කවියෙන් හොඳින් ම මතු කරන්න පුළුවන් විරහවයි | සිළුමිණ

කවියෙන් හොඳින් ම මතු කරන්න පුළුවන් විරහවයි

'ස්වප්නයක සමාප්තිය' සංජීවනී අමුණුගමගේ කුලුදුල් කාව්‍ය නිර්මාණයයි. තමා අත්විඳින හෝ තවත් පුද්ගලයකුගේ අත්දැකීම් තමන්ට දැනෙන ආකාරය ප්‍රකාශ කළ හැකි පහසු ම මාධ්‍යය ලෙස ඇය කවිය තෝරාගෙන තිබිණි. එහිදී ඇය උත්සාහ කළේ ප්‍රමාණාත්මකව ගොඩ ගැසීමකට වඩා සහෘදය පාඨකයාට දැනෙන්න යමක් ලිවිමටයි. විවිධ ඉසව් ස්පර්ශ කර ලියැවුණු නිර්මාණ ඇයගේ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ය.

 ඔබේ කුලුඳුල් කාව්‍ය නිර්මාණය වන 'ස්වප්නයක සමාප්තිය' පිළිබඳ කථා කළොත්?

මගේ ජීවිතේ තිබුණ ලොකුම සිහිනය පොතක් ලිවීම. ඒ නිසාම මා ඒ ස්වප්නය යථාර්ථයක් බවට පත් කරගත්තා. ජීවිතේ සාක්ෂාත් කරගන්න ඉතුරු වෙලා තිබුණ එකම දේ 'පොතක් ලියන්න' විතරයි. ඒක පස්සෙ ආසාවක් වුණා. එහෙත් කැමැත්ත තිබූ පමණින් මොකක් ‍ හෝ නිර්මාණයක් දෙන්න බැහැ. ඉතින් බොහෝ කාලයක් අධ්‍යයනයෙන්, හැදෑරීමෙන් උක්ත කරුණ සාක්ෂාත් කරගන්න මට සුදුසුයි කියලා තෝරාගත් මාධ්‍යය වුණේ කවිය. එයට තවත් උත්තේජනයක් එකතු කළේ මගේ හිතෛෂීන්. පොත් සාප්පුවකට ගොඩ වන හැම මොහොතකම ම‍ගේ නිර්මාණයක් ගැන මම වගේම මගේ පවුලේ අයත් මතුරපු කරුණක් මගේ නිර්මාණයක් එළිදකින දවස පිළිබඳව. ඇතැම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ කෘතියක් මගේ ජීවිතේ නිර්මාණ කාර්යයට ගාමක බලය සැපැයුවා කිව්වොත් නිවැරදි. ඒ සුබ සිහිනයේ කූටප්‍රාප්තියයි 'ස්වප්නයක සමාප්තිය' නම් කාව්‍ය නිර්මාණ කෘතිය. කවිය සමග දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් මගේ මේ කුලුඳුල් කවි හීනය එළිදකින්නේ.

මෙහි අන්තර්ගත කාව්‍ය සඳහා ඔබ තෝරාගත් වස්තු විෂයයන් සපයාගත්තේ කෙබඳු ආකාරයටද?

අත්දැකීම්. මම හිතන්නෙ ප්‍රධානම දේ ඒක. අධ්‍යයනයෙන්, පොතපත පරිශීලනයෙන් ප්‍රාමාණික දැනුමක් සපයාගන්න පුළුවන්. එහෙත් කවියක ජීවගුණය රැඳී තියෙන්න, පාඨක හදවත් ගැඹුරින් ස්පර්ශ කරන්න නම් කවියෙකු අත්දැකීම් නමැති භුමියෙ සැරිය යුතුයි. තමා විඳි එනම් පෞද්ගලික ආනුභූතික අත්දැකීමක් නම්, කවියකට නැ‍ඟෙන්නේ නිරායාසයෙන්. ඒ වගේම තවෙකකුගේ එනම් සමාජානුභූතික අත්දැකීමක් තමන්ගේ කරගත් විට ඇති වෙන සංවේදනාවන් ඔස්සෙ ඒ අත්දැකීම් තුළත් මා වස්තු විෂයයන් සකසාගන්නවා. ඒක පුද්ගලයකුට වෙන්න පුළුවන්, පාරිසරික සංසිද්ධියක්, අජීව වස්තුවක් වන්නත් පුළුවන්. අනිත් දේ පරිකල්පනය. ඒ ලැබුණු වස්තු විෂයන්ට නව උපමා-රූපක අන්තර්ගත කරමින් භාෂාව තුළ සැඟවුණු අරුත් එළි කරගත හැකි ලෙස වස්තු විෂයයන් තවත් හැඩ කරගන්නවා.

ඔබ මේ කාව්‍ය කෘතියෙහි එකිනෙකට වෙනස් ශෛලීන් භාවිත කර තිබෙනවා‍...

හුඟක් වෙලාවට මා උත්සාහ කරනවා විවිධ ඉසවු ස්පර්ශ කරන්න; නිදහසේ අත්හදා බැලීම් කරන්න. ඒත් කවියට හානියක් නොවන ආකාරයටයි. ඒ ඔස්සේ විඳින්නාට හිතන්න යමක් ඉතිරි කරන්න. නිර්මාණය නිමවා නිහඬව නොඉඳ, ඔවුන් සමඟ සහසම්බන්ධ වන්න. නිර්මාණකරණයේ නියැළෙන ඕනැම පුද්ගලයකුට සමාජයෙන් වියුක්ත වෙන්න බෑ. එසේ නොවෙන්න නම් අපි එකම රාමුවකට කොටු නොවී විවිධත්වයෙන් යුතු නිර්මාණ එළිදැක්විය යුතුයි. එකම ආරක ලියවිල්ලක් එක දිගට විඳින්නෙ නෑ, කියවාගෙන යනවා පමණයි. සාමාන්‍යයෙන් මම දකින දේම වෙනස් ඇහැකින් දකින්න, ඒක විවිධ හැඩතලවලට අනුගත කරන්න දරන උත්සාහයෙදියි ඒවැනි විවිධ ශෛලියේ නිර්මාණ බිහි වන්නේ.

ඔබ විරහව පිළිබඳ වඩාත් කතා කරන්නට පෙලඹී තිබෙනවා. එයට පාදක වූ සුවිශේෂ කරුණක් තිබෙනවාද?

ප්‍රේමය, ආදරය සියල්ල විඳින අවස්ථාවලදීත් අප විප්‍රයෝගය පිළිබඳ සිහින මවමින් විරහවට ප්‍රේම කරනවා. එය මිනිසුන්ගේ ගතිස්වභාවයක්. මටත් ඒක පොදුයි. මිනිසුන් ජීවත් වනවා කියන්නෙයි, ජීවිතේ ගෙවා දානවා කියන්නෙයි දෙකක්. ලැබුණු ජීවිතේ ගෙවා දාන්න කුසට අහරක්, ජලය, හිසට වහලක්, විළි වහගන්න ඇඳුමක් තිබුණොත් ප්‍රමාණවත්. ඒත් ජීවත් වන්න ප්‍රේමය අත්‍යවශ්‍ය දෙයක්. ජීවත් වන විට අප ප්‍රේමයේ විවිධ අවධි පහු කරනවා. ඒ එක් එක් අවධිවලදි අපිට විප්‍රයෝගී අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මවුපිය අත්වැල මඳකට මුදා හැරලා අපි පාසලට යනවා. විප්‍රයෝගී සංවේදනයක්. ළඟින් සිට, මොහොකට හෝ වෙන් වීමෙන් දැනෙන්නේ විරහවක්; ‍ළඟින් සිටිනවාට වඩා වෙනස් හැඟීමක්. ඒ මොහොතකින් දැනෙන වෙනස් හැඟීම් සමුදාය මා විග්‍රහ කරන්න උත්සාහ කළා. ප්‍රේමයට වඩා විප්‍රයෝගයේදි, වැඩි සිතුවිලි සමුදායක් අපේ හිත් ඇතුළේ කැකෑරෙනවා. ප්‍රේම කරන, ප්‍රේමය විඳින කවියකුට එක විරහී සංවේදනයක් ඇති කවියක උපතට. මට හිතෙන්නෙ වඩාත් රහට වචනවලට නතු වන්නේ කවිය. කවියෙන් හොඳින් මතු කරන්න පුළුවන් විහරව. මම හිතන්නෙ මටත් ඒක පොදු වෙන්න ඇති.

වර්තමාන කවිය ඕලාරික ගමනක යන බව පෙනෙන බවත්, හොඳ කාව්‍ය නිර්මාණ බිහි වන්නේ අල්ප වශයෙන් බවත් ඇතැමකුගේ අදහස වී තිබෙනවා. එයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මට නම් හිතෙන්නේ නූතනයේ නව කවියේ සන්ධිස්ථාන බොහොමයක් තිබෙන බවයි‍. ඒත් එවැනි නිර්මාණ ජනතාව අතරට යන්නෙ අල්ප වශයෙන්. ප්‍රශස්ත මට්ටමේ කවි ලියන කවිකිවිඳියන් අප අතර ඉන්නවා. හැබැයි ඔවුන්ගේ නිර්මාණ ජනගත වීම මන්දගාමියි. එසේත් නැත් තම් ජනතාව අතරට යෑමක් සිද්ධ වෙන්නෙම නෑ, හුදෙකලා වෙලා. ඉහළින්ම ඇගයීමට ලක් කළ හැකි, සංවාදයට බඳුන් විය යුතු හැංගුණු නිර්මාණ බොහොමයක් තිබෙනවා. ඒවා ජනතාව අතරට ගෙන යා හැකි නම් ඔවුන් ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන කතා කළ හැකි නම්, ඉහත කාරණය අපට වෙනස් කළ හැකියි කියලයි මට හැඟෙන්නෙ.

අද කවියට නිසි ඇගයීමක් තිබෙනවාද?

මට හිතෙන්නෙ අද වන විට කවිය යම් තාක් දුරට සුභවාදි තැනක තිබෙනවා. නව පරපුරේ කවීන් සම්මානයෙන් පිදුම් ලබනවා. සමහර නව නිර්මාණ සංවාදයට ලක් කරනවා. එවැනි ප්‍රවීණයන් අතළොස්සක් නූතන කවියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් මෙහෙවරක් ඉටු කරමින් ඉන්නවා. හැබැයි එය ප්‍රමාණවත් මදි බවයි මගේ හැඟීම.

 

අදහස්