දඹුල්ලට රෑ බිස්නස් පුරුදු කළ ගලබඩ අත්තා | සිළුමිණ

දඹුල්ලට රෑ බිස්නස් පුරුදු කළ ගලබඩ අත්තා

“මම මාස තුන හතරකට සැරයක් දඹුල්ලට යනවා හිතේ සන්තෝසෙට. එහෙම ගියාම මට පුදුම සතුටක් දැනේනේ එදා මම පටන් ගත්ත දේ අද කොච්චර දියුණු වෙලාද කියලා දැක්කම.”

දඹුල්ල අද බොහෝ දෙනෙකු හඳනන්නේ නොනිදන නගරය ලෙසය. මෙරට එළවළු තොග වෙළදාමේ කේන්ද්‍රස්ථානය බවට දඹුල්ල පත්ව ඇත්තේ බොහෝ ප්‍රදේශවල එළවළු වගාකරුවන් මෙන්ම වෙළෙන්දන් තම අස්වැන්න රැගෙන එන නිසාය. දහවල් සිට ආරම්භ වන වෙළදාම මධ්‍යම රාත්‍රියද පසුවෙන තෙක් පවතින අතර උතුරු නැගෙනහිර ආදී බොහෝ පළාත්වලට උඩරට මෙන්ම පහතරට එළවළු වර්ගද වෙළෙන්දන් රැගෙන යන්නේ දඹුල්ලෙනි.

අද ඉතා කාර්යබහුල රාත්‍රී වෙළෙඳ නගරයක් බවට පත්ව ඇති දඹුල්ල ගැන ලොවම දනී. එනමුත් දඹුල්ලේ රාත්‍රී වෙළඳාම ආරම්භ වුයේ කෙසේද කවුද යන පැනයට නම් පිළිතුරු දන්නේ අතළොස්සකි. දඹුල්ලේ මුලින්ම රාත්‍රී වෙළදාම ආරම්භ කොට නොනිදන නගරයට ජීවය දුන් ඒ අපුරු මිනිසා රිකිල්ලගස්කඩ නගරයෙදි අපහට හමුවුයේ අහම්බෙනි. කිසිවෙකු නොදත් පොතක පතක නොලියවුණ ඒ සුන්දර අතීත මතකයන් මෙන්ම ඒ සුවිසල් රාත්‍රි නගරය ඇති කිරිමට මුල් පියවර තැබු ඔහු අබේසිංහ ගලබඩ මහතායි. දැනට හැත්තෑ පස්වන විය පසු කරන ගලබඩ මහතා මේ වන විට රිකිල්ලගස්කඩ කාර්ගිල්ස් එළවළු එකතු කිරිමේ මධ්‍යස්ථානයේ භාරකරු වශයෙන් කටයුතු කරයි. විටකදි ඉතා කටුක මෙන්ම සුන්දර වු අත්දැකිම් සමුදායක් සමඟ නොනිදන නගරයේ ඇරැඹුම පිළිබඳව ඔහු අප සමඟ කී කතාව මෙසේය.

“අසුනවය විතර වෙන කොට මගේ ළඟ ඉතුරු කරගත්ත රුපියල් හතලිස්දාහක් තිබුණා. මට හිතුණා මේකෙන් මොකක් හරි බිස්නස් එකක් කරන්න. ඒ දවස් වල දඹුල්ලේ වෙ‍ළෙඳාම තිබුණේ දවල්. මට රිකිල්ලගස්කඩ ශ්‍රී ලැන්ඩි එකේ මුදලාලි ලොරිය දුන්නා දඹුල්ලේ යන්න. මට හොඳට මතකයි පළමුවෙනි දවසේ මම අරන් ගියේ රාබුයි ගෝවයි. තව එළවළු ජාති ටිකක් අරගෙන මෙහෙන් දහයට එකොලහට විතර ගියේ. හවස හය හත වෙනකොට බිස්නස් ඔක්කොම ඉවරයි. කඩවල් වහනවා. ඉතින් මට එදා එළවළු එක කෑල්ලක් වත් විකුණගන්න බැරි වුණා. එහෙම දවස් තුනක් හිටියා. එත් එළවළු ටික ඉතුරුයි. පස්සේ 48 කණුව ළඟ කැලේට එළවළු ටික විසි කරලා අපි ගෙදර අවා.

මම ලොරියට හයර් එක රුපියල් පන්සියයක් දුන්නා. ඒ දවස් වල රටේ කලබල. දඹුල්ලේ කඩ දෙක තුනක් විතරයි තිබුණේ. පට්ටිහන්දිය කියලා හන්දියකුත් තිබුණා. මම එහෙම දිගටම එළවළු අරගෙන ගියා. ඒ දවස්වල රෑට ගියාම බලු බල්ලෙක් නැහැ. දවස් දෙක තුනක් ඉඳලා හැමදාම වගේ අන්තිමට මග තියෙන කැලෙට එළවළු ටික විසි කරලා ගෙදර එනවා. ආපහු ගේන්නත් ලැජ්ජයි. අන්තිමට රුපියල් හතලිස් දාහා රුපියල් හතරට ආවා. ඒ වෙලාවේ මගේ හිතවත් මහත්තයෙක් මට රුපියල් දහ දාහක් දුන්නා. ඔහොම තමයි බිස්නස්... ඕක ආපහු පටන් ගන්න කියලා.

දඹුල්ලෙ රෑ බිස්නස් පටන්ගත්තේ මම. ඒ දවස් වල දඹුල්ලට ලයිට් තිබුණේ නැහැ. එහේ මුදලාලි කෙනෙකුගේ පොල් අතු ගහපු කඩයත් තිබුණා. හතර පැත්තනේම පොල් අතුවලින් සෙවිලි කරලා තියෙන්නේ. ඉස්සරහා පැත්ත කලාලයක් වගේ උඩට උස්සලා ලොරිය ඇතුළට දාන්න පුළුවන්. මම එළවළු අරන් ගිහින් එතැන ඉඳගෙන තමයි බිස්නස් කරන්නේ. මම කලින් දවසේ හවස එළවළු අරගෙන දඹුල්ලට පොල් අතු කඩේ නවතිනවා. අනෙක් දවසේ උදේ එළවළු ටික විකුණන්න පටන් ගන්න හිතාගෙන. ඒ දවස්වල දඹුල්ලේ කරන්ට් එක තිබුණේ නැහැ. පැත්තම අන්ධකාරයි. මම කරන්නේ කඩේ පෙට්‍රල් මැක්ස් එක පත්තුකරගෙන ලොරියෙම හරි කඩේ තියෙන බුරු ඇඳේ හරි නිදා ගන්න එක. පෙට්‍රල් මැක්ස් එක පත්තු කළාම පැත්තම එකෙන් හොඳට එළිය වැටෙනවා. කල්මුනේ මඩකලපුව වවුනියාව වගේ පැතිවල මුදලාලිලා කොළඹින් බඩු අරගෙන රෑට මෙතැනින් යන්නේ. ඒ අය මගේ ලාම්පුවේ එළියට පෝලිමට ලොරි නතර කරලා එනවා.

ඒ දවස් වල තේ එකක් බොන්නවත් තැනක් තිබුණේ නැහැ. පස්සේ මම බොයිලේරුවක් අරගෙන ඇවිත් ඒක එළියේ තියලා තේ උණු කරලා හකුරුත් එක්ක දුන්නා. පස්සේ තේ බොන්න ආපු මුදලාලි කෙනෙක් මගෙන් ඇහැව්වා මුදලාලි මට ගෝවා කිලෝ පනහක් දෙන්න පුළුවන්ද කියලා. මම කිව්වා මේවා ගෙනෙල්ලා තියෙන්නේ විකුණන්න තමයි කියලා. පස්සේ තව අයත් මගෙන් එළවළු ටික ටික ගත්තා. මම ලැමසූරිය පැත්තෙන් වැටකොළු එහෙම අරගෙන ආවා. ඒවයෙන් ලාභ තිබුණා.

ඊට පස්සේ ඒ අය හැමදාම වගේ මගෙන් කහට බීලා එළවළුත් අරන් යන්න පටන් ගත්තා. මමත් බැලුවා මේ වැඩේ හොඳයි ඒ වගෙම ලාභයි. ඒක නිසා හැමදාම රෑටම අවා. ටික ටික මගේ බිස්නස් එක නැඟලා ගියා. ඒක අහල පහල අනෙක් අයත් බලාගෙන හිටියා. ඒ අයත් ඒ වැඩේ පටන් ගත්තා. එහෙම තමයි දඹුල්ලේ රෑ වෙළඳාම පටන් ගත්තේ. එහෙම ටික කාලයක් යනකොට පුදුම විදිහට රට වටෙන්ම දඹුල්ලට කට්ටිය එන්න පටන් ගත්තා. මමත් දඹුල්ලේ කඩයක් අරගෙන මාරස්සන කන්දේ හන්දිය වගේම උඩහට ගහින් හයිෆොරස්ට් පැත්තෙනුත් ලොරියකින් එළවළු අරගෙන ගිහිල්ලා වෙළෙඳාම කරගෙන ගියා.

තවත් මේ පැත්තේ වගේම නුවරඑළිය කඳපොළ පැතිවල අයත් ලොරි අරන් දඹුල්ලට එන්න පටන් ගත්තා. දැන් නම් ඉතින් රට වටෙන්ම එනවා.

මට මතක විදිහට ආර්ථික මධ්‍යස්ථානය පටන් ගත්තේ 1999 දි. මමත් ඒකෙන් කඩයක් ඉල්ලා ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඒක තමයි කඩඉල්ලා දාපු තුන් වෙනි ඇප්ලිකේෂන් එක. පස්සේ මම ඒ දවස් වලම දඹදිව ගියා. ගිහින් එනකොට කඩටික දිලා. මට කඩයක් හම්බවුණෙත් නැහැ. පස්සේ මම කඩයක් සල්ලිවලට ගත්තා. එකේ තමයි බිස්නස් එක කළේ. දවසක් මගේ කඩේට නුවරඑළියේ හිටපු දිසාපති ධනසෙන හෙට්ටිආරච්චි මහත්තයායි ප්‍රාදේශීය ලේකම් දිසානායක මත්තයායි අවා. ඇවිත් මට ෆෝම් එකක් දුන්නා මේක පුරවලා දෙන්න කියලා. එකේ තිබුණේ එදිනෙදා එළවළු මිල ගණන් ලියන්න. දිසාපතිතුමා ඒක දීලා මට කිව්වා මම මාසෙකින් එනවා. මේක පුරවලා තියන්න කියලා.

ඒකල්ලා එතුමා රට ගියා. කිව්වා වගේම හරියටම මාසෙකින් ආපහු අවා. මමත් අර විස්තර ටික ලියලා තිබ්බා. ඒක බලලා දිසාපති තුමා කිව්වා ගලබඩ මහත්තයා වැඩේ හොඳටම කරලා තියෙනවා කියලා. මම අහැව්වා මේක මොකටද කියලා. දිසාපති තුමා කිව්වා දැන් දඹුල්ල තමයි මුළු රටේම එළවළු මිල තිරණය කරන්නේ. ඒ ගැන බලන්න තමයි මේක ගත්තේ තියලා.

ඒ දවස් වල සමහර දවස් වල මම ලොරියේ නිදා ගන්නවා. මගේ ගෝලයා ලොරිය ළඟ බිම නිදා ගන්නවා. ඒ දවස් වල මෙහේ හරියට හරක් ඉන්නවා. දවසක් ගෝලයා නිදාගෙන ඉන්න කොට හරක් රංචුවක් මනුස්සයාගේ ඇඟ උඩින් පැනලා ගියා. මිනිහා දන්නෙත් නැහැ. තව දවසක් රෑ මම එද්දි දඹුල්ල කිට්ටුව කැලේ අයිනේ ගෑනු කෙනෙක් ඉන්නවා. ළමයෙක් වඩා ගෙන. හොඳටම අසනිපවෙලා. ඉස්පිරිතාලෙට යන්න වාහනයක් නැතුව. ඒ දවස්වල පාරේ වාහන යන්නේ නැති තරම්. පස්සේ මම ඒ දෙන්නව ඉස්පිරිතාලෙට අරගෙන ගහිල්ලා නතර කළා. මම තමයි භාරකාරයා විදිහට අත්සන් කළේ. ඒ කරලා ඒ අය ටිකට් කපාගෙන යනකම්ම ගොලයා අතේ කෑම බිම ටික පවා යැව්වා.

වර්ෂ 2001 දි එස්.බී ඇමති තුමාට ඕනේ වුණා මෙහේ ගොවින්ගේ අසවැන්න සාධාරණ මිලකට විකුණන තැනක් හදන්න. ඒක නිසා ලංකාවේ පළමු වෙනි කාර්ගිලිස් එළවළු එකතු කරන තැන රිකිල්ලගස්කඩ පටන් ගත්තා. ඒ දවස් වල මම දඹුල්ලේ මගේ කඩේ හිටියේ. ඇමතිතුමා මට කතාකරලා කිව්වා මෙහෙට එන්න කියලා. මම එදා ඉඳලා එතැන වැඩ කරනවා. දැන් රටපුරා මේ වගේ තැන් දෙසියක් විතර තියෙනවා. දැන්නම් දඹුල්ල ගොඩාක් දියුණුයි. හැම පහසුකමක්ම තියෙනවා. මුළු රටටම එළවළු බෙදාහරිනවා වගේම හොඳ බිස්නස් එකක් තියෙනවා.

ඒ දවස් වල වවුනියාවේ තිබුණ මාර්කට් එක වැහුණා. එහේ අයත් දඹුල්ලට එන්න පුරුදු වුණා. ඒකත් එක හේතුවක් වුණා දඹුල්ල දියුණු වෙන්න. දවසකට ලොරි දාහක් විතර එනවා. වෙළෙන්දො දහස්ගානක් එනවා. ඒ වගේම රෑට බැංකු පවා ඇරලා තියෙනවා. මම මෙහෙට අවාට පස්සේ දඹුල්ලේ එළවළු අරන් යන්නේ නැහැ. මගේ කඩේ බදු දිලා තියෙන්නේ. ඒත් මම මාස තුන හතරකට සැරයක් දඹුල්ලට යනවා හිතේ සන්තෝසෙට. එහෙම ගියාම මට පුදුම සතුටක් දැනේනේ එදා මම පටන් ගත්ත දේ අද කොච්චර දියුණ වෙලාද කියලා දැක්කම.

පනස් ගණන්වල මම පොරමඩුල්ල සෙන්ට්‍රල් එකට ගියේ බුළුගහාපිටියේ ඉඳලා. ඒ දවස් වල බස් එකට සත පහයි. ඒ වුණාට අපිට එච්චර ආර්ථිකයක් තිබුණේ නැහැ. සත පහක් දීලා බස් එකේ යන්න තරම් හැකියාවක් නැති නිසා අපි පයින් තමයි ස්කොලේ ගියේ. කිලෝ මිටර් දහයක් විතර පයින් යනවා. ඒ දවස්වල ඉස්කොලේ අලුතින් හැදුවා එම් ඩී බංඩා මහත්තයා. එතුමා අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ දැන් ඔය ගර්ල්ස් ස්කුල් එක තියෙන හරියේ තමයි ඉස්කොලේ තිබුණේ .

මට හොඳට මතකයි පිට්ටනියේ යකඩ බටයක් ගහලා තිබුණා. අපිට නැටුම් පුරුදු වෙන්නෙ ඒක අල්ලගෙන තමයි. එතකොට එම් ඩී බණ්ඩා මහත්තයා ඉස්කොලේ හදලා විවෘත කරන වෙලාවේ ඒ අය පොරමඩුල්ල හන්දියේ ඉඳලා පෙරහරින් එක්කරගෙන ගියේ මමයි ජයලත් මනොරත්නයි, මහින්ද ප්‍රේමරත්නයි නටපු නැටුම් කණ්ඩායම.

එදා උත්සවයෙදි හොඳ වැඩක් වුණා. උත්සවය වෙලාවේ එම්.ඩි බංඩා මත්තයා යු.එන්.පි එකෙන් තමයි අධ්‍යාපන ඇමති වෙලා හිටියේ. තව මහත්තයෙක් හිටියා ශ්‍රි ලංකා එකේ.

එයා වතු අධිකාරිවරයෙක්. දැන් බණ්ඩා මහත්තයා කතා කරනාවා. මෙයා එක පාරටම නැගිටලා “දැන් තැටමුවා ඇති, කතාව නවත්වන්න” කියලා කිවවානේ. ඇමතිතුමා කතාව නතර කළා. හැබැයි පස්සේ ඒ මහත්තයාට තටමන් කියලා නමකුත් පටබැඳුණා.

පොඩි කාලෙ අපේ තාත්තලා හදන එළවළු නුවරට යවන්නේ අම්බලමට ගෙනෙල්ලා එතැන ඉඳලා කරත්ත වලින්.

ඒ දවස් වල බෝංචි එහෙම යවන්නේ ගණන් කරලා. ඉස්සරලා රාත්තලකට බොංචි කරල් කීයද කියලා ගණන් කරනවා. ඊට පස්සේ ගෝනියට කරල් කීයක් වැටෙනවද කියලා බලලා තමයි බර තිරණය කරන්නේ. කරත්තෙ කුලිය නම් මතක නැහැ. පස්සේ හැට ගණන්වල ලොරි අවා. මම ඒ ලොරියක වැඩ කළා. ඒ දවස් වල පඩිය රුපියලයි සතයයි.

 

අදහස්