාන්ත තෝමස් විද්‍යා­ලයෙ ඉගෙන ගත්තත් ‘ගම්පෙ­ර­ළිය’ අපට ඉගෙ­න­ගන්න නියම කරල තිබුණු එක පොතක්. මතක හැටි­යට එස්.එස්.සී. පන්ති­යෙදි වගේ අපිට ඒක තිබුණා.

• මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් ළම­යින්ට කුඩා කෘති පෙළක් ම කළා කුහුඹු සත්තු වගේ. ඔවුන්ගේ දැනු­මට ඒවා විශාල ලෙස බල­පෑවා...?

ඒවායෙ තියෙන පරි­ස­රය අපි ගමේදි අත්වින්දා. තාත්තත් ඉස්සර කර­ගෙන ආච්චි එවන තවත් කවුරු හරි එක්ක අපි ගල්ප­රයෙ එහෙම ඇවි­දින්න යනවා. ඔය පුංචි පුංචි සතුන් ඒ ගම­න්ව­ල­දිත් නිරී­ක්ෂ­ණය කළා. බූවල්ලො අල්ලන කෙනෙක් හිටියා. එයාට කිව්වෙ “බූවලු බස්ති­යන්” කියලා.

• ‘පරි­ණා­ම­වා­දය’ ගැනත් මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් විශාල උන­න්දු­වක් දැක්වුවා නේද?

තාත්තා තුළ පරි­ණා­ම­වා­දය ගැන දැනු­මක් තිබුණා විත­රක් නෙවෙයි විශාල ඇල්ම­කුත් දැක්වුවා. චාල්ස් ඩාවින් තාත්තගේ වීර­යෙක් වගේ කියලා මට හිතෙ­නවා. ‘ජීවීන්ගේ සම්භ­වය’ කෘතිය හරි­යට වර්ණනා කළා. ඩාවින් බුද්ධි ජීවි­යෙක්. තාත්තා ‘සත්ව සන්තතිය’ ලියන්නෙ 1932 වගේ. ඒ කාලය වෙන‍කොට ‘පරි­ණා­ම­වා­දය’ ගැන දැනු­මක් ඇති අය එංග­ල­න්තයේ වුණත් හිටියෙ හරි සීමිත පිරි­සක්. මොකද පන්ති භේද­යත් බල­පෑවා. ඉහළ මැද­පන්තියේ ළමයි තමයි ඔය වගේ පොත් කියෙව්වෙ. මෙහෙ තාත්තා මේ ගැන සිංහ­ලෙන් ලියපු නිසා සාමාන්‍ය අය­ටත් දැනු­මක් ලබන්න හැකි­වුණා. හාමු­දු­රු­වරු එහෙම මේ ගැන හුඟක් දැනු­වත් වුණා.

මගේ අයි­යගෙ මිත්‍ර­යෙක් හිටියා. එයා සත්ව විද්‍යා උපා­ධි­යක් කළේ. තාත්තා පරි­ණා­ම­වා­දය ගැන ලියල තියෙ­නව කියල ලොකු අයියා එයාට කිව්වාම තාත්තා මුණ­ගැ­හෙන්න ඕන කියල තිබුණා. එයා තාත්තා එක්ක කතා කළා. ඒ කාලයේ පරි­ණා­ම­වා­දය ගැන වාද විවා­දත් තිබුණා. ඒවා ගැන පොත් කිහි­ප­ය­කුත් තාත්තගෙ පුස්ත­කා­ලයෙ තිබුණා. අයි­යගෙ මිත්‍රයා ඒ පොත් දැකල පුදුම වුණා. මේ පොත් විශ්ව­වි­ද්‍යා­ල­යේ­වත් නැති බව තමයි එයා කියල තිබුණෙ. මට වඩා මේ ගැන ගැඹුරු දැනු­මක් ඔයාගෙ තාත්තට තියෙ­නවා කියල එයා අයි­යට කියල තියෙ­නවා. තාත්තා “රිවොලි­යු­ෂන් ඇන්ඩ් ඉවො­ලි­යු­ෂන්” කියල පොත් පිංච­කුත් ලිව්වා. ඒකෙ තියෙන කරුණු මම නම් කොහේ­වත් කිය­වලා නෑ. මේක හරිම වටින, වැද­ගත් කෘති­යක්. අපි ඒක සිංහ­ලට පරි­ව­ර්ත­නය කරලා ළඟ­දීම ප්‍රකා­ශ­යට පත් කර­නවා. මේකෙ පරි­ණා­ම­වා­දය, සමා­ජ­වා­දය හා මාක්ස්වා­දය ගැන ඇති­වුණු වාද­වි­වාද, මත­භේ­දා­ත්මක තත්ව ආදිය ගැන සාකච්ඡා වෙනවා. අයි.ආර්. ද ෂා ඩැංගේ ගේ ලිපිත් මෙහි ඇතු­ළත් වෙනවා. පරි­ණා­ම­වා­දය ගැන කතෝ­ලික පූජ­ක­යකු වන ඔහු පළ­කළ අද­හස් කාල­යක් අප්‍ර­ක­ටව තිබුණා. ඔහු ගැන ඉස්සෙ­ල්ලම ලිව්වෙත් තාත්තා.

• උසස් අධ්‍යා­ප­නය ලැබී­මට විදේ­ශ­ගත වීමත් සමඟ එහිදී ලැබූ අත්දැ­කීම් ගැන මතක් කරන්න පුළු­වන්ද?

එංග­ල­න්ත­යට ගියා. වෛද්‍ය­ව­ර­යෙක් හැටි­යට වැඩි­දුර අධ්‍යා­පන කට­යුතු කරන්න. තාත්තා මාව බලන්න එහාට ආවා. මං හිතන්නේ තාත්තා ආවෙම “ඩාවින් කෞතු­කා­ගා­රය’ බලන්න කියලා. මං එහෙම හිතන්නේ ඔහු ආ විග­සම කිව්වෙ මට ඩාවින් මියු­සි­යම් එකට යන්න ඕනැ කියලා. කිහි­ප­ව­තා­වක් ම පණි­විඩ ඇරි­යට පසුව තාත්තා අම්මත් එක්ක ආවෙම මේක බලන්න. ඔහු එය නර­ඹලා විශාල ආස්වා­ද­යක් ලැබුවා. ඒ දව­ස්වල ඩාවින් සහ මාක්ස් අතර සිදුවූ ලිපි ගනු­දෙනු වලින් ඩාවින් මාක්ස්ට ලියූ ලිපි­යත් ඔය කෞතු­කා­ගා­රයේ තියෙ­නවා. තාත්තා ඒකෙන් කොට­ස­කුත් පිට­පත් කර­ගෙන තිබුණා. මේ විස්ත­රත් ඉවෝ­ලි­යු­ෂන් ඇන්ඩ් රිවෝ­ලි­යු­ෂන් පොතේ තියෙ­නවා.

• ඔබත් කෘතීන් කිහි­ප­යක් රචනා කළා.

ඉස්කෝලෙ යන කාලෙ එත‍‍කොට මට අවු­රුදු 15 ක් විතර, “සත දහය” කියල කෙටි­ක­තා­වක් ලිව්වා. තාත්තා මේක අගය කළා විත­රක් නෙවෙයි “සිළු­මිණ” පුව­ත්පතේ පළ කිරී­මට සුදුසු බව­ටත් නිර්දේශ කළා. ඒකෙ සකස් විය යුතු තැන් තාත්තාගේ අත් අකු­රින් ම නිවැ­රදි කරල තියෙ­නවා. මේ කතාව ‘සිළු­මිණේ’ පළ­වුණා. මේක මා ලැබූ අත්දැ­කීම් කිහි­ප­යක් ඇසු­රෙන් ලියැ­වුණේ. මම ගැන විශේ­ෂ­යෙන් කිව යුත්තක් නෑ. තවත් වෛද්‍ය­වරු දහස් ගණ­නක් වගේ එක වෛද්‍ය­ව­ර­යෙක්. පිට­රට ගිහින් පශ්චාත් උපාධි ලබලා ඇවිත් ‍මෙහෙ වැඩ කර­නවා. විශේ­ෂ­ත්ව­යක් නෑ. මම විශේෂ වෙන්නෙ මාර්ටින් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යගේ පුතා වීම නිසා. පසු­කා­ලී­නව මිනි­සුන්ට මාව මතක තිය­නවා නම් ඒ ඔය පරි­ව­ර්තන නිසා.

ළමා කෘති කිහි­ප­යක් කළා. ඒ සියල්ල ම අත්දැ­කීම් ඇසුරෙන් ලිව්වෙ. “කුකුළු හොරා”, “එක - දෙක කිරීම” “අපූරු සෙල්ලම” (ඉංගි­රිසි ළමා කතා­වක් ඇසුරෙන්). උසස් අධ්‍යා­ප­න­යට යොමු වුණාට පස්සෙ ලියන්න කාලය සොයා­ගන්න අසීරු වුණා.

තාත්තා බොන­විස්ටා විද්‍යා­ල­යට ගියා. ඒක මං හිතන්නෙ දකුණේ තිබුණු ඉංගි­රිසි මාධ්‍ය විද්‍යා­ලය. මේ වගේ පාස­ල්ව­ලට ගියේ හුඟක් ම නාග­රික මැද පන්තියේ ළමයි. පාසල් ගාස්තු ගෙවන්න තිබුණ. තාත්තාගේ තාත්තා නැති­වු­ණාම තාත්තට මේ පාස­ලෙන් අස්වෙන්න සිදු­වුණා. මොකද ආර්ථික වශ­යෙන් ප්‍රශ්න ඇති වුණා. පවුලේ 10ක් 9ක් ම ගැහැනු ළමයි. තාත්තා ඉස්කෝලෙ යන කාලෙ ම පස් හය­දෙ­නෙක් ම විවාහ වෙලා හිටියෙ.

කොහොම නමුත් මේ පාස­ලෙන් ඔහු ඉංගි­රිසි දැනුම ලබා­ගත්තා. ඉන්පසු ඉගෙ­නීමේ කට­යුතු කළේ සිංහල මාධ්‍ය­යෙන්, ගමේ ඉස්කෝලෙ. මට හිතෙන හැටි­යට මේක තාත්තට වුණු යහ­ප­තක්. ඒ හොඳ සිංහල දැනු­මක් ලබ­න්නත් පුළු­වන් වුණු නිසා. ඉංගි­රිසි පොත් කිය­වන්න ආසා කළත් ගමේ පුස්ත­කා­ලයේ නොති­බුණු නිසා තාත්තා නෑදෑ­යන් ලවා පොත් ගෙන්වා ගත්තා. බොන­විස්ටා විදු­හ­ලේදී ඇතිවූ ඉංගි­රිසි පොත් කියැ­වීමේ ඇබ්බැ­හිය තාත්තා ඒ විදි­හට ගමේ­දිත් පවත්වා ගත්තා. තාත්තා දිග­ටම බොන­විස්ටා විදු­හ­ලට ගියා නම් සිංහල දැනුම හොඳට ම අඩු‍ ­වෙ­නවා. අනෙක එහෙම නම් තාත්තා ගුරු­ව­ර­යෙක් වේවි. මාර්ටින් වික්‍ර­ම­සිංහ කියන ගත්ක­තු­ව­රයා අපට හමු නොවෙන්න බොහොම ඉඩ තිබුණා.

අතී­තය දිහා හැරිල බලද්දි තාත්තා රැකි­යා­වෙන් සුළු පඩි­යක් ලබ­මින් අපිව ජීවත් කර­වන්න කොප­මණ අර­ග­ල­යක් කරන්න ඇතිද කියල හිතෙ­නවා. හැබැයි අපට ඒ බර දැනෙන්න ඉඩ දුන්නේ නෑ. අපි පුස්ත­කා­ල­යෙන් හොඳට ම ප්‍රයෝ­ජන ගත්තා. තාත්තා අපට තෑගි දුන්නෙත් පොත්.

• මාර්ටින් වික්‍ර­ම­සිංහ භාර­කාර මණ්ඩ­ලය පිහි­ටු­වීම හා ජන­කෞ­තු­කා­ගා­රය බිහි­වීම ගැනත් අපි කතා කරමු?

ජන කෞතු­කා­ගා­රය ගැන අද­හස තාත්තා ජීවත්ව සිටි­යදී ම ඇති­වූ­වක්. එවැ­න්නක් ඇති කිරී­මට තාත්තත් භාණ්ඩ කිහි­ප­යක් එක්රැස් කර­ගෙන සිටියා. තාත්තා නැති­වු­ණාට පස්සෙ අපි පවුලේ අය කල්පනා කළා තාත්තට අපට කළ හැකි ලොකු ම උප­හා­රය ඒ අපේ­ක්ෂාව සැබෑ කිරීම කියලා. එ‍‍තනදි මුදල් අතින් අපට විශාල ශක්ති­යක් වුණේ ලොකු අයියා. එයා ව්‍යාපා­රි­ක­යෙක්. ප්‍රධාන සමා­ගම් කිහි­ප­යක සභා­පති හැටි­ය­ටත් කට­යුතු කළා. මගේ ලොකු අක්කත් එයාගේ ස්වාමි පුරු­ෂයා නිසා ව්‍යාපාර ක්ෂේත්‍ර­යට සම්බ­න්ධව සිටියා. අක්කත් එතැ­නදී මේ කට­යු­ත්තට මුද­ලින් උප­කාරී වුණා. මමයි, ලොකු අක්කයි තමයි කෞතු­කා­ගා­ර­යට භාණ්ඩ සොයන්න හුඟාක් වෙහෙ­සුණේ. අපි ලංකාව පුරා ගියා. මහ­වැලි ව්‍යාපා­රය ඇති කර­න­විට ගම් කිහි­ප­යක් ජල­යෙන් යට­වුණා. ඒ ජන­තාව පුරාණ ගම්බිම් අත්හැර යද්දි බඩු­මුට්ටු එකතු කර­ගන්න පුළු­වන් බව අපට දැන­ගන්න ලැබුණා. අක්කයි, මමයි මේ ගම්ව­ලට ගිහින් මුළු­තැන්ගේ ආම්පන්න වගේ හුඟාක් දේවල් මුදල් දීලා ගත්තා. සම­හර භාණ්ඩ ඒ අයට ගෙනි­ය­න්නත් බෑ. අපි ඒවා මුද­ලට ගත්තා. දැන් කෞතු­කා­ගා­රයේ තියෙන විශාල රෝද­යක් එහෙ­මත් අපි එහෙන් ගෙනාවා.

කෞතු­කා­ගා­රය ඇති කළාට පසුව මේක නර­ඹන්න ආ අයත් නොයෙක් භාණ්ඩ ගෙනැත් පරි­ත්‍යාග කළා. මේවාට ඇන්ටික් භාණ්ඩවලට වගේ වටි­නා­ක­මක් නැතත් මෙවැනි තැන­කට හරිම වටි­නවා. විදේ­ශි­කයො පවා මේක නර­ඹලා ප්‍රශංසා කර­නවා. වරක් පුරා­වි­ද්‍යා­ඥ­යෙක් මෙය නර­ඹලා ඉතා­මත් අගය කරලා මාත් සමඟ කිව්වෙ අපේ රටේ නම් මෙවැ­න්නක් කරන්න භාණ්ඩ සොයා­ගන්න බෑ කියලා.

දැන් මේ කෞතු­කා­ගා­ර­යට අවු­රුදු 30කට වැඩි ඉති­හා­ස­යක් තියෙ­නවා. තව­මත් අපි භාණ්ඩ එකතු කර­නවා. පටන් ගනිද්දි ශාලා 2. දැන් 6ක් විතර තියෙ­නවා. තාත්තගෙ පොත්ව­ලින් ලැබෙන ආදා­යම් සියල්ල යොමු කරන්නෙ මෙය පව­ත්වා­ගෙන යාමට. රජ­යෙන් ආධාර ලැබෙන්නෙ නෑ. වෙනත් ආය­ත­න­ව­ලින් ආධාර ලැබෙ­න්නෙත් නෑ. පවුලේ අය එක­තු­වෙලා මෙය පව­ත්වා­ගෙන යනවා.

• ඔබේ පවුලේ ‍තොරතුරු කොහො­මද?

මගේ බිරි­යයි, පුතුන් දෙදෙනා සහ දිය­ණිය සමඟ සතු­ටින් ජීවත් වෙනවා. මම දැනට භාර­කාර මණ්ඩ­ලයේ ලේකම්. මගෙන් පසු මගේ බාල­පුතා මේ කට­යුතු ඉදි­රි­යට ගෙන­යෑම සඳහා මම පුරුදු කර­මින් ඉන්නවා. තාත්තාගේ කෘතීන් ලෙස මෙතෙක් පළ නොවූ ලිපි ද ඉදි­රි­යේදී පළ­ක­රන්න අපි කට­යුතු කර­ගෙන යනවා.

පසු සට­හන - පුව­ත්පතේ පළ කිරීම සඳහා රංග වික්‍ර­ම­සිංහ මහ­තාගේ වර්ත­මාන ඡායා­රූප ලබා ගැනී­මට අප උත්සාහ දැරු­වද, ඔහු එයට ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් මත එකඟ නොවුණු බව කරු­ණා­වෙන් සල­කන්න.

ධම්මික සෙනෙවි­රත්න

Comments