මගේ ජීවිතේ හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබූ විශිෂ්ටතම මාධ්‍යවේදියා | සිළුමිණ

මගේ ජීවිතේ හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබූ විශිෂ්ටතම මාධ්‍යවේදියා

මම ජීවිතේ කිසි දවසක අවමඟුල් උත්සවයක කතා කරලා නෑ. මගේ සිංහල, චාමර ලක්ශාන්ගේ සිංහල තරම් ලස්සනත් නෑ. ඒ නිසා මම සිංහලෙන් කතාවක් කරනවානම් හැමදාම ඒ කතාව ලීව්වේ චාමර.

මට මේ කතාව ලියලා දෙන්න අද චාමර අප අතර නෑ.

චාමර නොලියා මම කරන පළමු සිංහල කතාව මේක..!

ජීවිතේ අපේක්ෂා කරන දේවල් තිබෙනවා.අපේක්ෂා නොකරන දේවල් තිබෙනවා.ඒ අතර 'කිසිසේත්ම අපේක්ෂා නොකරන' දේවලුත් තිබෙනවා.

ඇහැක් ඇහැක් ගානේ කඳුළු පුරවගෙන,දරාගන්න බැරි තරම් සුසුම් හිරකරගෙන අපි ඉන්නේ කිසිසේත්ම අපේක්ෂා නොකළ දේට මුහුණ දෙන්න බැරිවයි.

අවුරුදු පහ‍ෙළවකට කිට්ටු කාලයක් කියන්නේ චාමරගේ ජීවිතයෙන් ලොකු කාලයක්.එහෙම කාලයක් අපි දෙදෙනා අතිශය සමීපව කටයුතු කළා.

එකට ගමනක් යන්න ඔරුවට ගොඩවුණ සගයා අතරමඟදී නතරවීම දරාගන්න බැරි වේදනාවක්.

චාමර ලක්ෂාන් කියන්නේ මගේ ජීවිතේ මට හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබුණ විශිෂ්ටතම මාධ්‍යවේදියා. ඊටත් වඩා සහෝදරත්වයෙන් පිරුණු හදවතට සමීපතම මිත්‍රයෙක්. අවුරුදු 39ක් තුළ ඔහු පෙන්වූ අසීමිත දක්ෂතා අප විමතියට පත් කළා.

ලෝකෙට මිනිස්සු කෝටි ගනං බිහිවෙනවා. ඒත් සුවිශේෂී මිනිස්සු බිහි වෙන්නේ කලාතුරකින්. ඔහු දෙමාපියන්ට අප්‍රමාණ ව ආදරය කළා. බිරිඳට, පුතාට අසීමිතව ආදරය කළා. කොහේ හිටියත් ඔහුට ඕන වුණේ 'ඉක්මනින්ම ගෙදර' යන්න. මේ වගේ රටක් වටින පුතෙක් බිහි කරපු ආදරණීය අම්මටයි, තාත්තටයි බොහොම පිං.ඒ වගේම චාමරගේ දයාබර බිරිඳ චාමරට විශාල ශක්තියක් වුණා. පුංචි පුතා චාමරට ආඩම්බරයක් වුණා.

අද චාමර ගැන රටම කතා කරනවා. චාමර ලක්ෂාන් කියන්නේ රටකට ජාතියකට පාර කියා දුන්න මඟ පෙන්වන්නෙක්.

ඒ නිසා මේ ආදරණීය දෙමාපියන්ට, චාමරගේ දයාබර බිරිඳට, පුංචි පුතාට ඔහු ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

ඔහු අත තැබූ හැම කාර්යයක්ම සාර්ථකව ඉටු කළා. දිනෙන් දින විශාල ජයග්‍රහණ ලබා ගත්තා. ඒ සියල්ල වෙනුවෙන් ඔහු පෞද්ගලිකව අප්‍රමාණව කැපවුණා. ඒ ජයග්‍රහණවල ප්‍රතිඵල ලැබුණේ අප හැමෝටමයි.

ඔහු ලියපු හැම අකුරක්ම ලීවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, යුක්තිය සාධාරණත්වය, සහජීවනය වෙනුවෙන්. ඔහුට තිබූ අභීත මාධ්‍ය භාවිතය බොහෝ දෙනෙකුට විශාල පාඩම් කියා දුන්නා.

චාමරගෙන් අපි හැමෝටම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.මේ කෙටි කාලෙදි ඔහු ලබා ගත්ත අදහන්න බැරි තරමේ ජයග්‍රහන ඔහු උපේක්ෂාවෙන් දරා ගත්තා. මේ ගමනට ආශිර්වාද කරපු, ආශිර්වාද නොකරපු කාටත් චාමර එක වගේම හිනා වුණා.

අපෙන් රටට වෙන්න ඕන මොනවද කියලා හිතනවා වෙනුවට සමහරු හිතන්නේ අද කාටද කේලාම් කියන්නේ.. අද කාටද කරදරයක් කරන්නේ.. වගේ දේවල්.

චාමර අපිට කියා දුන්නේ, පුළුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදවු කරන්න..ලෝකයා මොන දේ කළත්, කීවත් ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න කියන පණිවිඩයයි.

චාමර කවදාවත් මගෙන් පෞද්ගලිකව උපකාරයක් ඉල්ලලා නෑ. හැබැයි එකම එක උදවුවක් එයා මගෙන් ඉල්ලලා තියෙනවා. ඒ තමයි එයාගේ පාසලට උදවු කරන්න කියන එක. ඒක එයා හැමදාම කළා.මිනිස්සු ඉන්නවා, රටම හඳුනාගෙන හිටියත් ගමේ කවුරුත් එක්ක සම්බන්ධතා නෑ. ඒත් චාමරට ගමෙත් හැමෝම ආදරේ කළා.

ගමේ ඔබට අහිමි වුණේ පත්තර කලාව දික් විජය කළ මනුස්සයෙක්. රටට අහිමි වුණේ පිරිපුන් මාධ්‍ය භාවිතයකින් සහ දැනුමින් සන්නද්ධ ප්‍රතිභාවක් තිබ්බ මාධ්‍යවේදියෙක්. මට අහිමි වුණේ ජීවිතයේ වඩාත්ම සමීපව හිටපු සහෝදරයෙක්. මිත්‍රයෙක්.!

උදේ පාන්දර චාමර මගේ ඔෆීස් එකට එන්නේ ජීවිතේට අමතක කරන්න බැරි හිනාවක් අරගෙන. චාමරට කතා කරන්න මාතෘකා ඕන තරම් තිබුණා. ඒ තරමට ඔහු ඇසූ පිරූ තැන් වලින් පිරුණ මනුස්සයෙක්.

'වඩා අපහසු උඩුගම් බලා පිහිනීම'බව විශ්වාස කළ චාමර ඒ අපහසු ගමන මහා ශක්තියකින් ගමන් කළා..' පියවර දහස් ගණනක් එක් පියවරකින් ඇරඹෙන බව' අදහපු චාමර ඒ ගමන ශක්තිමත් දෙපා තබාගෙන ආරම්භ කළා. වඩාත් 'බර'කටහඬක් වගේම උස මහත දේහයක් තිබුණත් චාමර ඊට යටින් නඩත්තු කළේ 'අදහාගත නොහැකි තරම් 'සංවේදී'හදවතක්.

ලෝකයේ විශිෂ්ට මිනිස්සු ඉක්මනින්ම ජීවන චාරිකාව නිමා කළා. ලංකාවෙත් එහෙමයි. දෛවය පැවරූ ඓතිහාසික කාර්යය ඉටුකරන ඒ විශිෂ්ට මිනිස්සු නික්ම යන්නේ උහුලාගන්නට බැරි තරම් වේදනාවක් හදවතට එක් කරමින්. චාමරත් එහෙම නික්ම යන්න තීරණය කළ දුර්ලභ මිනිසෙක්.

චාමර එයා ජීවත් වූ අවුරුදු 39ට, අවුරුදු සීයක වැඩ කළා. ඔහු තව වසර 30ක් ජීවත් වුණා නම් මොනතරම් වැඩ කරාවිද?

එහෙත්, ඔහු ඔහුට පැවරුණු කාර්යය උපරිමවම ඉටු කළා. ජීවිතය අනියත බව සනාතන දහමක්. ඉපදීම වගේම මරණයත් පොදු ධර්මතාවයක්. ඒක අපි හැමෝම දන්නවා. වඩා වටින්නේ ජීවත්වන කාලයේ අපි කරන කියන දේවල්. ඒ අතින් චාමර ලක්ෂාන් මේ කෙටි ජීවිත කාලයේ, වසර සිය ගණනක් පවතින වැඩ කොටසක් ඉටු කළා. ඒ නිසා චාමර නික්ම ගියේ ඔහුට පැවරුණු කාර්යය සිය ගුණයකින් ඉටු කරල. ඒ ආඩම්බරය මේ දෙමාපියන්ට,පවුලට,ගමට වගේම මුළු රටටම තිබෙනවා.

අපි කාටවත් අදහගන්න බැරි වෙච්ච මේ විපත වෙලාවේ චාමර ලක්ශාන්ගේ ආදරණීය මෑණීයන් මට කතා කළා. ඇය එකම එක ඉල්ලීමක් කලා.

'මගේ පුතා රැසට පුදුමාකාර ආදරයක් තිබ්බේ.එයාගේ හුස්ම තරමටම එයා රැසට ආදරේ කළා. මගේ පුතාට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි රැස හැමදාම සාර්ථකව පවත්වාගෙන යෑම.'

මේ හැඟීම්බර මොහොතෙත් ඒ අම්මගේ ප්‍රාර්ථනාව, චාමරගේ සිහිනය ආරක්ෂා කිරීම අපෙත් ප්‍රාර්ථනාව බව කියන්නම ඕන.

චාමර පුදුමාකාර ආදරයකින්, මහන්සියකින් ගොඩනැඟූ 'රැස' අද වෙනකොට රටක් කතා කරන පුවත්පතක් වෙලා ඉවරයි. ඒ චාමරගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල. අපි ඔහු අරගෙන ආව 'රැස'ධජය ඔහු වෙනුවෙන් රැකබලාගෙන පෙරට ගෙන යන බවට පොරොන්දු වෙනවා.

චාමරට ලොකූ සිහින තිබුණේ නෑ. ඒත් ඔහු ඔහුගේ ඉලක්ක වෙත කාටවත් කරදරයක් නැතිව ගමන් කළා. පුවත්පත් මහගෙදර 'සිළුමිණ'කතෘවරයා දක්වා ඔහු ආව ගමන ඊට හොඳම සාක්ෂිය වෙනවා.

ඔහු අභියෝග භාර ගත්තා.ඒ අභියෝග ජයග්‍රහණය කළා.

රැස පුවත්පත හරහා ලොකු ලකුණක් තියපු චාමර සිළුමිණ භාර අරගෙන විප්ලවීය පෙරළියක් කළා. අඩියට වැටී තිබුණු 'සිළුමිණ'අදහාගන්න බැරි තරම් ඉහළට ඔසවා තිබ්බා. ඒක ඔහු කළේ මාසයක් ඇතුළත.

'විප්ලව සිදු කරන්නට ආයුධ වුවමනා නෑ' කියන කතාව චාමර ඔප්පු කළා.

'යෑම සහ ඒම'ජීවන දහම බව ඇත්ත. එහෙත් මෙතරම් අනපේක්ෂිතව නික්ම යෑම අදහාගන්නේ කොහොමද?.ඔබ හැමදාම තීරණ ගන්නකොට මගෙන් විමසා සිටියා.ඒත් මේ තීරණය ඔබ කාටවත් නොකියාම ගත්තා.. හැමදේම කැප කරලා වුණත් තියා ගන්න තිබුණා නම් ඔබ තියා ගන්නවා.ඒත් එහෙම ඉඩක්වත් ඉතිරි නොකරම ඔබ තීන්දුව අරගෙන.

මහා කවි ශේක්ස්පියර් මෙලෙස පවසා තිබෙනවා..

සුවසේ නිදන්න දයාබර කුමරුනි,
දෙවඟනන් ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!!!
මගේ ආදරණීය සොයුරු චාමර, ඔබ දෙව්ලොවදීත් සියල්ල හරියටම කරන බව මට විශ්වාසයි.

ඔබට නිවන් සුවයම ලැබේවා..

අදහස්