ජීවිතය සොයා මුහුදේ කිමිදෙන මන්නාරම් වැන්දඹුවෝ | සිළුමිණ

ජීවිතය සොයා මුහුදේ කිමිදෙන මන්නාරම් වැන්දඹුවෝ

සති පූජාව හින්දූන් අතර ප්‍රකට අතීත චාරිත්‍රයකි. සැමියා මිය ගිය විට සැමියාගේ දැවෙන චිතකයට පැන සිය දිවි හානි කරගැනීම සඳහා වැන්දඹුවන් පොලඹවනු ලබන මේ අතීත හින්දු චාරිත්‍රය අනියමාර්ථයෙන් කීවේ වැන්දඹු කාන්තාවකට සමාජයෙන් එල්ල වුණු පීඩාවය.

කාන්තාවක වැන්දඹුවක වන විට ඇති වන සමාජ පීඩාවේ ස්වරූවය තවමත් එසේය. එහෙත් මන්නාරමේදී අපට හමුවන මේ කාන්තාවන් පිරිස සති පූජා කර නැත. ඔවුහු වියෝ ගින්නෙන් තැවෙමින් ජීවත්වීම තෝරාගෙන සිටිති.

ඔවුන්ගෙන් සමහර අය අසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයන් මිය ගියට බවට වන වචන මාත්‍රයකි. මේ අය සිය සැමියාගේ සිරුරවත් දැක නැත. සමහරකුගේ ස්වාමිපුරුෂයන් අතුරුදහන් ලයිස්තුවේය. තවත් සමහරු එල්.ටී.ටී.ඊ යේ මහවිරුවන්ගේ සොහොන් කොත් යට සැගවී ගොසිනි. අනෙක් අය මිය ගියේ ජීවිතය රැක ගැනීම සඳහා තැනින් තැනට දිව යන අතරතුරේදීය. කෙසේ වෙතත් මේ වන විට ඔවුහු යුද්ධය නිසා අසරණ වූ වැන්දඹුවෝය. අවුරුදු තිහේ යුද්ධයෙහි ජීවමාන ඛේදවාචකය මේ මිනිස්සුය. ඔවුන් සමාජ ආර්ථික හවුහරණක් නැති අසරණයෝය. බොහෝ විට ඒ අසරණ කාන්තාවන්ට ජීවිත් වීම සඳහා වූ නිශ්චිත දිශානතියක් නැත.

එහෙත් මන්නාරමේදී අපට හමුවූ මේ කාන්තාවන්ගේ ජීවිත වෙනස්ය. ඔවුන්ගේ ජීවිත කතාව වෙනස්ය. යුද්ධයේදී මියගියේ තම ස්වාමි පුරුෂයා පමණක් යැයි යන හැඟීමත් ඔහු මියගියා කියා තම දරු පවුල මහමග නන්නත්තාර විය යුතු නැතැයි යන හැඟීමත් සහිතව ඔවුහු ජීවිතයට මුහුණ දෙති.

වැන්දඹු කාන්තාවන් ලෙස ජීවත් වීමට සිදු වන බොහෝ කාන්තාවන් කරන්නේ තමන්ට ඉතාම පහසුවෙන් මුදල් හරි හම්බ කළ හැකි රැකියාවක් තෝරා ගැනීමය.ඒ රැකියාවද ඇතැම් විට ලෝකයේ පැරණිම රැකියාව මෙන්ම නීති විරෝධී රැකියාවක්ද විය හැකිය.

නමුත් මන්නාරමේදී අපට හමු වූ මේ කාන්තාවන් හතළිස් දෙනා ජීවත්වීම සඳහා ජීවිතයට අභියෝග කරන පිරිසකි. මේ කාන්තාවෝ හතළිස් දෙනාම මුහුදේ කිමිදෙති. කිමිදී අලංකාර මසුන් වර්ග අල්ලා ගනිති. ඒ මත්ස්‍යයන් අලෙවි කරති.

මේ වෘත්තියට ඔවුන්ව පොලඹවා ඇත්තේ නෝර්වේ රජය උතුරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකි. යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස විවිධ රාජ්‍යයන් උතුරේ කාන්තාවන්ට නානාවිධ ව්‍යාපෘති හඳුන්වා දෙද්දී මේ පිරිස තෝරාගෙන ඇත්තේ බොහෝ පිරිමින් විසින් පවා ප්‍රතික්ෂේප කරන අවදානම් සහිත වෘත්තියකි.

මේ කාන්තාවන් හතළිස් දෙනාගේම ජීවිත කතාව එකම කතාවක් වූවා සේම කරන රැකියාවද එකම සමාන වූවකි. වෙනසකට ඇත්තේ දිනකට ඔවුන්ට හමුවන වටිනා මසුන්ගේ සංඛ්‍යාව හා ඒ වෙනුවෙන් ලැබෙන මුදලේ වටිනාකම වෙනස් වීම පමණකි.

''අපි යුද්දෙන් විදින්න ඕනේ සියලුම දුක් වින්දා. ස්වාමි පුරුෂයො නැති වුණා. සමහරු මැරුණේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට ගිහිල්ලයි. අනෙක් අය මැරුණේ නිකම්ම නිකං යුද්දෙට මැදිවෙලයි. කොහොම එව්වා සිද්ධ වුණත් අවසානේ දි අපි වැන්දඹුවන් බවට පත් වුණා. ''

''අපි ජීවත් වෙන්න එක එක දේවල් කළා. අවසානේදි තමයි එක රාජ්‍ය නොවන සංවිධානයක් ඇවිත් අපිට මෙහෙම අදහසක් දැම්මේ. මුලින්ම අපි ගොඩාක් මේ වැඩේට බය වුණා. ඊට පස්සේ නෝර්වේ රටේ ඒ සංවිධානයේ අය දවස් කීපයක් කාන්තාවන් මන්නාරමට එක්කගෙන ඇවිත් ඔවුන් මුහුදේ කිමිදෙන හැටි අපිට බලාගෙන ඉන්න දුන්නා.

ඊටත් පස්සේ අපි ලංකාවේ මීගමුව, හලාවත, වගේ තවත් පළාත් ගණනාවකට ගිහින් මුහුදේ කිමිදෙන හැටි ඉගෙන ගත්තා. ටික දවසකින් අපිට තේරුණා මේකේ තියෙන්නේ හුස්ම ගන්න ක්‍රමය පාලනය කිරීමක් විතරයි කියලා. අපි ඒ විදිහට පුරුදු වුණා. ''

“දැන්නම් අපිට මේකේ ගානක් නෑ, එක අතකට විනෝදයක්. අනෙක් අතට රස්සාවක්. ඔක්කොම කට්ටිය කාන්තාවෝ නිසා ඔක්කොම අය එකට එකතු වෙලා මේක විනෝදෙන් කරගෙන යනවා.”

“දැන් කාගෙන්වත් බල කිරීමක් නෑ. අපිට පුළුවන් වෙලාවට එනවා. බැරි වෙනකොට යනවා. ඒත් අඩුම ගානේ අපේ අයගෙන් දහ දෙනෙකු වත් මුහුදට ආවේ නැත්නම් අපි එක්කෙනෙක් දෙන්නෙක් විතරක් මේ වැඩේ කරන්නේ නෑ. ඒ අපේ ආරක්ෂාව ගැන හිතලයි. වෙනනම් ප්‍රශ්නයක් නෑ.”

“අපිට තියන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ අපි හොයන මාළු වර්ග හැමදාම අපිට හම්බ වෙන්නේ නැති එකයි. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාක් වර්ග ඉන්නවා. ඒ මාළු වර්ග මුහුදේ ඉන්නේ ටිකක් අඩුවෙන්. මන්නාරම් මුහුදේ ඉන්නවා සෑහෙන වර්ග ගණනකට අයිති මාළු වර්ග. ඉතින් සමහර මාළු ජෝඩුවක් රුපියල් පන්දාහට දහදාහට දෙන්න පුළුවන් වෙලාවල් තියනවා.”

“තවත් සමහර වෙලාවට හම්බ වෙන මාළු ජෝඩුවම රුපියල් තිස් දාහට පනස් දාහට දෙන්නත් පුළුවන් වෙනවා. හැබැයි එහෙම අවස්ථා එන්නේ බොහොම කලාතුරකිනුයි. එදාට ඉතින් අපි ගොඩ තමයි. මේකත් හරියට මැණික් ගරනවා වගේම රස්සාවක් ''

මේ කාන්තාවන්ට අති එකම ධීවර ආම්පන්නය අතංගුව පමණි. අතංගුව යනු මසුන් අල්ලා ගන්නා ගොට්ටක ආකාරයට සාදන ලද උපකරණයකි.

අනෙක් සියලුම උපකරණ ධීවර කර්මාන්තයට අදාළ වූ උපකරණ නොව පිහිනීම සදහා භාවිත වන උපකරණයි.

පිහිනීම කාන්තාවන්ට හුරු පුරුදුය. එහෙත් ජීවත්වීම සඳහා ගැඹුරු මුහුදේ පැය ගණන් කිමිදෙමින් මසුන් සෙවීමේ ධීවර කටයුත්ත කරන කාන්තාවන් ගැන ඇසන විටත් ටිකක් අමුතුය.

ඇත්ත වශයෙන්ම මේ ජීවන වෘත්තියේ නියැළී සිටි පිරිස කාන්තාවන් වුවත් ඔවුන් අල්ලන මාළු වර්ග ඒවායෙහි මිල ගණන් කීම ඔවුහු ඉතා විනීත ලෙස ප්‍රතික්ෂේප කළහ.

''මේ විස්තර කියන්න අපි බය වෙන මොනවත් නිසා නෙමෙයි. මතකද පහුගිය දවස්වල යාපනයේ වඩමරච්චි පළාතේ ධීවරයන්ට එක දවසකට පරා මාළු කිලෝ හතළිස් දාහක් හම්බ වුණා කියන කතාව. ඒක පත්තරවල ගියා විතරයි මුළු ලංකාවෙම අය වඩමරච්චියට ආවා මාළු අල්ලන්න. ඔයත් පත්තර කාරයෙක්නේ. මේ විස්තරේ ගිහින් ලිවුව හැටියෙ ලංකාවෙම මිනිස්සු ටික එයි මන්නාරමේ කිමිදෙන්න.” එසේ කියා එක් කාන්තාවක් සිනාසුණාය. එය ඇත්තය. ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හැටිය. කෙසේ වෙතත් මේ ධීවර රස්සාව කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා ගන්නට අවශ්‍යයි. ඒ සඳහා බලපාන හේතු රාශියක්ම ඇති බව ඔවුන් සමඟ කළ කතා බහේදී වැටහී ගියේය.

නමුත් මේ ව්‍යාපෘතිය සඳහා ඉතාම පළපුරුදු රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් හා රජයට සම්බන්ධ ආයතන මුල් වී ඇති නිසා ඒ අවසරය ලබා ගැනීමට මන්නාරම මුහුදේ කිමිදෙන කාන්තාවන්ට මහන්සියක් දැරිය යුතු වන්නේ නැහැ.

බොහෝ දේ ඔවුන්ගේ ළඟටම ලබෙන නිසා මේ කාන්තාවන්ට කිරීමට ඇත්තේ මහ මුහුදේ කිමිදී ඉතාම දුර්ලභ වර්ගයේ මසුන් අල්ලා ගැනීම පමණකි.

මුහුදේ කිමිදී දුර්ලභ ගණයේ මසුන් සොයා යන ගමනේ ද අවදානම් බොහොමය. මහා ගැඹුරු මුහුදේ කිමිදෙන විට ගොඩබිම ගෙවන ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැර වෙනම ජීවන ක්‍රමයකට මේ කාන්තාවෝ හුරු වෙති. පුහුණුවෙන් පසුව මේ ක්‍රියාව එතරම් අමාරු නොවන ක්‍රියාවක් බව ඔවුන් පැවසුවද කතාවෙන් කතාවට යද්දී එහි ඇති අවදානම් සහගත තත්ත්වයද පැහැදිලි වන්නට විණි.

''මුහුද හැමදාම එක වගේ නෙමෙයි. මුහුද එක්කම දඟලන අපිටත් සමහර දාට මුහුදේ තත්ත්වය තේරුම් ගන්න බැහැ. සාමාන්‍යයෙන් මුහුදේ මාළු අල්ලන සාමාන්‍ය ධීවර රස්සාවත් අපේ මේ රස්සාවත් අතර විශාල වෙනසක් තියනවා. ඒ අය මුහුද රළු වුණාම විතරයි මාළු අල්ලන්න යන්නේ නැත්තේ. අපිට එහෙම නෙමෙයි. මුහුදු නොයන්න බලපාන හේතු රාශියක්ම තියනවා. අව්ව..වැස්ස..හුළග...වගේ දේවල්වලට අමතරව තවත් ගොඩාක් දේවල් තියනවා.

කොහොම වුණත් අපිත් මොනව හරි කරලා ජීවත් වෙන්න ඕනේ. අපේ ජීවිත වල හොඳම කාලය යුද්ධයත් එක්ක විනාශ වෙලා ගියා. අපිට හරියට ඉගෙන ගන්න බැරි වුණා. හොදට කෑමක් කන්න බැරි වුණා. අපිට කියල ස්ථිර ගෙදරක මිනිහත් එක්ක සතුටෙන් ජීවත් වෙන්න බැරිවුණා.”

“ඒ හැමදේම නැති කළේ යුද්ධය තමයි. ඒ සේරම දේවල් දැන් ඉවරයි. අපිට එහෙම වුණා කියලා අපේ ළමයින්ගේ ජීවිතවලටත් එහෙම වෙන්න දෙන්න බැහැ. ඒක හන්දා තමයි අපි අපේ ජීවිත මහමුහුදට ඔට්ටු තියලා මේ වගේ රස්සාවක් කරන්නේ.”

අපි දෙවියනුත් අපේ ආගමත් විශ්වාස කරනවා. ඒ හැම දේකටම වඩා අපිට දැන් පිහිට වෙන්නේ ස්වභාව ධර්මයයි. ඒක නිසා අපි හිතනවා අපි සොබා දහමට ආදරේ කරන කොට සොබා දහම අපේ ජීවිත රැකලා දෙනවා කියලා.

“අපි මේ වර්ගයේ මාළු අල්ලන්න දිය යට කිමිදෙන කොට සමහර වෙලාවට ඒ මාළු ඉන්නේ ලස්සන කොරල් පරවලයි. පාසි අතරේ හැංගිලා වගේ ඉන්න මාළු වර්ගත් ඉන්නවා. ඒත් අපි කවදාවත් මාළුවා අල්ල ගන්න ඕනේ කියලා ඒ ගල්පර, කොරල් පර, පාසි වගේ දේවල් කිසිම දෙයක් විනාශ කරන්නේ නැහැ.”

“අතංගුව එහාට මෙහාට වනන කොට ඒ මාළු හැංගිලා ඉන්න තැන්වලින් එළියට එනවා. එතකොට තමයි අපි උන්ව අල්ල ගන්නේ. අපි කරන රස්සාවට අදාළ දේ විතරයි අපිට කරන්න කියලා අපිව පුහුණු කරලා තියෙන්නේ. ඒක නිසා අපි ඒදේ විතරයි කරන්නේ. මාළු අල්ලන එක තමයි අපේ රස්සාව. ඒක අපි කරගෙන යනවා. ''

මම ඊළඟට ඔවුන්ගෙන් විමසා සිටියේ මහ මුහුදේ කිමිදුම් කරද්දී ජීවිතයටම අමතක නොවන සිද්ධි කුමක්වත් නැද්දැයි යන ප්‍රශ්නයයි.

''තියන ලොකුම අත්දැකීම් තමයි වතුරේ ගිලෙන්න ගිහිල්ලා මුහුදු වතුර පෙවිලා මැරෙන්නේ නැතුව බේරුණු එක. හැබැයි ඉතින් එහෙම වුණේ මුල්ම දවස් වල තමයි. දැන් මේ හතර වෙනි අවුරුද්ද නිසා එහෙම අනතුරු නම් වෙන්නේ නෑ. ඉස්සරහට මොනව වෙයිද නම් දන්නේ නෑ.”

“ඊළඟට අපිට තියන අත්දැකීම තමයි අපි අපේ රස්සාව කරගෙන යන අතරේ බෝට්ටුවලින් මිනිස්සු මුහුදට වැටෙනවා. සමහර වෙලාවට පාවෙලා එනවා. තවත් අයගේ බෝට්ටු කැඩිලා උදව් ඉල්ලනවා. මහ මුහුදෙ අතරමං වෙන අය වැඩියි. මේ අයට අපි උදව් කරලා තියනවා . පිරිමි අය මුහුදේ වතුර පෙවිලා ලොකූ බඩ ගෙඩිත් එක්ක තමයි පාවෙන්නේ. කරන්න දෙයක් නෑ. සමහර වෙලාවට සමහර අයගේ ඇඟේ ඇඳුමක්වත් නෑ. ඒ වගේ වෙලාවට ඒ මනුස්සයගෙ ජීවිතේ ගැන විතරක් කල්පනා කරලා අපි කරන රස්සාවත් පැත්තකින් තියලා ඒ අය බේරගන්නවා

හැබැයි එහෙම අය බේරගන්න ගියාම ඒ අය මැරුණම අපිට පොලීසිවලට යන්න වුණු අවස්ථා එමටයි. එහෙම ගියාම අපි ගෑනු අයනේ. පොලීසිය කතා කරන්නේ අපි ඒ මිනිස්සුන්ව බලෙන් මුහුදට එක්කගෙන ගිහින් මුහුදේ ගිල්ලලා මැරුවා වගේ තමයි. එතකොට නම් ගොඩාක් දුකයි. මිනිස්සු බේර ගත්තම ගොඩාක් සතුටුයි. අපි ඉන්දියාවේ ඉඳලා ඇවිත් මන්නාරම් මුහුදේ අතරමං වුණු පිරිසකුත් බේරගෙන තියනවා. ''

ඔවුන්ට වෙන කරන්නටම රැකියාවක් නොමැති නිසා මේ අන්දමට කිමිදුම් රස්සාව කරනවා නොවේ. ඊට හේතුව මන්නාරමේ කාන්තාවන්ට ඇති පදමට රැකියා මන්නාරමේ නිර්මාණය වී තිබීමය. අඩුම තරමින් මන්නාරමේ හාල් මෝලක මේ කාන්තාවන් රැකියාව කළත් ඔවුන්ට කුසගින්නේ නොසිට හොඳින් ජීවත් වීමට අවශ්‍ය තරමට ඉඩ ප්‍රස්තාව තිබේ.

ඉන් ලැබෙන වැටුපද ස්ථිරය. සවස් වන විට අතට කීයක් හෝ ලැබෙයි. මෝලෙන් ඉවත් වෙන හාල් සුනුසාල් ඔවුන්ට රැගෙන යා හැකිය. එහෙත් මහ මුහුදේ ගැඹුරු තැන්වල හැංගී සිටින දුර්ලභ මාළු එසේ නොවේ. මේ කාන්තාවන්ව සොයාගෙන ඒ මාළු රෑන් කාන්තාවන්ගේ අතංගුවට හෝ දෝතට පැමිණෙන්නේ නැත. ඔවුන්ට ලැබෙන ආදායම ස්ථිර නැත.

නමුත් මේ කාන්තාවෝ ඔවුන්ට අහම්බෙන් මෙන් ලැබුණු රැකියාව ඉතාම හොඳින් කරගෙන ඉතාම සතුටෙන් යුතුව ජීවත් වෙති.'' කරන රැකියාව දෙවියන් හා සමානය'' (''work is worship'') යන ඉංග්‍රීසි කියමන මේ කාන්තාවන් ඉතා ඉහළින්ම පිළිගෙන තිබේ.

 

අදහස්