මරණ දඬුවම එන ආරංචියට මළගෙයක් වුණු හිර ගෙදර | සිළුමිණ

මරණ දඬුවම එන ආරංචියට මළගෙයක් වුණු හිර ගෙදර

“අවුරුදු ගානක් මේ හිරගෙදර ජීවිතය විඳිනවා නෙමෙයි; විඳවනවා. අපිව එල්ලලා මරණවා නම් ඒක ලොකු සැනසිල්ලක්.”

හිරකරුවාගේ හැඬුම්බර හඬ මේ දැනුත් ඇසෙන්න‍ා සේය. මීට වසර කිහිපයකට පෙර එක්තරා හැන්දෑවක එක් ජේලර්වරයකුත් සමඟ වැලිකඩ චැපල් වාට්ටුවට යෑමේ දුර්ලභ අවස්ථාව ලැබිණි. එල්ලුම් ගහ ඇත්තේ එහිය. චැපල් වාට්ටුවේ තෙත බරිත, දිය සීරා ගතිය, පුස් ගඳ මේ දැනුත් දැනෙන්නා සේය. මරණීය දණ්ඩනයට නියම වූ රැඳවියෝ අප වට කරගත්හ. කුමක් සිදු වේද? සිත මොහොතකට සැලිණ. එහෙත් ඔවුහු අප හා සුහද වූහ. අපමණක් වූ දුක් අඳෝනාය. සද්දන්ත මිනිසුන් දෑසේ කඳුළු පුරවාගෙනය.

“මැරෙන-එක සැපක්.”

ඒ හැන්දෑවේ අප වටා හිඳිමින් තොරතුරු කියූ ඔවුන් සැනසීම ඉල්ලුවේ එසේය.

කල්ගත වූ මේ සිද්ධිය යළිත් සිහිපත් වූයේ මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාව එල්ලුම් ගහ හා එල්ලා මැරීම ගැන වන හෙයිනි.

‘එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙයිද?’

ජනාධිපතිවර‍ය‍ාගේ ප්‍රකාශනයත් සමඟ කවුරුත් දැන් කතා කරන්නේ ඒ ගැනය. මේ වන විටත් බන්ධනාගාරයේ එල්ලුම් ගහට නියම වූ සංඛ්‍යාව තුන්සිය හැටනවයකි. ඒ අතරින් මරණීය දණ්ඩනය නියම වී සිටින කාන්තාවෝ පස් දෙනෙකි. මත්ද්‍රව්‍ය සඳහා මරණ දඬුවම නියම වී සිටින සංඛ්‍යාව දහඅටකි. එක් අයෙක් කාන්තාවකි. කාන්තාවන් තිස්හත් දෙනකු මරණීය දණ්ඩනයෙන් මිදීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, අභියාචනා ඉදිපත් කර ඇති පිරිමි ගණන 874කි.

‘එල්ලුම් ගහ එනවා’ කියන ආරංචිය ලැබෙන විට කවදත් බන්ධනාගාරයේ ම.ද.නි. (මරණීය දණ්ඩනය නියම වූ) සිරකරුවෝ නොසන්සුන්ය.

“සමහරුන්ට බඩේ ආමාරු හැදෙනවා. සමහරුන්ට ඔක්කාරය, වමනේ යනවා. තව අයට ප්‍රෙෂර් වැඩි වෙනවා, සීනි වැඩි වෙනවා, ඔළුව කැක්කුම ආදි විවිධ රෝග හැදෙනවා. දැනුත් එහෙමයි. මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා කියපු ගමන් කට්ටිය මානසික වැටෙනවා...” බන්ධනාගාරයෙන් ලැබුණ තොරතුරු එසේය. කොයි-කවුරුත් කොතෙක් චණ්ඩිකම් කළද මරණයට බියය.

‘එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා’ යන ආරංචිය එන සෑම වරකම අලුගෝසු තනතුර ගැනද නිතැතින්ම කතා විණි. ලුවිස් සිංඤෝ හා ඔහුගේ සොහොයුරා වන පවිලිස් සිංඤෝගෙන් හිස් වූ අලුගෝසු තනතුරට පසුව රංජිත් විජේතුංග පත් විය. ලුවිස් සිංඤෝ හා පවිලිස් සිංඤෝ අළුගෝසු තනතුරේ රාජකාරිය කළේ හැත්තෑව දශකයේය.1976 වන විට එල්ලුම් ගහ එනම් දණ්ඩනය අත්හිටුවා තිබිණි. රංජිත් විජේතුංගගේ පුත් සුමේධ 2001 වසරේදී අලුගෝසු තනතුරට පත් කෙරුණද පසුව ඔහු ජේලර් නිලයට පත් වූයේය. මේ නිසා අලුගෝසු තනතුර යළිත් පුරප්පාඩු විණි. පසුගිය කාලයේ මේ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිහිපවරක්ම අයැදුම් පත් කැඳවූයේය. මේ තනතුර සඳහා කාන්තාවක්ද ඉල්ලුම් කර තිබිණි (එහෙත් ඉතිහාසයේ අලුගෝසු තනතුර සඳහා කාන්තාවක් බදවා ගෙන නැත). එම ඉල්ලුම් පත්‍ර ගොන්නේම එක් අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණේ මැදිවියේ තැනැත්තෙකි.

“මගෙ දුවව ක්‍රෑර ලෙස ඝාතනය කර තිබුණා. එවැනි එවුන්ව මරන්න ඕනෑ. මං නොමිලේ මේ තනතුරේ වැඩ කරන්න සූදානම්.” ඔහු ‍එසේ පැවැසුවේය. නමුදු අලු‍ගෝසු තනතුර ලැබුණේ වෙනත් අයකුටය. අරුමය නම් අලුගෝසු තනතුරේ වැඩ බාරගත් එම තැනැත්තා එල්ලුම් ගහ දුටු පළමු දවසේම පැදුරටත් නොකියා පලා ගිය බවය. දැන් අලුගෝසු තනතුරද අලුතෙන් පිරවිය යුතුය. එය එසේ වුවත් එල්ලා මැරීම ක්‍රියාත්මක වන්නේ නම් කඹය සූදානම් ය. ලීවරයේ ඇණ මුරිච්චි තද කර හමාරය. මේ පිළිසකර කිරීම සිදු කැරුණේ මීට වසර දෙකකට පමණ පෙරය.

ඒත්, කවුරුන් කොහොම කිව්වත් හදිස්සියේ එල්ලා මැරීමට බැරිය. ඒ එයට වෙනම ක්‍රමවේදයක් බන්ධනාගාරයේ ඇති බැවිනි.

“රටටම විනාශයක් වූ මත්ද්‍රව්‍යවලින් රට මුදාගැනීමට නම් කුඩුකාරයන්ට දඬුවම් ලැබිය යුතුමය. රටේ තරුණ පරම්පරාව විනාශ කරන ඔවුන් එල්ලා මැරුවාට කම් නැත.”

ඒ බහුතරයකගේ මතයයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරාකාරී ඖෂධ වර්ග (සංශෝධන) පනත යටතේ අබිං ග්රෑම් 500ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තබාගැනීම විකිණීම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි. දැන් අබිං විකුණන්නෝ නැත. දැන් සිටින්නේ මහා පරිමාණයේ කුඩු වෙළෙන්දන්ය. පසුගිය දිනවල තොග ගණන් හෙරොයින් ආදි මත්‍ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිණි. දඬුවම්ද නියම කැරිණි. දඬුවම නම් මරණීය දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමය.

‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ කියන්නේ සිරගෙදර ගිය විටද මේ කුඩු කාරයන් ‘බිස්නස්-එක’ ජයට කරගෙන යෑම කනගාටුවකි. නම් දැරූ කුඩුකාරයෝ රැසක් දැන් සිටින්නේ ඇතුළේය.

කවුරුත් දැන් වෙලේ සුදා ගැනත් උනන්දුය. ඒත් වෙලේ සුදාට ගමන ප්‍රමාදය. හේතුව ඔහුව තවත් නඩු කිහිපයක්ම තිබීමය. එමෙන්ම ඔහු අභියාචනයක්ද ඉදිරිපත් කර තිබේ.

“කලකට පෙර කුඩු කිලෝ 17ක් එක්ක එකෙක් අහු වුණා. 1999 තමයි හිරේ ආවේ. මිනිහා කැමිලස්. මිනිහාගේ සගයා බැසිල්. බැසිල් ඇප හම්බ වෙලා එළියට ගියා. ඒ ගිහිල්ලා ඉන්දැද්දි ‍මුහුදේ ගහගෙන යන දෙන්නෙක්ව බේරන්න මිනිහා මුහුදට පැන්නා. දෙන්නව බේරලා මහන්සියට වැල්ලේ හාන්සි වෙලා ඉන්දැද්දි ලොකු රැල්ලකට මිනිහ මුහුදට ගහගෙන ගිහිල්ලා මැරුණා. දැන් කැමිලස් ඉන්නවා. මිනිහට මරණීය දණ්ඩනය නියම වෙලා තියෙන්නේ. පාකිස්තාන්කාරයෙක් ඉන්නවා මත්ද්‍රව්‍යවලට ඇතුළට ආපු. ජීවිතාන්තය දක්වා දඬුවම නියම වුණ. සමහරු හුවමාරු ක්‍රමවලට ඒ රටවලට යැවුණා...”

බන්ධනාගාරගතව සිටින කුඩු කෙරුමන් ගැන ලැබෙන ආරංචි එසේය. හිරගෙදර වැරදි කරනවුන් එවන්නේ පුනරුත්ථාපනය කිරීමටය. දැන් බොහෝ පුනරුත්ථාපන වැඩසටහන් එහි ක්‍රියාත්මක වේ. එයින් යම් ප්‍රතිලාභ ලබන්නෝද බොහෝය. ඒත් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම වූවන්ට ඇත්තේ නොම්මරයක් පමණි. අඩුම තරමේ තම මංගල මුදුවවත් ළඟ තබාගැනීමට ඔවුන්ට අයිතිය නැත. ඒ නිත්‍ය ‍නියෝග සංග්‍රහයේ සඳහන් වන අයුරුය. නීතිය එසේ වුවත් දැන් හිරකාරයෝ ළඟ නැති දෙයක් නැත. ස්මාර්ට් ෆෝන්, කුඩු, සිම් දෙක-තුනක්, ටැබ්... ආදි බොහෝ දේ ඇත.

මරණ දඬුවම නියම වී පැමිණෙන සිරකරුට ජම්පරය, නිල් කොටු රෙද්ද, පනිට්ටුව, පැදුර කොට්ටය, ඇඟ පෙරවීමට රෙද්දක් හිරගෙදරින් ලැබේ. ජනාධිපතිවරයා කියන යම් දිනෙක එල්ලා මරණ තුරු ඔහුට ජීවත් වීමට වරම් ලැබේ. මරණ දඬුවම නියම වූ රැඳවියන්ට දවසට පැය බාගයක් ඉරඑළිය වැටීමට එළියට ගනු ලැබේ. මේ නිත්‍ය නියෝගවල ඇති නීති-රීතිය. එහෙත් දැන් හිරගෙදර සිට කුඩු මුදලාලිලා ජයටම කුඩු බිස්නස් කරති.

“එක එක ක්‍රමයට කුඩු ඇතුළට එනවා. කාලෙන් කාලෙට ඒවා වෙනස් වෙනවා. ඉස්සර ‘බංකරේ’ ගහගෙන (ගුදමාර්ගයේ සඟවාගෙන) ආවා. තව කාලයක් මාළුමිරිස් කරල්වල, බටු ගෙඩියේ, බත්මුලේ හංගගෙන ආවා. ක‍ාලෙන් කාලෙට එක එක ක්‍රම හොයාගන්නවා. සමහරු තාප්පෙට උඩින් විසි කරනවා. දහස් ගණන් මුදල් හම්බ කරනවා. ඒ වගේම තමයි සමහර නිලධාරීන් තොප්පිය අස්සෙයි මේස්-එක අස්සෙයි දාගෙන කුඩු ගේනවා. මේ වගේ දේවල් කරන්නේ ඇතුළේ පොඩියට බිස්නස්-එක කරගෙන යන අය. ඒත් මුදලාලිලා කවදාවත් ඔය වගේ දේවල් කරන්නේ නැහැ. ඒ ගොල්ලා ෆෝන්වලින් බිස්නස්-එක කරනවා. මුදලාලි ඇතුළට ආවාට, එළියේ ඉන්නේ ගෝලයන්ව ගානට මේක ඇතුළේ ඉදලා ‘හැඬ්ල්’ කරනවා.”

රැඳවියකු දිනෙක එසේ පැවසුවේ බොහෝ රහසිගතවය. ‘පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා වගේ’ කියන්නේ මෙවන් විටෙක වෙන්නට පුළුවන.

දැන් කොහොම වුණත් මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්නට යන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙනි. එක්කෙනෙක් දෙන්නෙක් නොව ලැයිස්තුවේ සිටින ගණනම එල්ලූවද අපේ රටේ මත්ද්‍රව්‍යවලට තිත තැබිය හැකිද යන ප්‍රශ්නයද මෙහිදී මතු වේ.

කොහොම වුණත් ලංකාවටම එල්ලුම් ගස් දෙකක් තිබිණි. එකක් බෝගම්බර බන්ධනාගාරයේය. අනෙක වැලිකඩ බන්ධනාගාරයේය. දැන් ඇත්තේ ලංකාවටම එක එල්ලුම් ගහකි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ පමණි. 2002 වසරේ දිනෙක අපටද අහම්බයෙන් බෝගම්බර බන්ධනාගාරයේ ‘එල්ලුම් ගහට නැඟීමට’ අවස්ථාව ලැබිණි. අවසන් වරට බෝගම්බරදී එල්ලා මරා දැමුණු පුද්ගලයාගේ තොරතුරු එහි සඳහන්ව තිබිණි.

‘කට්ටිය බය වෙලා...’ යනුවෙන් හිරගෙදර ඇත්තන් පවසන්නේ ‘ම.ද.නි.’ අය එල්ලුම් ගහ ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබී මානසික පීඩනයට ලක් වන විටය. දැන් සිරකරුවෝ නොසන්සුන්ය. තම ඉරණම විසඳෙන්නේ කෙසේදැයි ඔවුහු කැලඹිල්ලෙන් බලා සිටිති.

අදහස්