මිල සූත්‍රයේ වාසිය ජනතාව තේරුම් ගනීවි | සිළුමිණ

මිල සූත්‍රයේ වාසිය ජනතාව තේරුම් ගනීවි

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් විශාල ගාලගෝට්ටියක් මේ වන විට ඇති වී තිබෙනවා.

ඛනිජ තෙල් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. එනිසා ලෝක වෙළෙඳපළේ ඒ සම්බන්ධයෙන් පවතින මිල ගණන් යටතේ තමයි අපටත් ඒවා මිලදී ගැනීමට සිදු වන්නේ. ජාත්‍යන්තර වෙළෙඳපළේ ඉන්ධන මිළ ඉහළ යද්දී ඒ පිරිවැය අපටත් දැරීමට සිදු වෙනවා. මිල අඩු වෙද්දි අඩුවෙන් ගෙවීමට සිදු වෙනවා. මේ යථාර්ථය මත තමයි මිල සූත්‍රය ගෙනාවේ. ඒ අනුව බොරතෙල් මිල වැඩිවෙද්දි වැඩි වුණා වගේම අඩු වෙද්දි ඒ හා සමානව මිල අඩු වෙනවා. රුසියාව දිනපතා ලෝක වෙළෙඳපළ අනුව මිළ ගණන් ඉහළ පහළ දමනවා. ඇමරිකාවත් එහෙමයි. ඒවගේ ලෝකයේ රටවල් බොහොමයක් දිනපතා හෝ සතිපතා ඉන්ධන මිල ගණක් අඩු වැඩි කරනවා. මේ මිල නියම කිරීමේදී ලභ ලැබිය යුතුත් නැහැ. ඒවගේම පාඩු ලැබිය යුතුත් නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබනවා කියන්නේ වක්‍රකාරයෙන් එහි බර නැවතත් ජනතාව මත පැටවෙනවා කියන එකයි.

අපි දකින යථාර්ථය තමයි මිල වැඩිවීමේදී ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණන්, මිල පහළ යන විට අඩු නොවීම. මීට විසඳුමක් දෙන්න රජයට පුළුවන්ද?

ඔව්, ඒක මං පිළිගන්නවා. නමුත් ලෝකයේ අනෙකුත් රටවල ඉන්ධන මිල ඉහළ ගිය පමණින් මේ විදියට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යන්නේ නැහැ. නමුත් මෙහේ තියෙන තත්ත්වය අනෙක් රටවල නැහැ. ඔවුන් වැඩි කළත් මිල පහළ ගිය පසු ඒවා අඩු කිරීමට කටයුතු කරනවා. ඒක ශිෂ්ටසම්පන්න රටවල ලක්ෂණයක්. තමන් පෙළන්නේ තමන්ගේම රටේ මින්සුන්ව කියලා ඔවුන් දන්නවා. ඒ සඳහා මේ රටේ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා. පහුගිය ආණ්ඩුව කාලයේදී මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. නමුත් ඔවුන් එය ක්‍රියාත්මක නොකර ඉන්ධන මිල ඉහළ දැම්මා. එදා එහෙම කළා නම් ඉන්ධන මිල සෑහෙන්න අඩු වෙනවා. මිල වැඩි නිසා දැන් කෑ ගැහුවට, මේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වීමත් එක්ක ජනතාව මෙහි තිබෙන වාසිය තේරුම් ගනීවි.

යහපාලන ආණ්ඩුව ඇවිල්ලා දැන් වසර තුනක් ඉක්ම ගිහින්, රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව මොනවද කළේ කියල ජනතාව අහනවා?

අපි ආණ්ඩුව බාරගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදීව වගේම, ආර්ථික වශයෙනුත් ඉතාම නරක තත්ත්වයකට මේ රට ගමන් කර තිබුණා. ඒ ඉතාම දුෂ්කර කාලසීමාව පසු කර දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික තත්ත්වය කිසියම් ස්ථාවර භාවයකට පත්වෙමින් තිබෙනවා. මූලික වශයෙන් අපි මෙතෙක් ක්‍රියාවට නැංවූ දේශපාලන හා ආර්ථික වැඩ පිළිවෙළේ යහපත් ප්‍රතිඵල මේ අවස්ථාව වන විට ලැබෙමින් තිබෙනවා. ඒවගේම රට ගොඩනගන සංවර්ධන ව්‍යාපාරයන් ගණනාවක් ආරම්භ වී තිබෙනවා. ඉදිරියෙදී ග්‍රාමිය ජනතාව ආර්ථිකව ශක්තිමත් වෙනකොට ජනතාව මෙය තේරුම් ගනීවි.

දූෂණ විරෝධී මහා අධිකරණ ස්ථාපනය වී ඇති නිසා ඉදිරියේදී වරදකරුවන්ට දඬුවම් ලැබේවි යැයි ජනතාව කල්පනා කරනවා.?

දූෂණ විරෝධී මහා අධිකරණ ස්ථාපනය වෙලා අපරාධ පරීක්ෂණ නඩු 100කට අධික සංඛ්‍යාවක් අවසන් වී ඇති නිසා ඒවා විභාගයට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනටමත් නඩු දහනවයක් පමණ මහාධිකරණයේ විභාග වෙනවා. නමුත් ඒවා ප්‍රමාදයි. මොකද මේ නඩු ඇසීම සඳහා ඊට වඩා බරපතළ නෛතික ක්‍රියාදාමයකට යා යුතුයි. ඒ නිසා තමයි දූෂණ විරෝධී අධිකරණ තුනක අවශ්‍යතාව පැන නැඟුණේ. මේ නව අධිකරණ පද්ධතිය හරහා මේ ගැටලුව මඟහරවාගෙන කඩිනමින් වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමට හැකියාව ලැබෙනවා. මින් පළමු අධිකරණය ලබන සතියේ සිට ක්‍රියාත්මක වෙනවා. ඉතුරු අධිකරණ දෙකත් අගෝස්තු මාසයේ නිවාඩුවෙන් පසුව පටන් ගන්නා බව පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු හා දූෂණ විරෝධී අධීක්ෂණ කාරක සභාවෙදි අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමිය ප්‍රකාශ කළා.

ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු රටට අවශ්‍යයි කියන කාරණය පෝට්ටු පක්ෂ තුළින්ම මේ වන විට මතු වෙමින් තිබෙනවා. මේ නිසා පොහොට්ටු පක්ෂය ඇතුළතින් බෙදමකට ලක්වෙලා.

ඒකාබද්ධ විපක්ෂය තුළත්, රාජපක්ෂ පවුල ඇතුළෙත් බොහෝම බරපතළ විරසකයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට කැමති පිරිසුත්, ඒකාධිපති ආඥාදායකත්වයට කැමති පිරිසුත් දෙපැත්තට බෙදෙමින් තිබෙනවා. ඒවගේම දූෂණ චෝදනාවලට ලක්වෙලා නඩු විභාගවලට මුහුණ දීමේ අවදානමට ලක්වෙලා ඉන්න පිරිස මරුවිකල්ලෙන් විවිධ කඩිනම් දේශපාලන ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වෙමින් සිටිනවා. ඒ නිසා පෝට්ටු පක්ෂයේ දේපාලනඥයන් අතරම විවිධ මත භේද හා පරස්පර විරෝධතා ඇති තිබෙන බවයි පෙනෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට ඔබ චෝදනා කළා. එය ‍සත්‍යයක් බව තවමත් පිළිගන්නවද?

චයිනා හාබර් කියන ඉදිකිරීම් සමාගම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය වෙනුවෙන් ඩොලර් මිලියන 07කට ආසන්න අති විශාල මුදලක් ලබා දී ඇති බව ඉතාම පැහැදිලියි. මේ මුදල් ගනුදෙනුව සිදු වූ බවට කෙරෙන චෝදනාව ඔහු තවම ප්‍රතික්ෂේප කර නැහැ. ඒවගේම චයිනා මර්චන්ට් සහ චයිනා හාර්බර් අනුබද්ධිත ආයතන ඔවුන් අතර මුදල් හුවමාරු වීම මෙතෙක් ප්‍රතික්ෂේප කර නැහැ. මුදල් ලබා දුන් අරමුණ වෙනස් බව පමණයි ඔවුන් පවසන්නේ. ඒ අනුව චීන රජයට අයත් සමාගමකින් විශාල අල්ලසක් ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ විදියට විවිධ ව්‍යාපෘතිවලට කියමින් ලබාගත්ත ණය නිසා තමයි, අද මේ රටේ ජනතාවට විශාල ණය බරක් උහුලන්න වෙලා තිබෙන්නේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමි වූවන්ට එය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව.

පෞද්ගලිකව කිසිම දෙයක් නිසා කෙනකු මරණයට පත් කිරීමට ගැන මම එකඟ වෙන්නේ නැහැ. වසර දහස් ගණනක සිට මරණ දණ්ඩනය ලෝකය පුරා විවාදයක් තිබෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා මේ දඬුවම ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙත් මරණීය දණ්ඩනයට නීත්‍යනූකූල භාවයක් ලැබී තිබෙනවා. අභියාචනා ක්‍රියාමාර්ග අවසන් කරපු හෙරොයින් ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ සඳහා උචිත දිනය සහ වේලාව තීරණය කිරීමේ බලය පැවරී තිබෙන්නේ එතුමාටයි. ජනතාව විසින් පිළිගෙන පත් කළ ජනාධිපතිවරයා හැටියට මේ පිළිබඳව එතුමා කල්පනා කරනව නම් මේක තමයි මේ සඳහා එකම විසඳුම කියලා. මං එතුමාගෙන් ඉල්ලා හිටිනවා ඒක ක්‍රියාත්මක කරන්න කියලා.

 

Comments