උපාධිධරයන් ව්‍යාපාරිකයන් කරන "ඇරඹුම" ණය ක්‍රමය | සිළුමිණ

උපාධිධරයන් ව්‍යාපාරිකයන් කරන "ඇරඹුම" ණය ක්‍රමය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථක ලෙස අවසන් කර උපාධිධාරීන් ලෙස සමාජයට පිවිසෙන බොහෝ දෙනාගේ අරමුණ තමන් ලබා ගත් උපාධියට සරිලන රාජ්‍ය අංශයේ ඉහළ රැකියා අවස්ථාවක් ලබා ගැනීමය. එහෙත් කුමන පක්ෂ රටේ ආණ්ඩු බලය දැරුවත් සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම ප්‍රායෝගිකව බෙහෙවින් දුෂ්කර කාර්යයකි.

මේ වන විට පැවති සෑම ජාතික මැතිවරණයකදීම උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීම ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් බවට පත්ව තිබුණි. ආණ්ඩු ගණනාවක්ම එම පොරොන්දුව තුරුම්පුවක් කර ගෙන බලයට පත් වුණද බලය ලබා ගැනීමෙන් පසු සීමිත පිරිසකට පමණක් රාජ්‍ය අංශයේ රැකියා ලබා දී අනෙක් උපාධිධාරීන් අමතක කර දමනවා හැරෙන්නට කළ හැකි වෙන කිසිවක් නොතිබුණි.

උපාධිධාරීන් රජයේ රැකියා සඳහා සීමා නොකර හැකියාවක් හා උනන්දුවක් දක්වන උපාධිධාරීන් රටේ සංවර්ධනයට සෘජුවම දායක කර ගත හැකි ව්‍යවසායකයින් ලෙස ගොඩනැගීම රටේ වත්මන් යහපාලන රජය බලය ලබා ගැනීමේදී උපාධිධාරීන්ට ලබා දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වන්නේ ඔය අතරය.

එම පොරොන්දුවද තවත් කඩවුණු පොරොන්දුවක් වනු ඇතැයි බොහෝ අය සිතුවද 2018 වසර ඉලක්ක කර ගනිමින් පසුගිය වසරේ නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල ඒ සඳහා ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අඩිතාලම දමා තිබුණි.

ඒ අනුව සහන ණය යෝජනා ක්‍රම 16 කින් සමන්විතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය වැඩසටහනෙහි ප්‍රධාන ණය යෝජනා ක්‍රමයක් ලෙස උපාධිධාරීන් සදහා ව්‍යාපාර ආරම්භ කිරීමට පොලී රහිතව ණය ලබා දෙන “ඇරඹුම”ණය යෝජනා ක්‍රමය යෝජනා කෙරුණු අතර අතර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සමාරම්භයත් සමග මෙම සුවිශේෂි ණය යෝජනා ක්‍රමය ද පසුගියදා නිල වශයෙන් ආරම්භ විය.

එහි ඇති විශේෂත්වය වන්නේ උපාධිධාරීන්ට ලබා දෙන ණය මුදල පොලී රහිත ණය මුදලක් ලෙස ලබා දීමය.එනම් ඔවුන්ට ආපසු ගෙවිය යුතු වන්නේ ණය වාරිකය පමණකි. එය ගෙවා අවසන් කරන්නට දෙන උපරිම කාලය වසර හතකි.

කෙසේ වුවත් ණය මුදල වෙනුවෙන් අය විය යුතු 12%ක පොලී මුදල ණය හිමියා වෙනුවෙන් බැංකුවට ගෙවීමේ වගකීම රජය විසින් ඉටු කරනු ලැබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගන්නා ණය සඳහා පොලී සහනාධාර ගෙවීමට රජය විසින් රුපියල් මිලියන 25 ක් 2018 වසර සඳහා වෙන්කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හරහා ක්‍රියාත්මක වන අතර ලංකා බැංකුව හා මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ සහභාගීත්වයෙන් උපාධිධාරීන් සඳහා තමන්ගේම ව්‍යාපාර ගොඩ නගා ගැනීමට අවශ්‍ය මෙම ණය මුදල් ලබා දීම සිදු කෙරේ.

ඒ අනුව, පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් සම්පූර්ණ කර ඇති වයස අවුරුදු 35 ට අඩු උපාධිධාරීන් සඳහා මෙමඟින් ණය ලබා ගත හැක.

“ඇරඹුම”ණය යෝජනා ක්‍රමය යටතේ ණය බලාපොරොත්තු වන උපාධිධාරියකුට ඒ යටතේ ලබා ගත හැකි උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 15කි. (මිලියන 1.5 කි). ණය මුදල් බලාපොරොත්තු වන උපාධිධාරියා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් බැංකුව වෙත ඉදිරිපත් කරන ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපාරයට අදාළ ව්‍යාප්ති වාර්තාව අනුමත වූ පසු ඉල්ලුම් කළ ණය මුදල මෙම මුදල කිසිදු පොලියක් හෝ ඇපකරුවකු හෝ ඇපයක් නොමැතිව ඉතා ඉක්මනින් ලබා දෙන අතර ණය මුදල ආපසු ගෙවීම සදහා වසර හතක කාලයක්ද ලබා දී ඇත.

බැංකු හරහා ණයක් ලබාගැනීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගය වනුයේ බැංකුව විසින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයට ඇප සුරැකුම් සොයා යාමට සිදු වීමයි. එහෙත් “ඇරඹුම”ණය යෝජනා ක්‍රමය යටතේ උපාධිධාරීන් සඳහා ලබාදෙන ව්‍යාපාර ණය සඳහා රජයේ ඇප ආවරණයක් ලබා දෙන බැවින් මූල්‍ය ප්‍රවාහය (Cash Flow) මත පදනම්ව බැංකු විසින් ණය ලබා දිය යුතුය.

මෙහිදී විශේෂයෙන්ම සදහන් කළ යුත්තේ උපාධිධාරීන්ට ව්‍යාපාර ගොඩනැගීම සඳහා මෙම ණය මුදල් ලබා දෙනුයේ ව්‍යාපාරික සැළැස්මේ හා ව්‍යාපාරික අදහසේ ශක්තිමත්භාවය මත වීමයි. එහිදී කෘෂිකර්ම, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය,අධ්‍යාපන,විලාසිතා,කාර්මික නිෂ්පාදන,සංචාරක ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාලව තමන්ගේ ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කළ හැකිය. ණය ලබා ගැනීමේදී ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය, සහ බැංකුවට අවශ්‍ය කරන ව්‍යාපාර පිළිබඳ විස්තර සහිත ලියවිලි මෙන්ම අධ්‍යාපන සුදුසුකම් ආදීය පිළිබඳවද සම්පූර්ණ විස්තර ඉදිරිපත් කළ යුතු වේ.

උපාධිධාරියා ඉදිරිපත් කරන ව්‍යාපාරික සැළැස්ම අධ්‍යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳව සෑහීමකට පත් වේ නම් ලබා දෙන ණය මුදල කොතෙක්ද යන්න බැංකු විසින් තීරණය කරනු ලබන අතර ආරම්භ කෙරෙන ව්‍යාපාරය ගොඩ නැගෙන ආකාරය ණය මුදල ලබා දෙන බැංකුව මගින් නිරන්තරව අධීක්ෂණයට ලක් කෙරේ.

මේ වන විට රජයේ රැකියාවන් හී නිරත උපාධිධාරීන් සදහා ණය යෝජනා ක්‍රමය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් හිමි නොවන අතර පෞද්ගලික අංශයේ හෝ ස්වයං රැකියාවක නිරත උපාධිධාරීන්ට හා රැකියා විරහිත උපාධිධාරීන්ට එහි ප්‍රතිලාභ හිමි කර ගත හැකිය.

ඇරඹුම” සහන ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ණය ලබා ගැනීමට උපාධිධාරීන් බොහෝ පිරිසක් උනන්දුවක් දක්වන බව පෙනේ.මෙහිදී උපාධිඛාරීන් වඩාත් දිරි ගන්වන්නේ අපනයනය ඉලක්ක කර ගත් නිෂ්පාදන වෙතටෙය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළට හැකි සෑම අංශයක් හරහාම අවතීර්ණ වී විදේශ විනිමය ඉපැයීම වඩාත් අවැසි ව තිබෙන වකවානුවක රජය උපාධිදාරීන්ට දිරි දෙන්නේ තම නිර්මාණශීලීත්වය සහ නව දැනුම සහ තාක්ෂණය උපයෝගී කොටගෙන ජාත්‍යන්තරය සමග තරඟ කළ හැකි නිෂ්පාදන ඔවුන් වෙතින් එළිදක්වා ගැනීමටය.

මෙම ණය ලබා දෙන ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් ලෙස පිළිගැනෙන මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සිළුමිණ සමග සදහන් කළේ දැනටත් උපාධිධාරීන් රැසක් ඇරඹුම” සහන ණය යෝජනා ක්‍රමය පිළිබඳව විමසීම් කර ඇති අතර බොහෝ පිරිසක් දැනටමත් මෙම ණය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බවයි. ලංකා බැංකුවෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ මෙම ණය ඉල්ලුම් කිරීමට උපාධිධාරීන් අතර දැඩි උද්‍යෝගයක් පවතින බවයි.

මෙම ඇරඹුම” සහන ණය යෝජනා ක්‍රමයට අදාළ තොරතුරු හා දත්ත පත්‍රිකා අපනයන සංවර්ධන මණඩලයේ 8 වැනි මහලේ අපනයන සේවා අංශයෙන් හා නිල වෙබ් අඩවියෙන් (www.srilankabusiness.com) හෝ පුවත්පත් දැන්වීම් මගින් ලබා ගැනීමට පහසුකම් සළසා තිබේ.

අදහස්