අරිහත්ත | සිළුමිණ

අරිහත්ත

ජෛනාගමේ ‘අරිහන්ත’ කියන්නෙ අ‍වබෝධය ලද තැනැත්තාටයි. ඔහු තමන් ලැබූ අවබෝධයේ සුන්දරත්වය තුළ කොතෙක් ගිලී යනවාද කිවහොත් ඔහුට මේ ලෝකය මුළුමනින්ම අමතක වී යනවා. අරිහන්ත කියන වචනයේ තේරුම රුපුන් හෙවත් සතුරන් නැසූ යන්නයි. සතුරන් වන්නේ තමාමයි. රුපුන් නසනවා යන්නෙහි තේරුම ස්වාභිමානය නසනවා යන්නයි.

මන්ත්‍රයේ පළමු කොටසේ තේරුම ‘මම ආත්මාවබෝධය ලැබූ තැනැත්තන්ගේ පා වඳිමි’ යන්නයි. මේ මන්ත්‍රය ලියා ඇත්තේ ප්‍රාකෘතයෙන් මිස සංස්කෘතයෙන් නෙමෙයි. ප්‍රාකෘත ජෛනයන්ගේ භාෂාවයි. එය සංස්කෘතයට වඩා බො‍හෝ පැරණියි. සංස්කෘත යන්නෙහි තේරුම වැඩි දියුණු කරන ලද, උසස් තත්වයට පත් කරන ලද, ශුද්ධ කරන ලද කියන එකයි. ප්‍රාකෘත ස්වාභාවිකයි. අමුයි. තමන්ගේ භාෂාව ලෝකයේ පැරණිම භාෂාව කියා ජෛනයන් කියන කීම ඒ අනුව හරි. ඔවුන්ගේ ආගමත් බොහෝ පැරණියි. ජෛනයන්ගේ පළමු ගුරු (Master) අධිනාථ බව සෘග්වේදය නමැති ශුද්ධ ලියවිල්ලේ එන දෙයක්. ඒ අනුව ජෛනාගම සෘග්වේදයටත් වඩා පැරණි බව නිසැකයි. ලෝකයේ පැරණිතම ග්‍රන්ථය හැටියට සැලකෙන්නේ සෘග්වේදයයි. එහි ජෛන තීර්කන්කර අධිනාථ ගැන ගෞරව පූර්වකව සඳහන් කිරීමෙන් එක් දෙයක් පැහැදිලියි. එනම් ඔහු සෘග්වේදය ලියූවන්ගේ සමකාලීනයකු නොවන බවයි.

මන්ත්‍රයේ දෙවැනි පේළිය ‘නමෝ සිද්ධානම් නමෝ නමෝ’ යන්නයි. එහි තේරුම ‘තම පැවැත්ම බවට පත් වූ තැනැත්ත‍ාගේ පා වඳිමි’ යන්නයි. ඉතින් පළමු පේළියේත්, දෙවැනි පේළියේත් අර්ථයේ වෙනස මොකක්ද?

අරිහන්ත ආපසු හැරී බලන්නෙක් නෙමෙයි. ක්‍රිස්තියානියේ හෝ වෙනත් ආකාර ආගම්වල තැනැත්තන් මෙන් ලෝකයාට සේවාව සැලසීමට තරම් කරදර ඇති කර ගන්නෙකුත් නෙමෙයි. ‘සිද්ධා’ සිය අත මනුෂ්‍යත්වයේ ගිල්වන්නේ කලාතුරකින්. එය අත්‍යවශ්‍ය නැහැ. ඔහු කැමැති නම් එසේ කරාවි. අකැමැති නම් නොකරාවි.

ඊළඟට තුන්වැන්න. ‘නමෝ උවජ්ජායනම් නමෝ නමෝ’ මම උවජ්ජායන නමැති ලෝක ගුරුගේ පා වඳිමි.’ මේ අයත් පෙර කී තත්වයට ළඟා වී තිබෙන කොටසක් නමුත් මේ අය ලෝකයට මුහුණ දෙනවා. ලෝකයාට වැඩ සලසනවා. ඒ අය ලෝකයෙහි වැඩ වෙසෙනවා.

සිවුවැන්න, ‘නමෝ ලෝයේ සව්වා සහුනාම් නමෝ නමෝ.’ ‘මම ගුරු පා වඳිමි’ ගුරු (Master) සහ උගන්වන්නා (Teacher) යන වචන දෙකේ තිබෙන සියුම් වෙනස ඔබට වැටහෙනවාද? ගුරු හෙවත් මාස්ටර් තමා දන්නා බව දන්නවා. තමා දන්නා දේ දීමට දන්නවා. උගන්වන්නා හෙවත් ටීචර් කියන්නේ දන්නා තැනැත්තාගෙන් දැනගෙන එසේ දැනගත් දේ ඒ අයුරින්ම ලෝකයට දෙන තැනැත්තාටයි. නමුත් ඒ අවබෝධය ඔහු තනිව ළඟා කරගත් තත්වයක් නෙමෙයි.

මේ මන්ත්‍ර පද බැඳපු අයත් සුන්දර මිනිස්සු. ඔවුන් තමන් නොදන්නා අයගේත් පා නැමද තිබෙනවා. ඒ කොහොම වුණත් ඒ අය ලෝක ගුරුන්ගේ පණිවිඩ ජනතාව අතරට ගෙන ගොස් තිබෙනවා.

පස් වැනි එක තමයි මගෙ ජීවිත කාලෙටම මට හමුවෙලා තියන වඩාත් සුවිශේෂ වාක්‍ය ටික. මේක මං පොඩි කාලේ ආච්චි මට කියා දීමම හරි පුදුමයක්. මං මේක පැහැදිලි කරන කොට එකෙ තියන ලස්සන ඔබටත් ග්‍රහණය කර ගන්න පුළුවන් වේවි.

ජෛනයො හැමෝම වාගෙ මේක තමන්ගේ දේවාලවලදී නැවත නැවත ගායනා කළත් ඒකෙ තේරුම හරියටම ප්‍රකාශ කරන්න ආත්ම ධෛර්යය තියන කෙනෙක් ඉන්නවද කියල මම දන්නෙ නෑ. ඒක නැවත නැවත ගායනා කිරීම වෙන දෙයක්. ඔබ ආදරය කරන අයට ඒකෙ ති‍යන රසය බෙදා දීම තවත් දෙයක්.

‘මම තමන් දන්නා බව දන්නා සියලු තැනැත්තන්ගේ පා නමදිමි’ ඒක තමයි අදහස. හින්දු, ජෛන, බෞද්ධ, ක්‍රිස්තියානි, මහමද් වගේ කිසිදු බෙදීමක් නැතුව දන්නා බව දන්නා සියලු තැනැත්තන්ගේ පා නමදිමි කියන තේරුමයි ඒකෙ තියෙන්නෙ. මං දන්න තරමින් කිසිම ආගමික නිකායකට, පාර්ශ්වයකට, පක්ෂයකට අයත් නැති එකම මන්ත්‍රය මේකයි.

අනිත් කොටස් හතරම ඒ පස් වැනි එකෙන් වෙනස් වෙන්නෙ නෑ. ඒ සියල්ල එහි අන්තර්ගත වෙලා තියනව. නමුත් අනිත් ඒවයෙ නැති පුළුල් ස්වභාවයක් ඒකෙ තියනව. පස්වැනි පේළිය පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල හැම එකේම ලියා තැබිය යුතුයි. මොකද ඒ සියලු දෙනාම ඊට අයිතියි. ‘අවබෝධය ලද සියලු තැනැත්තන්ගේ පා වඳිමි’ කියල කියන්නෙ ඒකනෙ.

කෙනෙක් අහන්න පුළුවන් මොනව සම්බන්ධයෙන්ද අවබෝධය ලැබුවේ කියලා. අවබෝධය ලබන්න විෂයයක් වුවමනා නෑ. දැනගන්න කිසිවක් නෑ. ඉන්නෙ දැනගන්න තැනැත්තා පමණයි.

ලබන සතියට...

 

අදහස්