උසස් රාජ්‍ය නිලධාරීන්ට ආචාරධර්ම පද්ධතියක් තිබේද? | සිළුමිණ

උසස් රාජ්‍ය නිලධාරීන්ට ආචාරධර්ම පද්ධතියක් තිබේද?

එකල අපනයන සංවර්ධන හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්ව සිටියේ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ එස්. රනුග්ගේ ය. ජීඑස්ටී ප්ලස් සම්බන්ධයෙන් ඔහු අවබෝධ කරගත් කරුණක් ජනාධිපතිවරයාට දැනුම් දුන්නත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් නොසතුටු විය. එහි ප්‍රතිඵලය වූයේ අමාත්‍යංශ ලේකම් එස්. රනුග්ගේ තනතුරෙන් ඉවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා තම ලේකම් ලලිත් වීරතුංගට උපදෙස් දීමයි. ඔහු වහා රනුග්ගේට පවසා ඇත්තේ “එක්කෝ ජනාධිපති සමඟ වැඩ කිරීමට හැඩගැසෙන ලෙසත් නැත්නම් ඉල්ලා අස් වන ලෙසත්” ය. අමාත්‍යංශ ලේකම් රනුග්ගේ ඉල්ලා අස් වී ගෙදර ගියේය.

දක්ෂ, කාර්යශූර පරිපාලන නිලධරයකු වූ එස්. රනුග්ගේ රඳවාගැනීමට එවකට ජනාධිපති ලේකම් වූ ලලිත් වීරතුංගට කිසිම අවශ්‍යතාවක් නොවීය. ඔහු උත්සාහ ගත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය විදිහට රනුග්ගේව හැඩගස්වාගැනීමටය. ඒ තබා, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයවත් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත. තමන්ගේ විශිෂ්ටයන් රාජ්‍ය සේවාවෙන් අකාලයේ ඉවත්ව යෑමට හේතු වන කාරණා ඉවත් කොට, ඔවුන්ට රාජ්‍ය සේවය තුළ සේවයක් කිරීමට අවකාශයක් නිර්මාණය කර දිය යුතු බව සංගමය සිතුවේ නැත.

එස්. රනුග්ගේ වරක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති විය; තවත් වරක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විය. එවැනි ප්‍රබල තනතුරු දැරූ නිලධරයකුටද අවසානයේ සිදු වූයේ දේශපාලකයකුගේ බහට අවනත නොවූ නිසා ඉල්ලා අස් වී ගෙදර යන්නටය. දේශපාලකයන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් රූකඩ මෙන් නැටිය යුතු නම් ඒ සේවාවේ වෘත්තීයවේදීභාවයක් ඉතුරු නොවේ.

තම නිලධාරීන් දෙදෙනකු කුප්‍රකට සිල් රෙදි නඩු තීන්දුව සම්බන්ධයෙන් දඬුවමකට ලක් වුවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මෙතෙක් කිසිවක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර නැත. ඒ දෙදෙනා සාමාන්‍ය රජයේ නිලධාරීන් දෙදෙනකු නොවන අතර, එක් අයකු ජනාධිපති ලේකම්වරයාය. අනෙකා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයෙකි. එසේම රජයේ දීපව්‍යාප්ත සේවාවන්හි වෙනත් කිසිම සේවා සංගමයක්ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් තම අදහස පළ කර නැත. මේ සියලු සේවාවන්හි නිද්‍රාසහගත භාවයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් ඉහළ රජයේ නිලධාරීන්ට ඇති අසංවේදීතාවයි. පොදු සමාජයේ ඉහළින් කැපී පෙනන වෘත්තීයවේදී සංවිධාන පවා ඍජුව තමන්ට සම්බන්ධ කාරණාවකදීත් මෙලෙස අසංවේදී වීම කණගාටුවට​ කරුණකි. එවැනි තත්ත්වයක් තුළ පොදු සමාජය මෙවැනි කරුණුවලට සංවේදී වේයැයි කිසිසේත් සිතිය නොහැකිය.

සාමාන්‍යයෙන් තම වැඩකටයුතුවලදී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු කරන්නේ යම්කිසි උසකින් සිටිමිනි. එසේ කටයුතු කිරීමට ඔවුන් පෙලඹී ඇත්තේ අන් සේවාවන්ට වඩා තම සේවාව උසස්යැයි සංගමයක් ලෙස ඔවුන් කල්පනා කිරීමය. ඒ නිසා ලලිත් වීරතුංග ජනාධිපති ලේකම් ලෙස රාජකාරි කළ කාලය පුරා ඔවුන් මහන්සි වූයේ තම සාමාජිකයන්ට විශේෂ වරප්‍රසාදයන් ලබාගැනීමට පමණකැයි කිව හැකිය. එහෙත් ඒ කිසිම අවස්ථාවකවත් තම සේවාව ගුණාත්මකව ඉහළින් රඳවා තබාගැනීමට ඔවුන් කිසිම පියවරක් නොගැනීම හාස්‍යයට කරුණකි.

එහෙත් ඒ රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන්ම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් උත්සාහ ගන්නේ තමන්ට වැටුප් දීමනා වැඩි කරගැනීමටය. රුපියල් 15,000 සිට 50,000 දක්වා දීමනාවක් තම නිලධාරීන්ට ලැබෙන පරිදි වූ යෝජනාවකට මහා භාණ්ඩාගාරයේද වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේද එකඟත්වය ලබාගත්තේය. එහිදී තමන් සමඟ උරනුර ගැටී වැඩ කරන සෙසු මාණ්ඩලික නිලධාරීන්ද තමන්ගේ යටත් නිලධාරීන්ද අමතක කිරීම ලජ්ජා සහගත ය.

බොහෝ රාජ්‍ය පරිපාලන නිලධාරීන් පවසන්නේ ජීවත්වීමට සරිලන වැටුපක් අවශ්‍ය නිසා දීමනා හෝ ඉහළ දමා ගැනීම අවශ්‍ය බවකි. තවත් සමහරු පවසන්නේ දක්ෂතා පිරි වෘත්තීයවේදී සේවාවට ආකර්ශනය කර ගැනීමට වැටුප් දීමනා වැඩි කර ගැනීම අවශ්‍ය බව ය. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයේ සදහන් වන්නේ ද එයයි. එහෙත් වැටුප් හා දීමනා වැඩිවීම සේවාවක ගුණාත්මකතාව ආරක්ෂාවීමට හේතුවක් යැයි පැවසීම මිථ්‍යාවකි.

රජයේ මාණ්ඩලික නිලධාරී සේවාවන්හි ගුණාත්මක භාවය ආරක්ෂා වී නැත්තේ රාජ්‍ය සේවාව දේශපාලනීකරණයට නතු වී ඇති බැවිනි. ලෝකයාටම ආදර්ශයක් වූ රාජ්‍ය සේවාවක් තිබුණේ අතීතයේ බැවින් අද පවතින්නේ තම ගෞරවය තමන් විසින්ම හානිකරගෙන ඇති රාජ්‍ය පරිපාලන සේවාවකි. එනිසා පළමුවෙන්ම කරගත යුත්තේ රාජ්‍ය සේවාව ගුණාත්මකව සකස් කරගැනීම සඳහා ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කරගැනීමයි. ඒ ආචාරධර්ම පද්ධතිය තුළ නවකයන්ට පෞරුෂවත් අන්දමින් රාජකාරියේ නිරත වීමට අවශ‍ය පරිසරය නිර්මාණය කර දිය යුතුය. දේශපාලකයන්ට ඇඟිලි ගැසීමට නොහැකි වන ලෙස ඒ පරිසරය සකස් කරගත යුතුය. රාජ්‍ය සේවාවක අභිමානය තහවුරු වන්නේ නිලධාරීන්ට නීතියට අනුව රාජකාරී කළ හැකි නම් මෙන්ම නීතියට අනුව වැඩ කරන්නට ඔවුන් හුරුවී තිබේ නම්ද පමණි.

එහෙත් කනගාටුවට කරුණ වන්නේ තම සේවාව ගුණාත්මකව ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවාවේ කිසිම නිලධාරී සමූහයක් ස්වයං විවේචනාත්මකව කතිකාවක් ආරම්භ නොකිරීමයි. එවිට සිදු වන්නේ පෞරුෂ දුර්වල ක්‍රමයක් නිර්මාණය වීමයි. ඒ ඇදය යළි සකස් කරන්නට වැටුප් දීමනාව වැඩි කිරීමෙන් පමණක් නොහැකිය. එනිසා රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් මේ දිනවල මහන්සි වන්නේ සේවාව ගුණාත්මක කරගැනීමට නොවේ. ඔවුන්ගේ උත්සාහය සාක්කුවට කීයක් හෝ එකතු කරගැනීම පමණි. එයද සිදු කරන්නේ කුහක හා දුෂ්ට අරමුණෙනි.

අබරන්
[email protected]

අදහස්