ඉන්ධන මිල සූත්‍රයේ වාසිය ජනතාවටයි | සිළුමිණ

ඉන්ධන මිල සූත්‍රයේ වාසිය ජනතාවටයි

ශ්‍රී ලංකාව ඉන්ධන නිපදවන රටක් නො වේ. අපේ රටට මැද පෙරදිග සිට ඉන්ධන ආනයනය කරන්නට සිදුව ඇති අතර ඔපෙක් සංවිධානයේ පදයට නටනවා හැරෙන්නට කිසිදු රජයකට එයින් මිදෙන්නට හැකියාවක් නැත. එය අපේ රටට පමණක් උරුම වූවක් නොව අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ ඉන්ධන නිපදවන්නේ නැති බොහෝ රටවලට මතුව ඇති ප්‍රශ්නයකි. මේ නිසා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑම හා පහළ යෑම පරීක්ෂා කර ඉන්ධන මිල සූත්‍රයත් තැනීම 2001 වසරේ ක්‍රියාත්මක වුවත් වසර කිහිපයකදී එය අභාවයට ගියේය.

ඉන්ධන මිල ඉහළ ගිය සැණින් තේ කෝප්පයේ සිට සියලු භාණ්ඩවල මිල ඉහළ යන හෙයින් ඉන්ධන මිල යම් හෝ ස්ථාවර තත්ත්වයකට පත් කර තබා ගැනීමට සියලු රජයන් උත්සාහ කළද සිදුවන්නේ පෙර කී පරිදි ඔපෙක් සංවිධානයේ අණට කීකරු වී ඔවුන් නියම කරනු ලබන මිලට ඉන්ධන ලබා ගෙන ඒ වැඩි මිල ජනතාවගෙන් අය කර ගන්නටය. මේ නිසා ඉන්ධන මිල සූත්‍රයක් යළිත් ක්‍රියාත්මක කළ යුතු බව පසුගිය කාලය පුරාම මතු වූ කරුණකි. විදේශීය වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගිය විට ඉන්ධන මිල ඉහළ දමන්නටත් පහළ ගිය විට ඉන්ධන මිල පහළ දමන්නටත් ඒ අනුව ක්‍රියා කළ හැකි වනු ඇත. ඒ අනුව ඉන්ධන මිල පහළ ගිය සැණින් එහි වාසිය පාරිභෝගිකයාට ලබා දෙන්නටත් ඉහළ යෑමද දරන්නට අපහසු ආකාරයෙන් නොව ක්‍රමානුකූලව ඉහළ නැංවීමටත් හැකි වනු ඇත.

ඉන්ධන මිල සූත්‍රය ගෙන එන්නට හේතු සාධක වූ කරුණු කාරණාද අපට පසෙකින් තැබිය නොහැකිය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට රාජ්‍ය බැංකුවලට බිලියන 300ක පමණ ණය ගෙවන්නට තිබේ. හෙජින් ගිවිසුමෙන් වූ පාඩුව ද රුපියල් කෝටි 6760 ක් පමණ වේ. මේ තත්ත්වය නිසා ඉදිරියටත් ණය ගන්නට සිදු වනු ඇත. එසේම ඉන්ධන සහන මිලට ලබා දීමෙන් සංස්ථාව තවත් බංකොළොත් වේ.

පසුගියදා සිදු කළ මිල වැඩි කිරීමට පෙර පසුගිය මාසයේ මිල වැඩි වීමට කලින් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

 

ලීටරයකින් සංස්ථාව ලද පාඩුව මෙසේ දැක්විය හැකිය.

ඔක්ටේන් 92 පැට්‍රල් රු.14.69

ඔක්ටේන් 95 පැට්‍රල් රු.9.32

ඔටෝ ඩීසල් රු.14.32

සුපර් ඩීසල් රු.9.49

භූමිතෙල් රු.48.63

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 77ට වැඩියෙන් ඉහළ ගොස් ඇති අතර, රුපියලේ අගය අවප්‍රමාණ වීමෙන් සිදුවන පාඩුව මෙන්ම සංස්ථාවේ ප්‍රවාහන වියදම් සහ සේවක නඩත්තු වියදම් ඉහළ යෑම ආදී හේතු නිසා සංස්ථාවට අතිරේක වියදමක්ද දැරීමට සිදුව තිබේ.

අද පවතින තත්ත්වය අනුව සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක් හෙවත් සතියකට රුපියල් මිලියන 266ක් පාඩු විදීමට සිදුව ඇත.

පසුගිය 2014 වසර මුලදී ඇමරිකානු ඩොලර් 111.21 ක්‌ වූ බ්‍රෙන්ට්‌ වර්ගයේ බොර තෙල් බැරලයක සාමාන්‍ය මිල, එම වසර අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් 57.30 දක්‌වා අඩු වී තිබුණි. 2014 වසරේ මුල් භාගයේ බොර තෙල් මිල ගණන් ඉහළ මට්‌ටමක තිබුණත් එම වසරේ දෙවන භාගයේදී බොර තෙල් මිල ගණන් සියයට 50 කින් පමණ පහත වැටිණි. ඉන්ධන සඳහා පැවති ලෝක ඉල්ලුම යම් වශයෙන් අඩු වීමද මෙයට හේතුවකි. 2014 වසරේදී එවක රජය විසින් දෙවරක්‌ මෙරට ඉන්ධන මිල අඩු කළත්, පසුව ඉහළ දමන ලදී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් වූ අතර වර්තමාන රජය බලයට පත් වීමත් සමඟ එය රුපියල් 117 දක්වා අඩු කරන ලදී. එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 158 සිට 128 දක්වා ද, ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 95 දක්වා ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 133 සිට 110 දක්වා ද වත්මන් රජය විසින් මිල අඩු කරන ලදී. රුපියල් 106 භූමිතෙල් ලීටරයක් වත්මන් ආණ්ඩුව විසින් රුපියල් 44 දක්වා අඩු කර තිබුණි.

එහෙත් දැන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 77 දක්වා ඉහළ ගොස් ඇති නිසා මිල සූත්‍රයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය විය.

මේ නිසා වර්තමාන මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මේ වසරේ මුල් මාස 03 තුළ පමණක් රුපියල් බිලියන 11.3 ක පාඩුවක් සිදු වී තිබෙන බව පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒ අනුව පසුගිය 10 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට නව ඉන්ධන මිල සුත්‍රය අනුව ඉන්ධන මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය

ඉන්ධන මිල සූත්‍රය නිර්ණය කිරීම පිණිස මේ වන විට සය පුද්ගල කමිටුවක් පත් කර ඇත. ඒ කමිටුවේ සභාපතිවරයා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතාය.

සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙක්, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ බලයලත් නියෝජිතයෙක් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකි.

සිංගප්පූරුවේ ඉන්ධන බොරතෙල් බැරලයක මිල හා විනිමය අනුපාතිකය හෙවත් ඩොලරයේ අගය මත මේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කෙරෙනු ඇත. දැනට සිදු වන්නේ මාස දෙකක් තුළ ඉන්ධන මිලෙහි මධ්‍යස්ථ මිල ගණනය කර මිල සංශෝධනය සිදු කිරීමයි. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත. ඒ අනුව පසුගිය ජූලි මස 5 වැනිදා මිල සංශෝධනය සිදු කරන ලද අතර එය ක්‍රියාත්මක කරන ලද්දේ පසුගිය 10 වැනි දාය. ඒ අනුව මී ළඟ සංශෝධනය සැප්තැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිතය.

එසේ වුවත් මේ වන විට සතියකට වරක් මිල සංශෝධනය කිරීමට මිල සූත්‍රය සකස් කිරීම වඩාත් සුදුසු බව ඉන්ධන මිල කමිටුව යෝජනා කරන ලදී. ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යෑමේ වාසිය ක්ෂණිකවම මෙරට ජනතාවට හිමි වනු ඇත. සතියක් ඇතුළත ඉන්ධන මිලෙහි සිදුවන මිල ඉහළ හෝ පහළ යෑම පිළිබඳව ගණනය කර එහි මධ්‍යස්ථය අනුව ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබේ. සතියකට වරක් ජනතාවට මෙසේ සාමාන්‍ය ලෙසින් ඉන්ධන ඉහළ පහළ යෑම සිදුවන නිසා ජනතාවට ඉන්ධන මිල පහළ යෑමේ වාසිය ලැබෙන්නා සේම යම් හෙයකින් මිල ඉහළ ගියහොත් ඒ සුළු ඉහළ යෑම ජනතාවට වැඩි බරක් නොදැනෙන සේ ඉහළ දැමීමට හැකිවනු ඇත. මේ ක්‍රමවේදය අනුව ඉන්ධන මිලෙහි වාසිය ජනතාවට සම්පූර්ණයෙන්ම ලබා දෙනු ඇත. ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව සිදු කළ හැකි වනු ඇත.

එසේ වුවත් මෙහිදී සිදු වන ලොකුම ගැටලුව වන්නේ සතියකට වරක් ඉන්ධන මිලෙහි සිදු වන උච්චායතන හෝ පහළ යෑමේ ක්‍රමවේදය අනුව මිල සූත්‍රය ගණනය කර ඉන්ධන පිරවුම් හල් මගින් ජනතාවට කඩිනමින් ලබා දීම කෙසේ කළ හැකිද යන්නයි. මිල ඉහළ පහළ යෑම ක්ෂණිකව ජනතාවට මෙන්ම පිරවුම්හල් විසින් දැන ගන්නේ කෙසේද යන්නද ගැටලුවකි.

කරුණු කෙසේ වුවත් මතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය පහසු නොවන බව මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව විසින් මුදල් අමාත්‍යවරයා වෙත දන්වා තිබීම නිසා ඒ ගැනද අවධානය යොමු කර මසකට වරක් තෙල් මිල සංශෝධනයට කමිටුව විසින් තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

තාක්ෂණික ප්‍රශ්නයක් නිසා සංස්ථාවට සතියකට වරක් මිල සංශෝධනය අපහසු වන හෙයින් ලබන මස 10 වැනිදා සිට මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය වනු ඇත. 10 වැනිදා මධ්‍යම රාත්‍රිෙය් සිට මිල සංශෝධනය වන නිසා ජනතායවට ඉන්ධන මිල සම්බන්ධව පූර්ව දැනුවත් වීමටද හැකි වනු ඇත.

එමෙන්ම ජනතාවද එම ඉහළ පහළ යෑමේ මිල ගණන් මතක තබා ගන්නේ කෙසේද යන්නද යම් ආකාරයෙන් මතුවන ගැටලුවක් වනු ඇත.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය නොකරනු ලබන රටවල් සියල්ලම පාහේ මේ අනුව මිල සූත්‍රයට අනුව කටයුතු කරනු ලබන බවයි.

එසේම විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ දිනකට වරක් මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ පහළ යෑම ඕනෑම අයකුට සොයා ගත හැකි බවත් මුදල් අමාත්‍යාංශය විසින් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වෙනස්වීම පිළිබඳව වාර්කාවන් නිකුත් කරනු ලබන බවද පෙන්වා දුන්නේය.

එසේම ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිල වැඩි කිරීමේ බලයක් නොමැති බවත් එය සිදු කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසින් බවද එම ප්‍රකාශකයා කීය.

ඉන්ධන මිල සූත්‍රය නිසා මහා භාණ්‌ඩාගාරයට වාර්ෂිකව රු. කෝටි 5500ක ඉතිරියක්‌ සිදු වන අතර මිල සූත්‍රය සතියකට වරක් ක්‍රියාත්මක කිරීම ඇරැඹුණහොත් ඩොලරයේ අනුපාත ලබා ගන්නා අයුරින්ම ඉන්ධන මිල ගණන් පිළිබඳව ජනතාවට දැක බලා ගත හැකි වනු ඇත. පිරවුම්හල් වෙත ඉන්ධන මිල පිළිබඳව සංස්ථාව විසින් අභ්‍යන්තර ක්ෂණික චක්‍රලේඛ ක්‍රමවේදයක් මඟින් දක්වනු ලබන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. අප බලා සිටින්නේ සතියකට වරක් මිල සංශෝධනය සිදු වන විට ඒ සහනය ජනතාවට ලබා දෙන ආකාරයටත් වඩා ත්‍රිරෝද රථ බස් රථ ගාස්තු පිළිබඳවය. ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ ගාස්තු පිළිබඳවත් මිල සූත්‍රයක් ඉදිරිපත් නොකළහොත් ඉන්ධන මිල සංශෝධනයේ වාසිය අත් වන්නේ ජනතාවට නොවන බවත් මෙහිදී පෙන්වා දිය යුතුය.

අදහස්