යට වන ලග්ගල වෙනුවට අලුතින් ඉදි වන ‘ලග්ගල’ | සිළුමිණ

යට වන ලග්ගල වෙනුවට අලුතින් ඉදි වන ‘ලග්ගල’

“අපි හිටියෙ නාවුල සිට කිලෝමීටර් 10ක් ඈතින් කරඳමුල්ල කියන ගමේ. ඒ ගමට ඉස්සර කිසිම පහසුකමක් තිබුණේ නැහැ. ළමයින්ට යන්න පාසලක් තිබුණේ නැහැ. ලෙඩට බේත් ගන්න හරි හමන් රෝහලක් තිබුණේ නැහැ.‍ අපේ ඉඩම් ජලාශයට යට වුණ නිසා අපි අලුත් ලග්ගල නගරය අසලට ආවා. මේ අපි පදිංචිව ඉන්න පැත්තේ ඉදි කළ නව ලග්ගල නගරය නිසා අපට රටේ ඉහළ යටිතල පහසුකම් ලැබී තිබෙනවා‍. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පහළ නිම්න සංවර්ධනය යටතේ තමයි අපිට මේ සියලු පහසුකම් ලැබුණේ.

සරලව කීවොත් දැන් අපිට ඉස්සරට වඩා සියයට 200කින් හොඳා” මේ අදහස අපට පැවසුවේ මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදි කළ නව ලග්ගල නගරය අසල පදිංචි ගොවි සංවිධාන සභාපති ඊ.ඇන්. රන්බණ්ඩා මහතායි.

ඒ මහතාට පමණක් නොව මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය යටතේ මාතලේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි පවුල් 3000කට පමණ දැන් මෙරට ප්‍රධාන නගරවල සියලු පහසුකම් සමඟ නව නගරයක උරුමය ලැබී ඇත.

ඒ මාතලේ පැරණි ලග්ගල නගරයට කිලෝමීටර් 6ක් දුරින් දැන් රජය ඉදි කළ නව ලග්ගල නගරයයේ උරුමයයි.

මෙරට වසර 30කට පසු මහවැලි අධිකාරියෙන් ඉදිකරන මහා පරිමාණ මහ නගරය ලෙස නව ලග්ගල නගරය හඳුන්වාදීමට පුළුවන. මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල නගරයට කිලෝමීටර් 20ක් දුරින් පිහිටා ඇති නව ලග්ගල නගරය හා අවට ගම්මානවල මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වූ පවුල් 2000කට අයත් 10000කට ආසන්න ජනතාවක් දැන් පදිංචි වී සිටිති. ඒ අයටත් මේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ටත් නව ලග්ගල නගරයේ සියලු යටිතල පහසුකම් ලැබීමට වාසනාව ලැබී ඇත.

මීට පෙර මෙවැනි මහ නගරයක් ඉදි වූයේ 1988 දී පමණ අවසන්වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බව මහවැලි අධිකාරිය පවසයි.

අක්කර 190ක් පුරා නවීන පහසුකම් ඇතිව නවීන අයුරින් ඉදි වූ නව ලග්ගල නගරය සමඟ ඒ අවට වූ පහළ නිම්න සංවර්ධන කටයුතු සඳහා රජය දැනට අලුත් පොදු පහසුකම් ලබාදෙන නව ගොඩනැඟිලි 345ක් ඉදි කර තිබේ. මේ අතුරින් ප්‍රධානම ගොඩනැගිලි සංකීර්ණය ලග්ගල මහ රෝහලයි. එයට වියදම රුපියල් දස ලක්ෂ 300 කි. වාට්ටු 6ක් එහි ඇත.

මේ ගොඩනැගිලි ඉදි කර ඇත්තේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය පහළ නිම්න සංවර්ධනය යටතේය. පහළ නිම්න සංවර්ධන නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ මහින්ද අමරසූරිය මහතා පැවසුවේ දැනට නව ලග්ගල නගරයත් ඒ අවට තවත් උපනගර හයකුත් පූර්ණ ලෙස ඉදි කර සංවර්ධනය කර ඇති බවයි.

ඒ සියලු නගරවලට ජීවත් වීමට අවශ්‍ය විදුලි බලය, පානීය ජලය පරිපාලන, බැංකු, පාසල් ආදි සියලු පහසුකම් සලසාදී තිබේ‍. ඒ ගොඩනැගිලිවලට හා මහාමාර්ග සංවර්ධනයට රජය දැනට රුපියල් දස ලක්ෂ 3000 ක් පමණ වැය කර ඇති බවද මහින්ද අමරසූරිය මහතා පවසයි.

මේ යටතේ නව ලග්ගල නගරයත් ගුරුවෙල කොට්ඨාස කළමනාකරණ ඒකකයේ නව නගර 3ක් හා වැල්ලේවෙල කොට්ඨාස කළමනාකරණ ඒකකයේ අලුත් ගම්මාන ඒකක 3ක් ද සංවර්ධනය කෙරෙමින් පවතී. මේ අනුව දැනට නව ලග්ගල නගරයේ ගොඩනැඟිලි 105ක් ඉදි කර ඇති අතර‍ අන් සියලු නගරවල නව ගොඩනැඟිලි 241ක් ඉදි කර ජනතාවට පොදු පහසුකම් සලසාදී ඇත.

නව ලග්ගල නගරය මාර්ග කිලෝමීටර් 10ක් කාපට් අතුරා සකස් කෙරෙන අතර ඒ මාර්ගවල සම්පූර්ණ පළල මීටර් 8කි. ඒ සඳහා රුපියල් දසලක්ෂ 486ක් වැය කර ඇති බවත් ලග්ගල නගරයේ සංවර්ධන කටයුතුවලින් දැනට සියයට 95ක් අවසන් බවත් මහින්ද අමරසූරිය මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව සිදු වන මේ අලුත් නගරවල ඉදිකිරීම් හා පොදු පහසුකම්වල ප්‍රතිඵල රටේ මේ වකවානුවේ ඉදි කළ ලොකුම ජලාශ දෙකට ඉඩම් පරිත‍්‍යාග කළ ජනතාවට නොඅඩුව ලබාදීමට මහවැලි අධිකාරිය සිය යුතුකම් දැන් මැනවින් ඉටු කරමින් සිටීම ප්‍රසාදජනක කරුණකි‍.

රටටම පහසුකම් දෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ සැබෑ උරුමක්කාරයන් බව පවසන මේ නැවත පදිංචිකරුවන්ට සලසා ඇති පොදු පහසුකම් මෑතකදී මේ රටේ අලුතින් ඉදි වූ ගම්මානවල නගරවල නොමැති බවත් කිව යුතු ය.

වැල්ලෙවෙල හා ගුරුවෙල නව මහවැලි කොට්ඨාසවල නව පදිංචිකරුවන් වෙනුවෙන් ඉදි වූ ප්‍රධාන නගරය මේ නව ලග්ගල නගරයයි. පැරැණි ලග්ගල නගරය කළුගඟ ජලාශයට යට වන නිසා නව ලග්ගල නගරය ඉදි වූ අතර, එහි පහසුකම් පැරණි ලග්ගල නගරයට වඩා සියයට 500කින් වැඩි බව මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසයි.

අලුත් පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක් සමුපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්, අලුත් මහා විද්‍යාල 3ක් කනිටු විද්‍යාල 2ක් නව රෝහල් සංකීර්ණයක් නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයක්, මහජන පොළක් හා පොදු වෙළෙඳ සංකීර්ණයක්, බස් නැවතුම් පළක් නව ලග්ගලට දැන් ලැබී ඇත. ඊට අමතරව ප්‍රධාන තැපැල් කාර්යාලයක් සහ නව බැංකු හා මූල්‍ය ආයතන රැසක් නව ලග්ගල නගරය වෙනුවෙන් ඉදි වී අවසන් බව ව්‍යාපෘති අධ්‍යක්ෂ විජේරත්න මහතා පවසයි.

නව ලග්ගලට අමතරව වැල්ලේවෙල හා ගුරුවෙල ප්‍රදේශවලද දැන් නව උප ගර ඉදිවෙමින් පවතී. ඒවාට ද පොදු පහසුකම් රැසක් ලැබී ඇත.

මේ නව ලග්ගල වැල්ලෙවෙල හා ගුරුවෙල ප්‍රදේශවල නව නගර ඉඳි වීමත් සමඟ ඒ ප්‍රදේශවල පදිංචි කළ ජනතාවගේ කෘෂිකාර්මික පහසුකම් සඳහා නව වැව් 15ක් ද ඉදිකර තිබේ. මේ ප්‍රදේශවල පදිංචි වන ජනතාවට කෘෂි උපදෙස්, පැළ, බිත්තර වී හා කෘෂි උපකරණ නොමිලේ සපයා ඇත.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබාදී තිබේ. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෞද්ගලිකව අවධානය යොමු කොට තිබේ. ඒ අනුව ලැබී ඇති ඒ මුදල රුපියල් කෝටි 1100ට අධිකය. ඔවුන්ගේ දේපොළ සඳහා වර්තමාන වෙළෙඳපොළ වටිනාකම මත පදනම්වද ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා ප්‍රතිෂ්ඨාපන (නැවත ගොඩනැඟීම) වියදම් මත පදනම්වද ගණනය කිරීම සිදු කරයි.

එමෙන් ම එලෙස වන්දි ගෙවා අත්පත් කරගනු ලැබූ දේපළවල ඇති ගස් සහ නිවාසවල ඉවත් කරගත හැකි සියලු දෑ කිසිදු අය කරගැනීමකින් තොරව නැවත ඉඩම් හිමියා වෙත දෙනු ලබයි‍. එම ද්‍රව්‍ය නැවත පදිංචි කිරීම ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ව්‍යාපෘතිය මඟින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසන ලදී.

දේපළ වන්දිවලට අමතරව මෙම ප්‍රජාව නැවත පදිංචි කිරීමේ දී සෑම පවුලක් සඳහා ම අක්කර ½ ක ගෙවතු ඉඩමක් සහ අක්කර 1 ½ ක කුඹුරු ඉඩමක් ද ව්‍යාපෘතිය මඟින් ලබා දේ. මෙලෙස ඉඩම් ලබාදීමේ දී ඔවුන් පෙර භුක්ති විඳි ඉඩම් ප්‍රමාණය සැලකිල්ලට නොගන්නා අතර පදිංචිය අහිමි වන සෑම පවුලක් සඳහා ම ඉඩම් හිමි වේ. ඒ යටතේ ඉඩම් හෝ නිවාස හිමිකම නොතිබූ දෙමාපියන්ගේ නිවෙස්වල පදිංචි වී සිටි සෑම අනුපවුලක් සඳහා ම ඉහත ඉඩම් ප්‍රමාණයන් හිමි වේ.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශ දෙකෙහිම බලපෑම හේතුවෙන් නැවත පදිංචි කරනු ලබන ප්‍රජාව සඳහා සේවා සැපයීමට සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නගරයක් ලෙස නව ලග්ගල නගරය ඉදි කර ඇත. එහි සංස්කෘතික මධ්‍යස්ථානයක්ද ඉදි කිරීමට සැලසුම් කර ඇත. නව ලග්ගල නගරයට දැන් රාජ්‍ය බැංකුවලට අයත් අලුත් බැංකු ශාඛා ද ලැබී ඇත. ඒ සමඟම ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම්ද ලැබී තිබීම විශේෂත්වයකි.

නව ලග්ගල නගරයේද ඒ අවට අලුතින් ඇති කළ නව ඒකක හයක නැත්නම් නව ගම්මාන හයේ කෘෂිකාර්මික හා පොදු යටිතල පහසුකම් සංවර්ධනයද මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව ඒ ගම්මානවල අලුත් වැව් 15ක් ඉදි කරමින් පවතී. දැනටමත් 11ක් ඉදිකර අවසන්ය. කුඹුරුවලට ජලය ලබාදීමට ප්‍රධාන ඇළ කිලෝ මීටර් 22ක්, බෙදුම් ඇළ කිලෝමීටර් 40ක් හා කෙත් ඇළ කිලෝමීටර් 140ක් ඉදි කර ජනතාවට බාරදී ඇත. ඊට අමතරව අනුනගරවල ප්‍රධාන මාර්ග කිලෝමීටර් 45ක් හා අතුරු මාර්ග කිලෝමීටර් 45ක් ද මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය අනුබද්ධ පහළ නිම්න සංවර්ධන වැඩසටහන මඟින්ද සකස් කර තිබේ.

නව ලග්ගල හා වැල්ලෙවෙල ගුරුවෙල ප්‍රදේශවල අලුතින් පදිංචි වූ ජනතාව වැඩිම පිරිසක් දැන් පවසන්නේ තමන්ට හිටියාට වඩා ඉහළ ජීවන මට්ටමක් දැන් ලැබී ඇති බවයි.

ගුරුවෙලදී අපට හමු වූ ජේ.ඒ.එන්.පී. මුතුතන්ත්‍රී මහත්මිය පැවසුවේ තම ජීවිතය මේ අලුත් පදිංචි කිරීමත් සමඟ අලුත් වෙනසකට ලක් වූ බවයි. “ඉස්සර අපිට මේ පහසුකම් තිබුණේ නැහැ. බේත් ටිකක් ගන්නවත් හරියට රෝහලක් තිබුණේ නැහැ. දැන් ඒ පහසුකම් තිබෙනවා. ඒ විතරක් නොවේ‍. ප්‍රධාන නගරවල ඇති ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම් පවා අපට තිබෙනවා. අපට දැන් ඉස්සරට වඩා හුඟක් හොඳයි” ඇය පැවසීය.

සේයාරුව - විමල් කරුණාතිලක

අදහස්