විශිෂ්ටයන් සොයා යන ගමනේ ඔබ්සර්වර් - මොබිටෙල් සලකුණ | සිළුමිණ

විශිෂ්ටයන් සොයා යන ගමනේ ඔබ්සර්වර් - මොබිටෙල් සලකුණ

ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන තවාන් බිම, තිඹිරිගෙය වන්නේ පාසලයි. ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු සහ පිහිනුම් ක්‍රීඩාවන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙකි ක්‍රීඩා ඉලක්ක කරගත් සම්මාන උලෙළවල් අතර අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) නැතහොත් පත්තර මහ ගෙදර සංවිධානය කරනු ලබන සන්ඩේ ඔබ්සර්වර්. මොබිටෙල් සම්මාන උලෙළට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

වාණිජ පරමාර්ථ මුල්කරගත් සමාජ ක්‍රියාකාරකම් අතු ඉති සේ දලු ලා වැඩෙන ලාංකේය භූමිය මත සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් සම්මාන උලෙළ යනු අංකුර ක්‍රිකට් තරු කරලිගත කිරීමේ උදාරතර සද්කාර්යයක් බව නොරහසකි. ලාංකේය ධජය යටතේ ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් ක්ෂේත්‍රයට විශිෂ්ටයන් රැසක් කරළිගත කළ සම්මාන උලෙළ ලෙස ද මෙකී සම්මාන උලෙළට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මුල් කාල වකවානුවේ මෙකී සම්මාන උලෙළ විජයග්‍රහණ කොළඹට කේන්ද්‍රගත වුවද පසුගිය තෙවසරක කාලය තුළ අඛණ්ඩව වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දකුණු පළාතට හිමි වීම ද විශේෂත්වයකි. මෙසේ කොළඹ අභිබවා යාම තුළ අර්ධ නාගරික සහ විශේෂයෙන් ග්‍රාමීය අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද නව ජවයක් එක් වී තිබීම ම සැලකිය යුතු කරුණකි. සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් තිස්නව වැනි සම්මාන උලෙළ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි කණ්ඩයේ පාසලක ක්‍රීඩකයකු වසරේ විශිෂ්ටතම ක්‍රිඩකයාට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ඒ අම්බලංගොඩ පී.ද. එස්. කුලරත්න විද්‍යාලයේ නිපුන් රන්සිකයි.

ලාංකේය ක්‍රීඩා කෙත පෝෂණය කරනු ලබන පාසල නාගරිකද, අර්ධ නාගරිකද, ග්‍රාමීය ද යන්න වැදගත් නොවන බව නිපුන් රන්සික සනාථ කළේ පසුගිය වසර තුනේදීම සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රිඩකයා සම්මානය දකුණු පළාතට රැගෙන යාමට 2015 – 16 දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක අඛණ්ඩව සමත් වෙද්දී මෙවර හසිත බෝයගොඩ එකී සම්මානය මධ්‍යම පළාතට රැගෙන යාමට සමත් වීය.

1979 පටන් ලාංකේය පාසල් ක්ෂේත්‍රයේ තුන් ඉරියව් ක්‍රිඩකයන්ට හෝ පිතිකරුවන්ට උරුම වූ පාසල් ක්‍රිකට් ක්‍රිඩකයා සම්මානය 1991 මුරලි දිනා ගැනීමෙන් අනතුරුව හිමිකර ගත් ප්‍රථම පන්දු යවන්නා ද නිපුන් රන්සික වීම විශේෂත්වයකී.

මෙවර හතළිස්වැනි වරටත් කරලි ගත වූ මෙකී සම්මාන උලෙළට ශ්‍රී ලංකා ක්‍රිකට්, ලකුණු සටහන් කරුවන්ගේ සංගමය ඇතුලු තවත් පිරිසක් සුපුරුදු පරිදි සිය දායකත්වය එක් කළහ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඉමහත් කීර්තියක් දිනා සිටින රන්ජන් මඩුගල්ලේගෙන් සමාරම්භය සටහන් වූ මෙකි සම්මාන උලළේ එතෙක් - මෙතෙක් බිහි වූ විශිෂ්ටයන් වූ අර්ජුන රණතුංග සහ මුරලිට හිමි වන්නේ ද සුවිශේෂි ස්ථානයකි. මුරලි ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වනවිට ඩැරල් හෙයාර්, රොස් එමර්සන් මුරලිට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දුව දමා ගසනවා යැයි කියු කුමන්ත්‍රණය ඉදිරියේ නායකයකු ලෙස අර්ජුන රණතුංග දියත් කළ සටන නොවන්නට මුරලි ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් නොවීමට ද තිබුණි. එකී මෙකී සියලුම ක්‍රිකට් ක්‍රිඩකයන් අංකුර ලෙස ගොඩ වූ එකම වේදිකාව ලෙස ද මෙය හැඳින්විය හැකිය.

 

අදහස්