අපි ආස කරන දේවල් හරියට කරන්න ඕනෑ | සිළුමිණ

අපි ආස කරන දේවල් හරියට කරන්න ඕනෑ

කමිඳු මෙන්ඩිස් නැඟී එන යොවුන් ක්‍රිකට් තරු අතර ඉදිරියෙන් ම සිටින්නෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ කමිඳු ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ නායකත්වය දරමින් සාර්ථකව ගමනකට අවතීර්ණව සිටියි. පසුගිය යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර‍ී ලංකා කණ්ඩායමේ නායකයා ව‍‍ූ කමිඳු දෙයතින් පන්දු යැවීමේ හැකියාවෙන් යුක්තය. මෙවර සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් ක්‍රිකට් සම්මාන උළෙලේ පළමු කාණ්ඩයේ හොඳම පන්දු රකින්නාට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් විය. මේ කමිඳුගේ හඬට අප වෙන් කළ ඉඩ කඩයි.

 කමිඳු ක්‍රිකටර් කෙනෙක් වෙන පසුබිම ගොඩනැ‍ඟෙන්නේ කොහොමද?

මම ක්‍රිකටර් කෙනෙක් වෙන පසුබිම ගොඩනැ‍ඟෙන්නේ වයස අවුරුදු 13 න් පහළ රිච්මන්ඩ් විද්‍යාලයට ක්‍රීඩා කරන තැන ඉඳලයි. ඊට කලින් ඇකඩමියකට සම්බන්ධ වෙලා හිටියා. එතකොට මට අවුරුදු 11 – 12 ක් විතර ඇති. ඇකඩමියෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අයන්න ආයන්න කියන්නේ. ගාල්ලේ පැර්ගා ඇකඩමියෙන් තමයි මම හරියටම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ ධනුෂ්ක දෙනගම තමයි මේ ඇකඩමිය කළේ‍. මගේ පළමු ක්‍රිකට් පුහුණුකරුත් ධනුෂ්ක සර්. මගේ උපන්ගම‍ ගාල්ලේ බූස්ස.

කමිඳුගේ පවුලේ?

අක්කයි, මල්ලියි, මල්ලි සඳුන් තාරක මෙන්ඩිස්. මෙවර අවුරුදු 19 පහළ සංචිතයට තේරිලා ඉන්නවා. අක්කා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉ‍ෙගන ගන්නවා. අක්කා ක්‍රීඩාවට සම්බන්ධ නෑ‍. තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. අම්මා රැකියාවක් කරන්නේ නෑ.

රිච්මන්ඩ් විද්‍යාලයට 13 න් පහළ ක්‍රීඩා කරපු තැන ඉඳලා ආපු ගමන දිහා හැරිලා බලන කොට මොනවද හිතෙන්නේ?

වයස අවුරුදු 13 න් පහළ ආරම්භක අවුරුද්දේ ම හොඳ ආරම්භයක් ගත්තා කියලා හිතනවා. මගේ නායකත්වය යටතේ 13 න් පහළ ක්‍රීඩා කරන කොට ලකුණු 700 ක් සහ විකට් 30 ක් ගන්න පුළුවන් වුණා.‍ මට හිතෙනවා ඒක ‍ෙහාඳ ආරම්භයක් වුණා. ක්‍රිකටර් කෙනකුට තමන්ගේ මූලික පියවරින් හොඳ අඩිතාලමක් දා ගන්න පුළුවන් වු‍ණා.

කමිඳුට එතැනදී ද හිතුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ අඩිතාලමක් දා ගන්න පුළුවන් කියලා?

ඇත්තටම ඔව්. මට ලොකු විශ්වාසයක් ඇති වුණා, ක්‍රිකට් ක්‍රීඩාවේ දිගු ගමනක් යන්න මේ පටන් ගැන්ම හොඳයි කියලා. හුඟක් අය මේ ගැන කතා කළා. මට ඒක ලොකුවට ම හිතට වැදුණා. මම එතැන ඉඳලාම උත්සාහ කළේ හැම වෙලාවෙම සාර්ථක ගමනක් යන්න පුළුවන් විදියට ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න‍. මට අවශ්‍ය ඒ පරිසර සාධකත් වට පිටාවෙන් ම ගොඩ නැඟුණා.

තරගයෙන් තරගය ක්‍රීඩාංගණ තණ තීරු වෙනස් වෙනවා. කමිඳු කොහොමද මේවාට හැඩ ගැහෙන්නේ?

තරගයෙන් තරගය තණ තීරු වෙනස් වෙනකොට අපි ඒවාට පුළුවන් තරම් ඉක්මනින් ම හැඩ ගැහෙන්න ඕනෑ. සමහර වෙලාවට අපේ තීන්දු තීරණ වෙනස් කරන්න වෙනවා. අපි මානසික ශක්තිමත්ව මේ වෙනස් වීම් වලට මුහුණ දෙන්න හැඩ ගැහෙන්න ඕනෑ. සමහර විට ඉතාමත් සුළු දෙයක් වෙන්නත් පුළුවන් කරන්න තියෙන්නේ.‍ අපි මේවාට බය නැතුව මුහුණ දීලා ඉදිරියට යන්න බලන්න ඕනෑ. ඒක හොඳ අත්දැකීමක් ලබා ගන්නත් අවස්ථාවක් වෙනවා. අපි මේ කරන සුළු දේ පවා තරගයට ලොකු බලපෑමක් වෙන්නත් පුළුවන්. මොනවා වුණත් අපි හැම වෙලාවේම තණ තීරුව ඇතුළේ කරන දේවල් ගැන අවබෝධයෙන් වැඩ කරනවා නම් වරදින්න තියෙන අවස්ථා අඩු වෙනවා. මේ මොන දේ කළත් අපි විශ්වාසයක් ඇතුව කරන්න ඕන.

කමිඳු එහෙම ලබාගත්ත හොඳම අත්දැකීම මොකක්ද?

2018 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තයේ තිබුණේ. අපේ රටේ වගේ නෙවෙයි හැම දෙයක් ම වෙනස්. ක්‍රීඩාංගණ, තණ තීරු මේ හැම දෙයක් ම වෙනස්. මේ තරගාවලියෙදි අපි ඒ හැම දෙයකටම හුරුවෙලා හොඳ දෙයක් උපරිමයෙන් ම කළා කියලා විශ්වාස කරනවා. ඒක අපේ අනාගත ක්‍රිකට් ජීවිතයට හොඳ ආරම්භයක් වගේ ම අඩුපාඩු හදා ගෙන ඉදිරියට යන්න හොඳ අත්දැකීමක් වුණා. අපි ටීම් එකක් විදියට ගත්තත් ඒ හැම වෙනස්වීමකටම පුළුවන් උපරිමයෙන් ම තරග කරලා, ප්‍රතිවාදීන්ගේ අභියෝගවලට අභියෝග කරන්න පුළුවන් තැනක ඉඳලා ක්‍රීඩා කළා කියලා විශ්වාස කරනවා.

ඒ තරගාවලියේ කමිඳුගේ දක්ෂතා ගැන සතුටු වෙනවාද?

නායකයා විදියට කටයුතු කළෙත් මම. ඒ තරගාවලියේ අර්ධ ශතක දෙකක් ලබා ගත්තා. පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩකයකු විදියට තමයි මගේ දායකත්වය කණ්ඩායමට ලබා දුන්නේ.

නායකයා විදියට මගෙන් කණ්ඩායම බලාපොරොත්තු වූ දේ ලබා දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. මැද පෙළ පිතිකරුවකු විදියට තමයි ක්‍රීඩා කළේ. කණ්ඩායමෙනුත් උපරිම සහාය ලබා ගන්න නායකයා විදියට මට පුළුවන් වුණා. මටත් උපරිමයෙන් ම කණඩායම බලාපොරොත්තු වූ දේ දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හරහා කමිඳු තමන්ගේ ක්‍රීඩා ජීවිතයට එකතු කරගත් දේවල් මොනවාද?

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුට ලැබෙන්න තියෙන ලොකු ම අත්දැකීම තමයි වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කියන්නේ. මේ තරගාවලිය හරහා මතු වූ හුඟක් ක්‍රීඩකයෝ පසු කාලීනව තමන්ගේ ජාතික කණ්ඩායම්වලට එකතු වෙලා තියෙනවා. ‍

මේ තරගාවලිය හරහා අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම හැම වෙලාවෙම අලුතින් යමක් ඉගෙන ගන්න හුඟක් කැමැතියි. ඒ වගේ ම ඉගෙන ගන්න දේවල් පසුකාලීනව අත්හදා බලන්න කැමැති කෙනෙක්. මේ ලෝක කුසලාන තරගාවලිය හරහා ඉගෙන ගන්න හුඟක් දේවල් පසුකාලීනව මම මගේ ක්‍රිකට් ජීවිතයේ අත්හදා බැලීම් කරලා තියෙනවා. ඒවායින් වාසියක් මිසක් අවාසියක් වෙලා නැහැ.

තරගයෙන් තරගයට සෑම දෙයක් ම වෙනස් වෙනවා. කමිඳු පරණ දේවල් හිතේ තියාගෙන තරගයකට යනවාද? නැත්නම් ඒ ඔක්කො ම අමතක කරලා දානවාද?

ක්‍රිකට්වල සරලම දේ තමයි අපේ සුළු වැරැදි පවා ඊළඟ තරගයට යනකොට අරගෙන යන්නේ නැති තැනක ඉඳලා ඊළඟ තරගයට පිටියට යන්න ඕනෑ, අපි හැම වෙලාවේ ම අපේ වැරැදි හඳුනා ගන්න ඕනෑ.අපි අද තරගයේ කරපු වැරැද්ද මොකක්ද කියලා හරියට ම හඳුනා ගන්න පුළුවන් නම් හෙට ඒ වැරැද්ද නොකර ඉන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් ම ඔලුවෙන් කරන්න ඕන ගේම් එකක්. අපි හරියට ක්‍රීඩා කරනවා නම් වරදින්න තියෙන අවස්ථා අඩුයි. අපිත් හැම වෙලාවේ ම උත්සාහ කරන්නේ වැරැදි අවම කරන්න.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ අතරින් කමිඳු වඩාත් කැමැති ක්‍රීඩාංගණය?

සිංහල ක්‍රීඩාංගණයට හුඟක් කැමැතියි. මේ ක්‍රී‍ඩාංගණයේ ක්‍රීඩා කරන්නත් හුඟක් ආසයි. මම කැමැති ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න ලැබෙනවා කියන්නේ මානසිකව ලොකු ශක්තියක්. මට ලෙහෙසියෙන් ම සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතනවා.

කමිඳු තරගයකට යන්නේ ඔළුව පුරෝවගෙනද? හිස්කර ගෙනද?

පොඩි සැලැස්මක් එක්ක තමයි තරගයකට යන්නේ. සැලැස්මට හරියන විදියට වටපිටාව තිබෙනවාද කියලා තමයි මුලින් ම බලන්නේ. මට හිතෙනවා නම් මගේ සැලැස්මට අනුව ක්‍රීඩා කරන්න පුළුවන් කියලා එහෙම ක්‍රීඩා කරනවා. සැලැස්ම වෙනස් කරන්න හිතෙනවා නම් ඊළඟ විකල්පය ගැන හිතනවා.

අද කමිඳුට ඔයා ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. සාර්ථක වෙච්ච අවස්ථා වගේ ම අසාර්ථක වෙච්ච අවස්ථා මේ ගමනේ නැතුව නෙවෙයි. ඕනෑම ක්‍රීඩකයකුට සාර්ථක සහ අසාර්ථක වීම් තියෙනවා. මේ දේවල් හරියට හඳුනා ගත්තොත් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි. 

අදහස්