හිරිගල් ගුහාවේ කොටු වී ලෝක පාපන්දු ගැන අහන තායි පාපන්දු පැටව් | සිළුමිණ

හිරිගල් ගුහාවේ කොටු වී ලෝක පාපන්දු ගැන අහන තායි පාපන්දු පැටව්

තායිලන්තයේ බැංකොක් අගනුවර අප ශ්‍රී ලංකීයයන් අතරද ජනප්‍රිය සංචාරක පුරවරයකි. එහි ඉපැරැණි නගරයක් වන චියන් මායි පිහිටා ඇත්තේ බැංකොක් අගනුවර සිට රටේ උතුරු දෙසට කිලෝ මීටර් 687ක් පමණ දුරිනි. ගුවනින් ගමන පැය එකයි කාලකි. බසයෙන් නම් පැය 12කි. දුම්රියෙන් නම් පැය 10කි. චියන් මායි නගරය ප්‍රසිද්ධව ඇත්තේ පන්සල් දහස් ගණනක් පිහිටි නගරයක් ලෙසිනි. එම පන්සල් අතරින් කීපයක්ම සංචාරකයන් අතර ජනප්‍රියව ඇත්තේ ඒවා නගරයෙන් ඔබ්බෙහි වනාන්තරබදව කඳුකරයේ පිහිටි නිසාය. එම පන්සල්වල විශේෂත්වය වන්නේ හුනුගල් පර්වත අතර ගුහාවල පිහිටීමය. මේ ගුහා කාලාන්තරයක් තිස්සේ පර්වත අතර වූ හුනුගල් දියවී වෑස්සීමෙන් සැදි ගුහාය. ඒ අතර විශාල හිරිගල් ලඹ හා ටැඹ බොහෝය. වරක් චියන් මායි හි ගුහා පන්සලක් නැරැඹීමට ගියයුරු මට සිහිපත් වූයේ තායිලන්ත සිසු පිරිසක් මෙවන් විශාල ගල්ගුහාවක සිරව සිටින පුවත ඇසූ අවස්ථාවේය.

මේ ගුහා අඳුරුය. සීතලය. මඟ පෙන්වන්නකු නැතිව ඇතුළු වුවහොත් මඟ වැරැදී එළියට ඒමට පැය ගණනක් ගත විය හැකිය. විශාල ඇනකොන්ඩාවකුගේ උදරය මැදින් යන්නා සේ දිගින් දිගට වක්වෙමින් යද්දී පටු කොරිඩෝ සමඟ තැනින් තැන විශාල කුටි පිහිටා ඇත්තේය. ඒ අතර ඇති හිරිගල් ලඹ හා ටැඹ අතරින් යා යුත්තේ හිස් පහත් කරගෙනය. විශාල කන්දක් ඇතුළට රිංගා ගත්තාක් වැනි හැඟීමක් දෙන මේ හිරිගල් ගුහාවල බුදු පිළිම තබා මල් පලතුරු හා සුවඳ පුදමින් පන්සල් ඇත්තේය. ඒවා පාළුය. එහෙත් මේ පන්සල් අති පැරැණිය. ඉතිහාසයක් ඇත්තේය. හිරිගල් ගුහා අතරින් ඇසෙන්නේ දිය බිඳු වෑස්සෙන හඩය. තායිලන්ත පාපන්දු කණ්ඩායමේ දරුවන් අතරමං ව ඇත්තේ මෙවන් වූ සිය දහස් වාරයක් භයානක ගුහාවකය. එහෙත් ඒ චියන් මායි හි නොව චියන් රායි හිය. චියන් රායි පිහිටා ඇත්තේ චියන් මායි සිට කිලෝ මීටර් 198ක් පමණ දුරකිනි. ලාඕසය හා මියන්මාර දේශ සීමා ආසන්නයේය.

චියන් රායි හි නෑංග් නොන් වනාන්තරය වර්ග සැතපුම් අටක් පුරා විහිදුණු දළ බෑවුම් සහිත කඳුකර වනාන්තරයකි. වයිල්ඩ් බෝ හෙවත් ‘මූ පා ’ළමා පාපන්දු කණ්ඩායම නෑංග් නොන් හි පිහිටි තාම් ලුආන්ග් ගුහාවේ නිරීක්ෂණ චාරිකාවට පිටත් වූයේ පසුගිය ජූනි 23 වැනිදාය. ඔවුහු ගුහාවට පිවිසීමට පෙර සිය දෙමවුපියන්ට ජංගම දුරකතන මගින් පණිවිඩ යවමින් “අපි ගුහාවට යනවා. විදුලි පන්දම් හා කෑමත් අ‍රන් යනවා ” යැයි දැනුම් දීමට අමතක නොකළහ. එහෙත් එසේ ගිය දරුවන්ගෙන් ඉන්පසු ආරංචියක් නොලද තැන දෙමවුපියෝ ගුහාව අසලට රොක් වූහ. දරුවන් ගුහාව කරා පැමිණි පා පැදි පමණක් ගුහා කට ළඟ දොරකඩ තිබිණ. ඒ දුටු දෙමවුපියෝ වහාම අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු දරුවන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න සෙවීමට උත්සුක වූහ. 24 වැනිදා වෙද්දී සෙවිම් කණ්ඩායම් ගුහාව කරා ළඟා වුහ. ගුහාව ඇතුළත සැතපුම් 3ක දුරක් ගමන් කළ ඔවුනට දැක ගත හැකිවූයේ දරුවන් ගෙනගිය බෑග් සහ සැහැල්ලු පාවහන් පමණි.

තාම් ලුආන්ග් ගුහා සංකීර්ණය විස්තීර්ණවූ හුනුගලින් ස්වාභාවිකව නිමැවුණු කුටි ජාලයකින් සමන්විතය. මේ කුටි බොහොමයක් එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ අපිළිවෙළට විහිදි පැසේජ මගිනි. මේ සෑම තැනම හිරි ලඹ හා ටැඹවලින් යුක්තය. ගුහා කටේ සිට සැතපුම් එකහමාරක් පමණ වනතෙක් තුන්මං හන්දියක් දක්වා කුඩා කුටි කීපයක්ම වෙයි. දකුණු පසට පිහිටි ගුහා උමග උතුරට විහිදේ. වඩාත් ආකර්ෂණයක් දිනා ගන්නේ ගුහාවේ වමට විහිදෙන ප්‍රධාන උමගය. මෙහි ඇති විශාල රඟමඩලක් බඳු කුටිය හැඳින්වෙන්නේ එරට සුප්‍රසිද්ධ සංචාරක පාරාදීසයක් වන ‘පතායා බීච්’ නමිනි. ගුහාව ඇතුළත පිහිටි බොහොමයක් පැසේජ වැසි සමයේ වැසි ජලයෙන් පිරී යයි. මේ ගුහා සංකීර්ණය මේ ආකාරයට සැතපුම් 6ක් ඔස්සේ පොළොව යටින් දිව යයි.

වැසි සමයේ ඇතුළුවීම අනතුරුදායක බව සඳහන් කරමින් ගුහා පිවිසුමේ දැන්විම් පුවරුවක් සවිකර ඇත. වයිල්ඩ් බෝ කණ්ඩායමේ සාමාජික දරුවන් 12 දෙනකු හා ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු ගුහාවට පිවිස ඇත්තේ ඒ අවවාද නොතකමිනි. මේ සියලු දරුවන් වයස අවුරුදු 11 සිට අවුරුදු16 දක්වා වයස්වල පසුවන්නන්ය. පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු පුරුද්දක් ලෙසින් සිය සාමාජික පිරිමි දරුවන් ගුහාවේ චාරිකා සඳහා කැටුව එන බවට මාධ්‍ය වාර්තා පළ කර තිබිණි. චියන් රායි ප්‍රදේශයට මේ දිනවල ඇද හැළෙන ධාරාණිපාත මෝසම් වර්ෂාව ඔක්තෝබර් මස දක්වාම පවතින බවට වාර්තා වේ. එසේ තිබියදී ගුහාවේ කොටුව සිටින දරුවන් බේරා ගැනීම කල් යෑමට ඉඩ ඇත්තේ පැයකට අඟල් 6ක වේගයෙන් ගුහාවේ අභ්‍යන්තර පැසේජ වැසි ජලයෙන් පිරී යන බැවිනි. එහෙත් දිය උරා ගන්නා හුනුගල් පර්වතවල අවශ්‍ය තරම් ඔක්සිජන් ඇති හෙයින් දරුවන් නිරුපද්‍රැතව සිටිතැයි ගලවා ගැනීමේ නිලධාරීහු බලාපොරොත්තු පළ කරති.

ගුහා කට අද්දරට වී මවුපියන් හඬමින් මල් පහන් හා හඳුන්කූරු පත්තු කරමින් දරුවන් නිරුපද්‍රැතව පැමිණේවායි ප්‍රාර්ථනා කරද්දී ජුනි 25 වැනිදා එතැනට ළඟා වූයේ තායිලන්තයේ රාජකීය නාවික හමුදාවේ සීල් කිමිදුම් කණ්ඩායමයි. ඔවුන් දරුවන් බේරා ගැනීම ආරම්භ කළේ ගුහාව ඇතුළත පිරි ජලය ඉවත් කරමිනි. මෙහෙයුමට හෙලිකොප්ටර් යානා යොදා ගැනීම අඩාල කළේද ධාරාණිපාත වර්ෂාවය. 27 වැනිදා වෙද්දී තවත් ගලවා ගැනීමේ කණ්ඩායම් එතැනට ළඟා වන්නට විය. දහසකින් පමණ යුතු යුද හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් ළඟා වුවද ඔවුන් කිසිවකුටවත් දරුවන් සිටින තැනක හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවිය. මේ සියල්ලට බාධා කළේ දරුණු වැස්සය.

පස් දිනක් තිස්සේ වනාන්තර ගුහාවක කොටුව සිටින තායිලන්ත දරුවන් පිළිබඳ ආරංචිය පැතිර යද්දී ලොව නන් දෙසින් දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට ගුහා අභ්‍යන්තරයේ කිමිදීමට දක්ෂ නිලධාරීහු එක් වූහ. ඒ අතර ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු, එංගලන්ත, චීන, මියන්මාර, ලාඕස හා රුසියානු නිලධාරීහු වූහ. ඒ අතර ස්වෙච්ජාවෙන් එක්වූ වෛද්‍යවරු හා හෙදියෝද වෙති. එම කණ්ඩායම් ගුහා අභ්‍යන්තරයට පිවිසුණේ අමතර ඔක්සිජන් ටැංකි ද රැගෙනය. ඒ වෙද්දී ඇතැම් දෙනා පවසා තිබුණේ දරුවන් බේරා ගැනීම කාලයත් සමඟ දිවෙන තරගයක් බවයි. එහෙත් දිනෙන් දින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ සෙමෙනි. එයට හේතුව කෙතෙක් ජලය ඉවත් කළද අභ්‍යන්තර පිවිසුම් මාර්ග ක්ෂණයකින් ජලයෙන් පිරී යෑමය.

දැඩි ප්‍රයත්නයකින් පසු පසුගිය ඉරිදා තායි නේවි සීල් සාමාජික කිමිදුම්කරුවන් කීප දෙනෙකු පතායා බීච් ලෙසින් නම් ලද කුටියට පැමිණියත් ඔවුනට දරුවන්ගේ හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. ගුහාව ඇතුළත ඇති දැඩි අඳුර හා නිරන්තර ජල ගැලීම් නිසා ඔවුනට ආපසු හැරී ඒමට සිදුවිය. ඊට හේතු වූයේ නාවික හමුදා නිලධාරීන්ට පටු පැසේජ හරහා කිමිදීමට නොහැකි වීමය. එහෙත් ඔවුහු යළි නැවතත් මෙහෙයුමට එක්වෙමින් විවිධ උපාය මාර්ග යොදා ගනිමින් දරුවන් සෙවූහ. පැරැණි මිනින්දෝරු ක්‍රම හා මෑතදී ගුහාවේ කළ නිරීක්ෂණ කටයුතුවලදී යොදා ගත් සිතියම් ද ඊට යොදා ගැනිණි. එම සොයා බැලීම්වලදී ගුහාවේ කුටියෙන් කුටිය නිරික්ෂණයට ලක්විය. ඇතැම් කණ්ඩායම් ඩ්‍රෝන යානා යොදා ගනිද්දි තවත් කණ්ඩායමක් බල්ලන් යොදා ගත්තේය. තවත් කණ්ඩායමක් ගුහා බිත්ති හීනි කේබල් යොදා ගනිමින් හිල් කරමින් දරුවන් සෙවීය.

අවසානයේ දරුවන් සිටිනා තැන සොයා ගැනීමට හැකි වූයේ රික් හා ජෝන් යන බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනාටය. ඔවුන් සිටියේ පතායා බීච් නමින් හඳුන්වන කුටියට තවත් එපිටින් පිහිටි තැනකය. කෑලි කැපිය හැකි ගන අඳුරේ මඩ වැසි ජලයෙන් පිරි පැසේජ හරහා ඉතා අසීරුවෙන් කිමිදී ගිය ඔවුනට ඇතුළත ගුහාවක අඩි 300ක් 400ක් පමණ උස් කඳු ගැටයක් මත වාඩිවී සිටි දරු පිරිස දක්නට ලැබිණ. එවිට දරුවන් අතුරුදන්ව දින 9ක් ගතව තිබිණ.

“දරුවනේ අපි එනවා. ඔහොමම ඉන්න ” දරුවන් එතැන සිටින බව දුටු කිමිදිම්කරුවෙක් ඉංග්‍රිසි බසින් පැවසීය.

ඒ සමඟම ඔහු “ඔතන කී දෙනෙක් ඉන්නවාද? ”යැයි ද විමසීය.

“13යි” ඉතාම සැහැල්ලුවෙන් එකිනෙකාට ළංව වාඩිවී සිටි දරුවෝ පිළිතුරු දුන්හ.

“ෂා! හරි හොඳයිනේ. ඔයාලා හරිම නිර්භීතයි. අපි ඔයාලා බේරා ගන්නාතුරු ඔහොමම ඉන්න. මෙතැන ඉන්නේ අපි දෙන්නයි. අපි කිමිදිලයි ආවේ. තව අය ‍එනවා.” එසේ පවසමින් ආපසු හැරුණු එම කිමිදුම්කරුවෝ දරුවන් ගුහාව ඇතුළත නිරුපද්‍රැතව ඉන්නා පුවත දැනුම් දුන්හ. එතැනට රොක්ව සිටින ලොව නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීහු දරුවන් බේරා ගැනීමේ මෙහෙවර පියවරෙන් පියවර ලොවට වාර්තා කළේය. දරුවන් සොයාගත් පුවත තායි රජය විසින් රටවැසියන්ට දැනුම් දෙද්දී ගුහා දොරකඩ සිටි දරුවන්ගේ දෙමවුපියෝ එකිනෙකා වැලැඳ සතුටු කඳුළු වගුරන්නට වූහ.

ඒ අතරේ ඇබ්සෙයි ලිංග් නමැති කිමිදුම්කරු පර්වතයක ගැට ගැසූ දිගු කම්බියක් මගින් අඩි 130ක් පමණ පහළට බැස ඔහුගේ හිස් ආවරණයේ පැලැඳි කැමරාවකින් ගුහාව ඇතුළේ වාඩිවී සිටි දරුවන් මවුපියන්ට පෙන්වීය.

අයිෂා ගුහාවට පිවිසි බාලම දරුවා වන එකොළොස් හැවිරිදි චානින් ගේ මවය.

“මං මගේ පුතාට එයා කන්න ආසා කරන කෑම ජාති ඔක්කොම හදලා දෙනවා. එයා වැඩියෙන්ම කන්න කැමැති රෝස් කළ තායි ඔම්ලට්” යැයි ඇය පැවසුවේ සතුටු කඳුළු වගුරුවමිනි.

අනමාර් මිර්සා ගුහාවල අතරමංවූවන් බේරා ගැනීම ගැන හසළ දැනුමකින් යුත් අයෙකි. දරුවන් සිටිනා තැන සොයා ගත්තද ගුහා අභ්‍යන්තරයේ පවතින දරුණු ගං වතුර තත්ත්වය හමුවේ දරුවන් එතැනින් පිටතට ගැනීම අවදානමක් බව ඔහු පවසයි.

“ළමයි පීනන්න දන්නේ නෑ. ඔවුන් බේරීමට නම් කිමිදී ගොඩ ආ යුතුයි. නැත්නම් පොම්ප කර ජලය ඉවත් කර දරුවන් පිටතට ගැනීමට හැකිවන තරමට ජල මට්ටම අඩු වනතුරු බලා ඉන්න වෙනවා. එසේත් නැත්නම් ගුහා බිත්ති විද දරුවන් පිටතට ගැනීමට අලුත් පිවිසුමක් සොයා ගත යුතුයි ” මිර්සා පවසයි.

මේ අතරේ ගලවා ගැනීමේ නිලධාරීහු දරුවන්ට කිමිදුම් උපකරණ හා මුහුණු ආවරණ පැලැඳ හුස්ම ගැනීම පුහුණු කිරිමේ අභ්‍යාස කරවති.

කෙසේ වුවද ටයිම් හා ඉන්ඩිපෙන්ඩන් මාධ්‍ය වාර්තා පවසන්නේ මේ බේරා ගැනීමේ මෙහෙයුම තවමත් පවතින්නේ භයානක අවදියක බවයි. ඒ අතරේ තායි නාවික හමුදා සීල් කණ්ඩායම දරුවන්ගේ අලුත්ම වීඩියෝ පට දෙමවුපියන්ට පෙන්වා තිබේ. ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය සමඟ එතැනට ළඟාවී සිටින වෛද්‍ය කණ්ඩායම් හා කිමිදුම්කරුවන් සමඟ දරුවන් සිනාසෙමින් කතාකරමින් ඉතා උනන්දුවෙන් යහපත් මානසික මට්ටමකින් සිටින බව එම වීඩියෝ වාර්තා පෙන්වා දෙයි. දරුවන් සීතලෙන් බේරීමට ෆොයිල් කොළවලින් සිරුරු ආවරණය කරගෙන එකිනෙකාට තුරුලුව සිටින අන්දමත් එහි දැක්විණි.

“අපි හොඳින්. අප සොයා ගත්තාට ස්තුතියි”යනුවෙන් දරුවන් පවසනු වීඩියෝ පටයේ විය.

‘‘මේ දරුවන්ට බල්ලන් බුරන හඬත් දරුවන් සෙල්ලම් කරමින් කෑ ගසන හඬ හා කුකුළන් හඬලන හඬ ඇසුණාලු. ඒ ඔස්සේ දරුවන් බේරා ගැනීමට චිමිනි කුහරයක් හෝ වෙනත් කුහරයක් වැනි පිහිටීමක් ඇතැයි අපට හිතෙනවා. දරුවන් ජලය හරහා පිටතට නොගෙන එවැනි කුහරයක් විද ඔවුන් පිටතට ගැනීමට හැකියාවක් ඇත්දැයි දැන් අප සොයා බලනවා.” යැයි ගලවා ගැනීමේ මෙහෙයේ නියුතු වූවෝ පවසති. මිළඟට බලධාරීන් සැරැසුණේ දරුවන්ට දෙමවුපියන් හා කතාබහ කිරිමට දුරකතන පහසුකම් සපයා දීමටය. එහෙත් ජලය හරහා ඇදි රැහැන් විනාශවීම නිසා එයද පමාවී තිබේ.

ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පැවැත්වෙන සමයේ තායිලන්ත කුඩා පාපන්දු ක්‍රීඩකයන් මුහුණ පා සිටින මේ බියකරු අවස්ථාව ගැන බ්‍රසීලයේ පාපන්දු රජා වන රොනාල්ඩෝ ගේද අවධානයට ලක්විය.

“මේ කුඩා ක්‍රීඩකයන් මුහුණ පා සිටින බියකරු අවස්ථාව ගැන ඇසිමත් කනගාටුවක්. කාට හෝ හැකි ඉක්මනින් ඔවුන් බේරා ගැනීමට ක්‍රමයක් පාදා ගත හැකි වෙතැයි මං ප්‍රාර්ථනා කරනවා” ඔහු බීබීසියට පවසා ඇත්තේය.

දරුවන් හා කතාබහ කිරිමට දුරකතන රැහැන් ඇදීම ප්‍රමාද වෙද්දී සත් දෙනකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු නාවික හමුදා කණ්ඩායමක් රාත්‍රීන් කීපයක් ගන අඳුරේ දරුවන් හා ගත කළේය. ඒ අතරේ වෛද්‍යවරයෙක් හා හෙදියක්ද වූහ. දරුවන්ට දින ගණනකට පසු පළමු වරට ආහාරයක් ලෙස ලැබුණේ බත් හා ඌරු මස්ය. ඉතා හොඳින් ඔතා ජලය නොයන සේ සීල් කර ඒවා සකසා තිබිණ. ඒ අතරේ ශක්තිය වැඩිම සඳහා ශක්තිජනක ජෙලි වර්ග ද දෙනු ලැබිණ.

මුළු ලෝකයේම මාධ්‍ය තායිලන්තයේ ගුහාවේ රැඳී සිටින දරුවන් ගැන අලුත් වාර්තා හෙළි කරයි. ඒ අතරේ වොෂිංටන් පෝසට් පුවත් පත හෙළි කර තිබුණේ හිරවී සිටින දරුවන් ලෝක කුසලාන තරග අලුත්ම ප්‍රතිඵල හා කවුරුන් ජය ගනීද යන්න විමසන බවයි.

ඒ අතරේ බෙල්ජියමට පරාජය වී සිටින ජපාන කණ්ඩායම මේ දරුවන්ට සුබ පතමින් ධෛර්යය හීන කර නොගන්නා ලෙස පවසමින් පණිවුඩයක් එවා තිබේ.

හිරිගල් ගුහාවේ සිටින දරුවන් අතරින් ඩුවාංග්පෙච් හෙවත් ‘ඩොම්’ සිය දාහතර වැනි උපන් දිනය සැමරුවේ ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත වුවන් විසින් ඔවුන් සොයා ගනු ලැබූ දිනට පසුදිනය. එය දැනගත් පසු ලොව පුරා සුබ පතන්නෝ සිය සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ඩොම්ට සුබ පැතුම් එක් කළහ.

“ඔයාගේ උපන් දිනය ඔබට සුබ දිනයක්. මොකද ඔයා බේරා ගැනුණේ එදිනයි”ලෙසින් මවපිචායා සිය පුතුගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් පැවසුවාය. ගුහාවේ දරුවන් සිටින තැනට ළඟාවීම සඳහා පැය හයක් ගත වන බව වාර්තා වේ. යළි ආපසු ගුහා දොරටුව කරා ඒමට තවත් පැය පහක් ගතවේ. ගලවා ගැනීමේ කණ්ඩායම් කෙතරම් පිටතට වතුර පොම්ප කළත් ඒ සැණින් වතුර පිරීම දරුවන් ගලවා ගැනීමට මහත් බාධාවක්ව පවතී.

‘‘දරුවන් ජලය හරහා ගෙන ඒම තවමත් පවතින්නේ භයානක අවදියක. එය ඉතා උපද්‍රව සහිත කිමිදීමක්. එසේම ඔවුන්ට ඒ සඳහා ශක්තියක් හෝ හැකියාවක් තිබේද යන්නත් ප්‍රශ්නයක්” යනුවෙන් පවසන ගලවා ගැනීමේ නිලධාරීහු තවමත් දරුවන් පිටතට ගැනිමේ යහපත් හා ආරක්ෂිත ක්‍රමයක් ගැන වාද වෙති. මෙයට හේතු වි ඇත්තේ ඉදිරි දින කීපයේදී ඇද හැළෙතැයි අපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවය.

මේ අතරේ සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ දරුවන් සිටිනා තැනින් ඉවත් කිරීම අවදානම් බව සීල් නාවික හමුදා නිලධාරීන් පවසන බවය. එයට හේතුවී ඇත්තේ එක් දරුවකු හා පුහුණුකරු මන්ද පෝෂණය හේතුවෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවීමය. මේ වෙද්දී තායි නාවික හමුදා සීල් භටයෝ ගුහාවට ඔක්සිජන් පොම්ප කිරීම අරඹා ඇතැයිද සීඑන්එන් වාර්තා කළේය. ගුහා දොරටුවේ කඳවුරු ලාගෙන සිටින ගලවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය උපකරණ සපයමින් යුහුසුලු වෙද්දී අවට පදිංචි ජනයා ඔවුනට ආහාර සපයමින් විවිධ උපකාර කරති. ස්වෙච්ජා සේවකයන් මෙන්ම හමුදා භටයෝද මාධ්‍යවේදීහු ද ඒ අවට පොදිබැඳ සිටිති.

ද ගාඩියන් පුවත් පත සිකුරාදා උදෑසන සිය අලුත්ම වාර්තාවෙන් පවසා ඇත්තේ තායි සීල් භටයකු මෙහෙයුමේ දී ඔක්සිජන් ඌනතාව නිසා මිය ගිය බවයි. ඒ අතරම ගුහාවට පිවිසෙද්දී ඇතුළට නොයන ලෙසට මිතුරන් විසින් කරල ලද අනතුරු ඇඟවීම් කණ්ඩායමේ සිටි අය නොඅසූ බව ද පැවසේ.

තේන්ස් වීරාසින් දරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමේ දී පර්වතය විදීමේ කටයුතු බාර ප්‍රධාන ඉංජිනේරුවරයාය. ඔහු තායිලන්ත ඉංජිනේරු ආයතනයේ සභාපතිවරයා ද වෙයි.

‘‘අප දැන් උත්සාහ දරන්නේ දරුවන් සිටින තැනට ඉහළින් පර්වතය විදිමින් එතැනට ළඟාවීමටයි. දරුවන් රැඳී සිටින ගුහාවේ ඉඩ මදකම නිසා මුලදී මෙය භයානක වන බැවින් අත්හැර දැමුවා. එලෙස විදිනවා නම් මීටර් 100ක් පමණ පහළට පර්වතය විදිය යුතුයි. එම විදින සිදුර මීටරයක් පමණ පළල්. ඒ ඇතුළෙන් කේබලයක ආධාරයෙන් දරුවන් සිටින තැනට බැස්ස හැකියි. එතැන සිට මාලිමා යන්ත්‍රයක ආධාරයෙන් දරුවන් සිටින තැන සොයා ගත හැකිවේවි. මා එම සිදුර ඔස්සේ දුම් රොටු යැවූ විට එම දුම් ඉතා ඉක්මනින් පැතිර ගියා. ඒ පැසේජවල ඇති මඩ ජලය ඉවත් කරමින් තිබීම නිසයි. මේ කටයුතු ඉතා ශීඝ්‍රයෙන් සිදු වෙනවා. මේ සිදුරු දරුවන් සිටින තැනට යෑමට මඟ පාදාවි” ද ගාඩියන් වාර්තා කරයි.

 

අදහස්