ගම් පෙරළියෙන් වැව් පෙරළියක් | සිළුමිණ

ගම් පෙරළියෙන් වැව් පෙරළියක්

වැවයි දාගැබයි; ගමයි පන්සලයි යන සංකල්පයෙන්ද කියැවෙන පරිදි අපේ අතීත පාරම්පරික ගමේ ප්‍රධාන අංග අතරින් වැවට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. මේ වැව වූ කලි සිංහල ජාතියේ විස්මිත වාරි තාක්ෂණික දැනුමේ මහා පෙළහරක් ලෙස ද හැඳින්විය හැකි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලාංකික වාරි උපදේශක ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පවසන පරිදි අපේ රටේ කුඩා වැව් 18000ක් තිබේ. ඉන් ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ වැව් 14200ක් පමණි. මින් සියයට 80ක් එල්ලංගා‍ පද්ධති ලෙස පවතින අතර, මේ වැව්වලින් සියයට 97ක් ම පවතින්නේ වියළි හා අතරමැදි කලාපවල පමණි.

මේ වැව්වලින් වැඩි හරියක් දැනට රොන්මඩ පිරී පවතින බව පෙන්වා දෙන ආචාර්ය ධර්මසේන පවසන්නේ මේ වැඩ සියල්ල ප්‍රතිසංස්කරණය රජය ගෙන ඇති වැඩපිළිවෙළ ඉතා වැදගත් බවයි.

රජය ක්‍රියාවට නංවන වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දෙකක් ඇත. ඉන් ප්‍රමුඛ වැඩපිළිවෙළ ‘ගම් පෙරළිය’ ජාතික වැඩපිළිවෙළ යටතේ කුඩා වැව් ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිළිවෙළයි. මෙහි සමාරම්භක වැඩපිළිවෙළ 15 වැනිදා කුරුණෑගල රත්නපුර බුලත්වැව අලුත්වැඩියා කිරීමෙන් ආරම්භ කෙරේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ හා මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ප්‍රතිපාදන අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. මද්දුම බණ්ඩාර වීරසේකර මහතා කියයි.

මේ යටතේ මෙරට සියලු ගම් හා වැව් නඟා සිටුවීමට වෙන් කරන සම්පූර්ණ මුදල රුපියල් කෝටි 6500 කි.

ඒ සමඟම කෘෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයවන ‘වැව් දහසක් - ගම් දහසක්’ වැඩපිළිවෙළ යටතේ කුඩා වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ 12 වැනිදා නිකවැරටියේ මහගිරිල්ල මහගල්කඩවල වැවෙන් ආරම්භ විය. මේ යටතේ ඉදිරි වසර තුන ඇතුළත රටේ ම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් කෝටි 900ක් වෙන්කර ඇත. කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවන අපි වවලයි අපි කන්නේ වැඩසටහන යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරනු ලබන බව කෘෂිකර්ම සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඊට අමතරව ජනාධිපතිතුමා මෙහෙයවන ‘ග්‍රාම ශක්ති’ වැඩපිළිවෙළ යටතේ ද වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් කෝටි 1200 ක් ලබාදීමට නියමිතය.

අද අපේ රටේ ඇති කුඩා වැව් බොහොමයක් රොන් මඩවලින් පිරී ඇත. නිසි පරිදි නඩත්තු නොකිරීම රොන් මඩ ඉවත් නොකිරීම ආගන්තුක වල් පැළෑටි සැල්වීනියා ජපන් ජබර වැනි පැළෑටිවලින් වැව් පිරීයාම නිසා වැවට අල්ලන ජල ප්‍රමාණය අඩුවී ඇත. මේ නිසා කොතරම් වැස්සත් වැවට එකතු වන ජල ප්‍රමාණය අවම වීම නිසා වාන් දමා සතියක් දෙකක් යන විට වැවේ ජලය අවසන් වී වැව වියළී යන තත්ත්වයට පත්වේ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණ හොත් අපේ රටේ කුඹුරුවලට මේ වැව්වලින් ජලය ගැනීමට අපහසුවේ. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ රජය මේ සුවිශේෂි වැඩපිළිවෙළ තුන යටතේ මෙරට කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම අරඹා ඇත. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ආචාර්ය පී.බී. ධර්මසේන වැනි පර්යේෂණ විද්‍යාඥයන් පවසන්නේ අපේ රටේ ඇති වැව් 14200 න් සියයට 50 ක් පමණ ඉතා අබලන් වී ඇති බවයි.

‘වැව් දහසක් - ගම් දහසක්’ වැඩපිළිවෙළ යටතේ මේ වැව් සියල්ල ප්‍රතිසංස්කරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මේ යටතේ සෑම දිස්ත්‍රික්කයකින් ම තෝරාගත් කුඩා වැව් දහසක් සංවර්ධන කෙරේ. වැව් ගම්මාන ලෙසින් හඳුන්වන මේ ගම්මානවල විදුලි බලය පානීය ජලය මහා මාර්ග ආදී යටිතල පහසුකම් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ‘ග්‍රාම ශක්ති’ වැඩ සටහන යටතේ වැය කරන මුදල රුපියල් දස ලක්ෂ 9000 කි. ‘වැව් දහසක් ගම් දහසක්’ පළමු අදියර යටතේ මේ වසර ඇතුළත කොළඹ වැව් 5ක්, ගම්පහ වැව් 5ක්, කළුතර වැව් 5ක්, මහනුවර වැව් 5ක්, මාතලේ වැව් 8ක්, කුරුණෑගල වැව් 15ක්, හම්බන්තොට වැව් 72ක්, පොලොන්නරුවේ වැව් 10ක්, අනුරාධපුර වැව් 10ක්, මන්නාරමේ වැව් 5ක්, බදුල්ලේ වැව් 7ක් ලෙස පිළිසකර කර සංවර්ධනය කෙරේ.

ගම් දහසක් වැව් දහසක් වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ වැව් 200ක් ප්‍රතිසංස්කරණය කරන අතර 2018 දී වැව් 600ක් ද 2020 දී වැව් 1000ක් ද පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

වසර ගණනාවක් තිස්සේ අපේ ගොවි ජනතාව මුහුණපාන ජල ගැටලුවට තිරසර විසඳුමක් ලබාදෙන මේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ මෙරට කෘෂි ක්ෂේත්‍රයේ විද්වත්හු ද අගය කරති.

මේ යටතේ වැව සමඟ සංවර්ධනය ගොවිතැන් කටයුතු නගා සිටුවීම, ක්ෂුද්‍ර ම‍ූල්‍ය ණය පහසුකම්, ගෙවතු වගාව, පැළ රෝපණය, වැව් ඇළවේලි සංවර්ධනය හා වැව් තාවුල්ල සංවර්ධනය වැව් මැනීම හා ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනයට ආදිය ද සිදුකෙරේ.

මේ අනුව අපට අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම හා ආහාර සංවර්ධනයේ ශ්‍රී ලාංකික උපදේශක ආචාර්ය පුංචි බණ්ඩා ධර්මසේන මහතා පවසන්නේ මේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම ආවාය ගියාට නොව නිසි විද්‍යාත්මක ක්‍රම වේදයක් අනුව හා වැවේ නිසි ජ්‍යාමිතිය අනුව කළ යුතු බවයි.

මේ අනුව මුලින් ම කළයුත්තේ වැව් පිරී ඇති රොන් මඩ ඉවත් කිරීමයි. මෙහිදී කළ යුත්තේ ආංශික රොන්මඩ හරණය නම් ක්‍රියාවලිය සිදු කිරීමයි. කෙසේ වුවත් වැඩිපුර රොන්මඩ ඉවත් කළ යුත්තේ සොරොව්ව අසල ඇති රොන්මඩයි.

ඒ සමඟම ‍රොන්මඩ ඉවත් කිරීමේදී සියලු රොන්මඩ ඉවත් නොකළ යුතු අතර ඒ සමඟම ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කළ යුතු ය. කිවුල් ඇළ මඩ සොරොව්ව හා බිසෝ කොටුව ආදියද ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ.

කොන්ත්‍රාත්කරුවන්ගේ මඩිය තර කරන වැව් බැම්ම පිරවීම හා වැව හෑරීම සිදු කිරීම පමණක් වැව ප්‍රතිසංස්කරණය යැයි වරදවා වටහා ගැනීම නිසා වැව් නියම ලෙස ප්‍රතිසංස්කරණයට ලක් නොවෙන බව ද ආචාර්ය ධර්මසේන අවධාරණය කරයි. නියමිත පරිදි වැවක් ප්‍රතිසංස්කරණය කර තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් ඒ වැවට ජලය ලබාදෙන අවට පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම කළ යුතු බවත් ආචාර්ය ධර්මසේන මහතා පවසයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි මෙවර වැව් හැදීමේ වැඩ පිළිවෙළ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණයට පමණක් රජය රුපියල් ලක්ෂ 3000ක් පමණ වෙන් කර තිබේ. අපේ රටේ වැව්වල නිසි ජල ප්‍රමාණයක් රදවා ගැනීමට අපහසු වීම නිසා අද අපේ කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වී ඇත. අපේ රටේ කෘෂිකර්මාන්තයේ ඉදිරි පුනර්ජීවනය සඳහා මෙන් ම රටේ සියලු කෙත්වතු අස්වැද්දීම පිණිස මේ අපේ කුඩා වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රබල ජනහිතකාමී දෑ හිතකාමී වැඩපිළිවෙළක් බවයි.

මේ අනුව මේ ‘ගම්පෙරළිය’ , ‘ග්‍රාම ශක්ති’ හා ‘වැව් දහසක් ගම් දහසක්’ වැඩපිළිවෙළ මඟින් ගමේ වැව්වල තිරසර පෙරළියක් වනු නොඅනුමානය.

අදහස්