දිවි පරදුවට තබා බඹර කපන අවුරුදු දහතුනේ බය නැති කෙල්ල | සිළුමිණ

දිවි පරදුවට තබා බඹර කපන අවුරුදු දහතුනේ බය නැති කෙල්ල

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පවත්නා සුවි­ශේෂි ස්ථාන අත­රින් අක්බාර් පාල­මට හිමි­වන්නේ ප්‍රමුඛ ස්ථාන­යකි.මෙයට වසර හැත්තෑ පහ­කට පමණ ඉහ­තදී මහ­වැලි ගංඟාව හරහා ඉදි­කර තිබෙන අක්බාර් පාලම අංශ ගණ­නා­කින් සුවි­ශේෂි වෙයි. විශ්ව­වි­ද්‍යා­ලයේ සියලු පීඨ මහ­වැලි නදි­යෙන් එක් පසෙක තිබි­යදී ඉංජි­නේරු පීඨය පව­තින්නේ ඒ සිය­ල්ලෙන් වෙන්ව ගඟේ අනෙක් පසය. ගඟ දෙපස පිහිටි ඉංජි­නේරු පීඨය හා සෙසු පීඨ එක් කරන්නේ අක්බාර් පාල­මයි. මහ­වැලි ගඟේ සිට අඩි පන­හක් පමණ ඉහ­ළින් පිහිටි මෙම පාලම රඳවා සිටි­න්නට ගංඟාව මැදට වන්නට කිසිදු ආධා­රක කණු­වක් නොමැත. එක් පැත්ත­කින් එය මෙරට ඉංජි­නේරු තාක්ෂ­ණයේ වික්‍ර­මය රටට කියා­පා­න්නාවූ නිර්මා­ණ­යකි. පේරා­දෙ­ණිය උද්භිද උද්‍යා­නය හා විශ්ව­වි­ද්‍යාල භූමිය මලින් පිරි යෑමත් අක්බාර් පාලමේ පහළ ඇඳි කිසි­ව­කුට පහ­සු­වෙන් ළංවිය නොහැකි ලෙස පිහිටා තිබී­මත් නිසා එය බඹ­රුන්ගේ රජ දහ­නක්වී තිබෙන්නේ වසර ගණ­නා­වක සිටය. මල්පැණි සෙවී­මට ඇති පහ­සු­වත් ආර­ක්ෂා­වත් යන දෙකම මෙම ස්ථානයේ පව­තින නිසා බඹරු කොතෙක් බාධක ආවත් පාලම හැර නොයති. විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් අට දහ­සක් පමණ අධ්‍යා­ප­නය ලැබු­වද ඔවුන් තැන තැන විසිර පිහිටි පීඨ­ව­ලට අනු­යු­ක්තව අධ්‍යා­ප­නය ලබන බැවින් අක්බාර් පාලමේ බඹ­රුන්ගේ අව­ධා­නය ඔවුන් කෙරෙහි යොමු වන්නේ ඉතා අඩු­වෙනි. එසේ වුවත් විශ්ව­වි­ද්‍යාල උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය සඳහා සිසුන් හා ඔවුන්ගේ දෙම­වු­පි­යන්ද ඇතු­ළුව පන්ද­හ­ස­කට ආසන්න පිරි­සක් පැමි­ණෙන බැවින් බඹ­රුන් කල­බ­ලවී ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ දැඩි අව­දා­න­මක් පවතී. මේ නිසාම අක්බාර් පාලමේ බඹර වද උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යට පෙර එම ස්ථාන­යෙන් ඉවත් කිරීම දැන් කලක පටන්ම සිදු කෙරෙ­න්නකි.

තිස්ස බණ්ඩාර

මුල්කා­ලයේ බඹර වද ගිනි තබා විනාශ කළත් දැන් එම බඹ­රුන්ගේ ජීවිත සුර­කි­මින් ඔවුන් එම ස්ථාන­යෙන් ඉවත් කිරීමේ වග­කීම බිඟු සම්පත සුරැ­කීමේ සංවි­ධා­නය බාර­ගෙන තිබේ. දැඩි අව­ධා­න­මක් ගෙන වික්ටෝ­රියා වේල්ලේ බඹර වද ඉවත් කළ මෙම කණ්ඩා­යම අක්බාර් පාලමේ බඹර වද ඉවත් කිරීම සඳහා පැමි­ණෙත්දී ඔවුන් සමඟ වයස අවු­රුදු 13 ක දැරි­යක්ද සිටි­යාය. ඒ වන­වි­ටත් අක්බාර් පාලමේ බඹර වද 20 ක් පමණ බැඳ තිබූ අතර ඒවා ඉවත් කිරීම සඳහා පාලම මත සිට කඹ ආධා­ර­යෙන් පහ­ළට බැසිය යුතුය. පාලමේ යටි ඇන්දේ බැඳ තිබෙන බඹර වද ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්ය­යක් නොව­න්නේය. දුටු­වන් මවිත කර­මින් බඹර කප­න්නට ගිය කලණි ආලෝකා නම්වූ වයස අවු­රුදු 13 ක දිය­ණිය කිසිදු බියක් නොපෙන්වා පුරුදු කාර­යෙකු සේ බඹර කැපු­වාය. බඹර කප­න්නට එක්වූ කණ්ඩා­යමේ සිටි ළාබා­ල­ත­මයා කෙරෙහි කාගේත් අව­ධා­නය යොමු වූයේ නිරා­යා­ස­යෙනි.....

‘‘මම මහ­නු­වර මහ­නාම විදු­හලේ අට­වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. අපේ ගෙවල් තියෙන්නේ හන්තානේ. මං තාත්තා එක්ක ගමේ බඹර කපන්න යනවා. පළ­මු­වැනි වතා­වට තමයි තාත්තා මේ වගේ ලොකු වැඩ­කට මාව එක්ක ගෙන ආවේ. අපේ ගෙදර මී මැස්සෝ ඇති කර­නවා. ඒවායේ පැණි ගන්න තාත්තා මට ඉගැ­න්නුවා. ගමේ කොහේ හරි මී වද­යක් හරි බඹර වද­යක් හරි තියෙ­නවා නම් තාත්තට තමයි කියන්නේ ඒක අයින් කරන්න. එත­කොට තාත්තා එක්ක මාත් යනවා. මේ ළඟදි අපේ ගෙවල් ළඟ අඹ ගහක බැඳලා තිබුණු බඹ­ර­යක් මම තනි­යම කැපුවා. අද මට බඹ­රෙක් විද්දා. ඒක එහෙම තමයි. අපි මේ සතුන්ට ආද­රෙයි. බය වෙලා බඹර කපන්න බැහැ. අපි බය වුණාම ඒක සත්තුන්ට තේරෙ­නවා. බඹරු වද බඳින්නේ කාට­වත් පහ­සු­වෙන් යන්න බැරි තැන්වල. අක්බාර් පාල­මත් ඒ වගෙ තැනක්. පාලමේ එල්ලිලා බඹ­ර­යක් කපන එක හරිම අමා­රුයි. බඹරු විදින්න වගේම පාල­මෙන් වැටෙ­න්නත් පුළු­වන්. අව­දා­නම් දෙකක් අර­ගෙන තමයි අපි බඹ­ර­යක් කපන්නේ. ඉස්කෝලේ ගිහින් අනා­ගතේ දොස්තර කෙනෙක් වෙන්න තමයි හිතන්නේ. පාසල් වැඩ­ව­ලට බාධා­වක් නොවන ලෙස තාත්තා එක්ක බඹර කපන්න යනවා. තාත්තා තමයි මගේ ගුරු­ව­රයා. තාත්තා කාලෙක ඉඳන් බිගු සම්පත සුර­කීමේ සංවි­ධා­නය එක්ක එකතු වෙලා වැඩ­ක­ර­නවා. මී මැස්සෝ, බඹරු අපේ පරි­ස­ර­යට මොන තරම් සේව­යක් කර­න­වාද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සත්තු පුච්චලා දාන්නේ. මම වගේම තවත් කුඩා ළමයි තවත් මේ සංවි­ධා­නයේ ඉන්නවා. දැනට බඹර කපන පුංචිම එක්කෙනා මමයි.”කලණි ආලෝකා පව­සයි.

‘‘මේ රටේ බිඟු සම්පත ආරක්ෂා කර­ගන්න ඕන කියන අවංක හැඟීම ඇතිව අපි මේ සංවි­ධා­නය පිහි­ට­වූයේ. ලංකාවේ ඕනම තැනක මී වද­යක් හෝ බඹර වද­යක් තිබෙ­නවා නම් සතුන්ට හානි­යක් වන්නේ නැතුව ඒක අයින් කරලා දෙන්න අපිට පුළු­වන්. ඇල්බට් අයි­න්ස්ට­යින් කියලා තියෙ­නවා බඹරු,මීමැස්සෝ පරි­සර පද්ධ­ති­යෙන් නැති වෙලා ගියොත් මිනිස්සු ලෝක­යෙන් වඳ­වීම වසර හත­ර­කින් ආරම්භ වෙනවා කියලා. ගස්වැ­ල්වල පැවැ­ත්මට අවශ්‍ය පරා­ග­නය සිදු­ක­රන්නේ මේ බිඟුන්. ලෝකයේ වැඩිම ගස් හිට­වන්නේ වවු­ලන්. ගහ­කො­ළ­වල මල් උප­ද්දලා ගෙඩි හට ගන්න කට­යුතු කරන්නේ මී මැස්සෝ බඹරු වගේ සත්තු. විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යට අති විශාල පිරි­සක් එක තැන­කට රොක් වෙනවා. මිනිස්සු කතා කරන නිසා ලොකු ශබ්ද­යක් නිකුත් වෙනවා. මේ එන අය නොයෙක් සුවද විල­වුන් වර්ග ගල්වා­ගෙන එන්නේ. දාඩිය සුව­ඳත් පරි­ස­ර­යට නිකුත් වෙනවා. තවත් සත්ත්ව කොට්ඨා­ශ­යක් තමන්ගේ සීමා­වට ඇවිත් කියා එවිට බඹරු හිත­නවා. එහෙම වුණාම මේ අය ඇවි­ස්සෙ­නවා. රැජ­නගේ නියෝග අනුව ඊට පස්සේ ප්‍රහාර දියත් කර­නවා. දැන් අවු­රුදු 04 ක ඉඳලා අපි අක්බාර් පාළමේ බඹර වද අයින් කර­නවා. ඊට කලින් කරලා තිබුණේ ගිනි තියලා සත්තු මරණ එකයි. මීමැස්සා සාමා­න්‍ය­යෙන් ගමන් කරන්නේ මීටර් 750 ක විතර දුරක්. ඒත් බඹ­රෙ­කුට පැණි හොයා­ගෙන කිලෝ මීටර 08 ක විතර දුරක් යන්න පුළු­වන්. මේනිසා බඹ­රගේ ප්‍රහා­ර­ය­කින් බේරෙන එක හරිම අසී­රුයි.” බිඟු සම්පත සුරැ­කීමේ සංවි­ධා­නයේ ලේකම් තිස්ස බණ්ඩාර මහතා පව­සයි.

‘‘මී වද­යක වගේම බඹර වද­ය­කත් රැජ­නක් සිටි­නවා. එයාගේ නියෝග අනුව තමයි හැමෝම වැඩ කරන්නේ. බඹ­ර­යක් කපන්න කලින් අපි ඒකට පොල්මුඩු රත්ක­රලා දුම් අල්ල­නවා. ඒක හරි­යට අපිට කඳුළු ගෑස් ප්‍රහා­ර­යක් එල්ල කළා වගේ. මේ දුම වැදු­ණාම ටික වෙලා­වක් යනකං බඹරු අන්දුන් කුන්දුන් වෙනවා. ඒ වෙලා­වට මේ බඹ­රුන්ට ක්‍රියා­ත්මක වෙන්න රැජන ගෙන් සංඥා නිකුත් වෙන්නේ නැහැ. මේ නිසා බඹරු ප්‍රහා­ර­යක් දියත් කරන්නේ නැහැ. මේ ලැබෙන සුළු වෙලාවෙ තමයි අපි බඹ­රය කපන්න ඕන. අපේ තාක්ෂ­ණය මේකයි. මේකෙන් බඹ­රට කිසිම හානි­යක් වන්නේ නැහැ.” ඔහු කියයි.

බිඟු සම්පත සුරැ­කීමේ සංවි­ධා­නය මගින් මේ වන­විට කුඩා දරු­වන් රැසක් බඹර කැපීම සඳහා පුහුණු කරයි. මුලින් මී වද ඊළ­ඟට බඹර වද අන්ති­මට දෙඹර කූඩු කැපී­මට එම පුහු­ණුව ලබා දෙයි. දෙබරා මාංශ භක්ෂක සතෙකී. ඌ විද්ද විට ඇඟේ මස් කෑල්ල­කුත් කඩා ගන්නා බව තිස්ස බණ්ඩාර මහතා පව­සයි. මේධා, සමාධි හා සමාධි සසංකා පාසල් වයසේ සිටම බිඟු සම්පත සුරැ­කීමේ සංවි­ධා­නය හා එක්ව බඹර කැපූහ. දැන් ඔවුන් හා කලනි ආලෝ­කාද අත්වැල් බැඳ ගෙන සිටි­න්නීය.

Comments