‘වතුර’ කාගේ ප්‍රශ්නයක්ද? | සිළුමිණ

‘වතුර’ කාගේ ප්‍රශ්නයක්ද?

පසුගිය සති කීපයේම මුළු ලංකාවටම අනෝරා වැස්සක් ඇදවැටුණා. සමහර පළාත්වලට අවුරුද්දකටත් වඩා දිගු නියගයකට පස්සෙ තමයි ඒ වැස්සෙන් පොළොව තෙමුණේ. හැබැයි වැස්සට අපි කියන්නේ ‘අයහපත් කාලගුණය’ කියලා. ඒකට හේතුව තමයි: අහසින් වැටෙන එක වතුර බින්දුවක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යවන්නෙ නෑ කියල මුහුදු තරම් ලොකු වැව් හදපු රටේ දැන් පොද වැස්සෙනුත් ගම් නගර යට වෙලා, ගෙවල්-දොරවල් නාය ගිහින්, ඉතාම නොදියුණු රටක තත්ත්වයකට අප රට පත්ව තිබීමයි. මේ තරම් ලොකු වාරි යෝජනා ක්‍රම තිබෙද්දීත්, මේ තරම් විශාල වැව් ප්‍රමාණයක් හැම ගමක් පුරාම තිබෙද්දිත්, ජල සහ වාරිමාර්ග කළමනාකරණයට අමාත්‍යාංශයක් තිබෙද්දිත් හැම වැස්සකින්ම ගම්-නගර යට කරමින් මහා ජල සම්පතක් මුහුදට ගලාගෙන යන-එක පුදුමසහගත අපරාධයක් නෙමෙයිද!

මේ පාර අවුරුද්දට ගමේ ගියාම, අවුරුදු කන්න ගෙවල් ගානේ ඇවිදලා මට අතහැරුණු ‘ගොසිප්’ ටික හොයාගන්නවට අමතරව, එදිනෙදා ජීවිතවල අභියෝග ගොඩක් ගැන අහන්න ලැබුණේ, බොහෝ දෙනෙක් මා සමඟ ‘දේශපාලන කාරණා’ ගැන කතා කළ නිසයි. ඒ අතරින් මාව වික්ෂිප්ත කළ, වැඩිදෙනෙක් පුන-පුනා කියූ දෙය නම් ‘වතුර දෙන ඕනැ එකෙකුට ජන්දය දෙනව පුතේ’ යන වචන ටිකයි.

මම චුටි කාලේ නෑවේ වැවෙන්. අපේ ගම වටේට වැව් 5ක් තියෙනවා. වැරැල්ල වැව, කුඩා වැව, බඩවද්දේ වැව, දෙයියන්නේගම වැව සහ මහ වැව. ඒ හැම වැවකම, හොඳටම පායන කාලෙකට හැර, කට කපන්න වතුර හැමදාකම තිබ්බ. ගමේ හැම ගෙදරකටම ළිඳක් තිබ්බා. ඒ මදිවට බොහොමයක් අපේ වතු පල්ලෙහා නිකම්ම වතුර පිරුණ ‘පතස්’ තිබ්බා. අවුරුද්දට දෙපාරක් මේ සේරම පිරිලා ඉතිරිලා ගම දෙගොඩතළා යන්න වැස්සා. මම මේ කියන්නේ ඉතිහාසයේ දවස් ගැන නෙමෙයි, මීට අවුරුදු දහයකට විතර කලින් මට මතක අපේ ගම ගැන. එහෙව් ගමේ මිනිස්සු දැන් ඇයි ‘වතුර දෙන පාලකයෙක්’ හොයන්නේ?

මම ඉස්කෝලේ යන කාලෙ හීනෙන්වත් නොහිතපු දෙයක් ගිය අවුරුදුවල වුණා. පළමුවැනි දේ තමයි බොහොමයක් ළිං හිඳිලා, බොන්න වතුර ගන්න වෙන ගෙදරක ළිඳකට යන්න වුණ-එක. දෙවැනියට වැව්වල වතුර මට්ටම බැහැලා මිනිස්සු වැව්වලින් නාන-එක හොඳටම අඩු වුණා. අන්තිමට ගිය-අවුරුද්දේ මුළු ගමටම ලෝක බැංකු ව්‍යාපෘතියක් මඟින් ආණ්ඩුවෙන් ‘නළ ජලය’ ලැබුණා. දැන් අපේ කොළඹ ගෙදරට වගේම පාදෙණියේ ගෙදරටත් ටැප්-එකෙන් වතුර එනවා. බිලකුත් ගෙවනවා. සල්ලි ගෙවල වතුර ගන්න එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. අර්බුදය මේ කිසිම දෙයක් නෙමෙයි. සැබෑ අර්බුදය පටන් ගන්නේ කුඹුරු වැඩ කරන්න වතුර නැති වුණාම. එක කන්නක් නැති වුණාම නෙමෙයි, කන්න කිහිපයක්ම එකදිගට කුඹුරු පුරන් වුණාම. වැස්සයි, වැවයි දෙකෙන්ම පිහිටක් නැති වුණාම. වයඹ පළාතේ මේ මොහොතේ තිබෙන ලොකුම ජන ගැටලුව තමා ‘වතුර’ බොහොමයක් ගම්වල බොන්න වත් වතුර නෑ. ඊයේ-පෙරේදා ආපු වැස්සෙන් යන්තම් ගස්වැල් කොළපාට වීම ඇරුණාම වතුර බින්දුවක්වත් පොළොවේ රැඳිලා නෑ. යන්තම් හරි කුඹුරු කළත් ගොඩ ගොවිකම් හෙවත් ධාන්‍ය සහ එළවුළු වගා කරන-එක කොහොමවත්ම කරන්න බැරි තරම්. මේ පීඩනය තමා සුපර් මාකට්-එකට බඩු ගන්න ගියාම අපිට දැනෙන්නේ.

‘වතුර දෙන එකෙකුට චන්දෙ දෙනවා’ කියල ගමේ මිනිස්සු ‘ජලය දේශපාලන ප්‍රශ්නයක්’ බවට පත් කළාට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ඇතුළෙ නම් ‘ජලය’ කියන්නේ ව්‍යවස්ථාව, විධායකය, FCID තියා පොහොර තරම් වත් වැදගත් මාතෘකාවක් නෙමෙයි. ඒ නිසා තමයි නියඟයයි - ගංවතුරයි කියන දෙකම කළමනාකරණය කළ නොහැකි ‘එදාවේල’ ප්‍රශ්න දෙකක් බවට පත් වෙලා තියෙන්නේ. අඩුම ගානේ ලංකාවේ ‘ජලසම්පත’ ගැන විධිමත් සිතියමක් වත් හොයාගන්න බැහැ. ‘ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය’ තියෙන්නේ කොහෙද?, කවුද ඇමැති?, කරන්නේ මොනවද? කියල කාට හරි අවබෝධයක් තියෙනවද? ඒ ගැන පාසල් සහ උසස් අධ්‍යාපනයේ තියෙන්නේ මොනවාද?

මගේ මට්ටමින් කළ හැකි දේවල් දෙකක් මම කරනවා. ඒ සඳහා මේ ලිපිය කියවන මිතුරන්ගේ උදවුවත් අවශ්‍යයි.

කොළඹ නගරයේ ජලසම්පත භාවිතය පිළිබද විධිමත් සොයා බැලීමක් කර, එය ප්‍රසිද්ධ කරනවා. ඒ පිළිබඳ අධ්‍යයනයක් අවශ්‍ය නම් ඒ සඳහා කොළඹ මහානගර සභාවට මඟපෙන්වීමක් කරනවා.

පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම විදියට, ජලසම්පත් කළමනාකරණය පිළිබඳ යෝජනාවක් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් කරනවා.

මේ ගැන ඔබේ අදහස කුමක්ද? ඔබේ අදහස් [email protected] වෙත ලියන්න.

අදහස්