ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝලලාභීන් | සිළුමිණ

ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝලලාභීන්

රුසියානු ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරගයකි. පෘතුගාලය සහ මොරොක්කෝව තරග කළේය. එහිදී ගෝල 1 - 0 ක ජයක් ලැබුවේ පෘතුගාලයයි. එම ජයග්‍රාහී ගෝලය රැස් කළේ නායක සහ සුපිරිතම ක්‍රීඩක ක්‍රිස්ටිය‍ානෝ රොනල්ඩෝ විසිනි.

එය සුවිශේෂි දස්කමකි. එනම් පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ වැඩි ම ජාත්‍යන්තර ගෝල රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවන තැනට ඔහු පත් වීමයි. මෙම දස්කම දැක්වූ ක්‍රීඩකයන් අතරට ප්‍රකට මෙන් ම අප්‍රකට තරු ද අයත්ය.

 අලි දායි (ඉරානය)  ගෝල 109

අලි ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. ඔහු මේ දස්කම දැක්වූයේ තරග 149 කදීය. 1969 මාර්තු 21 උපත ලැබීය. ඔහු‍ෙග් උස අඩි 6 අඟල් 3 1/2 කි. ජාත්‍යන්තර තරග කාලය 1993 - 2006 දීය. 2000 - 06 නායකයාය. 1998 සහ 2006 ලෝක කුසලාන තරගවලියන්ටත් ක්‍රීඩා කළේය. වෘත්තීය මට්ටමින් ජර්මනියේ බයර්න් මියුනික් සහ හර්තා බර්ලින් කණ්ඩායම්වලට ක්‍රීඩා කරන ලදි.

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ (පෘතුගාලය)  ගෝල 85

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 152 කදීය. උපත ලැබුවේ 1985 පෙබරවාරි 05 දාය. අඩි 6 අඟල් 1 ක් උසැතිය. ජාත්‍යන්තර තරග වරම 2003 දීය. මේ වන විට ලෝක කුසලාන තරගාවලි සතරකි. ඒ 2006, 10, 14 (නායක) සහ 2018 (නායක) දීය. එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ්ට ක්‍රීඩා කළේය.

ෆෙරෙන්ච් පුෂ්කාස් (හංගේරියාව / ස්පාඤ්ඤය) ගෝල 84

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 89 කි. උපත 1927 අප්‍රේල් 02 - විපත 2006 නොවැම්බර් 17 දාය. අඩි 5 අඟල් 7 1/2 ක් උසැතිය. ජාත්‍යන්තර තරග කාලය 1945 - 62 දීය. උපන් රට වූ හංගේරියාවට තරග 85 කි. ගෝල 84 කි. ස්පාඤ්ඤයට තරග සතරකි. 1954 ලෝක කුසලාන අනුශූර පිලේ නායකයාය. 1962 ලෝක කුසලානයේදී ස්පාඤ්ඤය නියෝජනය කළේය. රියල් මැඩ්රිඩ් හිටපු ක්‍රීඩකයෙකි. 1952 ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකි.

කුනිෂිගේ කමමෝටෝ (ජපානය) ගෝල 80

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 84 කදී මෙම දස්කම දැක්වීය. 1944 අප්‍රේල් 15 උපත ලැබීය. අඩි 5 අඟල් 10 1/2 ක් උසැතිය. ජාත්‍යන්තර තරග කාලය 1964 - 77 දක්වාය. 1968 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම හිමි කර ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. වෘත්තීමය මට්ටමින් 1967 - 84 දක්වා ජපා‍නයේ යන්මාර් ඩියිසල් කණ්ඩායමට ක්‍රීඩා කළේය. තරග 251 කි. ගෝල 202 කි.

ගොඩ්ෆ්‍රි චිටාලු (සැම්බියාව) ගෝල 79

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 111 කි. උපත 1947 ඔක්තෝබර් 22. විපත 1993 අප්‍රේල් 27 දාය. ජාත්‍යන්තර තරග කාලය 1968 - 1980 දක්වාය. 1980 ඔලිම්පික් උලෙළටත් සහභාගි විය. 1994 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට සහභාගි වීමට සැම්බියානු ජාතික කණ්ඩායම සෙනගාලයට ගියේ සැම්බියානු ගුවන් හමුදා යානයකිනි. නමුත් එම ගමන නිමා වූයේ ගුවන් යානය මුහුදට වැටීමෙනි. එහි සිටි සියලුම දෙනාම මිය ගියහ. ඒ අතරට එවකට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ගොඩ්ෆ්‍රිත් අයත්ය.

හුසෙයින් සයීඩ් (ඉරානය) ගෝල 78

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 137 කි. උපත ලැබුවේ 1958 ජනවාරි 21 දාය. අඩි 5 අඟල් 11 ක් උසැතිය. ජාත්‍යන්තර තරග කාලය 1976 - 1990 දක්වාය. ප්‍රධානතම ක්‍රීඩා සමාජය ඉරාකයේ අල් ටලාබාය. හෙතෙම 1980, 84, 88 ඔලිම්පික් ක්‍රීඩා උළෙලටත් 1986 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි විය.

 

පේලේ (බ්‍රසීලය) ගෝල 77

ඉදිරි පෙළටත් මැද පෙළටත් ක්‍රීඩා කළේය. තරග 92 කි. 1940 ඔක්තෝබර් 23 උපත ලැබීය. උස අඩි 5 අඟල් 8 කි. ජාත්‍යන්තර තරග කාලය 1957 - 71 අතරය. බ්‍රසීලයේ සැන්ටොස් සහ ඇමෙරිකාවේ නිව් යෝර්ක් කොස්මෝස් කණ්ඩායම්වලට ක්‍රීඩා කළේය. 1958, 62, 70 ලෝක කුසලාන ත්‍රිත්වයක හිමිකරුවෙකි. 1966 තරගාවලියටත් සහභාගි විය.

බෂාර් අබ්දුල්ලා (කු‍ෙව්ට්) ගෝල 75

ඉදිපෙළ ක්‍රීඩකයෙකි. තරග 133 කි. 1977 ඔක්තෝබර් 12 උපත ලැබීය. අඩි 5 අඟල් 8 1/2 ක් උසැතිය. 1996 - 2018 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. සවුදි අරාබියේ අල් හිලාල් සහ කුවේටයේ අල් කුවේට් ඔහු ක්‍රීඩා කළ ප්‍රධාන කණ්ඩායම්ය. 2000 ඔලිම්පික් ක්‍රීඩා උලෙළටත් 1996, 2000 සහ 2004 ආසියානු කුසලාන තරගාවලියටත් සහභාගි විය.

සැන්ඩොර් කොසිස් (හංගේරියාව) ගෝල 75

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. උපත 1929 සැප්තැම්බර් 21 - විපත 1979 ජූලි 22 දාය. තරග 68 කි. 1948 - 56 දක්වා ජාත්‍යන්තර තරග කාලයයි. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා සහ වැලෙන්ෂියා වැනි කණ්ඩායම්වලට ක්‍රීඩා කළේය. 1952 ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකි. 1954 ලෝක කුසලාන අනුශූරයෙකි. ජීවිතයේ අවසන් කාලය ලියුකේමියාවෙන් සහ උදර පිළිකාවෙන් පීඩාවට පත් විය.

කින්නාහ් ජිහිරි (මලාවි) ගෝල 71

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 115 කි. 1954 ඔක්තෝබර් 30 උපත ලැබීය. මලාවි යනු අප්‍රිකානු රටකි. ජාත්‍යන්තර තරග කාලය 1974 - 81 අතරය. පසුකලෙක පුහුණුකරුවකු ලෙසට ක්‍රියා කළේය.

මිරොස්ලාව් ක්ලෝසා (ජර්මනිය) ගෝල 71

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 137 කි. 1978 ජුනි 09 උපත ලැබුවේ පෝලන්තයේය. අඩි 6 1/2 ක් උසැතිය. 2001 - 14 අතර ජාත්‍යන්තර තරග කාලයයි. ජර්මනියේ බයර්න් මියුනික්, වර්ඩර් බ්‍රේමන් සහ ඉතාලියේ ලාෂියෝ කණ්ඩායම්වලට වෘත්තීමයව ක්‍රීඩා කරන ලදි. ලෝක කුසලාන තරගාවලියන්හිදී 2014 (ශූරතාව), 2002 (අනුශූරතාව) 2006 සහ 2010 තෙවැනි ස්ථාන හිමිය. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියාය. ඒ ගෝල 16 කි.

මජිඩ් අබ්දුල්ලා (සවුදි අරාබිය) ගෝල 71

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 116 කි. උපත 1959 ජනවාරි 11 දාය. අඩි 6 අඟල් 2 ක් උසැතිය. ජාත්‍යන්තර තරග කාලය 1977 - 94 දක්වාය. සවුදි අරාබියේ අල් නාසර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. 1984 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි විය. 1994 ලෝක කුසලාන තරගාවලියේ සවුදි නායකයාය.

කියාටිසුක් සෙනමුවාන්ග් (තායිලන්තය) ගෝල 71

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. තරග 134 කි. 1973 අ‍ගෝස්තු 11 උපත ලැබීය. අඩි 5 අඟල් 7 1/2 ක් උසැතියි. ජාත්‍යන්තර තරග කාලය 1993 - 2007 අතරය. එංගලන්තයේ හඩර්ස්ෆීල්ඩ් ටවුන් සහ තායිලන්තයේ රාජකීය තායි පොලිස් කණ්ඩායම්වලට ක්‍රීඩා කරන ලදී. හෙතම පොලිස් නිලධාරියෙකි. 1996 සහ 2007 ආසියානු කුසලාන තරගාවලියන්ටත් සහභාගි විය.

අදහස්