නැටුම් ගුරුවරයා ගෝලයා පස්සෙන් එයි | සිළුමිණ

 නැටුම් ගුරුවරයා ගෝලයා පස්සෙන් එයි

මිථ්‍යා හෙවත් මිච්ඡා යනු අවිද්‍යාවයි. යථාර්ථය හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදන්නා කමයි. මි+ඉච්ඡා, මිදිය යුතු අත් හැරිය යුතු දේ කැමැත්තෙන් ම අත් නොහැර අල්ලා ගෙන සිටීමයි.

මේ ශරීර කූඩුව (කය බලිය) සතර මහා ධාතූන්ගෙන් (පඨවි, ආපෝ, තෝජෝ, වායෝ) සකස් වී ඇත. පරමාණුවටත් එහා ගිය ඉතා සියුම් වූ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක් එකතු වී සෑදී ඇත. රූප කලාපය තුළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධාෂ්ටක සංයෝගයක් ඇත. මේවා ක්ෂණයකින් ඉපද ක්ෂණයකින් නිරුද්ධ වී යන රූප කලාපයෝ ය. අවිද්‍යාව (මිත්‍යාව) නිසා සංඛාර (කෙලෙස්, ලෝභ, ද්වේෂ, මෝහ) උපදී. සංඛාර නිසා විඤ්ඤාණ උපදී. මේ විඤ්ඤාණ (විකෘති ඤාණ) ශක්තීන් නිසා මේ ශරීර කූඩුව තුළ “මම” ය කියා කෙනෙක් පුද්ගලයෙක්, සාරයක් ඇතැයි සිතා සිටී. සම්මුති වශයෙන් “මම” කෙනෙ‍ක් සිටියත් පරමාර්ථ වශයෙන් “මම” කියා කෙනෙක් නැත. ඒ බුදු දහමයි.

අප මේ ලෝකයේ දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝ ය. අනන්ත ය. එහෙත් අප කරන, කියන, හිතන දේ හරිය, නිවැරදි යැයි සිතා සිටී. නොදන්නා බව දැන සිටියත් වැඩ කරන්නේ කතා කරන්නේ “මම” දන්නවාය කියා හිතා ගෙන ය. එවැනි සිතුවිලි චිත්ත සන්තානයේ මතු වන්නේ ලෝභ බව, ද්වේෂ බව හා මෝහ බව නිසාය. මේ හේතු තුන සහිතව මිනිසා මැරුණත් ඊළඟ ජාතියේදීත් මේ “ගතිය” මතු වේ. සමහර භූතාත්ම පෙර ජාතියේ පැවති ගති ලක්ෂණවලින් ම සම්බන්ධතා පවත්වති.

මිද්දෙනියේ රංග තිස් පස් හැවිරිදි නැටුම් ගුරුවරයෙකි. අවිවාහකයෙකි. දැනට වසරක පමණ කාලයක සිට රංග හීනෙන් බියටපත්ව අවදි වෙයි. දැන් ඔහුට නටන්නට නොහැකිය. ශරීරයේ වේදනා හට ගෙන කෑම අරුචියෙන් ද පෙළෙති. ගුප්ත විද්‍යාත්මක විවිධ පිළිවෙත් කළත් වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් සහනයක් වූයේ නැත.

අවසානයේ ඔහු හිතවතෙකු සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේ ය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ප්‍රතිකාර ඉල්ලා සිටියේය.

රෝග පරීක්ෂාවේ දී රංග ගේ ශරීරයට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී මතු වී ආවේ ය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා ආරම්භ කළේ ය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම පුංචි රාල” යැයි භූතාත්මය උත්තර දුන්නේ ය.

“කවුද පුංචි රාල කියන්නේ?”

“මේ රංග ගෙ නැටුම් ගුරුවරයා. පොඩි කාලෙ ඉඳල ම රංගට නැටුම් ඉගැන්නුවේ මම. මම මේ දරුවාට හොඳට ඉගැන්නුවා. මම වයස අවුරුදු අනූවෙදි මැරුණා. මැරිලා දැනට අවුරුදු එකහමාරක් වෙනවා. ඒත් මේ දරුවාට ආදරෙයි.”

“ඔබ ඔබේ දරුවන්ට මේ ගුප්ත විද්‍යාව, නැටුම් ශාස්ත්‍රය ඉගැන්නුවේ නැත්තේ මොකද?”

“උන්ට වුවමනාවක් නෑ මහත්තයා. දැනුත් කසිප්පු බීගෙන දඟලන කාලකන්නි.”

“ඉතින් මේ රංගට කරදර කරන්නේ මොකද?”

“මම කරදර කරන්නේ නෑ. මම මේ රංගට හොඳක් කරන්නයි හදන්නේ.”

“මොකක්ද ඔය කරන්න යන හොඳ?”

“මට රංගට සම්පූර්ණ ශාස්ත්‍රය දෙන්න බැරි වුණා. මම මැරුණු නිසා. ඒ ඉතුරු ටික උගන්නන්නයි මෙයාව මම ඉන්න තැනට අරගෙන යන්න හදන්නේ?”

“ඔබ කොහොමද මෙයාව අරගෙනයන්නේ?”

“...........................” භූතාත්මය නිරුත්තරය.

“ඔබ මේ රංගව මරලා අරගෙන යන්න නේද හදන්නේ?”

“ම්...... ම්..... ම්......... ඔව් මහත්තයා. එහෙම නැතුව කොහොමද ගෙනියන්නේ?”

“ඔබට රංග මරලා ගෙනියන්න පුළුවන්ද?”

“ම්..... ම්.... ම්....”

“ඔබ බෞද්ධයෙක් ද?”

“ඔව් මහත්තයා”

“බුදු දහමේ හැටියට ඔබ ඔබේ ශාස්ත්‍රය පිළිබඳ, රංග ගැන ආසාවකින් ඉන්නේ. ඒ ලෝභ සිතුවිල්ලක්. ඒ ලෝබ සිතුවිල්ලෙන් මැරුණු නිසා ඔබ දැන් ප්‍රේතයෙක්. පුංචි රාල නොවෙයි. ඊළඟට රංග මැරුණොත් මැරෙන මොහොතේ රංගට කුසල් සිතක් පහළ වුණොත් ඒ චුති සිතට අනුව දිව්‍ය ලෝකයක උපදිනවා. එත‍ෙකාට ඔබ කොහොමද රංගට නැටුම් ශාස්ත්‍රයේ ඉතුරු ටික උගන්වන්නේ? මේ රංගව අත’හැර ඔබේ ම පුතුන් ට මේ ශාස්ත්‍රය උගන්වන්නැ” යි ගවේෂකවරයා භූතාත්මයට කීවේ ය.

“බැහැ....... බැහැ...... උන්ට මේ වටිනා ශාස්ත්‍රයේ වැදගත්කම වැටහෙන්නේ නෑ. එකෙක් කසිප්පු බීගෙන නටන බේබද්දා. අනිත් එකා මගේ රතු රෙදිත් හොරකම් කර ගෙන ගිහින් කමිස මහලා යාළුවන්ටත් දෙනවා. ඌ දැනුත් මේ මගේ පොත් ටික විකුණගන්න හොයනවා.”

“ඉතින් පුතා විකුණගත්තා ම මොකද?”

“මොනවා? මහත්තයා ම‍ගේ යකා අවුස්සන්න එපා. රජකාලෙ ඉඳල පරෙස්සමට පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාපු පුස්කොළ පොත් ටික විකුණන්න? මට පේන්නෙ මහත්තයාම මේ වැඩේට හවුල් වගෙයි.”

“ඔබ පුංචි රාල නම් ඒ පුංචිරාල බව අපට පෙන්නන්න බැරි ද?”

“මේ බලු කතා අහගෙන ඉන්න මට බැහැ. මම මගේ හැටි පෙන්නන්නම්. මාව දන්න කෙනෙක් එක්ක ගෙන එන්න කියලා මේ රංගට කියන්නැ” යි භූතයා කීවේ ය.

දින විසි එකක් ගමේ පන්‍සලේ බෝධි පූජා පවත්වා පුංචි රාලගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කොට නැවත එන ලෙසත් එදිනට ගමේ කෙනෙකු කැඳවාගෙන එන ලෙසත් රංගට උපදෙස් දුන්නේ ය.

බෝධි පූජා අවසන් කොට ගමේ දන්නා කෙනෙකු ද සමඟ රංග නැවත ආවේ ය. එදින ද භූතාත්ම දිෂ්ටි ගන්වා ගවේෂකවරයා කතා කළේ ය.

“ආ... ඔන්න අද අලුත් යාළුවෙකුත් ඇවිත් ඉන්නවා. බලමුකො පුංචි රාල කියන්නේ ඇත්ත ද බොරුද කියලා”

“අනේ! අනේ! හිච්චියෝ දැන් කොළඹට වෙලා ලොකු මිනිහෙක් වෙලා නේද? උඹ මොකක්ද බොල මේවා බොරුයි කියන්නැ” යි රංග නොදන්නා බොහෝ දේවල් ද භූතාත්මය කීවේ ය.

“හොඳයි. ඔබ හොඳ ගුරුවරයෙක්. ඔබේ පරණ පුස්කොළ පොත් ටික එහෙම නම් රංගට දෙන්න.”

“ම්.... ම්...ම්.... බැහැනෙ මහත්මයා.”

“ඇයි ඒ?”

“ඒ පොත් මගේ පුතා ළඟනෙ තියෙන්නෙ. මට ඒවා උස්සගෙන එන්න බැහැනෙ.”

“ඒ මොකද?”

“මම දැන් පුංචිරාල නොවෙයි කියා මට වැටහෙනවා. මගේ ශාස්ත්‍රය අනුවත් මම දැන් ප්‍රේතයෙක් බව වැටහෙනවා.

“එහෙම නම් අපි පුතාව ගෙන්වමු” යි කී ගවේෂකවරයා ඊළඟ දිනයට පුංචිරාල ගුරුතුමාගේ පුතා ද කැටුව එන්නැ” යි රංගට කීවේ ය.

ඊළඟ දිනයේ රංග පුංචිරාලගේ පුතා කැටුව ආවේ ය. එදින ඔහු පැමිණි සැණින් පුංචිරාලගේ භූතාත්මය දිෂ්ටි ගැන්වී “අනේ: පුතේ මගේ පොත්ටික මේ රංගට දෙන්න. පුතාට වැඩක් නැහැනේ” යි කීවේ ය.

ඒ පොත් ටික ලබා‍ ගෙන ඔහුට රුපියල් ලක්ෂ දෙකක් දෙන ලෙස ද එයින් පනස් දහසක් වැය‍කොට සාංඝික දානයක් දී පියාට පින් අනු‍මෝදන් කොට නැවත එන්නැ යි පුංචි රාලගේ පුතාටත් රංගටත් නියම කළේ ය.

දානය පිරිනමා පැමිණි දින භූතාත්මය මල්වට්ටියකට සම්බන්ධ ‍කොට මාතර බෝධියට ඔවුන් අතම යැවීය.

Comments