දකුණු ආසියාවේ දිගම උමඟ හදන උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය | සිළුමිණ

දකුණු ආසියාවේ දිගම උමඟ හදන උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය

අපේ රටේ මෑත යුගයේ වත්මන් රජය ක්‍රියාත්මක කරන දිගම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගංගා ව්‍යාපෘතියට සම්බන්ධව දකුණු ආසියාවේ ලොකුම උමඟ සහිත ඇළ මාර්ගයක් ඉදි වන බව කීවොත් ඔබ පුදුමයට පත් වනු නිසැකය.

එහෙත් එය පුදුමයක් නොවේ; සත්‍යයකි. මේ අනුව කිලෝමීටර් 28ක් දිග දකුණු ආසියාවේ දිගම හා විශාලතම උමඟ සහිත කිලෝමීටර් 94ක් දිග උතුරුමැද මහ ඇළ දැන් ඉදි කිරීම අරඹා තිබේ. ඒ මොරගහකන්දෙන් උතුරු මැදට රජරටට ජලය ගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය ලෙසයි. මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වේ; අපේ මුදලින් රුපියල් කෝටි 6700කි.

කෘෂිකාර්මික සංවර්ධනය මිරිදිය මත්ස්‍ය සංවර්ධනය විදුලි බලය නිපදවීම පාරිසරික සංචාරක කර්මාන්තය දියුණු කිරීම මගින් සම්පත් කන්දක් අපේ රටට කැඳවාගෙන එන මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය මගින් රටට ලැබෙන වාර්ෂික මූල්‍යමය ප්‍රතිලාභය රුපියල් කෝටි 650කට අධිකය.

සරු ගොවිබිම් අක්කර ලක්ෂ 5කට හා ඉහත පළාත් හතරේ ජනතාවට මහවැලි දියවර අඩු නැතිව ලබාදෙන මේ ව්‍යාපෘති‍යට අනුබද්ධ තවත් සුවිශේෂ අංග දෙකක් වනුයේ උතුරු මැද මහ ඇළ හෙවත් ඉහළ ඇළහැර ඇළ ඉදිකිරීම හා ‍වයඹ ඇළ ඉදිකිරීමයි.

ඒ අනුව දැන් මොරගහකන්ද ජලාශයේ සදැලි වේලි අංක 1 ඔස්සේ එන ජලය උතුරු මැද පළාතේ වැව් සඳහා ජලය සැපයීම පිණිස මෙම ඉහළ ඇලහැර ඇළ හෙවත් උතුරුමැද මහ ඇළ ඉදි කරනු ලැබේ.

උතුරුමැද මහ ඇළ ඉදිකිරීම බාරව කටයුතු කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.ඒ. අනුර ධර්මසිරි මහතා පවසන පරිදි දැනටමත් මෙහි කිලෝමීටර් 4 - 5 ප්‍රදේශයක් හාරා සකස් කර තිබේ.

ඇළේ ප්‍රථම අදියරේ දිග කිලෝමීටර් 94කි; පළල අඩි 40ක් වන අතර, ඇළ හා උමඟ ඉදි කරනු ලබන්නේ ඉතා පරිසර හිතකාමී ක්‍රමයකට ය. ඒ අනුව ඇළ ඉදි කරන ප්‍රදේශයේ ඇළ හෑරීමෙන් පසු එයට ඉහළින් කොන්ක්‍රීට් තට්ටුවක් දමනු ලැබේ. එය දමන්නේ ඒ ප්‍රදේශවල බිම් මට්ටමට පහළින් ය. ඉන් පසු ඒ කොන්ක්‍රීට් තට්ටුව උඩ බිම් මට්ටම දක්වා පස් අතුරා ආහාර බෝග වගා කිරීම කරනු ලැබේ.‍

ඊට අමතරව උමං මාර්ගය ද සම්පූර්ණයෙන් පොළොවෙන් යට ඉදි කරන අතර ඒ උඩ විවිධ වගාවන් හා ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ ලැබේ.

උමග හා ඇළ ඉදිකිරීම ඉතා පරිසර හිතකාමීව මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් අනුව සිදු කෙරේ‍. ව්‍යාපෘති අධ්‍යක්ෂ ධර්මසිරි මහතා පවසන පරිදි මේ අයුරින් මහ ඇළක් මෙරට ඉදිවන ප්‍රථම අවස්ථාව වේ. ඒ අනුව කිලෝමීටර් 94ක් දිග ඇළේ ප්‍රථම අදියර යටතේ ඉදි වන සම්පූර්ණ ඇළ හා උමං මාර්ගය ඉහළ විවිධ බෝග වගා කරනු ලැබේ‍. මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව මේ ව්‍යාපෘතිය පිළිබඳව වනජීවි කළමනාකරණ සැලැස්මක සකස් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කර ඇත.

ඒ යටතේ මේ ඇළ හරහා අලිමංකඩ 8ක් සකස් කරනු ලබන අතර, කිලෝමීටර් 200ක් දිග විදුලි වැට ඉදි කිරීම ද සිදු කෙ‍රේ. ඇළේ විවිධ ස්ථානවල වන සතුන්ට ජලය බීමට පොකුණු සකසා ඇත.

මේ අලුත් ඇළ මත දිගටම දමන අලුත් කොන්ක්‍රීට් තට්ටුව ඉතා සවිමත් ය. එය සකස් කර ඇත්තේ ඒ පාලම උඩින් ඕනෑම වාහනයකට ගමන් කළ හැකි අයුරිනි. ඒ ඇළ ගඟ යන ප්‍රදේශ හරහා ඇති මාර්ග සියල්ල මේ ඇළ උඩ ඇති කොන්ක්‍රීට් තට්ටුව මතින් යෑමට සලස්වා තිබෙන බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ධර්මසිරි මහතා පවසයි.

උතුරුමැද මහ ඇළ හෙවත් ඇළහැර ඉහළ ඇළ ඉදි කිරීම ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදු කෙරේ. මහවැලි ජල සුරක්ෂිත හා ආයෝජන වැඩ සටහනේ අධ්‍යක්ෂ නීල් බණ්ඩාර මහතා පවසන පරිදි මෙහි මුල් අදියර මොරගහකන්ද ජලාශයේ සිට මහකන්දරාව දක්වාය. එය කළුගඟ ජලාශයේ සිට කිලෝමීටර් 103කි.

කිලෝමීටර් 28ක් දිග මීටර් 12ක් පළල උමං මාර්ගය ඉදි වන්නේ මේ කොටසේ ය. බකමූණ දියබෙදුමේ සිට හබරණ නාමල්පුර මහ මීගස්වැව ප්‍රදේශය දක්වා ඒ දකුණු ආසියාවේ දිගම හා ලොකුම උමං මාර්ගය ඉදි කරනු ලැබේ. ඊට පසු ඒ ජලය කෙළින් ම හුරුලුවැව යොමු වන බව ද නීල් බණ්ඩාර මහතා පවසයි.

හුරුලුවැවේ ජලය ගලා ගිය පසු යකල්ල ප්‍රදේශයේ අලුතින් ඉදි වන දියබෙදුම් යොමු කෙරේ. ඉන් පසු ඒ දියබෙදුම මගින් දකුණු පැත්තේ ඇළ මහකන්දරාව වැව දක්වා යොමු කර උතුරු මැද ලොකු කුඩා වැව් 1200කට අලුත් මහවැලි දියවර ලබාදීමට කටයුතු කරනු ඇත. ඒ අනුව අලුත් කුඩා ලොකු වැව් මගින් ඉඩම් අක්කර ලක්ෂ 2කට පමණ යල මහ සරු කිරීමට මහවැලි දියවර ලබාදෙයි.

ඒරුවැව, මාන්නකට්ටිය වැව, නුවරවැව, නාච්චදූව වැව ඇතුළු වැව් රැසකට මේ ජලය ලැබී උතුරු මැද සශ්‍රීකත්වය තවත් ඉහළ නැංවෙනු ඇත. ඒ හා අතිරේක බෝග අස්වැන්න ඉහළ ගොස් ජනතාවගේ ආදායම ද ඉහළ නැංවේ. රට සුරක්ෂිත වනු ඇත.

මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස යකල්ල දිය බෙදුමේ ඇති ජලය ඇළක් ඔස්සේ උතුරු පළාත දෙසට යොමු කරනු ලැබේ. ඒ අනුව ඒ සඳහා ඉරණමඩු දක්වා රැගෙන ගොස් උතුරු පළාතේ ඉරණමඩු ජලාශයට යොමු කිරීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව උතුරේ වැව්වලට මහවැලි ජලය දීමට ද අපේක්ෂා කෙරේ. එම ජලය මගින් ඒ ප්‍රදේශවල තිබෙන වකුගඩු රෝගය අවම වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ මතයයි.

මේ අනුව උතුරුමැද මහ ඇළ මගින් තත්පරයක් ඝන මීටර් 40ක් පමණ අනුරාධපුරය පොළොන්නරුව ත්‍රිකුණාමලය මාතලේ කිලිනොච්චි ආදී දිස්ත්‍රික්කවලට නොඅඩුව ලබාදෙනු ලැබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික මැදිහත්වීම මත රටට ලැබුණු මේ සියලු ව්‍යාපෘති මගින් රටට ලැබෙන සෙත පොදුවේ මෙරටේ සියලු ජනතාවට විවිධ අයුරු ප්‍රතිලාභ ලැබීමක් බව ද කිව යුතු ය.

සේයාරූ - විමල් කරුණාතිලක

අදහස්