සෙනෙහස කඳුළ පිරි ප්‍රියානිගේ ශෝක ගීතය දැන් නෑසේ | සිළුමිණ

සෙනෙහස කඳුළ පිරි ප්‍රියානිගේ ශෝක ගීතය දැන් නෑසේ

සෙනෙහස, ආදරය, ප්‍රේමය කුමක්දැයි ලොවට කියා දුන් මහා කලාකරුවන්ගේ අර්ථකථන ඉන්ද්‍රචාපට සිහිවන්නේ එවැනි අත්දැකීම් තමන්ගේ බොහෝ ගායනාවලට තෝරාගත් ගායිකාවකගේ අතිශය ශෝකජනක ඉරණමක පුවතත් සමගය. ප්‍රියානි ජයසිංහ නම් වූ ඈ ගීත රාශියක් ගායනා කොට ඇති මහා ගායිකාවක නොවන්නීය. ඈ විසින් පසුගිය දශක දෙකක් හෝ තුනක් තුළ ගායනා කොට ඇති ගීත අතර ගීත දෙකක් හෝ තුනක් වූවත් ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර ඇඳී නිරතුරුවම සිත රිදවන්නේ ප්‍රියානි ගේ ගායනාවෙහි සැඟවුණු ළයාන්විත ශෝකී ස්වරය නිසාම නොවේද කියා ඉන්ද්‍රචාපට සිතේ. අලුත් සඳ ඇවිත්, සුන්දර හදකට දී පෙම් වරම්, පුන්සඳ ඇවිදින් රෑ, ඔබ වෙරළ සේ නිහඬයි හා තවත් ගීත අතර, ඇගේ විශිෂ්ටතම ගායනාව සේ ඉන්ද්‍රචාපගේ මතකයෙහි රැඳී ඇත්තේ ‘කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්‘ ගීතයයි. ආදරය, සෙනෙහස පිළිබඳ ගේය පද රචක අශෝක කෝවිලගේ ගේ සංකල්පනාවෙහි වූ සැඟවුණු අරුත් ශ්‍රාවක හද රිදවන සේ ගයන්නී ප්‍රියානියි. රසික හදවත් සොරා ගැනීමට නිර්මාණ රාශියක් නොව එක් හොඳ නිර්මාණයක් වුව සෑහේය යන්න සනාථ කිරීමට ප්‍රියානිගේ මේ ගීතය සමත් බවයි ඉන්ද්‍රචාපගේ හැඟීම.

මහැදුරු සරච්චන්ද්‍ර ආදරය සෙනෙහස අර්ථ දක්වා ඇති සිංහබාහු නාටකය හා පෙමතො ජායති සොකො නාට්‍යය ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරට එක්වේ. අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා යැයි පවසන අතරම, නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුව දෙනා යැයි සුප්පාදේවී පවසන්නී සිංහබාහු නාටකයේ ය. මහාචාර්ය සුනිල් ආරියරත්න ,ප්‍රේමය යනු රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය බව කියයි. සෙනෙහස යනු කුමක්දැයි සරච්චන්ද්‍රයෝ පෙමතොහි උද්දාල ලවා මෙසේ අර්ථගන්වති.

“භක්ති ප්‍රේමය, ගෞරවය හෝ

කුමක් කීවද ඒ එකක් වත්

නොවේ සෙනෙහස

ඈත සිට පිරිනමන භක්තිය

ගෙනත් පාමුල තබන බුහුමන

ඒ එකක්වත් නොවේ සෙනෙහස

දිවා රෑ දෙක හද සමීපේ

දෑස නොපියා බලා ඉන්නා

දෙයකි සෙනෙහස“

ඉදින් ප්‍රියානිගේ කඳුළ නිවන්නම් ගායනාවෙන් ද රසික හදවත් අමතා ඈ පවසන්නී කුමන ආකාරයේ ආදරයක, සෙනෙහසක කතාවක්ද? ඈ ඇගේ සෙනෙහස, ආදරය වෙනුවෙන් පෙරළා පතන්නී මොනවා ද? ප්‍රියානි ජයසිංහ ගායිකාව ගේ හඬ ශෝකීය. ඈ විසින් අර්ථවත් කරනු ලබන අත්දැකීමට ඉතාම උචිත ශෝකී ස්වරය ඈ සතු වන්නීය. එහෙත් දැන් යළි ප්‍රියානිගේ හඬින් ඉන්ද්‍රචාප ඇතුළු දහසක් රසිකයනට කිසිදා අසන්නට නොලැබෙන කඳුළ නිවන්නට කෙරෙන ඇරැයුම , ඉඳහිට සිත රිදවන ගී හඬක් පමණක් බවට පත් වූවා නොවේද?

ඉන්ද්‍රචාපගේ සමීපරූපය වසා සිටිනා ප්‍රියානි ජයසිංහ තම ගායනයෙන් රසික හදවත් සැනැසූ, සුවපත් කළ ගායිකාවක් වූ නමුදු ඈ කිසි විටෙකත් ජනප්‍රියත්වය පසුපස හඹා නොගියාය. ඇගේ කට හඬෙහි වූ ශෝකී ස්වරය අප හදෙහි සියුම් රිදුමක් ඇති කරවන්නේ කඳුළ නිවන්නම් වැනි ගීයක කියැවෙන ආදරයේ චමත්කාරය පිළිබඳ ප්‍රශ්න කිරීම් නිසා දෝ යැයි වරෙක සිතේ.

මල් පූදින්නේ දෑඟිලි අතරේ

තැලී පෙළී මිය යන්න නොවේ

සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි

හිත් රිදවා හඬවන්න නොවේ

ප්‍රියානි ජයසිංහ, ඇගේ මියුරු ගී හඬින් අප සවන් සැනැහුවාය. අප නෙත කඳුළ නිවා දැමුවාය.ඇගේ ගීයෙහි සැඟවුණු අරුතින් අපට ස්නේහය පිදුවාය. අප ඊට පෙරළා ඇයට සෙනෙහස පිදූව ද, ඈ අප සිත් හඬවා යන්නට ගොසිනි. යළි කිසිදින අප අතරට නො එන ගමනක යන්නට ගොසිනි. යළිත්, ඉන්ද්‍රචාපගේ සිතට රිදුමක් ගෙනෙන ඇගේ සෝබර ගී පද ඇසේ.

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්

තනියට ඉන්නම් තනි නොකරනවා නම්

මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්

සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්

ප්‍රියානි සොයුරිය, ඔබට යළි කිසිදින අපගේ කඳුළ නිවන්නට ඉඩක් නොලැබෙනු ඇත. මක්නිසාද යත්, ඔබ අප සැමගේ නෙත් කඳුළින් තෙමා යන්නට ගොස් ඇති බැවිනි.

 

Comments