ක්‍රීඩාවට නැති සුගතදාස ක්‍රීඩාංගණය කාටද ? | සිළුමිණ

ක්‍රීඩාවට නැති සුගතදාස ක්‍රීඩාංගණය කාටද ?

ලාංකේය ක්‍රීඩාව ගත්ත ද අද අපට වෙන්ව හෝ සමාජ යථාර්ථයෙන් බැහැරව කතා කළ හැකි තැනක නැත. නිදහසින් පසු ගෙවි ගියාවූ දශක හතකට ආසන්න ඉතිහාසය පුරාම අපි දියුණු වෙමින් පවතින සමාජ යාන්ත්‍රණයක උරුමකරුවෝ වෙමු. එනම් ගෙවී ගියා වූ කාලය පුරාම අප රටක් වශයෙන් ගත් කළද එක තැන පල්වෙමින් හෝ අවගමනය වන සමාජයක අතරමංව කල් ගෙවන්නන් බවට පත්ව තිබේ. මෙවන් සමාජයක පුද්ගලයා කටුක සහ මානසික පීඩාකාරී තත්ත්වයකට පත්වීම බැහැර කළ නොහැකි කරුණකි. මෙවන් සමාජ වටපිටාවකට සම්භාව්‍ය සාහිත්‍ය කලාව පමණක් නොව, ක්‍රීඩාව ද ඇලජික්වීම අරුමයක් නොවේ.

ක්‍රිකට් තරග දිනවීමට අර්ජුනලා, අරවින්දලා, සංගලා, මහේලලා, මුරලිලා, වාස්ලා, මලල ක්‍රීඩාවෙන් ජය ගැනීමට සුසන්තිකාලා, සුගත්ලා ඇවැසි තැනක අපි තවමත් අඳුරේ අතපත ගාමින් සිටින්නෙමු. අපට කොහේ හෝ ලොකුවට ම වැරැදී ඇති නමුත් එකී තැන හඳුනා ගැනීමට නොහැකිව අප රට ම අයාලේ යන තැනකට වැටී තිබේ.

ලාංකේය මලල ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණුව සඳහා පවතින එකම ජාත්‍යන්තර ධාවන පථය වූ සුගතදාස ක්‍රීඩාංගණයෙන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් එළියට දමා වෙනත් පාර්ශ්වයකට බද්දට දී තිබුණේ ක්‍රිඩාවට හෙණ ගැසුව ද මල්ල තරවේ නම් අවුලක් නැත යන චේතනාවෙන් විය යුතුය.

ශ්‍රී ලංකාවේ පැවති පළමු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට 2012 දී නවීකරණය කරන ලද සුගතදාස ක්‍රිඩාංගණයේ නව ධාවන පථය එකි වසරේ අගෝස්තු මාසයේ පටන් ම ලෙඩ දෙන්නට පටන් ගත් අතර, ඒ සඳහා වැය කළ මුදල මිලියන 113 කි. වසර පහක් ගත වන්නටත් මත්තෙන් තවත් රුපියල් මිලියන 250 කට ආසන්න මුදලක් වියදම් කර අලුත් වැඩියා කළේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ ප්‍රයෝජනයට ද නැතහොත් මේ ආකාරයට ක්‍රිඩක ක්‍රිඩිකාවන් එළියට දමා පිස්සු නටන්නට දැයි නොදනිමු.

ක්‍රිඩා බලධාරින් මේ ආකාරයෙන් පිස්සු නටන විට, ශ්‍රීලංකා යෞවන ක්‍රිඩක ක්‍රිඩිකාවෝ යොවුන් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට මෙන්ම අද අවසන් වන ලෝක කනිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියට පුහුණුවිම් කටයුතු නිසි ආකාරයෙන් කර ගැනීමට නොහැකිව ලත වුහ. මේ සියලු අපහසුතා මැද යොවුන් ඔලිම්පික් උලෙළට ක්‍රිඩක ක්‍රිඩිකාවන් සිවු දෙ‍නකු සුදුසුකම් ලැබු අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට එකොලොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූහ.

ලෝක ශුරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ගිය ක්‍රිඩක ක්‍රිඩිකා‍වන්ගේ පුහුණුවට නැති සුගතදාස ක්‍රිඩාංගණය ලාංකේය ක්‍රිඩාවේ ටයිකෝට් අදින එල හරක්ටයි - මී හරක්ටයි දැයි අපට ඇසීමට සිදුවන්නේ මෙවන් පසුබිමකය.

ප්‍රධාන පෙලේ යොවුන් මලල ක්‍රිඩා තරගාවලි දෙකක් අතරතුර සිදු වූ අදුරදර්ශි ක්‍රියාවලිය ලාංකේය ක්‍රිඩා‍වේ අඳ ගොලු බිහිරි බවට හොඳම උදාහරණයකි. නව ධාවන පථය මිලියන 250 කට ආසන්න මුදලක් වියදම් කර නැවත අලුත් වැඩියා කළේ ක්‍රිඩා බලධාරින්ට මෙසේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් පිටමං කොට පිස්සු නැටිමට නම් මොවුන්ගේ ඔලුගෙඩි පරික්ෂා කිරීම නොපමාව කළ යුතු දෙයකි. මේ දේවල් මේ ආකාරයට සිද්ධවන විට ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගෙන් පදක්කම් බලාපොරොත්තුවීම නම් මොලේ අමාරුකාරයන්ගෙන් මිස වෙන අයගෙන් බලාපොරොත්තු විය නොහැකිය.

 

අදහස්