මිරිස්සේ පවුල් අවුල් කරන වැල්ලේ අලුත් සෙල්ලම | සිළුමිණ

මිරිස්සේ පවුල් අවුල් කරන වැල්ලේ අලුත් සෙල්ලම

රටේ ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ශක්තිය අති මහත්ය. රටක ගුණාත්මක සංචාරක පුරවරයක් බිහි කිරීම සෑම රජයක ම අරමුණය. ‍එහෙත් එය සැලසුම් සහගතව සීරුවෙන් කළ යුතු කටයුත්තකි. සංචාරක ව්‍යාපාරය තුළ තවමත් නොදකින අඳුරු අහුමුලු බොහෝය. දකුණු වෙරළ තීරයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් බොහෝ දෙනෙකුගේ ජීවිතවල යථාර්ථය ඇත්තේ ඒ අඳුරු අහුමුලු වලය. වෙරළ තීරයේ ගැවසෙන සංචාරක මඟපෙන්වන්නන් සමහරෙකුගේ ජීවිත ඒ අඳුරෙහි ගිලී ඇත්තේ නැවත ගොඩ එනු බැරි සේය.

සංචාරකයන් ඉලක්ක කරගෙන පවත්වන සම්බාහන මධ්‍යස්ථාන හේතුවෙන් ඔවුන්ගේ ජීවිත තව තවත් අවුල් වියවුල් වී ඇත. මේ තත්වය හමුවේ අසරණ වන්නේ අහිංසක දරුපැටවුන් ය. එය කෙසේ සිදුවන්නේ ද යන්න විමසා බැලීමට හික්කඩුව වෙරළ තීරයේ සිට කිරින්ද වෙරළ තීරය දක්වා නිරීක්ෂණ චාරිකාවේ යෙදුණෙමු. එහිදී සංචාරකයන්ට මඟ පෙන්වන ගයිඩ් බෝයි ලා සහ සම්බාහනයට මුවා වී විකිණෙන බිරින්දෑ වරුන්ගේ ශෝකාන්තය මෙසේ සටහන් කරමු.

වෙරළ තීරයේ ජන්මලාභීන් වූ තරුණයන් තම ජීවිකාව ගෙන යෑමට සංචාරක මඟ පෙන්වන්නන් ලෙස අවතීර්ණය වන්නේ කුඩා කල සිටය. කුඩා ළමයින් ලෙස සංචාරක විදේශිකයන් පසුපස ගිය මේ දරුවෝ කාලයාගේ ඇවෑමෙන් විදේශිකයන්ගේ භාෂා කිහිපයක් තෙපලන්නට හැකියාව ලබති. අනතුරව නොනිල ලෙස ඔවුහු මේ “ගයිඩ්” වෘත්තියට අවතීර්ණය වන්නෝය.

වෙරළ තීරයේ සමාජය ඇසුරු කරන බොහෝ තරුණ පිරිසක් අඩු වයසේදීම විවාහයට පිවිසීම සාමාන්‍ය දෙයකි. ඔවුන්ගේ පවුල් ජීවිත එතරම් සුභ දායක නොවන්නට බලපාන හේතු රාශියකි.

විශේෂයෙන් ම වැඩි කාලයක් විදේශිකයන්ගේ ඇසුට ලක්වූ මෙම තරුණයන්ගේ ජීවිතය බවට පත්වන්නේ දින කිහිපයක් තමා සමඟ ගැවසෙන මේ විදේශිකයන්ය. ඔවුන්ගේ සංග්‍රහශීලී වචන මෙන් ම ඔවුන්ගේ වරප්‍රසාද හමුවේ මෙම තරුණයන්ට තම නිවසේ ජීවිතය අමතක වන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත. ඔවුන් ඒ විදේශිකයන් සමඟ ලංකාව පුරාම ගතකරන සංචාරවලදී ලබන අත්දැකීම් අමුතුය. එහිදී ලැබෙන ආහාරපාන, නවාතැන් මෙන් ම ඇතැම්විට කාමුක වින්දන පවා ඔවුන්ට නොඅඩුව ලැබෙන අවස්ථා ඇත. ඒ නිසා ම බොහෝ දෙනෙකුට තම පවුල් ජීවිත පිළිබඳ විශේෂ ඇල්මක් නොවේ.

මෙම සමාජ පසුබිම තුළදී මෙම තරුණ ගැටවරයන් මතට ද හුරුවීම නිරායාසයෙන් ම සිදුවේ. ඊට බලපාන ප්‍රධාන හේතුව මත් ද්‍රව්‍ය මෙන්ම සාමාන්‍ය මත්පැන් බියර් ආදිය සැපයිය යුතු වගකීම නොනිල වශයෙන් පැවරී ඇත්තේ මෙම මඟ පෙන්වන්නන්ට නිසාය. දින කිහිපයකට හෝ සමීප වූ හාම්පුතාගේ වචනයට අවනත වන මෙම කොලුවන් අවසානයේ එම විදේශිකයා මෙරටින් පිටවන්නටත් පෙර “හොඳ බේබද්දෙකි.”

ගයිඩ් මල්ලීට මත්ද්‍රව්‍ය ලබා දී ඔහු මත්වනු බලා වින්දනයක් ලැබීමට සමහර විදේශිකයන් කැමතිය. මෙය මෙතනින් ද නතර වන්නේ නැත. රාත්‍රි සමාජ ශාලාවන් කරා යොමුවන සෑම අවස්ථාවක ම පාහේ ඔවුහු “ගයිඩ් මල්ලී” ද කැටුව යති. සුද්දන් රටින් ගිය නමුත් “ගයිඩ් මල්ලි” නවතින්නේ සමාජ ශාලාවලය. මේ ගමනේ කෙළවර හරි හම්බකරගත් සියල්ලම තැබෑරුම් හා සමාජ ශාලාවලට වියදම් කර දෑත් වනමින් නිවෙස්වලට යෑමය.

ඇතැම් විදේශිකයන් මෙරටට පැමිණෙන්නේ තනි තනිවමය. බොහෝවිට වෙනත් රටකින් පැමිණෙන පුද්ගලයෙකු තවත් රටකින් පැමිණෙන කාන්තාවක සමඟ පෙමින් බැ‍ඳෙන්නේ ඔවුහු පැමිණෙන ගුවන් යානය තුළදීමය. එලෙස ඔවුහු අඹු සැමියන් ලෙස ගුවන් තොටුපළෙන් මෙරටට ඇතුළු වෙති. ඒ සබඳතාවය තාවකාලිකය. නිදහස්ය. ඔවුන් විසින් තෝරා ගන්නා ගයිඩ් මල්ලිට සමහර අවස්ථාවල මේ දෙදෙනාගේ ම “අවශ්‍යතා” සම්පූර්ණ කිරීමට සිදුවේ.

බොහෝ විදේශික කාන්තාවන් ඉතා ඇලුම් කරන්නේ මෙරට කළු තරුණයන්ටය. විදේශික කාන්තාවන් බොහෝ දුරට පැහැපත් තරුණයන්ට එතරම් ඇල්මක් නොදක්වන අතර ඔවුන්ට ගයිඩ් වෘත්තිය එතරම් කැප නැත. “මහත්තයා... මිරිස්සට එන සුද්දන්ගෙන් නෙමෙයි, සුද්දියන්ගෙන් තමයි කොල්ලන්ව බේරාගන්න බැරි” එසේ කියන්නේ අපට හමුවූ වෙරළටම වියපත් වැඩිහිටියෙකි.

ඇතැම් අවස්ථාවල විදේශීය පුරුෂයන්ගේ සුරතලුන් වන්නේ ද මේ අසරණ ජීවිතය. හික්කඩුව, උණවටුන, හබ‍රාදූව, කොග්ගල, මිරිස්ස ඇතුළු ප්‍රසිද්ධ වෙරළ තීර කිහිපයක ම බොහොමයක් තරුණයෝ මේ අපා දුකට වැටී ගොඩ ඒමට නොහැකිව එහි ම ජීවත් වෙති. මේ තත්වය හමුවේ මෙම තරුණයක්ගේ පවුල් ජීවිත බලා සිටියදී විනාශ වී යයි. මෙවන් පරිසරයකදී අසරණ වන කාන්තාවන්ට ද අවසානයේ පිහිට වන්නේ සංචාරක කර්මාන්තය මය.

සම්බාහන මඩු

තරු පහේ හෝටලවලට සීමා වූ සම්බාහනය මේ වනවිට ගමට පමණක් නොව නි‍ෙවස තුළට ද එන්නට පටන්ගෙන ඇත. එය මේ ජීවිත වලට කිසියම් ‍හෝ අස්වැසිල්ලක් නොවනවා ම නොවේ. මිරිස්ස වෙරළාශ්‍රිතව හෝටල් කාමර බොහෝමයක් මිල අධිකය. රුපියල් දසදහස ඉක්මවන්නේය. ඒ නිසා මිරිස්ස පැත්තේ සාමාන්‍ය ධීවර පවුල්වල ඇත්තන් නිවසේම කාමරයක් දෙකක් පිළිවෙළකට හදාගෙන අවම පහසුම් සහිතව වුවත් විදේශිකයන්ට දෛනික කුලියට දෙන්නේය. එක් කාමරයක් දල වශයෙන් රුපියල් තුන්දහසක්ය. ගම ඇතුළට කිලෝමීටර දෙක තුනක් දක්වා දුරකට මේ කාමර දෙන නිවාස හමුවන්නේය. දැන් ගම් වැසියන් අතර මේ නිවාසවල කාමර කුලියට දීම සම්බන්ධව තරගයක් ඇති වී තිබෙන්නේය. නිවාසවල දොකරඩ සිට කතා කරමින් ගනුදෙණු කරුවන් ගෙන්වා ගන්වා වෙනුවට නගරයට ගොස් දන්නා භාෂාවකින් කතා කර ඔවුන්ව නිවසට රැගෙන ඒමට දැන් මේ අය හුරු වී ඇත්තේය.

සම්බාහන කටයුත්ත ආරම්භ වන්නේ මේ කුලියට දෙන නිවාස වල ලබාදෙන අතුරු සේවයක් හැටියටය. දැනට මිරිස්සේ පමණක් නිවෙස් ආශ්‍රිතව මෙවැනි සම්බහාන මඩු 11 ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් ඇත. නිවසට යාබද කුඩා කාමරයක් ලෙසත්, නිවසින් පිට තනාගත් අමානෝ තහඩු සෙවිලිකළ මඩු හෝ ටෙන්ට් රෙදි වලින් ආවරණය කළ මඩු ලෙසත් මේ සම්බාහන ස්ථාන සැකසී ඇත. නිවාස තුළ පවත්වාගෙන යන මේ සම්බාහන මඩු සඳහා ගනුදෙනුකරුවන් රැගෙන එන තැරැව්කාරකම බොහෝ විට කරන්නේ ත්‍රී රෝද රථ රියදුරන්ය. එය වෙනත් ආකාරයේ ආදායම් මාර්ගයකි. සම්බාහන මඩුවෙන් ත්‍රී රෝදරථ රියදුරාට එක් ගනුදෙනුකරුවෙක් වෙනුවෙන් මුදලක් ලැබේ.

සුද්දන් සම්බාහනයට එන පාසල් නිවාඩු දිනවලදී හෝ හවස් වරුවේදී ගෙදර දරු පැටවුන් නිවසින් පිටතට යා යුතුය. මේ විදේශිකය ආගමනය බොහෝ විට ව්‍යසනයට පත් කරන්නේ දරුපැටවුන්ගේ ජීවිතය. ඔවුන් දකිමින් සිටින්නේ අතිශයින්ම බිහිසුණු විකෘතියකි. මේ කාන්තාවන් සිය වෘත්තිය ලෙස තෝරා ගත් සම්බාහන කටයුත්තට විශේෂ පුහුණුවක් ලබා නැත. මේ සම්බාහන ආයතන දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචියක් නැත. විදේශිකයන්ට සේවා සපයන නිවාස සංචාරක මණ්ඩලයේ තබා අදාළ පළාත් පාලන ආයතනවල නිවාසයක් ලෙසින්වත් ලියාපදිංචි වී නැත. විශේෂත්වය වන්නේ මේ සම්බාහන මඩු සම්බන්ධව කටයුතු කරන්නට පොලිසිය හිතන්නේවත් නැති වීමය. හේතුව මේ තැන්වලින් බොහෝ පොලිස් නිලධාරීන් නොමිලේ සේවය සලසා ගන්නා නිසාය. ඒ සේවයට අදාළ පැකේජයට “ සියල්ල” අයත්ය. සේවය ලබා දෙන්නේ නොමිලේය. ඒ නිසා මේ කටයුත්ත සිදුවන්නේ පොලිස් රැකවරණය යටතේය.

අමුතු ඖෂධ

සම්බාහනය ඖෂධීය ප්‍රතිකාරයක් ලෙස කරන බව පැවසෙතත් සිදුවන නිෂ්චිත ඖෂධීය ප්‍රතිකාරයක් නැත. බොහෝ විට ඔවුන් තෝරා ගන්නේ ප්‍රදේශයේ සුලභව හමුවන ශාඛවල කොළ සහ පොතුය. සමහරු නිදිකුම්බා බහුලව යොදාගනිති. තවත් සමහරු ආඩතෝඩා කොල සොයා ගනිති. තවත් සමහරු හෝසයට වැවෙන ඇත්තෝර සොයා ගනිති. මේ කොළ පොතු තරමක කටාරමක දමා තබ්බාගෙන ඔවුහු විදේශිකයාව ස්නානය කරවන ඖෂධීය වතුර සදා ගනිති.

ඖෂධීය වතුරෙන් ස්නානය කරවන විදේශිකයාව ඒ වතුරෙන්ම සම්බාහනය කිරීම ඉන් අනතුරුව සිදුවේ. මේ සම්බාහන කෘත්‍යය සඳහා බොහෝ විට අයකරන මුදල රුපියල් දහසකි. ඉන් ඉදිරි කටයුතු සඳහා අයකිරීම කාන්තාවගේ හෝ පුද්ගලයාගේ ස්වරූපය අනුවය. බොහෝ විට ආරම්භ වන්නේ රුපියල් දහසකිනි.

විදේශිකයන්ද මෙවැනි තැන්වලට සම්බාහනයට එන්නේ ඖෂධීය සම්බාහනයක් පමණක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔවුන් සොයන්නේ එකිනෙකට වෙනස්වන ආස්වාදනීය අත්දැකීම්ය. සම්බාහනය අනතුරුව නිවස තුළදීම ඇතිවන ලිංගික සබඳතා අවසානයේ කෙළවර වන්නේ මිනී මැරුම් පිහි ඇනුම් වලිනි. මිරිස්ස උඩුපිල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන යන මෙවැනි සම්බාහන මඩුවක මීට සති කීපයකට ඉහතදී සිදුවීමක් වාර්තා විය. නිවසේ එක් කෙළවර සම්බාහනය කරන්නී මවය. අනෙක් කෙළවර තනාගත් තැනක සම්බාහන කටයුත්තේ නිරත වන්නී දියණියය. අම්මාත් දුවත් රස්සාව කරන්නේ තරගයට වගේය. මේ තරුණ කාන්තාවගේ ස්වාමි පුරුෂයා උක්ත විකෘති සම්බාහනයට විරුද්ධව සිටියේය. ඉවසනු නොහැකි තැන ඔහු කළේ කඩුවක් රැගෙන විත් සිය තරුණ බිරිඳට කෙටීමය. බිරිඳ රෝහලේය. තරුණ සැමියා බන්ධනාගාරයේය.

වැලිගම පොලිසියේ වාර්තාවලට අනුව වැලිගම පොලිසියට ලැබෙන වැඩිම පැමිණිලි ප්‍රමාණය පවුල් ආරවුල් සම්බන්ධවය. ඇසෙන වැඩිම නඩු ප්‍රමාණයක් ඇත්තේ දික්කසාද වීම් සම්බන්ධවය. විසිරී යන මේ පවුල්වල දරුවන් දකින්නේ අඬදබරය. ගහ මරා ගැනීම්ය. විදේශිකයන් සමග සිය මව හෝ පියා කරන ලිංගික අවකෙළි දකිමින් අසමින් වැඩෙන මේ දරුපැටවුන් පොලඹවන්නේද ව්‍යසනය වෙතය.

විරසක

එකම ගම්මානයක මේ ආකාරයේ සම්බාහන මඩු කීපයක් පැවතින විට ඒ සම්බාහනයේ ස්වරූපය ඔවුන් ඔවුන්ගේ මුවින්ම පිටවේ. ගනුදෙනුකරුවන් සොයා ගන්නට මේ අය අතර ඇතිවන තරගයේදී එකෙකු අනිකාගේ සම්බාහන කෙරුවාව එළිප­ිටම දිග හරිනු අසා ඇත්තෙමු. විදේශිකයන් සම්බාහනය කිරීමේ මුවාවෙන් එකිනෙකා කරන ජාවාරම්වල ස්වරූපය ඔවුනොවුන්ම හෙළිදරව් කරගනිති. සමහර විරසක කෙළවර වන්නේ ගුටි කෙළිවලිනි. තවත් ඒවා පොලිසීයෙනි. උසාවියෙනි.

හික්කඩුවේ සිට කිරින්ද තෙක් මුහුදු තීරය පොලීසි 18 කින් පාලනය වේ. මේ සංචාරක කලාපවල සිදුවන ව්‍යපාරයන්හි දුෂ්ප්‍රතිඵලයන්හි වින්දිතයෝ කාන්තාවෝ හා දරුවන්ය. වෙරළ තීරයේ පිහිටි බොහෝ හෝටල්වල ඇති සම්බාහන මධ්‍යස්ථානවල සම්බාහන කෘත්‍යයේ නිරතවන්නෝ සුදුසුකම් ලත් තෙරපිවරියෝ නොවෙති. ගම්බද ප්‍රදේශවල ජීවත්වන අසරණ තරුණියන්ය. මොවුන්ට ගෙවන දෛනික වැටුප රුපියල් දෙදහසත් දෙදහස් පන්සියයත් අතරය. අමතර මුදල් විදේශිකයන්ගෙන් ලැබෙන ටිප් එකය. මේ ටිප් එක වැඩි කරගන්නට කළ යුතු දේ බොහෝය. අඩුම තරමින් මසකට රුපියල් හැට දහසක් උපයා ගතහැකි මේ රැකියාව නැති කරගන්නට සූදානම් නොවන මේ දුප්පත් තරුණියෝ ඒ වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් කැප කරති.

අවසානයේ නිර්මාණය වී ඇත්තේ මහා සමාජ ව්‍යසනයකි. ඒ ව්‍යසනය මේ විදේශකයන්ගෙන් උපයන ඩොලර් වලින් ප්‍රතිපූර්ණය කළ හැකි නොවේ.

අදහස්