පහර දීම ගැන පරීක්ෂණ කරන නිලධාරීන් ගැන සතුටුයි | සිළුමිණ

පහර දීම ගැන පරීක්ෂණ කරන නිලධාරීන් ගැන සතුටුයි

 ‘සිළුමිණ’ කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවයට පෙර මෙහෙයවූ අවසන් සම්මුඛ සාකච්ඡාව

ප්‍රවීණ පුවත්පත් කතුවර උපාලි තෙන්නකොන් මහතා දැන් ඇමෙරිකාව් ජීවත් වෙයි. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට දින කිහිපයකට පැමිණියේය. ඒ අතරේ පසුගිය ජූනි 21දා ඔහු ලේක්හවුස් ආයතනයටද ගොඩ වැදුණේය. තෙන්නකෝන් මහතා මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ලේක්හවුසියෙනි. උපාලි පුවත් පත් සමාගම දිවයින පුවත් පත ආරම්භ කරද්දී ඊට සම්බන්ධ වූ උපාලි තෙන්නකෝන් මහතා එහි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. දිවයිනෙන් ඉවත් වන තෙන්නකොන් මහතා රිචඩ් පීරිස් සමූහය විසින් ආරම්භ කරන ලද රිවිර පුවත් පතේ ආරම්භක කර්තෘවරයා විය. පසුගියදා අප අතරින් වෙන්වූ සිළුමිණ සහ රැස පුවත්පත්වල කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ මාධ්‍ය ජීවිතය ඔපවත් කළ තැනක් වන්නේ රිවිර පුවත් පතයි. එදා මාධ්‍ය‍ෙව්දියකු ලෙස රිවිර ට එක් වී කෙටි කලක් තුළ පුවත් පත් අඹරේ තරුවක් වූ චාමර ලක්ෂාන් මහතා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවෙහි අති දක්ෂයෙක් විය.

උපාලි තෙන්නකෝන් මහතා පසුගියදා ලේකහවුසියට ගොඩ වැදුණු වෙලාවෙහි කෙටි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර එය මෙහෙයවූයේ චාමර ලක්ෂාන් මහතාය. එහෙත් දෛවය එය ඔහුට මෙම සාකච්ඡාව අකුරු බවට පත් කරන්නට ඉඩ දුන්නේ නැත. බොහෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ චාමර අවසන් වරට මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාව වන්නේ ඔහුගේ මාධ්‍ය ගුරෙකු වන උපාලි තෙන්නකෝන් මහතාගේ සම්මුඛ සාකච්ඡාවයි. පටිගත කළ මෙම සාකච්ඡාව අපි මෙසේ පළ කරමු.

ප්‍රශ්නය - ඔබ ඇමෙරිකාව් ‍ ගෙවන ජීවිතය ගැන සඳහන් කළොත්?

පිළිතුර - මම බිරිඳ සහ දරුවා එකක් ජීවත් වෙන්නේ ඇමෙරිකා‍වේ. එහෙ මෑතක් වන තෙක් යම් රැකියාවක් කළා. එය මාධ්‍යයට සම්බන්ධ එකකුත් ‍ නොවෙයි. ඒ වගේම ලොකු තනතුරකුත් නෙවෙයි. මේ රැකියාව අතරේ අපි පොඩිවට ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ අන්තර්ජාලයේ වෙළෙඳාම් කරන www.velenda.com නමින් වෙබ් අඩවියක්. එයින් අපි මේ රටේ ව්‍යාපාරිකයන්ටත් තමන්ගේ භාණ්ඩ ඇමෙරිකාවේ වෙළෙඳපොළට ඉඩක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ කටයුත්තට මම අත ගැසුවේ ඇමෙරිකාවෙම ජීවත් වන මගේ බාල සොහොයුරාත් එක්ක.

ප්‍රශ්නය - ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් ඈත අමෙරිකාවේ ගත කරන ජීවිතය ගැන තෘප්තිමත්ද?

පිළිතුර - දැන් නම් මම ගෙවන්නේ තෘප්තිමත් ජීවිතයක්. මොකද ලංකාවට සාපෙක්ෂව එහෙ තියෙන පහසුකම් ජීවන තත්ත්වය එක්ක ආදිය එක්ක මට එහෙ තිබෙන නිදහස එක්ක පවුලේ අයත් සමඟ සතුටින් ජීවත් වෙනවා.

ප්‍රශ්නය - ඔබට රටින් යන්න සිදුවුණු මැර ප්‍රහාරය ගැන තවමත් මතකය දෝංකාර දෙනවද?

පිළිතුර - ඔව්. ඒ ගැන මතකය එහෙමම තිබෙනවා. මට අදටත් තිබෙන ප්‍රශ්නය මම ඇයි ඒ වගේ බියකරු අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන්නේ කියන එකයි.

ප්‍රශ්නය - මේ සිදුවීම පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ පවා තොරොම්බල් වුණා. මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් ඒවායේ ප්‍රගතිය ගැන සෑහීමකට පත් වෙනවද

පිළිතුර - මුලින් මට සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. නමුත් පස්සේ ඒ ගැන පරීක්ෂණ කටයුතු කළ රහස් පොසියේ නිලධාරීන් මට හම්බ වුණා. ඔවුන් සමඟ කටයුතු කළා. හඳුනා ගැනීමේ පෙරෙට්ටු දෙකකට මම සහභාගී වුණා. ඒ අය කටයුතු කරන ආකාර‍යෙන් මට විශ්වාසයක් ඇති වුණා. ඒගොල්ලෝ හරි දේ කරනවා. ඒ අය නතර නොවන ගමනක මේ පරීක්ෂණ ගෙන යනවා.

ප්‍රශ්නය - ඔබතුමාට පහර දීම තවමත් ප්‍රහේලිකාවක්. ඔබේ මාධ්‍ය භාවිතයත් බොහොම සමබර එකක්. ඔබතුමාට සතුරෝ පේන්න හිටියෙත් නෑ. ඇත්තටම මොකක්ද මේ ගැන ඔබට කියන්න තියෙන්නේ?

පිළිතුර - මේ ගැන මට පේන හේතු දෙකක් තියෙනවා. ඒ ළඟදී එනම් 2009 වසරේ ජනවාරි 08 වැනිදා සිදුවුණු සිදුවීමක්. ඒ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය.

මෙම සිදුවීම වුණේ ඊට දවස් කිහිපයකට පස්සේ. මේ සිදුවීමත් එක්ක අපි පුවත්පත්වල එකල පැවැති රජයට හා නායකයින්ට විරුද්ධව කතාකරපු දේවල් කිහිපයක් තිබුණා. මෙම පහර දීමට එරෙහිව අපි කරපු ප්‍රකාශ සමහර විට හේතු වෙන්න ඇති කියල හිතනවා. දෙවැනි හේතුව හැටියට මම විශ්වාස කරන්නේ පුවත් පතට ලියූ එක්තරා පුවතක් පළ නොකර සිටීම. එයත් ආරක්ෂක අංශය සම්බන්ධ පුවතක්. ඒකත් මේ ප්‍රහාරයට හේතුවක් වෙන්න ඇති කියල හිතනවා.

ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් සිදුවෙන පරීක්ෂණ කටයුතුවලදී ඔය කියන කාරණා දෙක ගැනත් සොය බැලීමක් සිදුවෙලා තිබෙනවාද?

පිළිතුර - ඔව්. මේ කාරණා දෙක සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතුවලදී අවධානය යොමුවුණා.

ප්‍රශ්නය - මේ පර්යේෂණවලින් යම් සාධාරණයක් සිදුවෙලා තිබෙනව කියල විශ්වාස කරනවාද?

පිළිතුර - ඒ ගැන තාම මට කියන්න බැහැ. නමුත් මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකරන අය ඒ කාර්යය බොහොම හොඳින් සිදු කරන බව පේනවා. ඔවුන් ගැන මට විශ්වාසයක් තිබෙනවා ඒ නිසා ඉදිරියේදී සාධාරණයක් වේ යයි විශ්වාස කරනවා.

ප්‍රශ්නය - ඔබ ඇමෙරිකාවේ හිටියත් ලංකාව ගැන අවදියෙන් ඉන්නේ. මොකක්ද ඔබ හිතන්නේ ලංකාවේ මාධ්‍ය ගැන?

පිළිතුර - ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ යම් ඛේදවාචකයක් තිබෙන කියල මටත් හිතනවා. එහි ගුණාත්මක බවේ සහ ප්‍රගතියේ යම් බිඳ වැටීමක් පේනවා. මේ තත්ත්වයට හේතුව කුමක්ද කියල මම දන්ෙන් නැහැ. නමුත් පුවත් පතක් ගත්තාම එය සංකීර්ණ ක්‍රියාවලියක්. මෙය ටීම් වර්ක් එකක් එහෙම නැතිනම් එය සාමූහික වැඩක්. කර්තෘටම සියල්ල කරන්න බෑ. නමුත් මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ කර්තෘවරවයා අතේ. ඔහුගේ මෙහෙයවීම තිබිය යුතුයි. නමුත් අද බොහෝ පත්තරවල එහෙම දෙයක් නැති බව පේනවා.

ප්‍රශ්නය - එහෙම වෙලා තියෙන්නේ ඇයි?

පිළිතුර - අද මුද්‍රිත මාධ්‍යවලට තිබෙන ලොකුම අභියෝගය අන්තර්ජාලය. අපි තරග කරන්න ඕන ඒවා එක්ක. අපි මුද්‍රිත මාධ්‍ය මේ තරගයට ඔරොත්තු දෙන ආකාරයට නොකළොත් වෙන්නේ මේ මුද්‍රිත මාධ්‍යවල අභියෝගය සහ පසුබෑම තවත් වැඩි වීම. අපි මෙය තේරුම් ගත යුතුයි. දැන් ඇමෙරිකාව ගත්තම එහෙ පුවත් පත් මේ අභියෝගයට මුහුණ දීමට කටයුතු කරනවා. ඔවුන් සියලු දෙනාම අන්තර්ජාල සංස්කරණය, සමාජ මාධ්‍ය ආදී සියල්ල මේ සමඟ ඒකාබද්ධ කරගෙන තිබෙනවා. ඔවුන් පාඨකයාට සමීප වෙන්න විවිධ දේ කරනවා. මම දැක්කා ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරික පුවත් පතක් වන ඇමෙරිකාවේ පළ වන ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත. දැන් එය ප්‍රවර්ධනය කරන්නේ ඔබේ දරුවා පන්ති කාමරයේ වීරයෙක් කරන්න නම් ඔබ වෝල් සට්‍රීට් ජර්නල් බලන්න කියල. එවැනි උපක්‍රම අපි හඳුනා ගත යුතුයි.

අපේ පත්තරවල අන්තර්ගතය බැලුවාම ඒකේ එහෙම දෙයක් තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්.

ප්‍රශ්නය - ඕක සංස්කෘතිය පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයිද?

පිළිතුර - පුවත්පත් අලෙවියේදී ලෝකයේ කොහෙත් බලපාන ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. ලිංගිකත්වය සහ අපරාධ. මේ දෙක තමයි වඩා ජනප්‍රිය මාතෘකා දෙක. නමුත් මේ දෙකත් දෙන සීමාවක් තිබිය යුතුයි. අනෙක අපි නව දැනුම පාඨකයාට ආකර්ෂණීය ලෙස දෙන්න උත්සාහ කළ යුතුයි.

ඡායාරූප - විපුල අමරසිංහ

Comments