කුලී වැඩ කරපු මම අද දැවැන්ත සමාගමක හිමිකරුවෙක් | සිළුමිණ

කුලී වැඩ කරපු මම අද දැවැන්ත සමාගමක හිමිකරුවෙක්

ව්‍යාපාරිකයෙක්, රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙක්. එකඟද මේ හැඳින්වීමට...

‘මනුස්සකම් තියෙන හොඳ මනුස්සයෙක් ....’ කාට හරි මං ගැන එහෙම හිතෙනවා නම් ඔය එක හැඳින්වීමකටත් වඩා මට ඒ දේ වටිනවා.

ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගෙනෙන දැවැන්ත සමාගමක් ඔබ සතුයි......

Milcris (මිල්ක්‍රිස්) කියන්නේ ඕමාන් රටේ ක්‍රියාත්මක, සියයට සියයක් ශ්‍රී ලාංකික, වරලත් ප්‍රමාණ සමීක්ෂණ සහ ඉංජිනේරු සේවා උපදේශන සමාගමක්, ඉන් සිදුවන්නේ ඕමානයෙන් අප උපයන දේ 100% ක්ම ගේන්නෙ ශ්‍රී ලංකාවට. කොටින්ම, එහෙ උපයන දේට මේ රටට බදු ගෙවන ශ්‍රී ලාංකිකයෙක් මම.

මේ වෙනකොට ඔබේ සමාගමෙන් මොන තරම් විදෙස් විනිමය රටට ගෙනැවිත් තිබෙනවද...

මං අවුරුදු 34 ක් වැඩ කළේ ඕමානයේ, කොන්ටිටි සර්වේ කෙනෙක් විදියට රස්සාව පටන් ගත්තෙ 1991. මගේම කියලා QS සමාගමක් ඇරියේ 2006. 2007 ජනවාරියේ සිට අද දක්වා අපි ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක වැඩ සමීක්ෂණය කර තිබෙනවා.

මොනවද ඒ, ‘ප්‍රමාණ සමීක්ෂණය‘ කළ ව්‍යාපෘති...

එයාර්පොට් දෙකක්, සී පෝට් එකක්, රේල්වේ, හයිවේ, ගුවන් පාලම්, තරු පහේ හො‍්ටල්, විලා හෝටල්, පාසල්, කෞතුකාගාර ඇතුළු ගොඩනැගිලි ව්‍යාපෘති ගණනාවක් ඊට ඇතුළත්. මේ සියල්ල කළේ ඕමාන් රටට සහ කටාර් රාජ්‍යයට.

ඇයි තමන්ගෙ රටට වැඩ නොකරන්නේ...

මගේ රටට වැඩ කරන්න හුඟක් ආසයි. කිහිප සැරයක් උත්සාහත් කළා. ඒත් මං ඒ ආසාව අත්හැර ගත්තා. සත්‍යවාදීව බිස්නස් කරන්න බැරි තැන්වල මං අත ගහන්නෑ. ඇත්තම කතා කළොත් අපේ රටේ බිස්නස් කරන්න බැහැ අල්ලස් නොදී. ඉතින් අකැමැති දේ මං නොකර ඉන්නවා. නමුත් හෙඩ් ඔෆිස් එක ලංකාවේ තියලා ඕමානයේ ශාඛාවක් හදලා, මගේ රටට ලැ‍බෙන්න ඕනෙ දේ මං දෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ QS සමාගමක් පවත්වාගෙන යන්න ඔබට තිබෙන සුදුසුකම් මොනවද.....

කන්ස්ට්‍රන්ෂන්, මැනේජ්මන්ට් ඇන්ඩ් කොන්ටිටි සර්වේ පිළිබඳ මට ශෙෆීල්ඩ් හලාම් යුනිවර්සිටියේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් තිබෙනවා. මම, රෝයල් ඉන්ස්ටිටියුට් ඔෆ් කොන්ටිටි සර්වේ හි ‍ෆෙලෝ සාමාජිකයෙක්. ඕස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් කොන්ටිටි සර්වේ හි ෆෙලෝ සාමාජිකයෙක්. ලන්ඩන් චාටඩ් ඉන්ස්ටිටියුට් සාමාජිකයෙක්. චාටඩ් මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ස් ෆ්‍රොම් කැනඩා හි සාමාජිකයෙක්. ඇසෝසියේට්ඩ් මෙම්බර් ඔ‍ෆ් චාටඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ආබිට්‍රේටර්ස් හි එම්.එස්.සී. ලෙවල් විභාගයක් කර තිබෙනවා. ඒ අනුව මගේ සමාගම අන්තර්ජාතික වෙළෙඳ සහ ඉදිකිරීම් ගිවිසුම්වලදි ඇතිවන නෛතික ගැටලු වලදි බේරුම්කරණය පිළිබඳ විශේෂඥ සාක්ෂිකරුවකු ලෙස ක්‍රියා කරනවා.

එතකොට ඇයි ඔබ වර්බුම් ටීවී පටන් ගත්තේ...

එක දවසක මං පල්ලි‍යේ යාච්ඤා කරමින් හිටි මොහොතක මගේ මනසට - දෙසවනට ඇහෙනවා, ‘ඔබ දුප්පතුන් සහ පෝසතුන් යා කරන පාලමක් විය යුතුයි...’ කියන හඬ. මං කොහොමද එහෙම වෙන්නේ.... මං හතර අතේ කල්පනා කළා. බිරියත් මාත් කතා කළා. අපි අවබෝධ කරගත් දේව දයාව සමස්ත කිතුනු ජනතාව සමඟ බෙදා ගන්නයි වර්බුම්, ශ්‍රී ලාංකේය කතෝලික රූපවහිනි නාලිකාව අරම්භ කළේ. මං’දුප්පතුන් හා පොහොසතුන් යා කරන පාලමක් වුණේ ඒ හරහා.

වර්බුම් ටීවි ඇයි ජාතික නාලිකාවක තලයට ගේන්න බැරි...

දැනට අපේ විකාශ කටයුතු සිදු වන්නේ ඩයලෝග් සහ පියෝ ටීවි ඔස්සේ පමණයි. නමුත් අපි බොහෝ වරක්, ර‍ජයෙන්, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් මේ සඳහා අවස්ථාව ඉල්ලා තිබෙනවා. “ෆ්‍රිකුවන්සි” නැති නිසා ඊට අවස්ථාවක් නැති බවයි පිළිතුර, නමුත්, කවදා හෝ අවස්ථාවක් ලැබේවී! අපි විශ්වාසයෙන් සිටිනවා.

වර්බුම් ටීවි පවත්වාගෙන යන්න උදව් කරන්නේ ජනතාව...

ලෝක කොයිම ආගමික නාලිකාවක් වත් ආගමික ස්වරූපයේ දැන්වීම් හැරුණු කොට, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැහැ. මිනිසුන්ට ධර්මයේ ගුණ අත්විඳින්න සැලැස්වීමයි ආගමික නාලිකාවක අරමුණ. අපිත් එහෙමයි. කතෝලික ජනතාව ඉරිදාට පල්ලියට යනවා. එදාටත් යන්න බැරිව අසනීපව අසරණව නිවෙස්වල හුදෙකලාව ඉන්න ජනතාවට ඒ මුළු සතිය පුරාම අාධ්‍යාත්මික ධර්ම ගුණය ලබා දීමයි වර්බුම් ටීවි වගකීම. මේ තරම් සාර්ථකව එය පවත්වාගෙන යන්න උදව් කරන්නේ කතෝලික ජනතාව තමයි.

කවදා හෝ මිනිස්සු උදව් කරන එක නැවැත්වුවොත් මොකද වෙන්නේ...

මේ ලෝකේ පල්ලි, පන්සල්, කෝවිල් ඉදි වුණේ ආගමික නායකයින්ගේ මුදල් වලින් නෙවෙයි. ජනතාවයි, ඒවා ගොඩනැගුවේ. වර්බුම් නාලිකාවත් එහෙමයි. මං මට පුළුවන් ඉහළම විදියට දෙවියන් වෙනුවෙන් මගේ දේ යට කළා. වර්බුම් හැදුවා. ජනතාව කැමැති කාලයක් එය පවත්වාගෙන යයි. එහෙම නොවුණු දාට එය නවතීවි. දැන් මං එහි මුරකරු පමණයි.

මොකක්ද ‘වර්බුම්’ අර්ථය...

ලතින් බසින් ‘වචනය’ කියන අර්ථය. ‘දේව වචනය - සත්‍යයේ වචනය’ කියන අදහසයි, එහි ගැබ්ව තිබෙන්නේ. ඒ නිසා වර්බුම් මට කවදාවත් බිස්නස් එකක් නෙවෙයි. කලාවක්. ආත්මීය හැඟීමක්.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...

යාළුවෙකුගෙ ගෙදර ගියත් මඤ්ඤොක්කා දඬු ටිකක් ඉල්ලාගෙන ඇවිත් හිටවලා ගහක කොළක ඵලදාව ගන්න, නංගිලාගේ ගවුම් ටික ‍ෙපාල්කටු ඉස්තිරික්කයෙන් මැදලා දෙන ... අම්මා උයද්දී කුස්සියට ගිහින් අහලා පොල් ටික ගාලා දෙන, හිතලා බලලා වැඩ කරපු, පවුලට හිතවත් දිරිය වන්ත දරුවෙක්.

අරපිරිමැස්ම ... දරාගැනීම ඒ ළමා කාලෙ අත්විඳ තිබෙනවද...

මගේ තාත්තා ලංගම රියැදුරෙක්. අම්මා කොහොම පිරිමැහුවත් තාත්තගේ රුපියල් 180 ක මාසේ පඩිය පවුලක් ජීවත් වෙන්න සෑහුණේ නැහැ. කන්න යමක් නොතිබුණු දාට ඉස්කෝලෙ ඇරිලා ඇවිත්, වත්තේ ගහකින් කුරුම්බා ගෙඩියක් කඩාගෙන කාපු දවස් අනන්තයි. එකම කලිසම හෝද හෝදා ඇඳපු දවස් අප්‍රමාණයි.

‘ජීවිතේ ගොඩ එන්න නම් ‍ඉගෙන ගන්න ඕනෑ...’ ඔබට එහෙම හිතෙන්න ඇති...

ඇත්තටම. මං පවුලේ ලොකු පුතා. මට බාල මල්ලිලා දෙන්නයි, නංගිලා හතර දෙනයි. අම්මටයි තාත්තටයි මං ගැන බලාපොරොත්තු. අහස උසට. දුක් අමාරුකම් මැද වුණත් තාත්තා මාව කඳාන ඩි මැසනඩ් කොලේජ් එකට දැම්මා. මං ආසාවෙන් ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වෙ පාස් වුණා. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට තේරුණා.

ඔබ විභාගෙ හොඳින් සමත් වෙනවද...

ඔව්. ඒත් ඕ -ලෙවල් කරලා මං සෙමනේරියට යනවා. මට ඕනේ ස්වාමි කෙනෙක් වෙන්න. නායකත්වය, හික්මීම... වෙලාවට වැඩ කිරීම... වගේම ජීවන විනයත් මට ලැබුණේ සෙමනේරි ජීවිතයෙන්. අවුරුද්දකට පස්සෙ මං ආපහු ගෙදර යනවා. මං දකිනවා තාත්තා උහුලන ජීවන බර එදාටත් වඩා වැඩියි. මගේ අරමුණ වෙනස් වෙනවා.

ඉතින්, මොකද ඔබ කරන්නේ ...

ආපහු ඉස්කෝලෙ යනවා. විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරනවා ඒ එක්කම වෙනදා කරපු මීටර් සියය, තුන් පිම්ම, ෆුට් බෝල්... හැම ක්‍රීඩාවක්ම කරනවා. නාට්‍ය කරනවා. හවුස් කැප්ටන්, ප්‍රිෆෙක්ට්... ඔය හැම වගකීමක්මත් දරනවා. විභාග ඉවරයි. මට කැම්පස් යන්න ලකුණු මදි. මං ටියුෂන් දෙනවා. ඊළඟට පයිලට් ඔෆිසර් කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. නිෂ්පාදන අංශයේ රස්සාවකට ඉල්ලුම් කර යවනවා. ඒ එකක්වත් හරියන්නේ නෑ. මාව ප්‍රතික්ෂේප වෙච්චි වාර ගණන මමවත් දන්නෑ.

එතකොට මොකක්ද ඔබේ පළමු රස්සාව..

රෑට නින්දට ගියාම මට හිතෙනවා, ‘දෙයියනේ! මොකක්ද මේ වෙන්න යන්නේ... කවදද මං මගේ තාත්තව මේ බරෙන් නිදහස් කරන්නේ...’ මං තීරණයකට එනවා. රුපියල් විස්සේ දවස් පඩියට රද්දොලුව ස්කීම් එකේ අත්තිවාරම් කපන්න යනවා. හාර මාසෙකින් එතැන වැඩ ඉවරයි. ඒත් හැමදාම හවසට ගෙදරට දීපු ඒ රුපියල් විස්සවත් නොදී ඉන්න ම‍ට බැහැ.

ඔබ ඉන්නෙ, ජීවිතය අත් හරින්න බැරි තීරණාත්මක මොහොතක...

ඔව්. ඒ හින්දම මං, කොච්චිකඩේ ලොරියක ගඩොල් පටවන්න යනවා. එතැන වැඩ ඉවරවෙනකොට වැලි සවල් ගහනවා. කළු ගල් බානවා, පටවනවා, ඊළඟට මං වැලිසර මිල්ක්ෆුඩ් එක හදන වැඩ බිමේ මේසන් බාස් කෙනෙක් වෙනවා. මගේ ඉංග්‍රීසි දැනුම නිසා එතැන වැඩ කළ සුදු ජාතිකයෝ එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනැගෙනවා. මට සුපවයිසර් කමක් ලැබෙනවා. ඊළඟට ඔබරෝයි හෝටලයේ වේටර් කෙනෙක්. පෙගසස් හෝටලයේ වේටර්... ටාජ් සමුද්‍රයේ කුක්... ඔය වගේ රස්සා පෙළකට පස්සේ මට ඕන වෙනවා පිටරට යන්න. මට රස්සාවක් ලැබෙනවා. ඕමානයේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකුගේ ගෙදරක උයන රස්සාවක්. මං සතුටින් වැඩ පටන් ගන්නවා.

විශ්වාසය සහ ආත්ම ශක්තිය ජීවිතයට ගෙනෙන ප්‍ර‍බෝධය ඔබට දැනෙන්න අරන්...

එහෙම හිතන්න මාත් උත්සාහ කළා. මට ලැබුණේ හැරෙන්නවත් ඉඩ නැති පුංචි කාමරයක්. ඒකත් තව කෙනෙක් එක්ක බෙදා ගන්න. මං මගේ හාම්පුතාට කිව්වා. මං ලෑස්තියි මේ රාජකාරි දෙකම කරන්න. හැබැයි කාමරේ බෙදා ගන්න බැහැ. ..’ කියලා. දැන් කුක් විතරක් නෙවෙයි, ‘හවුස් බෝයි’ ත් මම. උයනවා, මිදුල අතුගානවා, කානු සුද්ද කරනවා. ටොයිලට් හයක් හෝදනවා, රෙදි හෝදලා අයන් කරනවා. හැමදේම කරනවා. හැබැයි, රෑට ඇ‍ඬෙනවා. දෙයියන් පයිලට් කෙනෙක් වෙන්න - ඉංජිනේරුවෙක් වෙන්න හීන දැකපු මට අද මොකද වුණේ...’ මං මගෙන්ම අහනවා. ආපහු උදේට කඩියෙක් වගේ වැඩ පටන් ගන්නවා.

ඔබේ ජීවිතයේ වැටුණු පැරදුණු තැන් නිමක් නැති හැඩයි...

ඒ වැටුණු පැරදුණු තැන් නිසාම තමයි මගේ ජීවිතයේ නැඟීම සිද්ධ වෙන්නෙත්. ඒ වෙනකොට මං ලංකාවට ආවා ගියා. විවාහ වුණා. මං තීරණය කළා හිස්වෙලා තිබුණු ඇබෑර්තුවට බිරිඳව ගෙන්වා ගන්න. ඒ වෙනකොට කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ අවසන් වසරේ ඉගෙන ගනිමින් හිටි ඇය සියල්ල අතෑරලා මං ළඟට එනවා. මං කරන වැඩ මොනවද කියලා දකින්නෙ ආවට පස්සෙ. දවස් දෙක තුනක් ම යනකල් ම ඈ දුකින් හැඬුවා. අන්තිමේ කිව්වා, ‘ඔයා උයන එක විතරක් කරන්න, මං අනිත් සේරම වැඩ කරන්නම්.’ කියලා. අපි ජීවිතේ බෙදා ගන්න ගත්තා. අමතර දෙයක් කරලා හරි සල්ලි කීයක් හරි හොයා ගන්න හැටියි අපි හැම වෙලාවෙම හිතුවේ.

ජීවිතය වෙනස් කළ Turning point එක කුමක් ද...

ඒ දවස උදාවෙන්නෙ 1988 පෙබරවාරි 07 වැනිදා. අපි දෙන්නම ඕමානයේ කතෝලික පල්ලියක ඥාන කන්ති මෙහෙයකට සහභාගි වනවා. එච්චරකල් සියයට සියයක් සත්‍යවාදි මිනිස්සු නොවුණු අපි... අමාරුවෙන් හරි සල්ලි හම්බකරන විදිය ගැනම විතරක් කල්පනා කරපු අපි, ආපහු ගෙදර එන්නෙ හදවතින් මනසින් අංශ 180 ක් අනික් පැත්තට හැරිලා. එදා අපි තීරණයක් ගත්තා, දෙවියන් වෙනුවෙන් අපි කැපවෙනවා. අපේ ජීවිතවල අංක එක වෙලා තිබුණු මුදල් හඹා යෑම නතර කරනවා කියලා.

ඒත් ඔබ පිටරට ගියේ, දුක් වින්ඳේ සැපවත් ජීවිතයක් වෙනුවෙන් නේද...

ඒත් මේ ජීවිත වෙනස්වීම තුළ ඊට වඩා සැනසීමක් සැපයක් අපි අත්වින්ඳා. එදා රෑ අපි දෙන්නා කොළ දෙකක් අරගෙන, මතක් කරමින් උපන් දා සිට කරපු පව් ටික ලිව්වා. ඥාන කාන්ති මෙහෙය කරපු පියතුමා අපිට කිව්වා, ඔබ කාටවත් මෙය පෙන්වන්න අවශ්‍ය නැහැ. පල්ලියට ගෙනැවිත් ජේසු පාමුල ඒවා තබන්න. ඔබලා හදවතින් ම වෙනස්වන පාපොච්ච්රණයක් කරගන්න කියලා. මාත් බිරියත් ඒ දේ කළා. එදා තමයි අපේ ඔළුව - මනස - හදවත පිරිලා වධ දෙමින් තිබුණු හැම බරකින් ම පීඩනයකින් ම අපි නිදහස් වුණේ.

ඔය හුඟක් ප්‍රකාශ, ව්‍යාපාරිකයකුගෙන් සාමාන්‍යයෙන් අහන්න නොලැබෙන දේ...

ඒත් ඒ තමයි ඇත්ත. එදායින් පස්සෙ මං අම්මට තාත්තට ලියුමක් ලිව්වා. පුංචි කාලෙ හරි මගෙන් වරදක් වෙලා තියෙනවා නම් මං බරක් වුණා නම් මට සමාවෙන්න කියලා. දන්න කියන යාළුවන්ට තරහා වෙලා හිටි අයට මං කතා කළා. සමාව ඉල්ලුවා. අහංකාර උද්දච්ඡකම් අතෑරියා. එදා ඉඳලා මට පුළුවන් වුණා ඕනෑ ම කෙනකුගෙන් සමාව ගන්න. මං දුර්වල මනුෂ්‍යයෙක් බව පිළිගන්න.

එතකෙට ඔබ ‘කොන්ටිව් සර්වේ’ කෙනෙක් වුණේ කොහොමද...

අහම්බයකින්. ඒ වචනෙන් මට ඇහුණෙ යාළුවෙකුගෙන්. ඊට පස්සෙ මං ඒ ගැන හෙව්වා. මටත් ඕනෑ වුණා QS කෙනෙක් වෙන්න. තනියම පොත් හොයාගනෙ ඉගෙන ගත්තා. QS කෙනෙක් ළඟට ගිහින් බැරි දේ අහගත්තා. විභාගයට රෙජිස්ටර් වුණා. ඒක අවදානම් තීරණයක්. ‘ඔබ විශ්වාස කරන දේ ඔබට ලැබෙයි!’ ම‍ගේ ඔළුවෙ තදින් ම තැන්පත් වෙලා තිබුණෙ ඒ දේව වදන. මට තිබුණේ කෙටි කාලයයි. මං වේගයෙන් වැඩ කළා. විභාගෙන් පාට් වන් සමත්. ඊළඟ හැම පියවරක් ම ඉහළට ගියා. 1984 පටන් මං කරමින් හිටි කුක් රස්සාව අත් හැරියේ, ඕමානයේ අල් තුර්කි සමාගමේ QS කෙනෙක් විදියට 1991 රස්සාව ලැබුණට පස්සේ. ටිකෙන් ටික අධ්‍යාපන සුදුසුකම් හදාගෙන සීනියර් QS, චීෆ් QS විදියට ඉහළට ආ මම, අවසානයේ ඕමානයේ සුල්තාන් කාබුස්ගේ රාජකීය දේපොළ පරිශ්‍රයේ සීනියර් QS කෙනෙක් විදියට වැඩ බාර ගත්තා. ඒ තමයි, QS කෙනකුට ඒ රටේ දරන්න ලැබෙන ඉහළ ම තනතුර.

ඔබේ සේවකයන් කොටසක් ඕමානයේ. කොටසක් මෙහේ. ඔවුන් හා සබඳතාවක් ඇත්තේ ම නැද්ද...

Milcris සහ වර්බුම් කියන්නෙ එකම පවුලක්. මම ඔවුන් හැමගේ තාත්තා. ඒ නිසා රටවල් දෙකක හිටියත් ඒ බැඳීම් එලෙසයි. වර්බුම් ටීවී සේවක මණ්ඩලය 55 ක්. මිල්ක්‍රිස් සමාගමේ දෙසිය පණහක්. මේ හැමෝම ගැන මම දන්නවා.

පවුලක් හැදෙන්නෙ බැඳීම් එක්ක. කොහොමද ඔබ මේ ආයතනික බැඳීම ඇති කරන්නේ...

යම් කෙනකු අපේ ආයතනයට බැ‍ඳෙන විට පිළිපැදිය යුතු සහ ජීවිතයට ආදේශ කර ගත යුතු කාරණා ටිකක් තිබෙනවා. අංක එක, ‘අපි දන්නවා ඔබ ඔබේ රැකියාව පිළිබඳ දන්නා බව. ඒ නිසා කැපී පෙනෙන දේ අවශ්‍ය නැහැ. හොඳින් වැඩ කිරීම ප්‍රමාණවත්. දෙක, අපි දන්නවා ඔබ සියල්ලෙන් සම්පූර්ණ නැති වග. ඔබට වරදින වග. ඒ නිසා අත්වැරදීම් හංගන්න එපා. තුන, ඔබට බැරි ඕනෑ ම දෙයක් ඔබ, ඕනෑ ම කෙනකුගෙන් අසා දැන ඉගෙන ගත යුතුයි. හතර, ඔබත් සමහර දේ දන්නෙ නෑනේ, එහෙනම් ඔබ දන්නා දේ නොදන්නා අයට නොමිලයේ කියා දිය යුතුයි. පහ, ඔබ සැම එකිනෙකා ආරක්ෂා කළ යුතුයි. බලා ගත යුතුයි. සියලු ආයතනික ප්‍රශ්න මේ වහල යටදි විසඳා ගත යුතුයි. මොකද අපි එක පවුලක්! එච්චරයි.

ඔබේ පවුල තුළ ඔබ හොඳ සැමියෙක් ද...

මිනිහෙක් ලෝකයක් ජයගත්තත් වැඩක් නැහැ පවුල් ජීවිතය අවුල් වෙලා. මගේ මේ මුළු කතාවේ හතරෙන් තුනක ම බිරිය ඉන්නවා. දුක් විඳපු කාලෙයේ අපි දුක් වින්දෙ එකට. ප්‍රශ්නවලින් ගොඩ ආවේ එකට. අද යම් සැපයක් විඳිනවා නම් ඒත් එකට. ඈ තමයි, දෙවියන් වහන්සේ මට දුන් වටිනා ම තෑග්ග. මිල්ක්‍රිස් කියන්නේ, මටත් මගේ බිරිය සහ දරුවන්ටත් අයිති පවුලේ ව්‍යාපාරයක්. ඒ නිසා කොම්පැනියට අපි හැමෝ ම වැඩ කරනවා. ඇය වර්බුම් ටීවී හි කළමනාකාර අධ්‍යක්ෂවරිය.

ඔබේ දරුවො ගැනත් කියන්න...

ලොකු පුතා මිනෝල්. පුංචි පුතෙකුගේ තාත්තෙක්. හොඳ සැමියෙක්. දෙවැනියා දුව. ක්‍රිස්ටීන්. බාල පුතා මිෂාන්. මේ හැමෝ ම ඉපදුණේ ඕමානයේ. හැදුණෙ වැ‍ඩුණෙ ඉගෙන ගත්තෙ එහේ. ඒ වුණාට අපි අපේ මවු බස අමතක කළේ නැහැ. බොහොම ලස්සනට සිංහල කතා කරනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිටරට යන්න කිව්වම තුන්දෙනාම බැහැ කිව්වා. ලංකාවෙ ඉඳන් ඉගෙන ගන්න ඕනෙ කිව්වා. ඉතින්, ලංකාවට ඇවිත් ‘ඇපිට්’ එකේ ඉගෙන ගත්තා. තුන්දෙනාම උපාධි ගත්තෙ ලංකාවෙ ඉඳන්.

අන්තිමට කියන්න, ඔබේ ජීවිතයෙන් කාටහරි ගන්න පුළුවන් හොඳ ම දේ කුමක් ද...

“හරි යැයි කිව හැකි එක්කෙනෙක් නැත. එක්කෙනකුවත් නැත...’ ඒ තමයි දෙවියන් අප දකින විදිය. ‘ඔබ ලෝකය තුළ ජීවත් වුවත් ඔබ ලෝකයට අයිති නැත...’ එහෙනම් මම දවසක මෙයින් නික්ම යා යුතුයි. එහෙම ගිහින් මම කොතැන ද නවතින්නේ. ඔය ටික තේරුම් ගත්තා නම්, ඔබෙන්වත් මගෙන්වත් ලෝකයට මනුෂ්‍යයාට සේවයක් මිස, අවැඩක් සිදුවෙන්නෙ නෑ. කුලී රස්සාව කරපු මං ජීවිතය දිණු‍ෙව ඒ සත්‍යය අව‍‍බෝධකරගෙන සාධාරණව බිස්නස් කරපු නිසා. ඔබ මගෙන් ගන්න ඕනේ අන්න ඒ දේ.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
[email protected]
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්