මරණ දඬුවම ගැන ආරංචියෙන් හිරගෙදර කැලඹෙයි | සිළුමිණ

මරණ දඬුවම ගැන ආරංචියෙන් හිරගෙදර කැලඹෙයි

මරණ දඬුවමට ලක්ව සිරගතව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බවට ප්‍රකාශ වීමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වී සිටින සියලු සිරකරුවන් දැඩි මානසික කැලඹීමකට ලක්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ සිරකරුවන්ගේ සාමාන්‍ය ජීවිතය ව්‍යාකුලත්වයට පත්ව ඇති අතර, ඔවුන් විවිධ සුළු රෝග ලක්ෂණ පවා පෙන්නුම් කරන බවද ඒ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මේ ආරංචි මාර්ග පවසන්නේ මරණ දණ්ඩනය පිළිබඳව පුවත ප්‍රචාරය වීමත් සමඟ මෙම සිරකරුවන්ට මානසික ආතතිය, උදරාබාධ ආදි රෝග ලක්ෂණ නිතර නිතර පෙන්නුම් කරන ස්වභාවයක් දක්නට ඇති අතර ඔවුන්ගේ චර්යාවන්ගේද වෙනස්කම් සිදුව ඇති බවයි.

පසුගිය සිකුරාදා සන්ධ්‍යාව වන විට අධිකරණ අමාත්‍යාංශයට බාර දිය යුතු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ නාමලේඛනය සකසා ඇති අතර, එම ලේඛනයේ නම් දැරූ ජාවාරම්කරුවන්ගේ නම් සඳහන්ව නොතිබුණු බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ එම නම් දැරූ කුඩු ජාවාරම්කරුවන්ගෙන් ඇතැමකු තම නඩු තීන්දු පිළිබඳ අභියාචනා ඉදිරිපත් කර තිබීමය. කෙසේ වෙතත් මේ 18 දෙනා අතරට කාන්තාවක් සහ පාකිස්තාන ජාතිකයන් සිව් දෙනෙක්ද ඇතුළත් වෙති.

Comments