බුදුන් දේශනා කළ ආහාර වර්ග සතර | සිළුමිණ

බුදුන් දේශනා කළ ආහාර වර්ග සතර

තථාගතයන් වහන්සේ ආහාර වර්ග හතරක් පිළිබඳ දේශනා ක‍ළා. උපන්නාවූ සත්ත්වයා ගේ සහ උපදින්න සිටින්නා වු සත්වයාගේ අනුග්‍රහ පිණිස ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ ආහාර හතර මොනවා ද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබිලිංකාර හෝ කැබලි වශයෙන් අනුභව කරන ආහාර වර්ගයයි. බත් කැවිලි පලතුරු සහ බීම වර්ග කැබලිංකාර ආහාරය ගණයට ඇතුළත් වෙනවා.

දෙවැනි ආහාරය ස්පර්ෂයයි . ස්පර්ෂය යනු ගෑවිම හැපීම ගැටීම යන අරුත් දෙ යි. එසේ වුවත් මෙහි ස්පර්ශය කියන්නේ එ අර්ථයෙන් නොවෙයි. මෙහිදී ස්පර්ෂය කියන්නේ එකතු වීම යන අර්ථයයි. ඇසින් රූපයක් බලන විට රූපයත් ඇසත් හිතත් එකතු වෙනවා. ඒ කාරණා තුනට ඇසේ ස්පර්ශය කියලා කියනවා. කනින් ශබ්දයක් අසන විට කනත් ශබ්දයත් විඥානයත් එකතු වෙනවා. මෙය කනේ ස්පර්ශයයි. කයත් මනසත් සිතත් යන සියලු කාරණා ‍මීට අන්තර්ගතයි.

තුන්වැනි ආහාරය මනෝ සංචේතනාවයි එනම් කර්මයට කියන තවත් නමක් මනස තුළ හට ගන්නා චේතනාවයි. හතරවන ආහාරය විඥනයයි. එයත් සිතටම කියන තවත් නමක් මේ ආහාර හතර පිළිබදව ධර්මයේ කතා කරන්නේ ඇයි එය පිළිබදව අපි විමසා බැලිය යුතුයි. කබලිංකාර ආහාර ය තියෙන්නේ ශරීරයේ පැවැත්මට අපි ගන්න ආහාර පාන නිසයි මේ ශරීරය පවතින්නේ. එසේ වුවත් බුදුන්වහන්සේ තම ගිහි පැවිදි ශ්‍රාවකයන්ට ආහාර පාන ගන්නා අකාරය පිළිබදව උපදෙස් දුන්නා.

දවසක් මහානාම කියන ශාක්‍ය වංශික රජ කෙනෙක් බුදුන් වහන්සේ බැහැ දකින්න ආවා. උන්වහන්සේ මහානාම රජතුමාට ප්‍රකාශ කළා. රජතුමා ආහාර පාන ගන්න විට එසේ ‍සිතන්න මාමේ ආහාර පාන අනුභව කරන්නේ ක්‍රිඩා පිණිස නොවෙයි. මදය වැඩීමට නොවෙයි. ශරීරය අලංකාර කිරීමට නොවෙයි. ශ‍‍රීරය සැරසීම සදහා ‍නොවෙයි. මා මේ අනුභව කරන්නේ කය පවත්වා ගැනීම පිරිණිසයි. මා මේ ආහාර පාන අනුභව කරන්නේ ධර්ම මාර්ගය තුළ ගමන් කිරීමටයි. මේ ආකාරයට සිතලා ආහාර පාන අනුභව කරනවා නම් එක පැත්තකින් ශරීරයට තියන අාසාව තණ්හාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රෝගාතුර අවස්ථාවලදී නුවණින් දැකලා අාහාරපාන අනුභව කරන්න පුළුවන්නම් හුගක් රෝගාබාධ අඩුකරගන්න පුළුවන්. නුසුදුසු ආහාර පාන නොගෙන ඉන්න පුදුමාකාර මානසික ශක්තියක් බලයක් ඇති වෙනවා. එසේ මෙය අපේ ජිවිතය නිරෝගි කර ගැනීමට බලපානවා නියතයි.

අනෙක් ආහාර ස්පර්ශා ආහාර වර්ගයයි. ස්පර්ශය කියන වචනයෙන් අදහස් කරන්නේ ගෑවිම, ගැටීම හැපිම, යන අර්ථයෙන් මෙතැනදී අදහස් කරන්නේ ස්පර්ශය කියා වෙනත් අර්ථයක්. ඇසත් රූපයත් සිතත් එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. කනත් නාසයත් දිවත් ‍ කයත් මනසත් මේ ආකාරයට ස්පර්ශයට සිදුවෙනවා. ස්පර්ශය ආහාරයක් වන්නේ ඒ නිසයි‍. ස්පර්ශය කවුරුත් කන්නේ බොන්නේ නැහැ. මෙය ඊට වඩා ගැඹුරු අරුත් සපයන්නක්.

ස්පර්ශය හේතුවක් වන්නේ වේදනාව හට ගැනීමටයි. වේදනාව කියන්නේ කුමක් ද කියා කවුරුත් දන්නවා කායිකව මානසික ව ඇති වන සතුටට කියනවා සැප වේදනාව කියලා. කායික ව හා මානසිකව ඇති වන වේදනාවට කියනවා දුක වේදනාව කියලා. සැපත් නැති දුකක් නැති වේදනාවට කියන්නේ උපේක්ෂා කියලයි . මේ වේදනා තුන් වර්ගය හට ගැනීමට හේතුව බවට පත් වන්නේ ස්ප‍ර්ශ ආහාරයයි. අපි ස්පර්ශ ආහාරය තේරුම් ගැනීමට ලැබිමෙන් අපිට අත් වන ප්‍රයෝජන මොනවාද ? යම් කිසි කෙනෙක් තමන්ට නොගැළපෙන යම් කිසි ‍රූපයක් දෙස බලනවා. එ් රූපය දෙස බලන අවස්ථාවේ ඔහුගේ රූපය මුල්වෙලා තණ්හාවක් ආසවක් ඇතිවෙනවා. ඒ තණ්හාව ආසාව ඇති වෙන්නේ ස්පර්ශ ආහාරය පිළිබද අවබෝධයක් නැති නිසා යම් කිසි කෙනෙක් මේ රූපය දිහා සිහිය පිහිටුවා ගත්තොත් මේ මා දකින රූපය සත්‍යයයි රූපය දකින ඇස් දෙක අනිත්‍ය සිතත් අනිත්‍යයයි කියන සිතුවිල්ලෙන් යුතුව සිහිය පිහිටුවා ගතයුතුයි.

අනිත්‍ය වූ රූපයත් ඇසත් සිතත් නිසා හට ගන්ත ඒ සැප වේදනාවත් අනිත්‍යයි. ඒ සැප වේදනාව නිසා හට ගත්ත තණ්හාවත් අනිත්‍යයි කියා ඔබ සිතින් සිතුවොත් ඒ තණ්හාව නැති ‍වී යනවා. ඒ මගින් ඇති වීමට ගිය බොහෝ ගැටලු විසදෙනවා. අපි නිකමට හෝ හිතුවොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් එසේ නැති නම් ඇසත් රූපයත් සිතත් එකතු වීමෙන් අදාළ රූපය කෙරෙහි ඇලීම් ඇති වුණේ කියලා, එසේ නම් ඒ ස්පර්ශය නැති වීමෙන් ඒ ආස්වාදය නැති වී යනවා ඒ ආස්වාදය අනිත්‍යයි කියලා හිතුවොත් බලන්න එය හේතුවක් බවට පත් වෙනවා. තමන්ට අයත් නොවන රූප කෙරෙහි නොඇලී සිටිමට. ඇලෙන්නේ බැදෙන්නේ නැතිව ඉන්නට අවශ්‍යයි .

අද ලෝකයේ මේ වගේ පොඩි සිදුවීම් නිසා ජීවිතයේ බොහෝ අවුල් වියවුල් ඇති වෙනවා තමන්ට අයත් නොවන රූප කෙරෙහි බැඳිම් ඇති කර ගැනීම නුසුදුසුයි. මුහුණ පොත ඒ වගේ ම එක් එක් සමාජ ජාල ඔස්සේ එන දුරකථන සංවාද තමන්ගේ මුළු ජීවිතයම අවුල් ගොඩක් බවට පත් කරගන්නා අවස්ථා තිබෙනවා. ඉතින් ඒ දුරකථන ඇමැතුම්වලට පවා අහම්බෙන් ඔබේ සිත ඇලිල බැඳිලා ගියොත් තමන්ට ජිවිතයට අදාළ වෙනත් වටිනා දේවල් අහිමි වෙලා අවුල් වියවුල් ඇතිවෙලා ජිවිතය සම්පුර්ණයෙන් වෙනස් වෙලා යනවා. ඔබට අදාළ නොවන දේකට හිත යොමු වෙලා යනවා නම් නුසුදුසු කෙනෙක් කතා කරන විට මේ ශබ්දය ඇසෙන කන අනිත්‍යයි. ශබ්දය සහ සිතත් අනිත්‍යයි මේ ඒ වගේ ම ස්පර්ශ නිසා හට ගත් වින්දනීය සිතුවිලි අනිත්‍යයි කියලා හිතුවොත් ඔබේ සිත තුළ හට ගන්නා ඇලීම් බැදිම් නැති වෙලා යනවා. හොදට තේරුම් ගන්න ඕනේ ඇස කන නාසය දිව ශරී‍රය මනස කියන ආයතන සංවර කරගන්න.

ඊළග ආහාරය මනෝ සං‍චේතන ආහාරයයි. 'මනෝ' කියලා කියන්නේ සිතට 'සං‍චේතනා' කියන්නේ සිතුවිලිවලටයි . චේතනාව කියන්නේ කියන්නේත් මනෝ සංචේතනාවටම තමයි. ‍ චේතනාවම තමයි මනෝ සංචේතනවා. ඒ කියන්නේ චේතනා හං භික්‍ඛවේ කම්මං වදාමි' කියලා පැහැදිලි කර තිබෙනවා චේතනාව කියන්නේ කර්මයටමයි. මනෝ සංචේතනා ආහාරය හේතුවෙන්නේ කුමකටද ? මනෝ සංචේතනා ආහාරය හේතු වෙන්නේ නැවත භවයක ඉපදීමටයි . මේ මනෝ සංචේතනා නම් කර්මය නිසයි අපි නැවත භවයක ඉපදෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්නා ක්‍රමයට නම් මිනිස් උපතක් ඇති වීමට නම් හේතු කාරණා තුනක් අවශ්‍යයි.

පළමු වැනි කාරණාව මව දරුවකු ලබන දිනවල සිටිය යුතුයි. මව්පියන් කායිකව එක් විය යුතුයි. මව්පියන්ගේ ජීව සෛල ‍සංචේතනය වී ගර්භාෂය තුළ තැන්පත් විය ගත යුතුයි. මේ කාරණාවන් තුළ දරු උපතක් හට ගන්නවා කියලා නවීණ විද්‍යාවේ කියවෙනවා. එහෙත් බුදු රජාණන් වහන්සේගේ ඉගැනීම ඊට වඩා වෙනස්. තථාගතයන් වහන්සේ සදහන් කළා දරු උපතක් හට ගන්නේ කොහොමද කියලා. උන්වහන්සේ දේශනා කරන ආකාරය මව දරුවකු ලබන දිනවල සිටිය යුතුයි මව්පියන්ගේ කායික එකතු වීම විය යුතුයි. ඒ අවස්ථාවේ විඥානයක් එළැඹ සිටින්නට ඕන මව් කුස තුළ පිළිසිද ගැනීමට ඉන් පසු ව එම විඥනයයි මව්කුස තුළ පිළිසිද ගන්නේ. විඥනයක් මව් කුස තුළ හට ගන්නවාත් සමඟම ඒ විඥානයක් ඇති වීම නිසා විදීම කියන්නේ සැපදුක් වේදනා කියන වේදනා දැනගන්න ස්වභාවයයි. ඒවගේම විඥනයත් සමඟ සංඥා ඇති වෙනවා. සංඥා කියන්නේ හදුනා ගැනිම විඥානයක් සමග ඇති වෙනවා‍.

චේතනා කියන්නේ සිතුවිලි. එසේ නම් විඥානයක් සමඟ වේදනා සංඥ චේතනා නම් වන ධර්මතා තුන ඇති වෙනවා ඊළඟට කර්මයෙන් හට ගන්නවා කලල රූප. අපි‍ මෙතෙක් ඉගෙන ගෙන සිටියේ ජීව සෛලවලින් කලල හට ගන්නවා කියලයි. මවුපියන්ගේ ධාතු කොටස් වලින් කලලය හට ගන්නවා කියලයි. නමුත් ධර්මයේ කලලය හට ගන්නේ කර්මයෙන් බව සදහන් කරනවා. කලලය කර්මයෙන් හට ගන්නා නිසා කටත්තා රූප නමින් හැදින්වෙනවා. කර්මානුරූපව පරමාණුවකටත් වඩා ඉතා කුඩාවට කලල රූපය හට ගන්නවා. ඒ කුඩා කලල රූප හට ගැනීමට මව්පියන්ගේ ජීව සෛල මුල් අවස්ථාවේ හේතුවක් බවට පත්වෙනවා පමණයි. ඒවා ආහාර කරගෙන කලල මුලික අවස්ථාවේ වර්ධනය වෙන්නේ. ඉන්පසුව මේ කලලය මවගේ ශරීරයට සම්බන්ධ වෙනවා මවගේ ශරිරයට සම්බන්ධ වීමෙන් මවගේ ශරීරයේ ඕජාව අරන් වර්ධනය වෙනවා.

දැනට විද්‍යානුකූලව උගන්නවන ජීවසෛල නිසා කලලය හට ගන්නවා කියන කාරණාව ධර්මානුකූලව ගත්තම වැරදි අදහසක් වැරදි මතයක්. ඒ වැරදි දෘෂ්ටියත් සමඟ මිනිසුන් තුළ ඇති වෙන්නේ වැරුදි අවබෝධයක් සහ මුළාවක්.

විද්‍යා වේ කියවෙන්නේ භෞතික හේතු නිසා කය හටගන්නවා කියලයි. ඉතින් භෞතික හේතු මත කය හට ගන්නවා නම් මිට පෙර උපතක් වෙලා තිබුණෙ නැහැ කියන අදහසට එනවා මීට පෙර උපතක් තිබුණෙ නැති නම් මව්පියන්‍ එක්වීමෙන් කය හට ගත්තා නම් මැරුණාම අයේ ඉපදිමකුත් නැහැ. එතැනදි මෙලොව පරලොව නැතැයි කියන මිත්‍ය දුෂ්ටියට වැටෙනවා‍. පින්පව් නැත කියන මිත්‍ය දුෂ්ටියට වැටෙනවා. ‍හොද නරක පිළිබද අවබෝධයක් නැතිව යනවා. යමක් ලබා ගැනිම හොදින් හෝ නරකින් කිරීමට පෙලඹෙනවා. ඒ හැගීමත් සමඟ දරුවන්ගේ පින් පව් පිළිබඳ අනවබෝධය ඇති වෙලා තියෙන්නේ. මවුපියන් හඳුන‍න්නේ නැති කොටසක් බවට පත් වෙලා තියෙන්නේ කර්මයයි. කර්ම ඵලය අදහන්නේ නැති අශිෂ්ට සම්පන්න ‍කොටසක් බවට පත්වෙලා තියෙන්නේ. මෙය මනාව සිහිපත් කරගෙන සියලු දෙනාව මේ කාරණාව පිලිබදව සම්මාදිඨිටිය ඇති කරගත යුතුයි.

ඊළග ආහාරය වන්නේ විඥානය ආහාරයි. විඥානය කියන්නේ දැන ගැනීම කියන කාරණාවටයි. තවත් විදිහකින් කිවහොත් විඥනය කියන්නේ සිතටයි. සිත හේතුවක් බවට පත්වෙනවා නාම රූප හට ගැනීමට. නාම කියන්නේ වේදනා, සංඥා, සංඛාර යන ස්කන්ධ තුනටයි. රූප කියන්නේ කියන්නේ කලල රූ‍පයෙන් පටන් අරගෙන හැදුණු වැඩුණු මේ ශරිරයටයි.

එයිනුත් පැහැදිලි වෙනවා පටිච්ඡ සමුපාදයේ ඉගැන්වෙනවා විඥාන පච්ඡයා නාම රූපං කියලා ඉගැන්වෙන්නෙත් මේ කරුණයි.

විඥනය නිසයි නාමය සහ රූපය හටගන්න හේතුව බව පැහැදිලි කරලා තියනවා. බුදුරජ‍ාණන් වහන්සේ මේ සියල්ල හදුනා ගත්ත උත්තමයෙක්. ජීව සෛල වලින් නම් කලලය හට ගන්නේ උන්වහන්සේට කියන්න තිබුණා ජිව සෛල නිසා කලල වගේම රූපය හටගන්නවා කියන කාරණාව.

එහෙත් උන්වහන්සේ එසේ කිවේ නැහැ. එ්කට හේතුව එයට හේතු රූපය හට ගන්නේ විඥන ප්‍රත්‍යයෙන් කර්මය මුල්වෙලා කියන කාරණාව නිසයි. මේ පිළිබදවයි ආහාර වලින් උගන්වන්නේ අපි අනුභව කරන ආහාර වලට පමණක් නොවෙයි මේ ආහාර කියලා කියන්නේ. මේ පිළිබදව අවධානය යොමු කිරීමෙන් මෙලොව පරලොව දෙලොවටම යහපත් කර ගන්නත් පරලෝක ජිවිතය යහපත් කර ගන්නත් දෙලොව ජය ගෙන ශාන්ත නිවනට අවස්ථාව උදාවෙනවා.

Comments