දේශීය ටින් මාළු ආරක්ෂිතයි | සිළුමිණ

දේශීය ටින් මාළු ආරක්ෂිතයි

මේ දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති සැමන් ටින් තුළ පණුවන් සිටියේ යැයි පවසන ප්‍රවෘත්තිය පිළිබඳ, අදහස් දැක් වූ ටෙස් ගෲප් සභාපති සහ දේශීය ටින් මාළු සංගමයේ සභාපති ශීරාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, දේශීයව නිෂ්පාදනය කරන සැමන් සෑම අතින්ම උසස්ම ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන බවයි. එසේම අන්තර් ජාතිකව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව තම කර්මාන්තශාලා තුළ නිපදවන බැවින් පාරිභෝගිකයන් දේශීය සැමන් පරිභෝජනය පිළිබඳ කිසිදු සැකයක් තබා නොගත යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

ටෙස් ගෲප් සභාපතිවරයාගේ අදහස් තහවුරු කරමින් ආහාර පර්යේෂණ පිළිබඳ මහාචාර්ය ආතර් බමුණු ආරච්චි මහතා ද මෙසේ අදහස් දැක්වීය.

“සැමන් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්ත ශාලාවන්හි භාවිත ක්‍රමවේද පිළිබඳ අප ඉතාමත් හොඳ විද්‍යාත්මක නිරික්ෂණයන් කරනවා මා එහිදී, ස්වභාවිකව මාළුවාගේ ශරීරය තුළ ජීවත් විය හැකි යැයි අනුමාන කරන සියලු බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවින් ආදී පරපෝෂිතයින් මුළු මනින්ම වැනසීම සඳහා අධි පීඩන උණුසුම් කරණයකට ලක් කරනවා. විනාඩි 20 ක් එලෙස තැම්බීමෙන් සියලු පරපෝෂිතයන් විනාශ වන නමුත්, ‘ටෙස්’ ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ල, විනාඩි 55 ක කාලයක් එම තැම්බීම සිදු කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව අවට සාගරයෙන් නෙළා ගන්නා මාළුන් තුළ එවැනි පර‍පෝෂිතයන් අවමයි. ඊට හේතුව අපගේ රට අවට මුහුදු තීරය, අනෙකුත් කාර්මික රටවලට සාපේක්ෂව පිරිසුදු තත්ත්වයෙන් පැවතීමයි.”

ආනයනික සැමන් සඳහා, බදු අඩු කිරීමෙන් දේශීය සැමන් කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති මොහොතක, දේශීය සැමන්වල ඇති ආරක්ෂිත බව පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් විය යුතු අතර, දේශීය දේ මිල දී ගැනීමෙන් මෙම අවදානම අවම කරගත හැකි බව ශිරාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. මාළු ආනයනය මඟින් රටට විදෙස් විනිමය උපයා දුන්නද මින් මාළු ආනයනය කිරීමෙන් ඒ මුදල් සම්භාරය යළි පිටරටට ඇදී යෑම කනගාටුවට කරුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. රටේ ටින් මාළු අවශ්‍යතාවෙන් සියයට පණහක් දැනටමත් නිපදවන අතර දේශීය ව්‍යාපාරිකයෝ දිරි ගන්වන්නේනම් රටට අවශ්‍ය සම්පුර්ණ ටින් මාළු ප්‍රමාණය රට තුළම නිපදවිය හැකි බවත් එය අපනයන දක්වා වර්ධනය කළ හැකි බවත් ශීරාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

ඉනෝකා පෙරේරා

අදහස්