
යම් ජාතියක් තම නිෂ්පාදන හෝ අස්වැන්න වුවමනාවටත් වඩා නිපදවන්නේ නම් එය යම් ජාතියකට කිරි ඉතිරවීමකි. කිරි සම්බන්ධයෙන් ද අප ලද අනාවරණයක් වූයේ මේ වනවිට කිරි ගොවීන් ඔවුන් ගේ ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් ලබා දෙන බවකි.
මේ උතුරුවන කිරි වැඩකට නොගෙන අහකට යවන තැනට වැඩ සැලසී ඇත්තේ ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ගැනීමට අප අපොහොසත් වූ නිසාය. එහෙත් මේ කිරි අපට වැඩි නැත. ඒ මන්ද යත් අපේ දරු පරපුර විවිධ හේතු නිසා පෝෂණ ඌනතාවන්ට ලක්වන දරු දැරියන්ට මේ කිරි හෝ කිරි ආශ්රිත ආහාර ලබා දී ඔවුන්ගේ අඩුපාඩුකම් සපුරාලිය හැකි නිසාය. මේ ඉල්ලුම සහ සැපයුම යා කරන රජයේ අලුත්ම වැඩසටහන වන්නේ පාසල් දරු දැරියන්ට නොමිලයේ කිරි වීදුරුවක් ලබා දීමේ වැඩපිලිවෙළයි. දැනටමත් දිවයින පුරා පාසල් ගණනාවක දරු දැරියන්ට නොමිලයේ ලබා දෙන කිරි වීදුරුවක රස බැලීමේ වරම තවත් පාසල් ගණනාවක දරු දැරියන්ට හිමි කර දීමට රජය මේ වනවිට සැරසෙයි.
මෙම වැඩපිළිවෙළ මඟින් ලබන සැප්තැම්බර් මාසයේ සිට පළමු වැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන සියලු සිසු සිසුවියන් වෙත පෝෂ්‍ය ගුණය සපිරුණු නැවුම් දියර කිරි වීදුරුවක් දිනපතා ලබා දීමට අදාළ බලධාරියෝ මේ දිනවල යුහුසුළු වෙති.
මේ යටතේ ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන දරු දැරියන් දාහත් ලක්ෂයකට පමණ කිරි වීදුරුවක රසය විඳ ගැනීමට හැකියාව ලැබෙන අතර ක්‍රමානුකූලව මෙරට ඉගෙනුම ලබන සියළුම පාසැල් දරුදැරියන් සඳහා එලෙස කිරි වීදුරුවක් ලබා දීමේ ඉලක්ක ගත වැඩ පිළිවෙල සැලසුම් කෙරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල් සිරිසේන මහතාගේ සංකල්පයකට අනුවය. ඒ සඳහා අදාළ උපදෙස් ද ජනාධිපතිවරයා විසින් දෙනු ලැබ ඇත.
මෙම වැඩපිළිවෙලට සමගාමීව 2020 වසර වන විට ශ්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් ද රජය මගින් දැන් ක්‍රියාත්මක කර ගෙන යයි. මේ යටතේ දේශීය කිරි ගොවියා ශක්තිමත් කර පිටරටින් ආනයනය කරනු ලබන කිරිපිටි ප්‍රමාණය අඩු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා වන පියවරක් ලෙස දේශීය කිරි ගොවියාගේ කිරි අස්වැන්න සදහා ඉහළ මිලක් ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇත.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ග්‍රාම ශක්ති වැඩ පිළිවෙළ තුළින් ලබා දිය හැකි සෑම සහයක්ම කිරි ගොවීන් වෙත ලබා දීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
දාහත් ලක්ෂයක් සිසු පිරිසකට නොමිලයේ කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන පිළිබඳව අපි මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රෙයේ ප්රමුඛ පෙළේ සිටින කිරි නිෂ්පාදන ආයතන ප්‍රධානීන්ගේ අදහස් විමසීමට අපි යොමු වුණෙමු.
වගකීම කරට ගන්නවා
මිල්කෝ සභාපති සුල්ෆිකාර් කාදර්
ශ්‍රී ලංකාව දැන් කිරිවලින් ස්වයංපෝෂිත රටක්. ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන මඟින් ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන සෑම දරුවකුටම තමන්ගේ පාසල් වේලාව තුළ නොමිලයේ කිරි වීදුරුවක රසය සමඟ පෝෂණය ලබා ගැනීමට හැකිව තිබෙනවා. මෙම දැවැන්ත කාර්යය මෙහෙයවීමේ වගකීම බාර වී ඇත්තේ මිල්කෝ ආයතනයටයි.
රාජ්‍ය ආයතනයක් ලෙස අපි ඒ වගකීම ඉටුකරනවා. එළඹෙන සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම කාර්යයට අදාළ මූලික කටයුතු අප මේ දිනවල කරගෙන යනවා.දැනටමත් මිල්කෝ ආයතනයේ මැදිහත්වීම තුළ දුෂ්කර පළාත් රැසක පාසැල් 425 ක පමණ ඉගෙනුම ලබන දරුවන්ට දැනටමත් කිරි වීදුරුවක් ලබා දෙනවා.
මෙම වැඩපිළිවෙලට සමගාමීව 2020 වසර වන විට ශ්‍රී ලංකාව |
අපට මෙය කළ හැකිව තිබෙන්නේ මේ වන විට රටේ කිරි අතිරික්තයක් තිබීමයි. සාමාන්‍යයෙන් නිෂ්පාදනයට සාපෙක්ෂව සියයට 10ත් 15ත් අතර අතිරික්තයක් අපට දැකිය හැකියි. එය දෛනික ව බැලුවොත් ලීටර 60,000ක් පමණ. මේ නිසා කිරි ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකි වීමේ අවදානමක් මතු වුණා. එම අවස්ථාවේදී තමයි ජනාධිපතිතුමා මැදිහත්ව ග්‍රාම ශක්ති ජාතික වැඩපිළිවෙලට සම්බන්ධ කර ගනිමින් පාසැල් දරුදැරියන් සදහා දියර කිරි ලබා දීමේ වැඩපිළිවෙල යෝජනා කළේ.
මිල්කෝ ආයතනය මේ වන විට ජාතික වැදගත්කමකින් යුතු වැඩසටහන්වලදී පෙරමුණ ගන්නවා. කිරි ගොවීන් ශක්තිමක් කිරීමට අප රාජ්‍ය ආයතනයක් ලෙස උපරිම මැදිහත්වීම ලබා දෙන අතර රටපුරා කිරිහල්වලින් සියයට 60 ක්ම කිරි එකතු කරනු ලබන්නේ මිල්කෝ ආයතනයයි. මේ වන විට කිරි ගොවීන් නිෂ්පාදනය කරනු ලබන කිරිලීටර් ලක්ෂ තුනහමාරක් පමණ අප දෛනිකව මිලදී ගන්නවා.
දැන් පිටරටින්කිරි ගේන්න ඕන නෑ
පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක
දුටුගැමුණු රජතුමාගේ කාලයේ පටන් කිරිවලින් රට ස්වයංපෝෂිත ව පැවතුණා. මේ වනවිට රටපුරා කිරි අතිරික්තයක් ඇති වී තිබෙනවා. අතිරික්තය නිසා කිරි විකුණාගන්න බැරි වුණාම කිරි ගඟට හලන බවත් පසුගිය දිනවල අපි දුටුවා. ඇත්තටම අපරටට පිටරටින් කිරි පිටි ආනයනය කළ යුතු නැහැ. කළ යුත්තේ දේශීය කිරි ගොවීයා ශක්තිමත් කර දේශිය කිරි ප්‍රවර්ධනයට පියවර ගැනිමයි. පාසැල් දරුදැරියන් සදහා දියර කිරි වීදුරුවක් නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙල ඉතා ප්‍රසංශනීය එකක්. මේ සදහා පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම සද්භාවයෙන් යුතුව සහය දෙනවා.
කිරි ගොවියාටත් හොද කාලයක්
කාගීල්ස් කෘෂි ව්‍යාපාර අංශයේ සමූහ කළමනාකාර හරිදාස් ප්‍රනාන්දු
පාසැල් දරු දැරියන් සඳහා කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් ජාතික කර්තව්‍යයක්. මෙමඟින් දරුවන් ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට රුකුලක් ලබා දිය හැකිව තිබෙනවා. මේ වන විට තෝරාගත් දුෂ්කර පළාත් පාසැල් 450 ක ඉගෙනුම ලබන දූ දරුවන්ට කිරි වීදුරුවක් ලැබෙනවා. ජනාධිපතිතුමාගේත් රජයේත් අදහස ඉදිරියේදී සියලූ පාසැල් සිසුසිසුවියන් සදහා කිරි වීදුරුවක් ලබා දීමයි. මේ වන විට කාගීල්ස්, කොත්මලේ ආයතනයද දේශිය කිරි ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. අප අපගේ කිරි ආශ්රිත කොත්මලේසහ මැජික් නිෂ්පාදන සදහා සියයට සියයක්ම යොදා ගන්නේ දේශීය කිරි ගොවියාගේ කිරි අස්වැන්නයි. මේ වන විට දෛනික ව අප කිරි ගොවීන් පහළොස් දහසකගේ පමන කිරි මිලට ගන්නවා. එම කිරි වෙනුවෙන් ලබා දිය හැකි ඉහළම මිල අප ලබා දෙනවා.සංඛාලේඛන අනුව සඳහන් කළොත් දිනකට අපි කිරි ලීටර් 150000 ක් පමණ ගොවීන්ගෙන් මිලදී ගන්නවා. එම කිරි යොදා ගෙන දේශීය ආයතනයක් ලෙස අපි දරුවන්ගේ රුචිය වැඩෙන අයුරින් විවිධ නිෂ්පාදන හදුන්වා දී තිබෙනවා.
කොහොම වුණත් රටේ කිරි අතිරික්තයක් පවතින අවස්ථාද තිබෙනවා. වැසි කාලයේ දී තමන් නිපදවන අතිරික්ත කිරි සඳහා නියම මිලක් හිමි නොවීමෙන් අසරණ වන ගොවීන් හට අතිරික්ත කිරි අපතේ හෙළුෑ අවස්ථා පසුගිය කාලයේදී අසන්නට ලැබුණා.
වගකීමක් ඇති ජාතික තලයේ ව්‍යාපාරයක් ලෙස ගොවීන්ට ගැටලු වන බොහෝ අවස්තා වල අපිත් මැදිහත් වුණා. උදාහරණයක් ලෙස පසුගිය කාලයේදී වට්ටක්කා වගා කළ ගොවීන්ට තම අස්වැන්න නිසි මිලට විකුණා ගත නොහැකි වුණු විටත් අප ඔවුන්ගේ එම අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළා. දරුවන්ට කිරි වීදුරුවක් ලබා දීමේ සත්කාරයත් සමඟ දේශීය කිරි කර්මාන්තයටත් ඉතා හොඳ කලක් උදා වුනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ නිසා මෙම වැඩ පිළිවෙල සාර්ථික කරන්නට ලබා දීය හැකි සෑම සහයක්ම අපි ලබා දෙන්නට සූදානම්.
නිෂ්පාදන පර්යේෂණ සහ සංවර්ධන කළමණාකාර ආචාර්ය නෙළුම් විතාරන මහත්මිය
විශේෂයෙන්ම දුෂ්කර ප්‍ර දේශවල වෙසෙන දරුවන් මන්ද පෝෂණ තත්ත්වයන්ට ලක්ව ඇති බව වාර්තා වෙනවා මෙම තත්ත්වයට හොඳම පිළිතුර තමයි සියලු පෝෂ්‍ය පදාර්තයන්ගෙන් අනූන දියර කිරි පානය කිරීමට අවස්ථාව උදා කරදීම. නැවුම් කිරි වල දරුවන්ගේ වැඩීමට අවශ්‍ය සියළුම පෝෂ්‍ය පදාර්ථ විටමින් අඩංගු වෙනවා.