අම්මාගේ හිත හදන්න දුවල දෙන්නත් තට්ටය ගෑවා | සිළුමිණ

අම්මාගේ හිත හදන්න දුවල දෙන්නත් තට්ටය ගෑවා

“මේ ඉන්නේ අක්කගෙ දුවලා දෙන්නයි මමයි. අක්කගෙ කොණ්ඩේ ගියාට පස්සේ ඒ දෙන්නා හුඟක් දුක් වුණා. ඒ නිසාම මමත් කොණ්ඩය කැපුවා. මමත් කොණ්ඩේ මුඩු කළාට පස්සේ එයාලටත් ඕන වුණා කොණ්ඩය කපන්න. ඒ පුංචි හිත්වලට සැනසීමක් ලැබේවි කියලා අපි ඒ දෙන්නගෙත් හිස මුඩු කළා”.

සුන්දර දැරියන් දෙදෙනකුට මැදිව ගත් ඡායාරූපය අපට පෙන්වමින් ඇය පවසයි. ඒ දෑසේ කඳුළ පිරී ඉතිරී දෙකම්මුල් දිගේ බේරෙයි. ඇයට ඒවා සඟවන්නට වුවමනා නැත. ඇයට හඬන්නට එපා යැයි කියන්නට අපට නොසිතේ. දුක තුනී වනතුරු, වචන ගලපා ගන්නට පුළුවන්වනතුරු හඬා හිත හදාගන්නට දී අපි මුනිවත රකින්නට වීමු.

ගීතානි සෙනෙවිරත්න නම් වූ සිනමාවේදිනිය අපට හමුවුයේ අහම්බයෙනි. ඇය පිළිබඳ හෝඩුවාව අපට දුන්නේ දිගුකාලීන පත්තර සගයකු වන තිස්ස නිහාල් වික්‍රමසිංහය.

තිස්ස අපට කියුවේ ගීතානී ගැන නොව ඇගේ වැඩිමහල් සොයුරිය පිළිබඳවය. ඇය තුෂාරි සෙනෙවිරත්නය. තිස්ස අපට තුෂාරි ගැන කියන විට ඇය මෙලොව හැර ගොසිනි.

“තුෂාරි කියන්නේ දක්ෂ වේදිකා නිළියක්. ඇය මගේ නැගණියගේ යෙහෙළියක් කලක් පිළිකා රෝගයෙන් පෙළුණා. විශේෂත්වය තමයි ඇය ‍යශෝධරා චිත්‍රපටයේ රඟපෑවේ අසනීපයෙන් සිටියදී. නමුත් චිත්‍රපටය බලන්න ඇයට ලැබුණේ නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේ ඇය මිය ගියා.”

තිස්ස ඇය ගැන කීවේ එසේය. ගීතානි අපට හමුවුයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

“ඇත්ත, ලොකු අක්කා වේදිකා නාට්‍ය නිළියක්. එයා ‘කන්‍යාවී’ කියන නාට්‍යයේ 'ලෝරන්ස්ගේ මනාලිය' නාට්‍යයේ රඟපෑවා. ඒ කාලේ ඒ නාට්‍ය රටපුරා ප්‍රදර්ශනය කෙරුණා. යෞවන සම්මාන උලෙළේදී ‍ලොකු අක්කා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. ඒ කන්‍යාවී නාට්‍ය වෙනුවෙන්. ඒ වගේම ලෝරන්ස්ගේ මනාලිය නාට්‍යයේත් හොඳම නිළිය වුණේ ඇයයි. මේ සම්මාන දෙකම ලැබුණේ එකම අවුරුද්දේ එකම දවසේ අක්කා මුලින්ම රඟපෑවේ ‘තීර්ථ යාත්‍රා’ කියන නාට්‍යයේ. ලොකු අක්කට අපි කිව්වේ 'ලොකූ 'කියලා. අපේ පවුලේ ඔක්කෝම ගෑනු ළමයි හය දෙනයි. එක පිරිමි ළමයයි. අක්කා මුලින්ම ඉගෙන ගත්තේ ගලගෙදර කණිෂ්ට විද්‍යාලයේ. ඉන් පසුව ගලගෙදර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ සමත් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා.

අක්කා විශ්වවිද්‍යාලයට යන්න කොළඹ ආවාම අපි නිවාඩු කාලෙට අක්කා ඉන්න බෝඩිමට එනවා. අක්කයි එයාගේ යාළුවොයි එක්ක වේදිකා නාට්‍ය චිත්‍රපට බලන්න යන්නේ හරිම විනෝදෙන්. අක්කා වීදිනාට්‍ය කණ්ඩායමේ හිටියා. දිරිය කැදැල්ල නාට්‍ය කණ්ඩායම සමඟ නංගිත් මමත් සමහර දවස්වලට ගියා. ලොකු අක්කා කියන්නේ අපිට ලෝකයක්.”

ගීතානි හඬ අවදිකරන්නීය. ඇයට සිය වැඩිමහල් සහෝදරිය ගැන බොහෝ මතකයන් ඇත්තීය.

“මගේ අක්කා උපාධිය ලබාගෙන නාට්‍ය හා රංගකලා ගුරුවරියක ලෙස සේවය කළා.පසුව ගුරු උපදේශකවරියක් ලෙස කටයුතු කළා. ඇයට පිළිකාරෝගය වැළඳුණු බව දැන ගත්තේ දෙදහස් දහය වසරේ. ඒත් අක්කා මේ හැම දෙයක්ම දරාගෙන එයාගේ වැඩ කරගත්තා. එයාට පිළිකා රෝගය හැදිලා කියලා දැන ගත්ත ගමන් එයා ගෙදර කාටත් කලින් මට තමයි කිව්වේ.

ඒක අහපු දවසේ මට සිහිය නැති වුණා. ඒ තරමට ඒක මට දරාගන්න අපහසු වුණා. පස්සේ අපි අක්කට ප්‍රතිකාර කළා. පියයුරක් ඉවත් කළා. ප්‍රතිකාර කරන්න යද්දි හිස කෙස් යන්න ගත්තා. දුවලට මේක හරි ප්‍රශ්නයක්. එයාලා ඒ ගැන දුක් වුණා. දුවලගෙ හිත හදන්න කියලා මමත් හිස මුඩු කළා. එදා ගෙදර ගියාම අක්කගේ බාල දුව මගෙ දිහා බලලා ඇහුවා කෝ පුංචිඅම්මගෙ කොණ්ඩේ කියලා මං කිව්වා අම්මගෙ වගේම මගෙත් කොණ්ඩේ ගියා කියලා.

ඒත් එයා මාව අතගාලා කිව්වා ඔයාගේ කුක්කු තියෙනවා අම්මගෙ එකක් නැහැනේ කියලා. අපිට ‍ඒ අයට දෙන්න උත්තර නැතිව ගියා. මම දවස් දෙකකට විතර පස්සේ කොළඹ ආවා. අපේ ගම නුවර. එදා යශෝධරා චිත්‍රපටයේ කැමරා ශිල්පී චන්න දේශප්‍රිය මාව දුටුවා. ඔහු තමයි මාව සුනිල් ආරියරත්න සර් ගාවට ගෙන ගියේ. සර් මාව චිත්‍රපටයට ගන්න කැමැති වුණා. මේකප් ආර්ට්ස් ප්‍රියන්ත දිසානායක සර් අක්ක ගැනත් කිව්වා. අක්කා ගැන දැන ගත්තට පස්සේ අක්කව ගන්නත් කැමැති වුණා.

ඒ වෙනකොට අක්ක රඟපාන්න ආසාවෙන් හිටියේ. චිත්‍රපටයේ මම රඟපෑවේ තුල්ලනන්දා මෙහෙනියගේ චරිතය. අක්කා රඟපෑවේ කෝසලා මෙහෙණියගේ චරිතය. ඒ වෙනකොට අක්කට කතා කරගන්න අමාරුයි. ඒ නිසා දෙබස් කිව්වේ නැහැ. අක්කා ෂූටින්වලට ගියාම හැමෝගේම සහාය ඇයට ලැබුණා. මේ චිත්‍රපටයේ මගෙ අප්පච්චිත් රඟපෑවා. ඒත් ලොකූට යශෝධරා චිත්‍රපටය බලන්න ලැබුණේ නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දිනෙක ලොකු අක්කා අපි තනිකර මෙලොව හැර ගියා”

ගීතානි නිහඬය. ඇගේ දෑසේ කඳුළ පිරී ඉතිරී කම්මුල් දිගේ බේරෙයි. විටෙක ඒ කඳුළු පිසිමින් ඇය අතීතය සිහිකරයි.

“දුවලා දෙන්නා අක්කට පණ වගේ ආදරෙයි. බාල දුවගේ වයස අවුරුදු නවයයි. ලොකු දුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. අක්කා මැරුණාම එයාගේ ඇස් දෙක දන් දුන්නා. බාල දුව මළගේ දවසේ අඬනවා එයාට ඒ ඇස් දුන්න කෙනාව බලන්න යන්න ඕනා කියලා. අපි ඇහුවා ඇයි ඒ කියලා. දුව කියනවා එතකොට අම්මට එයාව පෙනේවී කියලා මළගෙදර හිටපු හැමෝම ඒ කතාව අහලා ඇඬුවා. ලොකු අක්කගේ හත් දවසේ දානේ දුන්නට පස්සේ දූල දෙන්නත් තමන්ගේ හිස මුඩු කළා. මගෙ අක්කා වෙනුවෙන් එයාගේ යාළුවෝ, පවුලේ අය, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝ උදව් කළා. අක්කාට හැමෝම වගේ ආදරෙයි. එත් අපිට එයාව නැතිව ගියා.”

සිය සොයුරියගේ මතකයන් අවුස්සමින් ගීතානි පවසන්නීය. ඇය දැන් ජීවිතයේ බො‍හෝ කැප කිරීම් කර ඇත්තීය. “ලොකූගේ දුවලා දෙන්නා කියන්නේ මගේ ජීවිතය. මට ලොකු අක්කා වෙනුවෙන් ඒ දෙන්නා බලා ගන්න පුළුවන්.” ගීතානි අධිෂ්ඨානශීලීව පවසන්නීය. මේ සියලු වගකීම් අතරේ ඇය තම නිර්මාණාත්මක දිවිය ද ඉදිරියට ගෙන යන්නීය. ඇය කෙටි චිත්‍රපට තනන්නීය. ඒ වෙනුවෙන් සම්මාන ඇගයීම් දිනන්නීය. චිත්‍රපටවල ඇඳුම් නිර්මාණ ශිල්පිණියක ලෙස ද කටයුතු කරන්නීය.

“මට ක්ෂේත්‍රයේ බොහෝ අයගේ උදව් ලැබෙනවා. ‘සක්කාරං’ චිත්‍රප‍ටයේ තමයි මුලින්ම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස සහාය වුණේ. එහි කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ අජන්ත අලහකෝන්. ඉන් පස්සේ තවත් චිත්‍රපටවලට සම්බන්ධ වුණා. මේ දිනවල තිරගත වන දැවෙන විහඟුන් චිත්‍රපයේත් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස සහාය වී තිබෙනවා. කෙටි චිත්‍රපට තමයි මගේ විෂය. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේත් නියැලෙනවා. දැවෙන විහඟුන් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ අජන්ත අලහකෝන් සොයුරා.”

ගැහැනිය දිරියවන්තය. ශක්තිවන්තය. ඇය සමාජයෙන් හුදකලා නොවන්නීය. ගීතානිද එසේය. ඇය ජීවිතයට තනිව නොබියව මුහුණ දෙමින් කලා ලොවේ දිගු ගමනක් යන්නට උත්සාහ දරන්නීය.

“මගේ ජීවිතයට ශක්තිය අපේ ලොකු අක්කා. ඇය නැති වුණත් ඇගෙන් ලද ගුරුහරුකම් මගේ ජීවිතයට විශාල ශක්තියක්”.

ඒ ගීතානි සමුගෙන යෑමට පෙර අපට කියූ කතාවයි.

 

Comments