ජල රකුසා සමඟ පොරබදා ජීවිත බේරා ගත් අවුරුදු 78 මාතර වීරයා | සිළුමිණ

ජල රකුසා සමඟ පොරබදා ජීවිත බේරා ගත් අවුරුදු 78 මාතර වීරයා

මේ විදිහට හඳුන්වලා දුන්නට එළබතලාගොඩ කිසිවෙක් ඔහු හඳුනන්නේ නැත. හේතුව ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම ගම්මුන්ට හුරු නොවීම ය. නමුත් එළබතලාගොඩ රට උළුගෙදර උක්කුං මහත්තයා කියූ විට පාලටුව ගමේ ඔහු නාඳුනන්නෙක් නැති තරම් ය.

රට උළුගෙදර උක්කුං මහත්තයා අපට වැදගත් වන්නේ ඇයි?

මේ ප්‍රශ්නයට උත්තර සොයාගෙන ඉකුත් දිනෙක අපි ‍ඔහුගේ නිවෙසට ගියෙමු.

“උක්කුං මහත්තයා වීර‍යෙක්.!”

“උක්කුං මහත්තයා කොහොමද වීරයෙක් වෙන්නේ?”

උක්කුං මහත්තයා ගැන කියූ විට ඔබට එවැනි ප්‍රශ්න රැසක් මතුවනු ඇත. හැත්තෑ අටවැනි වියේ පසුවන උක්කුං මහත්තයා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි‍. ගොවිතැන්බත් කර ජීවත්වන ඔහු අපූරු පුද්ගලයෙකි.

මේ කියන්නට යන කතාව වසරක් පැරණි ය. නමුත් ඒ කතාව සහ උක්කුං මහත්තයාගේ වීරකම අතර සබැදියාවක් ඇත්තේ ය. එහි ප්‍රධාන සාක්ෂිකරු වන්නේ ඒ.ජී. දයාරත්න ය. දයාරත්න හැට හතරවැනි වියේ පසු වේ.

“මම මාතර ආයතනයක මුර රස්සාවක් කරන්නේ. ඔය කියන දවසේ ඒ කියන්නේ 2017 වසරේ ජූනි එකොළොස් වැනිදා අපේ ගමට හොඳටම ගංවතුර. මම වැඩ ඇරිලා ගෙදර එමින් හි‍ටියේ. වෙලාව උදේ දහයට විතර ඇති. ගෙදර එන්න හැටියක් නැහැ. හැම තැනම යටවෙලා‍. ඔහොම ඉන්න කොට ඔරුවක් ආවා. මම ඒ ඔරුවට ගොඩවුණා. නමුත් ඔරුව පදවගෙන ආව කෙනාට ඒක පදින්න බැහැ. වතුර පහර සැර වැඩියි. ටිකක් දුර යද්දී ඔරුව අනිත් පැත්තටම පෙරළුණා. මට හොඳට පීනන්න බැහැ. නමුත් ජීවිතේ බේරගන්න ඕන කියන හැඟීම හිතට ආවා. මම පීනලා ගිහිල්ලා ගහක එල්ලුණා. රැල්ල ගහන කොට ගහ එහෙම මෙහෙම පැද්දෙනවා. මට බයයි වෙල්කඳුරු ගහ ගැලවිලා යාවි කියලා. කවුරු හරි මාව බේරගනීවි කියන විශ්වාසය හිතේ තියාගෙන මම ගහේ බැරි අමාරුවෙන් එල්ලිලා හිටියා.”

දයාරත්න පවසන්නේ අතීතයේ දවසක සිදුවූ ත්‍රාසජනක අත්දැකීමකි. ජීවිතයත් මරණයත් අතර කදුරු ගහක එල්ලී සිටි දයාරත්නට ජීවිතය ගෙන ආවේ අපේ කතාවේ කතා නායකයා වන උක්කුං මහත්තයාය.

“එදා උදේ හැම පැත්තම ගං වතුරෙන් යටවෙලා‍. මං හාන්සි පුටුවට වෙලා හිටියේ. දුව ඇවිල්ලා මට කිව්වා තාත්තේ කවුදෝ ගහගෙන ගිහිල්ලා ගහක එල්ලිලා ඉන්නවා. කාටවත් එතැනට යන්න හැටියක් නැහැ කියලා. ඒක ඇහුවම මගෙ හිතට හරි නැහැ. මං හබල අතට අරගෙන එළියට බැස්සා‍. හැමෝම දොස් කියන්න ගත්තා යන්න එපා කියලා. ගෙදර තව ඥාති දුවක් හිටියා. ඇය කිව්වා ගෙදර අයට මට යන්න දෙන්න කියලා. මං ඔරුවේ ගියා. එක පාරටම ඒ තැනැත්තා ඉන්න හරියට යන්න බැහැ. මම වටෙන් ගියේ. ඒ යන අතරමඟදී පෙරළුණු ඔරුවේ හිටිය කෙනාවත් බේරා ගත්තා. ඒ ඔරුවත් මගේ ඔරුවෙන් නවා ගත්තා. ඉන් පස්සේ තමයි මම අනතුරට පත්වී ඉන්න කෙනා ගාවට ගියේ. දෙයි හාමුදුරුවනේ එතකොටයි ඇඳින්නේ ඒ මගේ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න දයාරත්න මලයා කියලා. මං ඒ මලයව ඔරුවේ දාගෙන එක්ක ආවා. මගේ හිතට පුදුම සතුටක් දැනුණේ. උදේ හවස මගේ ගේ ඉස්සරහින් යන කෙනා බේරා ගත්ත එක සතුටක්. විරුජන රජත සම්මානය හිමි වීමත් සතුටක්.”

උක්කුං මහත්තයා දෑසේ කඳුළු පුරවාගෙන පවසන්නේ ය. ඔහුට හැමවිටම අවශ්‍ය අනුන්ට උදව් උපකාර කිරීමට ය. ගංවතුරෙන් දයාරත්න බේරාගත් කතාව බොහෝ දෙනෙකු දන්නා කතාවය. නමුත් ඒ ගංවතුර කාලයේම ඔහු තවත් වීරකමක් කර ඇත්තේ ය. ඒ දයාරත්න ‍බේරාගත් දිනට පසු දිනය. ගංවතුරට කොටු වී සිටි ජනතාවට ආධාර ලැබුණ ද ඇතැම් ආධාර ඒ ඒ අය සිටින තැන්වලට බෙදා හැරීම දුෂ්කර විය. ඒ ගංවතුරේ ඒවා රැගෙන යාමට තිබූ අපහසුකම නිසා ය.

“මට ළමයෙක් ඇවිල්ලා කිව්වා කොළඹින් ආධාර ඇවිත් තියෙනවා. මාතර, හිත්තැටියේ එකේ කනුව ගාවට යමු ගන්න කියලා. අපි අගුලෙන් බස් යන පාරේ හිත්තැටියට ගියා. හාල් තුනපහ වතුර බෝතල් බිස්කට් පටවගෙන ආවා. මං තරුණයන්ට කිව්වා පාරෙන් ගියොත් අපි අමාරුවේ වැටෙනවා කිරල කැලේ පැත්තේ රවුමෙන් යමු කියලා. ගම කිට්ටුවටම ආවට පස්සේ එක ඔරුවකින් ඇතුළට වතුර එන්න ගත්තා. ඔරුවක ගැට්ට කැඩිලා ‍ඔරුව යට ගියා. එක්කෙනෙකුගේ අතේ තිබුණ හබලත් නැහැ. බඩුත් වතුරේ. අපි ගස්වල එල්ලිලා බේරුණා. බඩු ටික පුළු පුළුවන් විදිහට එකතු කරලා ගස් මුල්වල තිබ්බා. හවස තුන හමාරට විතර ඔරුව මතුකර ගත්ත මම අගුල ගැලෙව්වා. ඔරුව පැදගෙන ඇවිල්ලා ගමේ අයට කිව්වා ගස්වල හතර දෙනෙක් ඉන්නවා බේරගමු කියලා‍. වතුරේ බෝට්ටු යනවා. අපි කෑ ගැහුවට ඇහෙන්නේ නැහැ. මගදි හාමුදුරුවෝ බෝට්ටුවක එනවා හමුවුණා. හාමුදුරුවෝ කිව්වා අර අයව බේර ගන්නම් කියලා. මම ගෙදර ආවා‍. නමුත් පස්සේ හොයලා බලද්දී බෝට්ටු පදින අය ඒ හරියට යන්න බැහැ කියලා. ඉන් පස්සේ ආයෙම ගිහිල්ලා අර හතර දෙනාවත් බේරාගෙන බඩුත් පටවගෙන ආවා.

උක්කුං මහත්තයා ගංවතුර දා තමන් මුහුණ දුන් අත්දැකීම් පවසන්නේ ය. හැත්තෑ අට හැවිරිදි වියෙහි පසුවන මේ කෙසඟ මිනිසාට මෙතරම් වීරකමක් කළ හැකි ද?

උක්කුං මහත්තයාගේ හිත හයියය. ඔහු පටු ඔරුවේ නැගී නෙළුම් මල් කඩන්නට යයි. තවත් විටෙක වත්තේ පොල් ටික කඩාගෙන විත් ඔරුවේ පටවාගෙන එයි.

ඔහුගේ දෑතට හබල හොඳ හැටි හුරු ය.

“මං ඔරු පදිනවට කවුරුවත් කැමැති නැහැ‍. මගෙ පුතා කියලා තියෙන්නේ ඔරු පදින්න එපා කියලා. ඒත් කෙනෙක් අමාරුවේ වැටුණම කොහොමද බලාගෙන ඉන්නෙ. මං තාමත් කුඹුරු වැඩ කරනවා.”

උක්කුං මහත්තයාගේ ඇතැම් කුඹුරුවලට ට්‍රැක්ටර් ගෙන යාම අපහසු ය. එවිට ඔහුම ඒ ලියැදිවල වැඩ කරයි. ඔහු තවමත් ගමන් යන්නේ එන්නේ පා පැදියෙනි. මං මහ ලොකු පන්තිවලට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඉස්කෝලේ ගියේ පහේ පන්තියට විතරයි. අවුරුදු දහයේ ඉඳලා මං තාත්තගෙ ගොවිතැන් වැඩවලට උදව් කෙරුවා. මගෙ පවුලේ ඔක්කෝම හත්දෙනයි. මම පවුලේ වැඩිමලා. ඉගෙන ගත්තේ පාලටුව ගුණරත්න විද්‍යාලයේ.

උක්කුං මහත්තයා තම අතීත තොරතුරු පවසන්නේ ආඩම්බරයෙනි.

තාමත් ගොවිතැන් කටයුතු කරන, නි‍‍රෝගී සුවයෙන් වෙසෙන ඔහු සතියේ පුවත්පත් කිහිපයක් ම බලන්නේ ය.

“මං කන්නාඩි පාවිච්චි කරන්නේ නැහැ. සුරා පොදක් කටේ තියෙන්නේ නැහැ.” උක්කුං මහත්තයා එසේ කියන්නේ තමන් ගැනම අභිමානයෙනි.

මොකද මේ රටඋළුගෙදර උක්කුං මහත්තයා කියන්නේ?

“ඒ කාලේ මේ ගම්වල රට උළු තිබුණේ නැහැ. මගේ තාත්තා තමයි රටඋළු හෙවිල්ලලා ඉස්ඉස්සෙල්ලාම ගෙයක් හැදුවේ. ඒ කාලේ යටියන උළු පැක්ටරියට සල්ලි බැඳලා මාස හයක් විතර බලාගෙන ඉන්න ඕන උළු ගන්න. කරන්දුව පාලම ගාවට උළු ගෙනැල්ලා දුන්නට පස්සේ ඔරුවෙන් තමයි උළු ටික ගෙනාවේ. අපේ ගෙදරට රටඋළුගෙදර කිව්වේ එහෙමයි. මට ඉතිං කවුරුත් ආදරේට කියන්නේ උක්කුං මහත්තයා කියලා. හැමෝම එහෙම කිව්වම දන්නවා.”

වීරත්වයට වයස බේදයක් ජාති ‍ආගම් භේද නැත. එළබතලාගොඩ රටඋළුගෙදර උක්කුං මහත්තයා හෙවත් සවුන්දිරිස් මාමා ද වීරයෙකි. ඔහු තමන් ගැන පුර‍ාජේරු කියන්නේ නැත. අවිහිංසක ගැමියකු වන ඔහු, තමන්ට ජීවිතයක් බේරා ගැනීමට, අනුන්ට උදව් කිරීමට හැකිවීම ගැන කතා කරන්නේ ආත්ම තෘප්තියෙනි. “එදා දුව මගෙන් හබල උදුර ගත්ත වෙලාවේ මම දුව පැත්තකට කළා.‍ ඒ වෙලාවේ මට ඕනැ වුණේ ඒ මනුස්සයා බේරාගන්න විතරයි. මට මා ගැන හිතුණේ නැහැ”

දෑසේ නළියන කඳුළක් අතින් පිස දමමින් උක්කුං මහත්තයා අප පසු පස එමින් කීය.

ගංවතුර පහව ගිය ගම්මානය දැන් සංසුන් ය. කැපූ ඇළ, ඇනිකට් එක ගාවින් ගලන ඇළ දැන් සන්සුන් ය. පුංචි ඔරුවේ නැගී දවසකට වතාවක්වත් උක්කුං මහත්තයා ඇළ දිගේ ඔරුව පදින්නේ ය. ඒ ඔහුගේ උවමනාවකට නොව කාගේ හෝ උවමනාවකට ය. එක්කෝ කාගේ හෝ ප‍ූජාවකට නෙළුම්මල් ක‍ඩා දෙන්නට ය. මියෙන තුරුම අනුන් වෙනුවෙන් යමක් කිරීම තම අරමුණ බව ඔහු පවසන්නේ සන්සුන් හඬිනි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්