ජනමාධ්‍යවේදියා, ප්‍රාග්ධනවේදියා හා චාමර | සිළුමිණ

ජනමාධ්‍යවේදියා, ප්‍රාග්ධනවේදියා හා චාමර

බොහෝදෙනෙක් ජනමාධ්‍යවේදීන්ගේ වත්මන් භූමිකාව විවේචනය කරති. ඊට හේතුව ජනමාධ්‍යවේදීන් වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු නොකිරීමය. එසේ කටයුතු කිරීමට ඔවුන් පෙලඹීම සමාජ ක්‍රමයේම විශේෂ ලක්ෂණයකි. ඊට හේතුව ජනමාධ්‍යවේදීන් ජනතාවට සේවය නොකර වෙළෙඳපළට සේවය කිරීමට පෙලඹීමයි. ඒ හාම ජනමාධ්‍යවේදියා, ප්‍රාග්ධනවේදියකු බවට රූපාන්තරණය වේ.

1978දී විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමත් සමඟ දේශපාලන සංස්කෘතියේ තැන් මාරුවක් සිදු විය. එහිදී විධායක ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලැබුණු බැවින් ඔහු තමා බලයට පත් කරන මහජනතාවට වගවීම අවම කරගන්නා ලදි. එසේම විධායක ජනාධිපති ක්‍රමය සතු අසීමිත බලතල නිසා විපක්ෂයේ කාර්යභාරය දිය විය. ඒ නිසා දේශපාලන අවකාශය තුළ අතිවිශාල රික්තයක් නිර්මාණය විය.

මෙබැවින් ඒ රික්තය පිරවීමට සිදු වූයේ මාධ්‍යවලටය. එහෙත් අවාසනාවට ඒ මාධ්‍ය ජනමාධ්‍ය භූමිකාවේ සිට ප්‍රාග්ධන මාධ්‍ය භූමිකාවට විතැන් වී තිබිණි. ඊට හේතුව වෙළෙඳපළට අධිපති බලයක් ලැබෙන සමාජ ආර්ථික ක්‍රමයක් නිර්මාණය වී තිබීමයි. ඒ ක්‍රමය තුළ මාධ්‍යකරු ප්‍රාග්ධනය සමඟ වැඩ කරන්න පටන්ගෙන තිබිණි. එනිසා ඔහුට අතිවිශාල භෞතික බලයක් ලැබිණි.

නිර්මාණය වූ මේ අලුත් අවකාශය තුළ පද්ධතිමය උපකරණයන්ට අලුත් වටිනාකමක් හා අලුත් අර්ථ දැක්වීමක් හිමි විය. ඒ තුළ මාධ්‍යවේදියාගේ කාර්යභාරයද වෙනස් විණි. එහෙත් අවකාශමය තලය තුළ මාධ්‍යවේදියාගේ කාර්යභාරයේ වෙනස් වීම විග්‍රහ කරගැනීමට කිසිවකුට නොහැකි විය. නව සහශ්‍රකයේ ආරම්භය වන විටත් ජනමාධ්‍යවේදීහු වේදිකාවෙන් බැසගොස් තිබිණි. ඒ වෙනුවට ප්‍රාග්ධනවේදීහු ඒ ඒ ස්ථාන අරක්ගෙන සිටියහ. ඔවුහු පරණ පුරුදු අර්ථයෙන් රැවුල් වැවූ, හඩු ගඳගසන කලිසම් ඇන්ද, ගෙවුණු සෙරෙප්පු දමන මාධ්‍යවේදීහු නොවූහ. ඒ වෙනුවට යුරෝපීය ඇඳුමින් මනාව සැරසුණ, ජෙල් ගා කොණ්ඩය පීරන, මනාව කපා නඩත්තු කරන රැවුලක් ඇති කඩවසම් තරුණයෝ බිහි වූහ. ඔවුන් අත වූයේ ස්මාර්ට් දුරකතනයි. තවත් නවීන තොරතුරු තාක්ෂණ උපකරණයි.

එහෙත් මේ මාධ්‍ය ප්‍රජාව අරගල කළේ මැද පාන්තික අවශ්‍යතා වෙනුවෙනි. ඔවුන් පෙනීසිටියේ මැද පන්තිය වෙනුවෙනි. ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙනි. බොහෝවිට ඔවුන් සේවය කරන ආයතනයේ ලාභ රේට්ටුව වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඔවුහු සූදානම්ව සිටියහත

අප මිත්‍ර චාමර ලක්ෂාන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වන්නේ මෙවැනි යුගයකය. ඔහු ඒ වන විට පැවති මාධ්‍ය සංස්කෘතිය හොඳහැටි තේරුම්ගෙන තිබිණි. ඊට ඔහුට ලැබුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයද ඔහුගේ හැදෑරීම්ද හේතු වන්නට ඇත. එනිසා ප්‍රාග්ධන මාධ්‍යවේදි භූමිකාව තුළ කොටු වන්නට චාමර උනන්දු නොවීය. ඒ වෙනුවට ඔහු උත්සාහ කළේ සමාජය වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදෙන්නටය; සමාජයේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නටය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි සාර්ධර්ම හා සමාජ වටිනාකම් වෙනුවෙන් චාමර නිතර පෙනී සිටියේය. එසේම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඔහු දැඩි සේ ප්‍රතික්ෂේප කළේය.

චාමර රජයේ මාධ්‍ය ආයතනයක කතෘවරයෙකි. ඔහුට ආයතනික බැඳීමක් ඇත. එහෙත් ඔහු නිතර උත්සාහ ගත්තේ පාර්ශ්වයන් සමබර කිරීමටය. එහෙත් වෙනත් කර්තෘවරුන් මෙන් නොවී උපරිම නිදහසක් නිර්මාණය කරගනිමින් ඒ නිදහස භුක්ති විඳීමට චාමර මහන්සි ගත්තේය. ඒ මහන්සිය අසීරු වෑයමක් වන්නට ඇත. එහෙත් යකා සිතූ තරම් කළු නොවීය. එනිසා ආණ්ඩුවේ පත්තරයකින්ම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති විවේචනය කරන්නට තරම් චාමර උපක්‍රමශීලි විය. එසේම ඒ අවකාශය පුළුල් කරගැනීමටද ඔහු දක්ෂ විය. මා දන්නා ඉතිහාසය තුළ පවතින ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියකට වැරෙන් පහර ගසන්නට බියක් නොදැක්වූ රාජ්‍ය මාධ්‍යයක එකම සිංහල කතුවරයා චාමර ලක්ෂාන් විය යුතුය. බොහෝ අය ලේක් හවුස් ආයතනයේ රැකියාවට එන්නේ වැල යන අතට මැස්ස ගසා ලැබෙන වරදාන උපරිමයෙන් භුක්ති විඳීමටය. ඔවුන්ට නිර්මාණශීලි ලේඛනය අවශ්‍ය නැත.

නිදහස උපරිමයෙන් භුක්ති විඳීමටද අවශ්‍ය නැත. පුවත්පත් කලාවේදියකු හෝ කර්තෘවරයකු හෝ ලෙස අනන්‍යතාවක් ගොඩනඟාගැනීමටද අවශ්‍ය නැත. එහෙත් චාමර ඒ සම්ප්‍රදායෙන් බැහැර වීය. ඔහුට ඒ වරදාන අලුයම ලූ කෙළපිඬක් මෙන් විය. චාමර ලක්ෂාන් පුවත්පත් කලාවේදියකු ලෙසද රැස හා සිළුමිණ කතුවරයා ලෙසද උත්සාහ කළේ තම අනන්‍යතාව ගොඩනඟාගැනීමටය. වයස අවුරුදු 39ක් වූ චාමර එතෙක් මෙතෙක් පත් වූ ළාබ‍ාලතම 'සිළුමිණ' කතුවරයාද විය.

කෙසේ වෙතත් ස්වභාවධර්මයාගේ නියමය අනුව මා මිත්‍ර චාමරටද සිය ගමන්ම‍ඟේ අවසානයට එන්නට සිදු වූයේය.

අප සමඟ තවත් බොහෝ දුර ගමනක් යන්න සිටි ඔහු කල් ඇතිවම තම ගමන නිමා කළේ ඇයිදැයි මට නොතේරේ. ජීවිතය යනු ප්‍රශ්න කළ හැක්කකැයි මම නොසිතමි. එහෙත් මගේ සදාදරණීය මිතුරා අප හැර ගොසිනි.

[email protected]
-අබරන්

අදහස්