සල්ලි බාල්දු කරන අය ළඟ සල්ලි රැ‍ඳෙන්නෙ නැහැ | සිළුමිණ

සල්ලි බාල්දු කරන අය ළඟ සල්ලි රැ‍ඳෙන්නෙ නැහැ

මිනිස්සු හුඟක් කනගාටුවෙන් ජීවත් වෙන්නෙ ලොකු දේවල් හිතන නිසා. තමන් ළඟම තියෙන දේට ටිකක් ළඟින් ඇති දේ හිතන්න. එය ළඟා කරගන්න. එතකොට ටික ටික උඩට යන්න ලේසියි. සතුටත් හිතේ රැ‍ඳෙනවා.

අම්මා තාත්තා දුන් නිදහසින් ඔහු වේලාසනම සමාජගත විය. එනිසා ම, ඇතැම් තැනෙක ඔහුට වැරැදිණි. රැවටුණු හා පැරදුණු තැන් ද විය. එහෙත් ඒවායින් යළි ගොඩ එන හැටිත්, හරි වේලාවේදි හරි ම තීන්දුව ගන්නා හැටිත් ඔහු උගත්තේ ඒ සමාජයේ ම සැරිසරමිනි. හැසිරීමෙනි. වාහනවලට ඇති ඇල්ම පිස්සුවක් විය. ඒ පිස්සුව බිස්නස් එකක් විය. වාහන අතපත ගාමින්, ගනිමින්, විකුණමින් ඔහු බො‍‍හෝ දුරක් ආවේය. ඒ බොහෝ දුරට පසු අද ඔහු සිටින්නේ, මෙරට මිලියනපති කාර් සේල් හිමියන්ගේ ලැයිස්තුවේය.

ඔබත් ව්‍යාපාර, ජීවිතය ම කර ගත් කෙනෙක් ද...

නැහැ. බිස්නස් එක ‘හොබී’ එක කර ගත්තු කෙනෙක්. පුංචි කාලෙ ම මං වාහන බිස්නස්වලට අත ගැහුවේ විනෝදාංශෙට. අදටත් ඒ හැඟීම එලෙසමයි. සමහරුන්ට නම් බිස්නස් මහා වදයක්. බරක්. හැම දවසක ම මං මෙතැනට එන්නෙ හරිම සතුටින්. මට දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ. වාහනයක් විකුණන එක විතරක් නෙවෙයි, පරණ කස්ටමර්ස්ලා මුණගැහෙන එක ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන එක, ඔවුන් සමඟ ඇති වන සුහද බැඳීම්... කටින් කටට ඔවුන් අපට ලබා දෙන හොඳ නම... අලුත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම... මේ සියල්ල මගේ බිස්නස් එක ඇතුළේ තිබෙනවා. ඉතින්, තවමත් මට මේක හොබී එකමයි.

මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර...

dp ප්ලාස්ටික්ස් සහ dmt කන්ස්ට්‍රක්ෂන්ස්. dp ප්ලාස්ටික් ආයතනයෙන් කෙරෙන්නෙ අයිස්ක්‍රීම් පෙට්ටි හදන එක. ලංකාවේ හුඟක් අයිස්ක්‍රීම් නිෂ්පාදකයන්ට කන්ටේනර්ස් හදන්නෙ අපි. ඒක, තාත්තා ඉංජිනේරු කර්මාන්තයෙන් විශ්‍රාම ගියාට පස්සෙ එයාගෙ ටෙක්නිකල් දැනුම පාවිච්චි කරලා හදපු බිස්නස් එකක්. තවමත් මං ඒක කරගෙන යනවා. අනෙක් ව්‍යාපාරයෙන් කෙරෙන්නේ නිවාස ඉදිකිරීම්.

සම්මාන සූරතා මේ තරම් ප්‍රමාණයක්... කවුරු දිනපුවද...

මං කාර් රේස් පදින්නේ 1994 ඉඳලා. කටුකුරුන්දේ පැදපු පළමු රේස් එකෙන් ම තුන්වැනියා. වයස විසි හයක් ඇති. මේ සියල්ල එදා මෙදා තුර ලංකාව පුරා ම රේස් පැදලා දිනපුවා. කොටසක් පුතාගේ. පුතා හුඟක් රේස් පදින්නේ එවලුෂන් - 9 කාර් එකෙන්. මං පදින්නේ ෆෝඩ් ලේසර් සහ හොන්ඩා කාර් වලින්.

‘වාහන කියන්නේ යකඩ ගොඩක්...’ ඔබට එහෙම හිතිලා නැද්ද...

මං වාහනවලට ආදරේ මනුස්සයෙක්. කවදාවත් රෝදෙකටවත් කකුල තියලා නැහැ. සමහරු ඩෑෂ් බෝඩ් එක උඩටත් කකුල් තියනවා. ඒකට මං තදින්ම විරුද්ධයි. අපි හැදුණෙ දියුණු වුණේ වාහනවලින්. කාට හරි ඒක යකඩ ගොඩක් වුණත් වාහන කියන්නෙ මට හැඟීමක්. වාහනවලට මං බොහොම ගරු සරු කරනවා.

වාහනවලට තරම් සේවකයන්ටත් සලකනවද...

මං මේ සේල් එක ඇතුළේ ඉන්න බල්ලො පූසන්ටත් සලකනවා. ඉතින් මට සේවකයො ඊට වඩා ලොකු නැද්ද. මගේ ආයතනයේ හැම සේවකයෙකු ම රුපියල් 40,000ට උඩින් වැටුපක් ගන්න අය. මට ඉන්නෙ තෘප්තිමත් සේවක පිරිසක්. ඒ බහුතරයකට යන්න එන්න මෝටර් සයිකලයක් හරි දීලා තියෙනවා. මොකද, මගේ ස්ටාෆ් එක හුඟක් මහන්සිවෙලා වැඩ කරනවා. ඒ වගේ ම මාත් වැඩ කරනවා.

ඔබ මොකටද දැන් ඒ තරම් මහන්සි වෙන්නේ. හැම දේම සිස්ටම් එකකට යනවා නම් ඔබ නිදහස්නේ...

ඔබට ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ඕනෙ නම් ඔබ ඒ බිස්නස් එකේ සිටිය යුතුමයි. විනෝද වෙලා, රට රටවල සවාරි ගිහින්, සීමාවක් නැතිව වියදම් කරලා, ‘සිස්ටම් එකට බිස්නස් එක යනවනේ...’ කියලා පැත්තකට වෙලා හිටියොත් ඔබට නොදැනීම ඔබේ බිස්නස් එක හිඳිලා යනවා. සිස්ටම්වලට අහුවෙන්නෙ නැති හුඟක් දේ, ප්‍රා‍‍යෝගික වුණාම ඇස් දෙකට අහුවෙනවා.

‘ඔබ මුදල් හඹා යන ව්‍යාපාරිකයෙක්...’ කවුරු හරි එහෙම කිව්වොත්...

ඒ කතාව හරි. හැබැයි සාධාරණ විදියට. හොඳ කොලිටි වාහනයක් විකුණපුවම තියෙන සතුට කියල නිම කරන්න බැහැ. ව්‍යාපාරිකයෙකු වුණොත් අන්න ඒ තෘප්තිය එක්කයි මුදල් හඹා යන්න ඕනේ. මගේ පළවෙනි වාහනේ හින්දා මම කාපු කට්ට තවම මතකයි. ඒ නිසා සවුත්තු වාහන මගේ ව්‍යාපාරයට ගන්නෙ නැහැ.

ඒත් හැපිච්ච වාහන හදලා විකුණලත් හොඳට ලාභ ලබන්න පුළුවන් නේ...

එක්කෙනෙක් දෙන්නෙක් රැවටෙයි. ඊට පස්සෙ කටින් කට යන අප්‍රසාදය... ඒකම ඇති බිස්නස් එකක් වැටෙන්න. මේ මං පුංචි කාලෙ ඉඳලා ඇ‍ඟේ ‘උණකින්’ හදපු බිස්නස් එක. ඒ පරණ කාර් විකුණපු කාලෙත් මං හෙව්වෙ විකිණුවේ ඔරිජිනල් ඒවා. ආසාවෙන් හදපු දේ, වැඩි තණ්හා වෙලා මං නැති කර ගන්නෑ.

ඔබ හැමදේ ම ප්ලෑන් කරනවද...

බිස්නස් කරද්දි මං කවදාවත් ලොකු ලොකු විෂන් - මිෂන් ගැන හිතුවේ නැහැ. මේ මොහොතේ ඉතා ඉහළින් ම ඒ වැඩේ කළා. ඊළඟට ළඟම ස්ටෙප් එකට ගියා. එතකොට නොදැනීම ඉහළ ට ඇවිත්. මං ලංකාවේ ලොකුම කාර් සේල් එක වෙනවා... තව අවුරුදු දහයකින් අහවල් තැන ඉන්නවා... ඒ වගේ දේවල් මං ළඟ නැහැ.

ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයි ද...

ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් ලෙස හිටියට, එයාගෙ ඩියුටිය තියෙන්නෙ ගෙදර. එයා ඒක සියයට සියයක් සාර්ථකව කරනවා. අනික මං බිස්නස් ගෙදර අරන් යන්නෑ. ගෙදර ගියාම මගේ ලෝකෙ බිරිය සහ දරුවෝ විතරයි. මගේ බිරිය දන්නෙත් මං වාහන විකුණනවා කියන එක විතරයි. ඒ හැරෙන්න ලාභද පාඩුද කියලා එයා දන්නෙත් නැහැ. අහන්නෙත් නැහැ. මං කියන්නෙත් නැහැ. මිත්‍ර සමාගමේදීත් ඒ වගේ. ඒ නිසා ගෙදරයි - මිත්‍රයොයි - බිස්නස් එකයි පැහැදිලිව මං වෙන් කරගෙන තිබෙනවා.

රටේ තත්ත්වය ඔබට කොහොමද...

වාහනවල ඩියුටි ඉහළ ය‍න‍කොට ලොකු පාඩු ලබනවා තමයි. ඒවට මුහුණ දෙන්න ම වෙනවා. මේ දවස්වල නම් පොඩි වාහනවල ඩියුටි අඩු කරලා නිසා 1000 cc වලින් පහළ පොඩි වාහන හුඟක් විකිණෙනවා. ලෑන්ඩ කෲසර්, BMW වගේ වාහන ගන්නෙ සීමිත පිරිසක් විතරයි. ඒවාට සාපේක්ෂව සාමාන්‍ය මට්ටමින් අලෙවිය හොඳයි.

වැඩිපුර ම වාහන ගෙන්වන්නේ කොහෙන්ද...

ජපානයෙන්. ඊට අමතරව තායිලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, එංගලන්තයෙන්, ජර්මනියෙන්, යු‍රෝපයෙන් ගෙන්වන වාහන බලන්නෙ මගේ ලොකු පුතා කුෂාන් පීරිස්. එයා මේ දවස්වල හොඳට ම තරග පදින රේසින් ඩ්‍රයිවර් කෙනෙක්. ලංකාවෙ හැම ට්‍රැක් එකක ම වගේ පැදලා තියෙනවා. අවුරුදු පහක් විතර නැෂනල් චැම්පියන්. එයා රේසින් පටන් ගත්තෙ අවුරුදු පහළොවෙන්.

ලොකු පුතා විතරද රේස් පදින්නේ...

නැහැ. පොඩි පුතා මිහාන් පීරිස්. එයත් ළඟදි පටන් ගත්තා. උඩවලව සුපර් ක්‍රොස් ෆස්ට් වුණා. තව තරග කිහිපයක් ම දිනුවා. එයත් තාත්තයි අයියයි වගේම, රේස් පැදිල්ල ඇ‍ඟේ තියෙන කෙනෙක්. මගේ අම්මයි තාත්තයි මාව උනන්දු කළා වගේ. මගේ බිරියත් පුතාලා දෙන්න රේස් පදිනවට හරි සපෝට්.

කාර් රේස් එපා වෙන තරමෙ අනතුරු වෙලා නැද්ද...

ඕන තරම්. ඒත් රේස් නතර කළේ නැහැ. කුරුණෑගල රෝඩ් ‍රේස් එකකදි කාර් එක හැප්පිලා කෑලි වුණා. කටුකුරුන්දෙදිත් වාහනයක් කුඩු වෙන්න හැපුණා. නුවරඑළියෙදිත් දරුණුවට වාහනේ ඩැමේජ් වුණා. වාහන කුඩු පට්ටම් වෙලත් මට ලොකු තුවාල වෙලා නැහැ. පරණ කාර් වුණාට ඒවායේ ආරක්ෂක පද්ධතිය හොඳයි. දැන්, ඒ වාහන හැපෙන එක, ආපහු රේස් පදින එක පුරුදු වෙලා.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...

තේරෙන කාලෙ ඉඳලා මං ජීවත් වුණ් මට ඕන විදියට. මං කළේ මට ඕන දේ. ඇත්තට ම කිව්වොත් අම්මයි තාත්තයි මාව හැදුවෙ අතෑරලා. මං රස්තියාදු ගැහුවා. යාළුවො ආශ්‍රය කළා. ඉස්කෝ‍ලෙ ගියා. පුළුවන් මට්ටමින් ඉගෙන ගත්තා. පොඩි පොඩි බිස්නස් කළා. කොහේ ගියත් හය වෙනකොට ගෙදරත් ආවා.

ඇයි දෙමව්පියො එහෙම හැදෙන්න ඉඩ දුන්නෙ...

මං ගැන තිබුණු විශ්වාසය නිසා. මගේ තාත්තා CGR එකේ ඉංජිනේරුවෙක්. අම්මා හිටියෙ ගෙදර. මට ඉන්නෙ එක අයියෙක් විතරයි. එයා ඉස්කෝලෙ ගියේ නුවර බෝඩ් වෙලා. එයා ගෙදර ආවේ නිවාඩුවට. අම්මයි තාත්තයි එක්ක ගෙදර හිටියෙ මං. ‘මොන දේකදි වුණත් මං ඔළුව පාවිච්චි කරලා වැඩ කරයි...’ කියන විශ්වාසය අම්මටයි තාත්තටයි දෙන්නට ම තිබුණා.

පුංචි කාලෙත් ඔබ දක්ෂයෙක් හැඩයි...

නැහැ. මං හිටියෙ සාමාන්‍ය ළමයි ගොඩේ. ඕ - ලෙවල් ප්‍රතිඵලත් සාමාන්‍යයි. මට ඕනෙ වුණේ ඒ - ලෙවල් ඉවර වෙනකල් ඉස්කෝලෙ යන්න විතරයි. ඒ වෙන‍කොටත් මගේ ම සල්ලිවලින් ගත්තු ලාන්සර් බොක්ස් කාර් එකක් මට තිබුණා. මට ඕනෙ වුණේ පුළුවන් තරම් ඉක්මනට ඉස්කෝල ජීවිතේ ඉවර කරන්න.

ඉංජිනේ‍රු තාත්තෙක් පුතෙකුට එහෙම ඉඩ දෙයිද...

ඒ අතින් මගේ තාත්තා විශේෂයි. අවශ්‍ය තැන අවවාද අනුශාසනා දුන්නා මිස කවදාවත් මට බලපෑමක් කළේ නැහැ. මමත් තාත්තාගෙ ඔවදන් තදින් ම හිතට ගත්තා. වැරැදියි කියලා චෝදනාවක් ලබන කිසිම දෙයක් මං කළේ නැහැ. ඒ නිසා මං ගැන කිසිම සැකයක්... බයක් තිබුණෙම නැහැ. ‘මේ ළමයා පිළිවෙළට ගාණට එයාගෙ වැඩ ටික කරගන්නවා...’ කියන විශ්වාසෙ මිස, ‘ළමයා නොමඟ යයිද...’ කියන බය කවදාවත් ම‍ගේ දෙමවුපියන්ට තිබුණෙ නැහැ.

එතකොට පොඩි ළමයෙක් කොහොමද බිස්නස් කළේ...

පුංචි කාලෙ ඉඳලා මං සල්ලි එකතු කරන්න සූරයි. අම්මලා දන්නෑ මං හැම මාසෙම සීසන් එක ගන්නවා. ඉතින් දවස ගානේ ඉස්කෝලෙ යන්නයි පන්ති යන්නයි ගමන් වියදමට දෙන සල්ලි සේරම ඉතුරුයි. කන්න වුණත් ඔක්කොම වියදම් කරන්නෑ. ටික කාලයක් යද්දි රුපියල් තුන් හාර දාහක් එකතු වුණා. මං පොඩි මෝටර් සයිකලයක් ගත්තා. අරන් ගාණක් තියාගෙන විකිණුවා. ඒ සල්ලිවලින් තව එකක් ගත්තා. ආයෙ විකිණුවා. සල්ලි එකතු කරන්න ආසා වෙච්චි මං ඊට පස්සෙ ටික ටික සල්ලි හම්බ කරන්න ආසා වුණා. වැදගත් ම දේ තමයි අවශ්‍ය තැන ලෝබ නොවී වියදම් කළාට, මං සල්ලි නාස්ති කළේ නැහැ. සල්ලි නාස්ති කරනවා කියන්නේ සල්ලි බාල්දු කරනවා කියන එක. එහෙම මිනිස්සු ළඟ සල්ලි රැ‍ඳෙන්නෙත් නැහැ. පුංචි වුණාට වියදමෙයි නාස්තිගෙයි වෙනස මං හොඳට තේරුම් අරන් තිබුණා.

මුලින් ම ගත්තු කාර් එක මතකද...

සිළුමිණ බලලා බලලා යන්තම් එකක් හම්බ වුණා. ගාන දහදාස් තුන්සියයයි. අතේ තිබුණෙ හය හත් දාහයි. මදි පාඩුව, ගෙවල් ළඟ බයිසිකල් කඩේ බාස්සුන්නැහේ දුන්නා. යාළුවෙකුත් එක්ක ගිහින් කාර් එක අරන් ගෙදර එද්දි හොඳට ම රෑ වෙලා. ඒ මදිවට වැස්ස. යාළුවගේ අම්මා අපේ ගෙදර ඇවිත්. ‘කාර් එකක් ගන්න ගියා ඇන්ටි ඒකයි ටිකක් පරක්කු වුණේ...’ මට කියන්න හම්බ වුණේ එච්චරයි. ‘ඉස්කෝලෙ යන ළමයි කාර් ගන්නවද... ඕගොල්ලො මේවා බලන්නැද්ද...’ කියලා අම්මලටත් බැනලා බැනලා යන්න ගියා. ඒ තමයි මුලින් ම කාර් එකක් ගෙදරට ගෙනා දවසෙ හම්බ වුණු ආශිර්වාදෙ. ‍‍

එතකොට කවදාවත් ඔබ රැවටිලා නැද්ද...

මොකද නැත්තේ, ඒ කාර් එක ගත්තු දා මට නින්ද ගියෙත් නැහැ. හෙට උදේ එළවන කල් සිහියක් නැහැ. පාන්දරම ගිහින් ස්ටාට් කළා. වාහනේ ස්ටාට් වෙන්නෑ. මජං නාගෙන - බාස්ලා ගෙන්නාගෙන තුන් මාසයක් තිස්සෙ කාර් එක හැදුවා. කළුබෝවිල මේ හැම පාරකම කඳු පල්ලම්වල තල්ලු කළා. කෑලි දැම්මා කෙළවරක් නැතිව. තාත්තාත් මුකුත් නොකියා උදව් කළා. අන්තිමේ රුපියල් 25,000 ක් වෙනකල් වියදම් කරලා, 6000 කට දීලා අත පිහා ගත්තා. පළවෙනි බිස්නස් එක ම ඉවරයි.

කාර් බිස්නස් එපා වෙන්න ඇති...

නැහැ. වරදින්නෙ නැතිව කොහොමද ඉගෙන ගන්නෙ... හැදෙන්නෙ. ඒකට අහුවුණාට ඊට පස්සෙ එහෙම වුණේ නැහැ. ඊට පස්සෙ තමයි ලාන්සර් බොක්ස් එක ගත්තෙ. මං ඒකෙන් ඉඳහිට ඉස්කෝලෙත් ගියා. හැබැයි දවසක සර් කෙනකුට අහුවුණා. ‘ලයිසන් එකවත් ගන්න වයසක නෙවෙයි, ඉස්කෝලෙ ළමයි කාර් අරන් එනවද...’ කියලා හොඳට ම බැන්නා.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු...

මං කවදාවත් මට වඩා හුඟක් ඉහළින් ඉන්න අය ගැන හිතුවෙ නැහැ. මහා ලොකු හීන තිබුණෙත් නැහැ. මිනිස්සු හුඟක් කනගාටුවෙන් ජීවත් වෙන්නෙ ලොකු දේවල් හිතන නිසා. තමන් ළඟම තියෙන දේට ටිකක් ළඟින් ඇති දේ හිතන්න. එය ළඟා කරගන්න. එතකොට ටික ටික උඩට යන්න ලේසියි. සතුටත් හිතේ රැ‍ඳෙනවා.

වැටුණු - පැරදුණු වෙලාවට මොනවද කරන්නෙ...

මුලින් ම හිත හදාගන්නවා. පියවි සිහියට එනවා. හොඳට කල්පනා කරනවා. එතකොට විසඳුම් දෙක තුනක් පේනවා. හොඳම ඔප්ෂන් එකට යනවා. වෙච්ච පාඩුව ගැන හිත හිතා ළතැවෙවී ඉඳලා මං ඊට වඩා දේ නැති කරගන්නෙ නෑ. පුළුවන් තරම් ඉක්මණින් ප්‍රශ්නෙන් ගොඩ එන්නයි මට ඕනෙ.

කවුද ඔබේ ජීවිතයේ Role Model…

තාත්තා. අවුරුදු 92 ක් ජීවත් වුණා. ඒ මුළු ජීවිතේ ම මං දැක්කෙ ඉස්තරම් ම කොලිටිය. පිරිපුන් දැනුම. සංයමය. විනය. වයස 92 ක් වුණාට මැරෙන දවස වෙනකල් වාහන එලෙව්වා. කිසිම ලෙඩක් තිබුණෙ නැහැ. නොබැන - නොගහා පුතෙක් හදන්න පුළුවන්ද... ඒත් මගේ තාත්තා මාවත් අයියවත් එහෙම හැදුවා. එයා කතා කළේ අපේ හදවතටයි - ඔළුවටයි. ඒ නිසා ගහන්න බනින්න ඕ‍න ව‍ුණේ නැහැ. මගේ පුතාලත් ඒ අපූරු සීයව දැක්කා. අපේ හැම රේස් එකට ම අපි ගියේ තාත්තා එක්ක. මම නම් හිතන්නෙ හැම පුතෙකුට තාත්තා තමයි Role Model වෙන්න ඕනේ.

මේ සියල්ල ලැබුණේ වාසනාවටද...

මං එහෙමත් හිතනවා. මොකද මං ජ්‍යොතිෂ්‍යය දැඩිව විශ්වාස කරනවා. කරන කියන දේ වගේ ම, පෙර පින් මේ හැම දේට ම බලපානවා. මගේ ලග්නෙ තුලා. කේන්දරේ බලන්නැතිව මංකිසිම අලුත් දෙයක් කරන්නෑ. වැදගත් ම දේ ශිල්පය දන්න හරි ජ්‍යෙතිෂ්‍යවේදියෙක් සොයා ගැනීම. එහෙම කියලා මං බුදු දහම අත්හැරලා නැහැ. පන්සල් ඇසුර සමඟ බුදු දහම අනුව ජීවත් වන කෙනෙක් මම.

අන්තිමට කියන්න, මොකක්ද ඔබේ ජීවිතයෙන් ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය...

මිනිහෙක් වුණොත් උත්සාහය, උනන්දුව උපරිමව තියෙන්න ඕනේ. මොන බාධකේ ආවත් වැටෙන්න බැහැ. තමන් ළඟ තියෙන්නෙ මොන තරම් පොඩි මුදලක් ද, ඒක කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න ඕනේ. පටන් ගත්තු දේ අවසානය දක්වා ගෙනයන්න ඕනේ.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්