පිට රට | සිළුමිණ

පිට රට

යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සහ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්්වරන් මහත්මිය, එල් ටී ටී ඊ සංවිධානය ආවානම් උතුරේ සාමකාමිව මිනිස්සුන්ට ජිවත් වෙන්නට තිබුණා යයි දෙමළෙන් කියා තිබුණු බව සිංහල මාධ්‍යවල වාර්තා විය. එහෙම කීවේ උතුර පුරා වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල ගැන තියෙන හිතේ අමාරුව නිසා යයි ඇය රන්ජන් රාමනායකට කීවාය. තමුන්ගේ සැමියා මරපු මිනිස්සු ආයෙත් ගෙන්වා ගන්න හදන්නේ ඇයිදැයි සුනන්ද දේශප්‍රිය ඇගෙන් අසා තිබුණේය. දහස් ගණන් දරුවන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවාගත් ත්‍රස්තවාදීන් උතුරේ මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්නේ කෙසේදැයි විමල් විරවංශ පාර්ලිමේන්තුවේදී ඇසුවේය. වෘත්තීයවේදීන්ගේ රැස්වීමකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා අසා තිබුණේ යුද්ධයෙන් පසු යහපාලන ආණ්ඩුව බලයට එනතුරු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් සාමය පවත්වා ගෙන ගිය ආකාරය ගැන ඇය නොකියන්නේ ජාතිවාදය අවුස්සා ඡන්ද ලබාගැනීම පහසු නිසාදැයි කියාය.

මගේ අදහසනම් විජයකලා කියූ දෙයට වඩා ඇය කියූ දෙය හරහා සමාජය කියන දේ අපි විසින් කියවාගත යුතු බවයි.

උතුර යනු වසර 30ක් තිස්සේ දැවැන්ත සමාජ ආර්ථික සහ දේශපාලනික පීඩාවකට ලක්ව තිබූ පළාතකි. මිනිස් ජීවිතවලට කිසිදු වටිනාකමක් නොතිබුණු පළාතකි. මිනීමරුවන් විසින් රාජ්‍ය පාලනය කරන ලද පළාතකි.

ගැහැනුන්ගේ බඩවල්වලට බෝම්බ බැදපු පළාතකි. ලෝකයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් ළමා සොල්දාදුවන් ලෙස බදවාගත් පළාතකි. මේ සියල්ල කළේ උතුරෙන්ම මතුවී උතුරෙන්ම පෝෂණය වී උතුරේම දේශපාලන රැකවරණය ලැබූ කොටි ත්‍රස්තවාදීන් විසිනි.

යුද්ධය අවසන් කළේ රජයේ හමුදාව විසිනි. ඉන්පසු මැතිවරණයක් පවත්වා උතුරේ ජනතාවට ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන අයිතිය ලබාදුන්නේ දකුණේ රජය විසිනි. උතුරේ යටිතල පහසුකම් අතිවිශිෂ්ටය. උතුරේ පත්තර අච්චු ගසයි. උතුරේ දේශපාලන පක්ෂ කිසිදු බාධාවකින් තොරව දේශපාලනය කරයි. උතුරේ දරුවෝ පාසල් යති. උතුරේ තරුණයෝ රස්සාවල්වලට යති. හැබැයි පසුගිය වසර කීපය තුළ උතුරේ පාතාලය හිස ඔසවමින් තිබේ. උතුරේ දැරියෝ දූෂණය වෙති. උතුරේ තරුණයන් ව කපා කොටා මරා දමති. උතුරෙන් අවි ආයුධ මතුවෙයි. උතුරේ ව්‍යාපාරිකයන් නොදන්නා මිනිස්සුන්ට කප්පම් ගෙවති.

මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක් ඕනෑ බව විජයකලා අමාත්‍යතුමිය කියයි.

දැන් අපි එමු දකුණට. පසුගිය වසර කීපය තුළ පාතාලය යළි හිස එසවූ බව අපි හැමෝම දන්නා කාරණයක්. ආයුධ නගර තුළ සැරි සරන්නත්, තරුණයන්ව මහමග වෙඩිතබා ඝාතනය කරන්නත්, දරුවන් පැහැර ගන්නත්, ස්ත්‍රී දුෂණ සුලබ වෙන්නත් පටන් අරගෙන. එක පැත්තකින් බඩු මිල වැඩි වෙද්දී අනිත් පැත්තෙන් ආර්ථිකේ අමාරුව හැමෝටම දැනෙන්න පටන් අරන්. රට හෑල්ලු වෙනවා සහ රට අරාජික වෙනවා වගේ අදහසක් මිනිස්සුන්ගේ ඔළුවේ තහවුරු වෙන්න පටන් අරන් විශේෂයෙන්ම මේ දේශපාලන කඹ ඇදිල්ල නිසා.

එතකොට අස්ගිරියේ අනුනායක හාමුදුරුවෝ කියනවා මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක් ඕනා කියලා.

දැන් අපි කියවගමු ඇයි මිනිස්සු මෙහෙම හිතන්නෙ කියල.? මිනිස්සු ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තියෙනවා.

නිදහසේ පාරෙ තොටේ යන්න පුළුවන් වෙන එක, රෑට බයක් සැකක් නැතුව නිදාගන්න එක, ගන්න පඩියෙන් කාල ඇදලා සතුටින් ඉන්න එක, ලස්සන පිරිසිදු වට පිටාවක් සහවිශේෂයෙන්ම අභිමානයෙන් ඉන්න පුළුවන් වෙන එක. මේ මුලික කාරණා ටික බිඳ වැටෙද්දී මිනිස්සු සරණක්, ආරක්ෂාවක් හොයනවා. ඒ ආරක්ෂාව පන්සලෙන් සහ කේන්දරෙන් එහාට ගිය එකක්. මිනිස්සු හිතන්න පටන්ගන්නවා පාලකයෝ අපිව ආරක්ෂා කරන්නේ නෑ කියලා.

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිස්සුන්ට වැදගත් බය නැතුව නිදා ගන්න එක. ඒ වෙනුවෙන් මිනිස්සු සංකල්පීය දේශපාලන අදහස් පළකරනවා. මේක වහල්බවවත්, ගැතිකමවත්, වැඩවසම් මානසිකත්වයවත් නෙමෙයි. මේ තමා මනුෂ්‍ය ස්වභාවය. උතුරේදීඑල් ටී ටී ඊ වේවා දකුණේදී හිට්ලර් වේවා, මිනිස්සු ඉල්ලන්නේ බේසික් දෙයක්. පවතින වියවුලට උත්තරයක්.

අදහස්