කොහි ගියද ඔබ අපේ චාමර... | සිළුමිණ

කොහි ගියද ඔබ අපේ චාමර...

ඒ 2005 වස‍රේ එක්තරා දිනයකි. දිනය මට මතක නැත. එහෙත් ස්ථානය ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයය. අප වාඩි ගෙන තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වූ වැඩමුළුවකටය. මේ වැඩමුළුව අවසානයේ මාධ්‍ය‍වේදීන්ට ප්‍රශ්න අසන්නට ලැබෙන කාලය මුලින්ම පැහැර ගත්තේ මා කවදාවත් දැක නැති සැහැල්ලු ඇඳුමකින් සැරසුණු හැඩි දැඩි දේහයකින් යුතු තරුණයෙකි.
ඔහු දේශකයාද අන්දමන්ද කරවන ආකාරයේ ප්‍රශ්නයක් දෙකක් අතහැරියා මතකය. ජාත්‍යන්තර දේශපාලනයේ උදාරහණයක් ගෙන හැර පාමින් ප්‍රශ්න ඇසු මේ තරුණයා පෙනුමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු යයි මම අනුමාන කළෙමි. වැඩමුළුව අවසානයේ අහම්බයකින් ම වාගේ මේ තරුණයා මා සමඟ ම එතැනින් ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස දෙසට ඇවිද යද්දී යළිත් හමු වු‍ණි. හොඳින් හඳුනන්නකු සේ කට පුරා සිනාසුණු ඔහු “මම ලක්බිමේ චාමර ලක්ෂාන්. උඹ කොහේදැ”යි ඇසුවේය. අප හඳුනා ගත්තේ එලෙසය.ඒ වනවිට ඔහු තම සරසවි ජීවිතය උපාධිධරයකු ලෙස අවසන් කොට තිබිණ.
පත්තරකාරයකු ලෙස නාම කාය පමණක් දැන සිටි ඔහු ගේ රූපකාය මසැසට වැටෙන්නේ එදාය. අහම්බයකින් හමුවුවද එතැන් පටන් අපි මිතුරන් වීමු. ඒ මිතුදම පසුගිය ජුනි 30 වැනිදා මල හිරු බස්නා යාමය තෙක්ම දිනෙන් දින ලියළා ගියා මිස ගිලිහී ගියේ නැත.
අපේ මිතුදම තිව්‍ර කළ බිම පුංචි බොරැල්ලේ රිවිර කාර්යාලයයි. චාමර ද රිවිරේ ආරම්භක සාමාජිකයෙක් විය. එක් එක් ආයතනවලින් වෙන්වී රිවිර පවුලට එකතු වුණු සහෘදයන්ට එකල තිබුණේ එකම අරමුණක් පමණි. එවකට රිවිර ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාටත් රිවිර ආරම්භක ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ඇතුළු කණ්ඩායම එක වහළක සිට සැලසුම් කළේ කාටවත් නොදෙවෙනි වූ පාඨකයන් අතරට යන පත්තරයක් කිරීමය. ප්‍රධාන විධායක නිලධාරියාගේ පටන් එතැන තිබෙන හරියක් තිබුණේ තරුණ රුධිරයය. චාමර ගැන රිවිරේ සිටි අපට ඇති මතක ‍පොතකටද වැඩිය. ඔහු සැබැවින්ම අමුතුම චරිතයකි. උසට සරිලන මහතකින් යුතු මේ තරුණයා කාර්යාලට එන්නේ ගාල කඩා ගත් එකකු සේම දඩිබිඩියෙනි. එහෙත් ටික වෙලාවකින් පොතක් හෝ පත්තර පිටු අතර ගිලෙන චාමර අප එක්ක දොඩමලු වන්නේ මොකක් හෝ කාලීන මාතෘකාවකිනි. එක්කෝ දේශපාලනයයි. නැතිනම් ක්‍රීඩාවයි. එසේ නැතිනම් පත්තරේ හිට් වෙන, එනම් ඒ සතියේ අලෙවිය වැඩි වෙන අලුත්ම මාතෘකාවක් ගැනය. හැම සඳුදාම පැවත්වෙන කර්තෘ මණ්ඩල සාකච්ඡාවට චාමර ඒ සතියේ පත්තරේ හැඩ කරවන මොකක් හෝ අලුත් යෝජනාවක් කරයි. චාමර ඒ තරමටම ලෝකය , සමාජය ගැන තමන්ගේ දැනුම අවබෝධය අලුත් කරගෙන තිබුණි. දේශපාලනයේ සියලු වෙනස්කම් අතැඹුලක් සේ දන්නා චාමරට හැමදාම පුවත් පතේ දේශපාලන සාකච්ඡා සින්න වෙයි.
ඔහුට එය සුළු දෙයකි. ඔහු තම සාකච්ඡා සඳහා දේශපාලකයන් සම්බන්ධ කර ගන්නා ආකාරය මම බලා සිට ඇත්තෙමි. “ හා.. ඇමතිතුමා ‍කොහොමද?” රිවිර කාර්යාලයේ දුරකථනයකින් ගත්තද බොහෝ ‍දේශපාලකයන්ට මම චාමර කියා හඳුන්වා දෙනවා මම අසා ඇත්තේ කලාතුරකිනි. ඔහු අමතන සැනින් මේ අමතන්නේ චාමර යයි සෑම පක්ෂයකම බොහෝ දේශපාලකයෝ දැන සිටියහ. ඔවුන් ට කියන එකම දේ “මට ෆෝන් එකෙන් හරි විනාඩි පහළවක් දෙන්න.” ඔහුට පිටු භාගයක පළ වන දේශපාලන සම්මුඛ සාකච්ඡාවක් සඳහා මේ විනාඩි 15 හොඳටම ප්‍රමාණවත්ය. ආවාට ගියාට ප්‍රශ්න නොඅසන ඔහු ඇසිය යුතු ප්‍රශ්න කොලේක ලියා නොගත්තද දේශපාලන ප්‍රවණතා හඳුනා ගැනීමේ පවතින තියුණු හැකියාව නිසා පහසුවෙන් ප්‍රශ්න අතරේ දේශපාලකයන් අමාරුවේ දමන්නට සමතෙක් විය. මේ නිසාම චාමර ලක්ෂාන් කුමාර දේශපාලන සම්මුඛ සාකච්ඡාකරණයේ ලකුණක් බවට පත්විය.
ලේසි‍යෙන් අමාරුවේ දමන්නට අමාරු මුඛරි දෙශපාලකයන් පවා චාමර මේ ඉන්ටවිනව් එක ගන්නවා නම් හොඳයි කියා චාමර ම ඉල්ලන්නේ ඔහු‍ගේ ප්‍රශ්න ඇසීමේ කලාවත් අදාළ ලිපිය නිවැරදිව ලියන බවටත් දේශපාලකයන් තුළ තිබූ විශ්වාසය නිසා බව නිසැකය. මගේ මේ සටහන තවත් තහවුරු වන්නේ ඔහුගේ අවමඟුල් උළෙලේදී කතාවක් පැවැත්වූ එක් දේශපාලක‍යෙක් චාමර පුවත්පත්වලට ලියූ දේශපාලන සාකච්ඡාවලින් තම ප්‍රතිරූපය වැඩි වර්ධනය වූ බව කෘතවේදී ව සිහිපත් කිරීමෙනි.
පුවත්පතේ සෑම සඳුදාවකම පැවැත්වෙන කර්තෘ මණ්ඩල රැස්වීමේ මේ මුල් අවදියේ අපට චාමර අමතක නොවන තවත් හේතුවක් තිබුණි. ඒ ඔහු ඉතා ව්‍යක්ත ලෙස ලියන භාෂාවෙන්ම කතා කිරීමේ ශෛලියක් අනුගමනය කිරීමය. “ කතුතමනි, මා සිතනවා ඉදිරි කලාපයේදී අප දුම්රිය මැදිරිවල ගුණාත්මක බව පිළිබඳව විමර්ෂණාත්මක විශේෂාංගයක් කළොත් සුදුසුයි කියා.”
ඊට පිලිවදන් දෙන කර්තෘවරයාට යලි පිලිතුරු දෙන්නේද ලිඛිත භාෂාවෙනි. මෙය කර්තෘ මණ්ඩලයේ සෙස්සන් මුවඟට සිනහව ගෙන දෙන්නකි. ඒ අතරේ ඔහුද සිනහසෙයි. අන්තර්ජාලයේ ඔහු සැරිසරන්නේ සමාජ ජාල ඕපාදූප සොයන්නට නො‍වේ. ඔහු බොහෝ විට ක්‍රීඩාව හෝ ලෝකයේ අලුත් තොරතුරු සම්බන්ධ විශේෂාංග පසුපස පන්නනු මා නොයක් වර දැක ඇත. අවශ්‍ය තැනදී ඔහු ගත් දැනුම පටිගත කළ යන්ත්‍රයක් සේ දිග හරින්නේ එක් එක් විෂය පිළිබඳව ඔහු තුළ තිබූ ඇසූ පිරූ බව ප්‍රගුණ කරවමිනි.
මෙසේ වසර 7ක් පමණ රිවිරේ ගත කළ ඔහුට ඉරුදින පුවත් පතේ නව කලමනාකාරීත්වයෙන් ආරාධනයක් ලැබෙන්නේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙස එන ලෙසය. ඒ 2013 වසරේය. චාමර පිලිබඳව එහිදීද මගේ හදවත හැඟීම් බර කළ මතකයක් ඇත. රිවිර පුවත් පතේ සම කර්තෘවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩබ්ලිව් කේ ඩී නවරත්නයන්ට ඔහු සමුදුන් ආකාරයයි. “නවා මහත්තයා. මට ඔයා මගේ තාත්තා වගේ. මම අද යනවා” ඔහු දෙපා අල්ලා වඳිද්දී නවරත්න මහතාගෙන් දෑසම කඳුළින් තෙත්වනු මා බලා සිටියේ අපහසුතාවකිනි.
ඉරුදිනට ගියද චාමර සමඟ අපේ මිතුදම කෙළවර වන්නේ නැත. වරින් වර කතා කර “ හා කොහොමද?...” යි අදිමින් විමසීම චාමර ගේ ගතියකි.
වැඩ අහවර වුණු ගමන් ගෙදර පනින්නේ චාමර ගෙදරටත් තමන්ගේ ගමටත් දැක්වූ අසීමිත ආදරය නිසාය. අම්මා, තාත්තා නංගි සමඟ කැදැල්ලේ සිටි තම හොහොයුරියට දැක්වූ සෙනෙහස අපට සිහිවන්නේ ඇයගේ අනාගතය ගැන අප සමඟ වරින් වර කියා ඇති දේ නිසාය. සොහොයුරියට යුතුකම් ඉටුකළ මේ සොහොයුරා තම කරකාර බැඳ ගන්නේ නිලූපාය. ඔහු ඇය ආදරයෙන් ඇමතූවෙය් නිලූ කියාය. නිලූ ගැන කියන ඔහුගේ කුටුම්භය පිළිබඳ මාතෘකාවට තවත් සතුටක් ගෙන දෙන්නේ ඉපදුණු පුංචි පුතාය. දැන් ඔහු කතා කරන්නේ පුංචි පුතු ගැනය. ඔහුට උගන්වන හැටි ගැනය. ඔහු රැස පුවත් පතේ ආරම්භක කර්තෘ ලෙස පත්වූ පසු මම දවසක් “ඔයා දැන් ඉරිදත් වැඩට එන්නේදැ”යි ඇසුවෙමි.
“නෑ මචං. මට පුතාව ක්ලාස් එකකට ගෙනියන්න තියෙනවා. ඒ නිසා ඉරිදා ගෙදර ඉඳන් වැඩ ටික කරනවා.”
ඉරුදිනෙන් ඉවත්ව චාමර එන්නේ පත්තර මහ ගෙදර ලෙස හැඳින්වෙන ලේක්හවුසියටය. ලේක්හවුසියේ දිනමිණ පුවත්පතටය. ඒ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයකු ලෙසින්ය. එයින් පසුව ඔහු සිළුමිණ සම කර්තෘ ධුරයට පත්වන්නේය. සිළුමිණේ වැඩ කරමින් සිටින අතරේ ඔහුට වත්මන් සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාගෙන් තවත් අභියෝගයක් එල්ල වන්නේය. ඒ ලේක්හවුසිය අලුතින්ම දිනපතා පුවත් පතක් ආරම්භ කිරීමේ කාර්යයයි. ඒ අභියෝගයට චාමර නොබියව කර ගැසුවේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත් පත් අතරට අලුත්ම ආරක දිනපතා පුවත්පතක් උරුම කරමිනි. ඒ සමඟම ඔහුට පුවත් පත් කලාවට ඇලුම් කරන කුසලතා පිරිපුන් තරුණ මාධ්‍ය පිරිවරක්ද මෙරටට දායාද කරනන්ට සමත් විය.
රැස නිකුත් වූ පළමු දවසේ රාත්‍රියේ ඔහු මට ඇමතුමක් ගත්තේය.
“රැස බැලුවද? මොකද කියන්නේ හොඳයිද? වෙනස් වෙන්න ඕනෑ මොනවාද? ඇත්තම කියපං මචං ” ඒ ඔහුගේ හැටිය. ඔහුට ඕනෑ වූයේ මූනිච්චාවට හොඳයි කියා පසසා ගැනීමට නොවේ. අඩුපාඩු තිබෙනම් හදාගෙන සාර්ථක වීමය. රැස ප්‍රයත්නය සාර්ථක විය. රැස ඉපදී මාස හයක් ලබන්නටත් කලියෙන් ඔහුට තවත් වගකීමක් තිබුණි. ඒ පත්තර මහගෙදරින් එළියට එන සිළුමිණ සති අන්ත පුවත් පතේ කර්තෘ ධුරයයි. ඔහු ඒ අභියෝගය භාර ගත්තේ 88 වසරක සිළුමිණ ඉතිහාසයේ ලාබාලතම කර්තෘවරයා ලෙසිනි. වයසින් ලා බාල වුවද මාධ්‍යකරණය සහ ලෝකය, සමාජය ගැන හසල දැනුමකින් හෙබි මේ තරුණයාට අවැසි වූයේ සිලුමිණ අද පාඨකයන්ට ඕනෑ දේ දෙන වෙනස් පත්තරයක් කිරීමටය. ඔහු ට මේ පිළිබඳව තිබුණේ දැඩි නොඉවසිල්ලකි.
මාද සිළුමිණ කණ්ඩායමේ සාමාජිකයකු වන්නේ චාමරට තිබුණු ඒ නොඉවසිල්ලේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔහු අතින් හරියටම නිමැවුණේ පත්තර කලාප හතරක් පමණි. පස්වෙනි පත්තරයට සූදානම් වන අවසන් රැස්වීමට චාමර අප සමඟ හිඳ ගත්තේ හරිම සතුටකිනි. ඒ ඔහුට හතරවැනි පුවත් පත් අතිශයින් තෘප්තිමත් ලෙස නිමැවීම පිළිබඳ ව කළ ප්‍රශංසාව සිළුමිණ කණ්ඩායම දිරිමත් කිරීමක් විය. චාමරගේ කර්තෘත්වයෙන් එළිදුටු පස් වෙනි පුවත් පත පිළිබඳව සාකච්ඡාව අවසන ඔහු අප කිහිප දෙනකුට කීවේ “මම හෙට ආලෝක පූජාවට අනුරාධපුරේ යනවා. ඔෆිස් එන්නේ සිකුරාදා . කොහොම හරි හොඳට වැඩේ කරන්න. මම කතා කරන්නම්.” යළිත් අප දෙදෙනා හමුවන්නේ එදිනම සවස් යාමයේය.“චාමී... අපි ආයේ සිකුරාදා හම්බ වෙමු.” සුපුරුදු සිනාවෙන් අපි සමු ගතිමු. අඟහරැවාදා මෙන්ම බදාදා ද දහවල් වන තෙක් ඔහු දුරකථන අප සමඟ සම්බන්ධ වන ඔහුගේ දුරකථනය ගොළු වන්නට ගන්නේ දහවල් දොළහත් එකත් අතරය. පොසොන් පොහෝ දින වූ එදින මිහින්තලා ආලෝක පූජාවට ගිය නිසා ඔහුගේ වැඩවලට බාධා නොකර අපි අපේ වැඩක් බලා ගතිමු. එහෙත් පැයක් ගත වන්නටත් මත්තෙන් අපට අනුරාධපුරයෙන් ලැබුණේ නරක ආංචියකි. “චාමර අසනීප වෙලා දැන් ඉන්නේ අනුරාධපුර රෝහලේ.... ටිකක් අමාරුයි. ”
එතැන් සිට අප මුලින්ම කළේ දන්නා සියලු සබඳතා පාවිච්චි කොට මේ වටිනා ජීවිතය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් අයැදීමය. ඊළඟට අපට අප අදහන සෑම ආගමකට දහමකටම අනුව පුද පූජා කරමින් ඔහුට සෙත් පැතීමය. අන්තිමේදී තවත් ප්‍රතිකාර බලාගෙන ඔහු කොළඹ ජාතික රෝහලටද රැගෙන ආවේ දැඩි පරිශ්‍රමයිකිනි. අප කොයි දේ කළත් චාමර සිකුරාදා පොරොන්දු වූ පරිද්දෙන් ඔෆිස් ආවේ නැත. ඔහු නැතිව අපට පුවත් පත මුද්‍රණයට යවන්ට සිදුවිය. සති අන්තයක් උදා වුවද අපේ හිත්වලට කිසිදු විවේකයක් නොවුණේ චාමර නිසාය. එහෙත් විඩාබර හදවත් මොහොතකට නතර කරමින් යළි නොඑන ගමනක චාමර යන්න ගියේය. චාමර ගේ මතුගම සම්බන්ධය ඔහු උගත් පාසළ වන කන්නන්ගරයට දැක්වූ ආදරය ගැන අප දැන සිටිය ද ඔහුගේ අවමඟුලට පැමිණි මහා ජන ගඟ අපට පෙන්වූයේ මතුගම ජනතාව ඔහුට දැක්වූ ආදරයයි. “චාමර අපේ ගමට වටින කෙනෙක්. මෙයා රටට වටින කෙනෙක් කියල දැන ගත්තේ දැනුයි.” මේ කතාව මා ඇසුවේ ඔහුගේ ගමේ එකකුගෙන් දෙදනකුගෙන් නොවේ. තම තනතුරැ වගකීම් ආභරණයක් කර නොගත් චාමර ගමේදී නිහතමානීව තම ගමේකම ප්‍රදර්ශනය කර ඇත.
අපේ පැවැති දැඩි බැඳියාව නිසාම අපි චාමර හැඳින්වූයේ අපේ චාමර ලෙසය. කොළඹ සහෘදයන්ට අපේ වූ චාමර ගමටද අපේ චාමරමය. චාමරට ගමේ මෙච්චර ලොකු ආදරයක් තියෙනවා කියල අපි දැනගත්තේ අදයි. කොලඹින් ගිය සහෘදයන් අදත් විමතියට පත්වන්නේ මේ තරම් වගකීම් තිබුණත් ඔහු ගම සමඟ පැවැති සබඳතාවේ තරම අවමඟුලේදී දකින විටය. චාමර ආයේ එන්නේ නැත. ඔහු උපන් පොලොවේම මිහිදන්ය. එහෙත් ඔහු තිස් නව වසරක් තුළ මාධ්‍යයට රටට ගමට කළ සේවය කිසිදාක මිහිදන් නොවනු ඇත. දයාබර මිතුරාණනි ඔබට නිවන් සුව!

 

අදහස්