ලෝක පාපන්දු පෙළහරට සුදානම් වන හිල්ටන් හෝටලය | Page 2 | සිළුමිණ

ලෝක පාපන්දු පෙළහරට සුදානම් වන හිල්ටන් හෝටලය

උදාවෙන හැම වසර හතරකට වරක්ම ලෝ වටා ක්‍රීඩාලෝලීන් අතර උන්මාදයක් හිස ඔසවයි. එය ලෝක කුසලාන පාපන්දු උන්මාදය නම් වේ. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවේ උණුසුම මෙවර ශ්‍රි ලංකාවට වෙනදාට වඩා වැඩිපුර දැනී ඇති බව නොරහසකි. සජීවීව රූපවාහිනියෙන් පාපන්දු තරගාවලිය නරඹන්නට බොහෝ දෙනා උත්සුක වීම ඊට සාක්ෂියකි.

පාපන්දු ක්‍රීඩාවට පෙම්බඳින ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට කොළඹ හිල්ටන් හෝටලය අපූර්වතම අත්දැකීමක් සමීප කරවමින් සිටී. ඒ අඩි 24 x 12 ප්‍රමාණයේ දැවැන්ත පුළුල් තිරයක පාපන්දු තරගාවලියේ තරග සජීවීව නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමයි.

පාපන්දු තරග නරඹන්නට හිල්ටන් හෝටල් භූමියට පිවිසෙන අයෙකුට උදාවන්නේ හුදෙක් පුළුල් තිරයක තරගය නැරඹීමේ අවස්ථාව පමණක්ම නොවේ. එහි තාවකාලිකව ඉදිවී ඇති ආදර්ශ පාපන්දු සංස්කෘතික ගම්මානයක් වෙයි. විනෝදමත් සෑදෑවකට වුවමනා කළමනා සියල්ලම සපිරි එය හිල්ටන් පිහිනුම් තටාක භූමිය පරිශ්‍රයෙහි ආරම්භ වූයේ පසුගිය ජුනි 14 වැනිදා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ඇරඹීමත් සමගය.

පුළුල් තිරයෙහි පාපන්දු තරග නරඹන්නට මේ පරිශ්‍රයට වයස් භේදයක් නැතිවම බොහෝ පිරිසක් පැමිණ විනෝද වෙති. ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නම් ගිය ක්‍රීඩකයන්, දේශපාලකයන්, කලාශිල්පීන්, ව්‍යාපාරිකයන් ආදී බොහෝ පිරිසක් මේ පරිශ්‍රයට නිතැතින් ඇදී ඒම සුලබ දසුනකි. මුල්වටයන්හි පාපන්දු තරග පැවති පසුගිය සෑම දිනකම මෙම පුළුල් තිරයේ ආශ්වාදය විඳගන්නට දෙසියපනහකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. සිත සැහැල්ලුවෙන් තරග නරඹන අතරේ ගෝලයෙන් ගෝලය මේ පරිශ්‍රයේ ක්‍රීඩා උණුසුමත් ඉහළ යයි. ඔල්වරසන් හඬ වැඩිවේ. ක්‍රීඩාවේ තෘප්තිය එයයි..

පාපන්දු තරග නරඹන්නට මෙහි පැමිණෙන ක්‍රීඩාලෝලීන්ට දැකගැනීමට එහි පිවිසුම් මාර්ගය දෙපස ප්‍රදර්ශනය කර ඇත්තේ ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් තරග වැදුණු ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ සහ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ඉතිහාසගත අවස්ථාවන්හි අගනා සැමරුම් පින්තූරය. මෙවර පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දක්වන රුසියාවේ" ගෘහ නිර්මාණශිල්පයට සමාන ආකෘතිමය කුලුනු එහි ස්ථාපනය කර තිබේ. තරග නරඹන අතරවාරයේ රස නහර පිනා යන බොජුන් කැමති පරිදි මිලදී ගන්නට විවෘත භූමිය තුළ ඉදි කර ඇති කුඩා අවන්හල් පහසුකම් සලසයි. හිල්ටන් හෝටලයේ ආහාර මිල දර්ශකයන්ට වඩා සාමාන්‍යයෙන් අඩු මුදලට මේවායේ ආහාරපාන අලෙවි කෙරේ.

15 වැනිදා පැවැත්වෙන පාපන්දු අවසාන මහා තරගය නරඹන්නට කවරදාකටත් වඩා වැඩි පිරිසක් මෙහි පැමිණෙනු ඇතිය යන අදහසින් එම පිරිස පිළිගන්නට හිල්ටන් කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. නමුත් අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනවශ්‍ය පුද්ගලයන් මේ පරිශ්‍රයට ඇතුළුවීම වළක්වන්නට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.

හිල්ටන් හෝටලයේ ආහාරපාන කළමනාකරු කපිල මොහොට්ටි මහතා ඒ පිළිබඳව පැවසූ තොරතුරු මෙසේය.

"පසුගිය සෑම තරගයකටම වඩා වැඩි සෙනගක් 15වැනිදා අවසාන තරගය වෙනුවෙන් පැමිණේවි කියලා අපට විශ්වාසයක් තිබෙනවා. එදාට පුද්ගලයන් දහසකට අපි අසුන්ගැනීමේ පහසුකම් සලසනවා. අසුන්ගැනීමට නිශ්චිත තැනක් සහ මේසයක් වුවමනා අය දැනටමත් ආසන වෙන්කරවා ගනිමින් ඉන්නවා. එය ඔවුන්ටත් අපටත් පහසුවක්. කොහොම නමුත් අපි එදා දවසෙ පැමිණෙන අමුත්තන් පිළිගන්නට විශේෂයෙන් සූදානම්වෙලයි ඉන්නේ"

"මේ පරිශ්‍රයට ඇතුළු වීම සඳහා රුපියල් දහසක මුදලක් ගෙවූ ටිකට්පතක් ගැනීමට වුවමනායි. නමුත් ඇතුළුු වූ පසුව ඒ මුදල් ගෙවූ හැමෝටම රුපියල් දහසක ආහාරපාන අපේ කුඩා අවන්හල්වලින් නොමිලේ ලබාගන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තටම අපි ඇතුළු වීමේ ගාස්තුවක් අය කරන්නේ නුඋවමනා අය නිකරුනේ පැමිණ ගැවසීම වළැක්වීමේ අදහසින් විතරයි."

හිල්ටන් හෝටලයේ පාපන්දු ආදර්ශ ගම්මානයට පැමිණෙන අමුත්තන් වෙනුවෙන් තවත් අපූරුම අංගයක් තිබේ. එනම් තරග නරඹන්නන් සඳහාම සංවිධානය කෙරෙන පාපන්දු තරගයයි. එය පැවැත්වෙන්නේ විවේකය සඳහා ෆීෆා තරගය නතර කෙරෙන අවස්ථාවේදීය. එහි ජයග්‍රහණ වාර්තා කරන පුද්ගලයන්ට හෝටලය තෑගි පිරිනැමීම විශේෂත්වයකි. රාත්‍රී ආහාර සඳහා වවුචර්පත්, පාපන්දු සහ තවත් වටිනා තිළිණ මෙහි ජයග්‍රාහකයන්ට තෑගි කෙරේ.

ක්‍රීඩාව යනු සතුටයි. ඒ සතුට දෙගුණ තෙගුණ වෙන්නේ අවට පිරිසත් සමග සතුට බෙදාගත් තරමටය. එකම අරමුණක් වෙනුවෙන් බලාසිටින්නට, ජයඝෝෂා නංවන්නවුන් සමග ඔල්වරසන් නගන්නට, ඒ අතරේ රස නහර පිනවන්නට, සතුටින් ක්‍රීඩා අත්දැකීමක් විඳගන්නට නියතවම මෙය කදිම තැනකි.

ඡායාරූප - රුක්මාල් ගමගේ
ශාන් රඹුක්වැල්ල

Comments